IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


තාත්තාගේ බේබදුකමෙන් වැනසුණු දියණිය

 dfh

 

මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද ලෝක වාසී සියලු දෙනාටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැම ජීවිතයකම ප්‍රාර්ථනා බලාපොරොත්තු තියෙනවා. ජීවිතේ සමහර  දේවල් තියෙනවා  අකැමැත්තෙන් වුණත් ලොකු කැපකිරීම් කරන්න සිද්ධ වෙන අවස්ථා. ඒ තමන්ගේ දුව, පුතා වෙනුවෙන් වෙන්න පුළුවන්. ජීවිතේ ඔබ දරුවෝ වෙනුවෙන් කරන සමහර කැපවීම් ඛේදනීය විදිහට ඇසුණු අවස්ථා මේ රට ඇතුළේ ඕනෑ තරම් තියෙනවා. ඒ වගේමයි අපට අහන්නට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සමහර සිදුවීම් අකැමැත්තෙන් වුණත් අපට අහන්න සිද්ධ වෙලා තියෙනවා. අලුත් අවුරුද්දේ අලුත් වෙන්න ඕන මිනිසුන්ගේ සිතුම් පැතුම් වුණත් මේ සමාජය ඇතුළේ දූෂිත වෙලා තියෙන මිනිස් හිත් වෙනස් කරන්න කාටවත්ම බැහැ.


පසුගිය දවසක අහස පොළොවත් නුහුලන ඒ විදිහේ අවනඩුවක් මේ මහ පොළොව උඩ ලියවුණා. ඒ අනුරාධපුර ප්‍රදේශයෙන්.


 අලුත් අවුරුද්ද උදා වෙන්න ඉතිරි වෙලා තිබුණේ හෝරා කිහිපයක් විතරයි. මේ අවනඩුව උඩ වැඩ ඉන්න දෙවියන්ටවත් පෙනුණේ නැහැ.

30-Rasa-P5-BA
සුබෝධා ජීවත් වුණේ අනුරාධපුර ප්‍රදේශයේ හරිම ලස්සන ගමක. රාජමාලිගා, රජ බොජුන් සැප වාහන මේ පොඩි දරුවන්ට හීනයක් වගේ. පොල් අතු සෙවිලි කළ පැල්පත, සීතල මැටි පොළොව තමයි මේ පුංචි හිතේ මාලිගය වුණේ. සුබෝධාගේ අම්මා මීට වසර හතකට ඉහතදී විදේශ ගත වුණේ මේ මැටි බිත්ති ගඩොල් බිත්තියක් කරන්න. එහෙම නැත්නම් මේ මැටි පොළොවට සිමෙන්ති ටිකක් දාගන්න. මේ විදිහට හීන බලාපොරොත්තු අහස උසට ගොඩ ගහලා තමන්ගේ එකම දියණිය මිත්තණියට භාර කරලා සුබෝධාගේ අම්මා විදේශ ගත වුණා. 


සුබෝධාගේ විතරක් නෙමෙයි සුබෝධා කියන්නේ වැඩිමහල් සොයුරන් දෙදෙනෙකුගේ ආදරේට මැදි වෙලා හැදුණු පුංචි එකියක්. සුබෝධාගේ තාත්තාට ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. කොහේ හරි කුලියක් කරලා ගන්න සොච්චම් මුදලෙනුත් සුබෝධාගේ පියා කළේ මත් වතුර බීපු එක විතරයි. දරුවෝ තිදෙනෙකුගේ බර සුබෝධාගේ අම්මට දරාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දිනෙන් දින උග්‍ර වන ප්‍රශ්න හමුවේ සුබෝධාගේ අම්මා පියා සමඟ නිතර නිතර අඩදබර ඇති කර ගැනීම මේ නිවස ඇතුළේ හුරු පුරුදු දෙයක් වුණා. සුබෝධගේ අම්මා මේ සිදුවන දේවල් පෙර ආත්මයදී කරපු පව්කාරකමක් වෙන්න ඇති කියලා දරුවෝ තුන්දෙනා වෙනුවෙන් සෑම වෙලාවකම හිත හදා ගන්න උත්සාහ කළා. කාලයත් එක්ක දරුවො ටිකෙන් ටික උස් මහත් වෙනවා. මහ පොළොව එක්ක ඔට්ටු වෙලා මේ දරුවන්ට අනාගතයක් හදලා දෙනවා කියන එක ඇයට හීනයක් වගේ. 


