(සිරංගිකා ලොකුකරවිට)
වැසී යාමට ආසන්නව තිබූ බොනවිස්ටා විද්‍යාලය ‘ළඟම පාසල හොඳම පාසල‘ වැඩසටහන යටතේ වැඩිදියුණු කර දකුණු පළාතේ ප්‍රථම සුහුරු පන්තිකාමර එහි ආරම්භ කර ඇත.
බොනවිස්ටා පාසල ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සඳහා තෝරාගන්නා විට එහි සිටියේ සිසු සිසුවියන් 27 දෙනකු පමණි. පාසල වැසීයාමේ අවදානමකට මුහුණ දී තිබූ අතර මේ වනවිට සිසු සිසුවියන් 400ට ආසන්න පිරිසක් පාසලේ ඉගෙනුම ලබති.
එහි උසස් පෙළ විද්‍යා ගණිත පන්ති ද මෙම වසරේ දී ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතා පවසයි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ, එඩ්වින් ආරියදාස, ඒ.ටී.ආරියරත්න වැනි විද්වතුන් සේම මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් මහතා ද අධ්‍යාපනය ලබා ඇත්තේ බොනවිස්ටා විදුහලේ ය.
1847 වර්ෂයේ දී මිෂනාරී පාසලක් ලෙස ආරම්භ ආරම්භ කළ මේ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගොස් ඇත්තේ ඉංග්‍රීසි බසින් වුව ද පසු කාලයේ දී සිසු සිසුවියන් නගරයේ ජනප්‍රිය පාසල් වෙත ඇදී යාමත් සමග බොනවිස්ටා විද්‍යාලයේ ගොඩනැගිලි පවා ගරා වැටී විනාශ වී තිබිණි.
විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතා පාසල පිළිබඳ මෙසේ කීවේය.
‘‘මේ විද්‍යාලයේ ගොඩනැගිලි ගරා වැටී වල්බිහි වී තිබුණා. මා පාසලේ විදුහල්පතිධූරය භාරගන්නා විට මෙහි සිටියේ සිසු සිසුවියන් 27 දෙනකු පමණයි. ඉන් පසු ‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය යටතේ මේ පාසල අපි වැඩිදියුණු කළා. දැන් දරුවන් 400ක් ඉගෙනුම ලබනවා. උසස් පෙළ විද්‍යා හා ගණිත පන්ති සඳහා ද දරුවන් බඳවාගත්තා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට සුහුරු පන්තිකාමර ආරම්භ කරන්න අපිට හැකියාව ලැබුණා. දැන් පාසල දිනෙන් දින දියුණුව කරා යනවා. නව ගුරුවරු පැමිණියා. දරුවන් ද ඉතා උනන්දුවෙන් පාසල් එනවා. දැන් මේ පාසලටත් දරුවන් ඇතුලත් කරගැනීම සඳහා විශාල තරඟයක් ඇති වී තිබෙනවා. 2017 වර්ෂයට හයවැනි ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්වයෙන් අයදුම්පත්‍ර 600ට වඩා අපිට ලැබුණා. ඉන් සීමාසහිත දරුවන් පිරිසක් පමණයි තෝරාගත හැකි වූයේ. අපේ ඉලක්කය මෙය ශ්‍රී ලංකාවේ හොඳම ආදර්ශවත් පාසල බවට පත්කරන්න.“
පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද පන්ති පවත්වාගෙන යයි. සියලුම දරුවෝ බාල දක්ෂයෝය. බාලදක්ෂ නිල ඇඳුම ද ඇතුළුව දරුවන් සතියේ දින පහේ දී පාසලට පැමිණෙන්නේ විවිධ ආකාරයේ ඇඳුම් පහකින් සැරසීගෙනය. සිකුරාදා ඔවුන් අඳින්නේ ක්‍රීඩා ඇඳුමයි. සුදු පැහැති පාසල් නිල ඇඳුමට අමතරව විද්‍යාලයීය වර්ණවලට අදාලව සැකසුණු ජාත්‍යන්තර නිල ඇඳුම නමින් ඇඳුමක් ද තිබේ. සියලුම දරුවන්ට දිවා ආහාරය පාසලෙන් නොමිළයේ ම සැපයෙන අතර සෑම දිනකම සවස 2.30 දක්වා පන්ති පැවැත්වෙයි.
සියලු දරුවෝ පාසල් අපනික කටයුතුවලට අමතරව විෂය භාහිර ක්‍රියාකාරකම්වලට ද ක්‍රීඩාවල ද සහභාගී වීම අනිවාර්යයි.
‘‘මම ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. ඒ වගේ ම එහි නියෝජ්‍ය විදුල්පතිවරයා ලෙස අවුරුදු 12ක් සේවය කළා. මේ පාසලේ ලාංඡනය හා කොඩිය පවා මහින්ද විද්‍යාලයේ ආකාරයෙන් ම සැකසී තිබෙනවා. විදුහලේ දියුණුවට මා එම පාසලේ ලබාගත් අත්දැකීම විශාල පිටිවහලක් කරගත්තා. “ යැයි විදුහල්පතිවරයා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි.වික්‍රමසිරි මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා නාලිකා දොඩම්පේගම මහත්මිය, දකුණු පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් මහතා සහ වත්මන් අධ්‍යක්ෂ සුසිල් ප්‍රේමනාත් මහතා සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වසන්ත සිරිවර්ධන මහතා ඇතුළු සියලු දෙනාගේ සහයෝගය මේ පාසලේ දියුණුව සඳහා මහත් රුකුලක් වූ බවයි.
එමෙන් ම ආදි ශිෂ්‍ය සංගමයෙන් හා පාසල් සංවර්ධන සමිතියෙන් ලැබෙන දායකත්වය ද මෙහි දී විදුහල්පතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් දියුණු වෙන්නේ හරි... විනාශ වෙන්නේ හරි රටක රාජ්‍ය නායකයාගේ ක්‍රියාකලාපය නිසා වගේම පාසලකත් දියුණුව හෝ පරිහානිය රඳා පවතින්නේ මූලිකවම විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය මතයි.
ඒ කතාව නම් නියමයි...
මේක ඇත්තටම හොඳ වැඩක් සර්...
සමන්ගේ කතාව හරියටම හරි. රටේ අනිකුත් පාසල්වල විදුහල්පතිවරුන්ටත් මෙය හොද ආදර්ශයක්. ගුරුවරියන්ට සහ පාසල් දැරියන්ට ලිංගික අතවර කරන, පාසලට ළමයින් ඇතුලත් කර ගැනීමේ අවස්ථාවේ සිට නොයෙකුත් අවස්ථාවල දෙමව්පියන්ගෙන් මුදල් ගසා කන විදුහල්පතිවරුන් අතර මෙතුමා ජීවමාන දෙවිකෙනෙකි.
ඉතාමත් අනර්ඝ ක්‍රියාවක්, විදුහල්පතිතුමා ඇතුළු මේ කටයුත්තට උපකාර කල සියලුම දෙනාට ආචාරය පුදකර සිටිනවා. ශ්‍රී ලාංකිකයෙක් විදියට හිතට සතුටක් දැනුනු ප්‍රවෘත්තියක්...