ඒත් හිතේ පිච්චෙන දරු දුක සුබෝධාගේ අම්මට දැනුණේ ගින්දර ගොඩක් වගේ. වේදනාව කොයි තරම් දැනුණත් සුබෝධාගේ වැඩිමහල් සොහොයුරා සාසනේට පූජා කරන්න සුබෝධගේ අම්මා තීරණය කළා. සුබෝධගේ අම්මා තමන්ගේ වැඩිමහල් පුතාව සාසනේට පූජා කළේ මේ සංසාරෙන් එතෙරවෙන්න පිං සලකා නෙමෙයි. සාසනෙන් හරි මගේ දරුවට හොඳ අනාගතයක් තියේවි කියන සිතිවිල්ල එක්ක.


දරුවෝ තිදෙනෙකුගේ වියදම් බර දෙදෙනෙකුට අඩු වුණත් පුංචි පැල්පත ගඩොලින් බැඳගන්න සුබෝධාගේ අම්මගේ හිතේ හීනේ දරුවෝ දෙන්නගේ වියදම් එක්ක කරගන්න ඇය ලොකු සටනක් දුන්නා. 


“අනේ මගේ පුංචි එකීගේ කොටහළු මඟුල ගන්න කොහොම හරි ගේ පොඞ්ඩක් හදා ගන්න ඕන කියන හීනේ ඒ අම්මට හීනයක් විතරක්ම වුණා.”
දවසින් දවස වැඩිවෙන ආර්ථික ප්‍රශ්න නිසාම සුබෝධාගේ අනෙක් සොහොයුරත් සාසනේට පූජා කරන්න යෝජනා කළත් තම වැඩිමහල් සොහොයුරා ගිය මාවතේ යන්න ඔහු කැමති වුණේ නැහැ. 


මට මහණ වෙන්න බැහැ අම්මේ.... ඉස්කෝලේ ගමන නතර කරලා මම කොළඹ රස්සාවකට යන්නම්. නංගිට හොඳට උගන්නන්න.


සුබෝධාගේ අම්මගේ ඇස්වලට කඳුළු, දරු දුක, වචනවලට පෙරළන්න බැහැ. සුබෝධගේ තාත්තාගෙන් විය යුතු යුතුකම් මේ නිවසට කවදාවත් ඉටු වුණේ නැහැ. මේ තමන්ගේ ලෙයින් ජාතක වුණ දරුවෝ නේද? ඒ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න ඕන නේද? කියන හැඟීමක් හා වගකීමක් ඒ තාත්තට දැනුණේ නැහැ. ඒ තාත්තගේ ජීවිතේ වුණේ මත්වතුර බෝතලේ විතරයි. මේ වගේ තාත්තලා ඉන්න, මේ වගේ පවුල් පසුබිම් තියෙන එකම ගෙදර සුබෝධගේ ගෙදර නෙමෙයි. සුබෝධා කියන්නේ මේ වගේ අවාසනාවන්ත ජීවිතයක් ඇතුළේ අපා දුක් විඳින තවත් එක් දරුවෙක් විතරයි. මේ කථාව කියන්නේ මේ රටේ තාමත් කුප්පි ලාම්පුවෙන් ඉන්න මිනිස්සු ඉන්නවා කියලවත්, ගෙයක් දොරක් නැති අන්ත අසරණ මිනිස්සු ඉන්නවා කියලවත් කියන්න නෙමෙයි. මේ වගේ අධ්‍යාපනයක් නැති වගකීමක් නැති පියවරුන්, මවුපියන් නිසා අපා ජීවිත ගෙවන දරුවන් අපේ රටේ ජීවත් වෙනවා. 


අද ඔබ ඔබේ දරුවට රස බොජුන්, සැප සම්පත් දුන්නට, සාදවලට විනෝද වෙන්න වියදම් කළාට කුසට අහරක් නැති, හිසට සෙවණක් නැති, පුංචි දරුවො මේ මහ පොළොව උඩ ජීවත් වෙනවා. මේ පරිසර වටපිටාව ඇතුළේ අසරණ වෙන, අවාසනාවන්ත සිද්ධීන්වලට මුහුණ දෙන්න සිදුවෙන වටපිටාව නිර්මාණය වෙන්නේ මේ අපි ජීවත් වෙන සමාජය තුළින්මයි. 


සුබෝධාගේ වැඩිමහල් සොහොයුරා ඔහුගෙත් සොහොයුරා වගේ මහණ දම් පුරනවට වඩා කොළඹ ගිහින් රැකියාවක් කරන්න මවගෙන් පැතූ අවසරයට සුබෝධගේ අම්මගෙන් අවසරයක් ලැබුණේ නැහැ.


“ඕනේ නෑ. උඹ තාම පොඩි එකෙක්. මට උඹලා දුක් විඳිනවා බලා ඉන්න බැහැ පුතේ”


සුබෝධගේ අයියට ඒ වෙනකොට අවුරුදු පහළොවයි. කොළඹ රැකියාවකට යන්න කොයිතරම් එපා කිව්වත් සුබෝධගේ අයියා කනකටවත් ගත්තේ නැහැ. ගමේ කුලී වැඩ කරන තරුණයෙකු හරහා සුබෝධගේ ගෙදර හිටපු සොහොයුරා කොළඹ රැකියාවකට ගියා.


මේ හැම දෙයක් ගැනම සුබෝධගේ පියා සිතුවේ අසුබවාදී විදිහට. හම්බ කරන මුදලින් රුපියලක්වත් දරුවෝ වෙනුවෙන් වියදම් නොකරපු පියා පාසල් යන දරුවො දෙන්නා ගෙදරින් පිටමං කළහම සුබෝධගේ අම්මට විවිධ ආකාරයෙන් චෝදනා එල්ල කළා. 


මේ විදිහට ජීවිතේ ගෙවපු සුබෝධගේ මව එක්තරා තීරණයක් ගත්තා. ඒ ඇගේ ජීවිතේ ගැන හිතලා නෙමෙයි. පුංචි සුබෝධා ගැන හිතලා. සුබෝධා යෞවනියක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි කියලා ඇයට දැනුණා. මේ නිසා සුබෝධාගේ අම්මා දියණියට හොඳ අනාගතයක් හදන්න විදේශ ගත වෙන්න තීරණය කළා.


සුබෝධාගේ අම්මා විදේශ ගත වීමට ගත්ත තීරණය එක්ක තාත්තා නිතර නිතර ගෙදර අඩදබර ඇතිකරගත්තා. විවිධ චෝදනා කළා. 


“උඹ රට යන්නේ සල්ලි හොයන්න නෙමෙයි. ජෝඩු කරගත්ත මිනිහෙක් එක්ක. මේ ගෙදරින් අඩියක් හරි එළියට තිබ්බොත් තෝව මරනවා දැනගනින්”
සුබෝධගේ තාත්තා හිතේ තරහ පිට කළේ ඒ විදිහට. 


ඒත් සුබෝධලට තාත්තා තාත්තෙක් වුණේ නාමයට විතරයි කියන්න ඒ ගමේ උදවියත් දැනගෙන හිටියා. මේ නිසාම සුබෝධගේ අම්මා විදේශ ගත වෙන්න ගත්ත තීරණය වෙනස් කරන්න සුබෝධගේ පියාට පුළුවන් වුණේ නැහැ. මිත්තණියට සුබෝධව භාර කරලා මීට වසර හතකට ඉහතදී විදේශ ගත වුණු සුබෝධගේ අම්මා වසර හතටම තමන්ගේ දරුවන්ගේ මුහුණ බලලා යන්න ආවේ අවස්ථා තුනකදී පමණයි. ඇය ලංකාවට නොපැමිණියත් සෑම මසකම සුබෝධගේ, නිවසේ අඩුපාඩුවලට මුදල් මිත්තණියගේ ගිණුමට බැර කරන්න ඇය අමතක කළේ නැහැ.


දවසින් දවස කාලය වේගයෙන් ගෙවුණා. සුබෝධගේ අම්මා මිත්තණියට එවන මුදල් ඉල්ලලා සුබෝධගේ තාත්තා මිත්තණිය එක්ක නිතර නිතර රණ්ඩු වෙන්න පටන් ගත්තා. මේ හැම පීඩනයක්ම, හැම තරහක්ම සුබෝධගේ තාත්තා පිට කළේ සුබෝධගෙන්. මිත්තණියට සුබෝධගේ තාත්තා එක්ක අත පය විසි කරන්න ශක්තියක් තිබුණේ නැහැ. අම්මා එක්ක තියෙන තරහට පහර දුන්නේ සුබෝධට. මේ වේදනාවේ සහ මේ පහරදීම්වල අවසානයක් තිබුණේ නැහැ. වයසක මිත්තණියට දියණියගේ ආරක්ෂාව ගැන සොයන්න ශක්තියක් තිබුණෙත් නැහැ.


ඉස්සර නිවසින් පිටතදී මත් වතුර තොලගාපු සුබෝධගේ තාත්තා ටිකෙන් ටික තම මිතුරන් නිවසට ගෙන්වා ගෙන සාද පැවැත්තුවා. මිත්තණියගේ වාග් ප්‍රහාරවලට සුබෝධගේ තාත්තා හිස නමන්න සූදානම් වුණේ නැහැ. වැලිකතරෙන් එහා ඉඳගෙන වෙන්න යන විනාශය වළක්වන්නට සුබෝධගේ අම්මට පුළුවන් වුණේ නැහැ.


ජනෙල් උළුවහු නැති ඉටිකොළ ගහපු ගෙදර සුබෝධට ආරක්ෂාවක් තිබුණේ නැහැ.


දවසක් ගෙදර පවත්වපු සාදයකදී මත්වතුර තොලගාපු සුබෝධගේ පියාගේ මිතුරෙකුගෙන් සුබෝධා අතවරයකට ලක් වුණත් ඇය ඒ වග කිසිවෙකුටත් නොපැවසුවේ ඇයට ඒ පිළිබඳ කිසිදු දැනුමක් නොතිබුණු නිසා. ඒ ආකාරයටම එවැනි සිදුවීම් කිහිපයකට ඇය මුහුණ දුන්නත් සුබෝධගේ පියා මේ කිසිවක් දැනගෙන හිටියේ නැහැ. මේ විදිහට පසුගිය දවසක තමන්ගේ නිවස තුළදීම පුංචි මිනිපිරියට මුහුණ දෙන්න සිදු වුණ මේ අවාසනාවන්ත සිදුවීම මිත්තණියගේ ඇස් දෙකෙන්ම දැකගන්න ලැබුණා. නිවසට නිතර යන එන පුද්ගලයකු වුණ පියාගේ හොඳම මිතුරා තමන්ගේ දියණියට කළ අපරාධ ගැන මිත්තණිය පැවසුවත් එය තේරුම් කර ගැනීමට තරම් ඒ වෙනකොටත් බීමත්ව සිටි පියාට හැකි වුණේ නැහැ. වයසක මිත්තණිය තමන්ගේ මිනිපිරියවත් අරගෙන පොලිස් භූමියේ හඬාවැටෙනවා ඇරෙන්නට වෙන සරණක් තිබුණේ නැහැ. 


මේ අපට ඇහුණ එක කථාවක් විතරයි.  මේ වගේ අවනඩු මේ රටේ කොච්චර සිද්ධ වෙනවද? අපට අහන්න ලැබෙන දේට වඩා අහන්න දකින්න නොලැබෙන දේවල් විශාලයි. සුබෝධගේ අම්මා විදේශ ගත වුණේ පුංචි එකීට ලස්සන අනාගතයක් හදලා දෙන්න. ඇයට හිමි වෙන්නේ මිත්තණියගේ සෙනෙහස විතරයි. ඒත් ගැහැනු දරුවෙකුට අනිවාර්යයෙන්ම අම්මාගේ සෙනෙහස රැකවරණය තිබිය යුතුමයි. විශේෂයෙන් ගැහැණු කියන්නේ වගකීම් ගොඩක්. තමන්ගේ වගකීම් අනුන්ට බාර කරලා රට රස්සාවේ යන මාපියන් බහුතරයකගේ නිවෙස් ගත්තම දරුවෝ වැරදි පාරේ යන එහෙම නැතිනම් අතවරයන්ට ලක් වෙන ප්‍රවණතා වැඩියි. වගකිවයුත්තෙක් නොමැතිකමම තමයි ප්‍රධාන හේතුව. තමන්ගේ දරුවො වයසක මිත්තණියට, නැන්දාට, මාමාට භාරකරලා කහවණු සොයන්න රට රස්සාවේ යන මව්පියෝ නැවත ලංකාවට එනකොට තමන්ගේ අහිංසකීට අතවර කරලා, එහෙම නැතිනම් දූෂණය කරලා මරලා දාලා, නැත්නම් ජීවිතේ විනාශ කරගෙන නම් අම්මා, තාත්තා දුක් විඳලා සොයන කහවණු වැඩක් තියෙනවද? ගැහැණු දරුවෙකු ඉන්න අම්මෙක් රට රැකියාවට යනවනම් දෙපාරක් හිතන්න. ඔයා ඇහැක් වගේ රැකගත්ත මල් කැකුළ ඔයා එනකොට විනාශ වෙලා තියෙන්න පුළුවන්. කවදාවත් තමන්ගේ දරුවගේ වගකීම පිටස්තරයන්ට පවරලා රට රස්සාවේ යන්න එපා. 

m

 



අදහස් (0)

තාත්තාගේ බේබදුකමෙන් වැනසුණු දියණිය

නිම්මි Tuesday, 03 May 2016 03:22 PM

හොඳ ලිපියක්. දරුවන්ට වඩා මිල මුදල් වටිනවද? හරියට ඉගෙනගන්නේ නැතුව මෝඩකමට මේ වගේ නරුම මිනිස්සු එක්ක දීග යනවා. අන්තිමට දරුවෝ දාලා රට යනවා. දෙමව්පියන්ගේ පව් ගෙවන්නේ අසරණ දරුවෝ. (නි)

:       0       0

රත්න Wednesday, 04 May 2016 12:14 PM

මේකට හදපු ගීතයක් තියෙනවා අපේක්ෂා වැඩසටහන යූ ටියුබ් එකේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 295 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 231 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 145 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 282 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 449 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1077 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1073 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 377 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site