තීරුබදු යනු රජයක් විසින් ආනයන හෝ සමහර අවස්ථාවලදී අපනයනය කරන භාණ්ඩ හා සේවා මත පනවන ලද බදුය. මෙම තීරු බදු අය කිරීමේ මූලික අභිප්‍රාය වන්නේ රටක් සිදු කරන ආනයන සදහා වන පිරිවැය වැඩි කිරීම මගින් ආනයන අධෛර්යවත් කිරීමය. බොහෝ විට සංවර්ධනය වන රටවල් ආදායම් උත්පාදනය හා දේශීය ළදරු කර්මාන්ත ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවැනි තීරුබදු අයකිරීම පිළිබදව අවධානය යොමු කරයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රතිපත්තිමය වෙනසක් මත පදනම්ව එරට නව තීරුබදු රාමුව යටතේ විවිධ රටවල්වලින් සිදු කරන අපනයන සදහා තීරුබදුවල වෙනස්කම් කරන ලදී. ඒ අනුව 2025 අගෝස්තු මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ශ්‍රී ලාංකික අපනයන සදහාද සියයට 30ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කර තිබේ. මීට පෙර මෙම ප්‍රතිශතය සියයට 44 දක්වා අගයක් විය හැකි බව ප්‍රකාශ වී තිබුණි. එහෙත් එය සියයට 30 දක්වා අඩුවීම යම් සහනයක් ගෙන දෙන්නක් වුවද මෙම තීරුබදු ප්‍රතිශතය මගින් ද මෙරට අපනයකරුවන් වෙත දැඩි පීඩනයක් එල්ල වීම නොඅනුමානය.
ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන අපනයන ගැනුම්කරුවා වෙයි. ඇගලුම් රබර් තේ හා කුඵ බඩු අපනයනය මේ අතරින් ප්‍රධාන වෙයි. 2025 අප්‍රේල් මාසයේ දී මෙරටින් ඇමරිකාවට කරන ලද අපනයන ඩොලර් මිලියන 965.97 ක්වූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත. මෙම අගය ශ්‍රී ලංකාවේ මුඵ වෙළෙද භාණ්ඩ අපනයනයෙන් සියයට 23 ක් එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ක් පමණ වෙයි. එමෙන්ම අපනයන ඔස්සේ සෘජුව හා වක්‍රව රටෙහි මිලියනයකට අධික පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සමත්ව ඇත. මෙවන් තත්වයක් මත ඇමරිකාව විසින් පනවන ලද තීරුබද්ද නිසා මෙරට ආර්ථිකයට සිදු කරන බලපෑම හඳුනා ගැනීම වැදගත්වේ. මෙමගින් සෘජුවම අංශ කිහිපයට බලපෑම් එල්ල වෙයි. ඇගලුම් කර්මාන්තය හා අනෙකුත් එකතු කළ අපනයන අංශ, සේවා නියුක්තිය, දළ දේශීය නිෂ්පාදිතය, විදේශ විනිමය ඉපැයීම් යන අංශවලට සෘඡුවම ප්‍රතිවිපාක ඇති කරන අතර මෙමගින් සිදුවන වක්‍ර හානිය ද බරපතළය.
ඇගලුම් කර්මාන්තය කෙරෙහි සිදුකරන බලපෑම
ශ්‍රී ලංකාව විසින් ඇමරිකාවට කරන ලද අපනයනවලින් ප්‍රමුඛ ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඇගලුම් නිෂ්පාදන සදහාය. එය සමස්ත ඇගලුම් ආදායමෙන් සියයට 40 ක් පමණ වෙයි. ඇගලුම් අංශය තුළ ආසන්න වශයෙන් රැකියා අවස්ථා ලක්ෂ තුනක් පමණ නිර්මාණය වී ඇති අතර එය කාන්තා ශ්‍රම සහභාගිත්වය වැඩි අංශයක්වීම ද සුවිශේෂය. ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දෙන් දැඩි ලෙස පහර වැදෙන්නේ මෙරට ඇගලුම් ක්ෂේත්‍රයටය. තීරුබදු නිසා අපනයනකරුවන්ගේ පිරිවැය ඉහළ යා හැකි අතර ඔවුන්ගේ නිෂ්පාදන සදහා එක්සත් ජනපද වෙළෙඳපොළේ අඩු තරගකාරිත්වයක් නිර්මාණය කරයි.
රැකියා අහිමිවීම
අපනයන කේන්ද්‍ර කරගත් සෘජු හා වක්‍ර රැකියා මිලියනයකට අධික ප්‍රමාණයක් රට තුළ නිර්මාණය වී ඇති අතර ඇගලුම් ක්ෂේත්‍රයට අමතරව රබර් ආශ්‍රිත නිෂ්පාදන. තේ, කෝපි, කුඵබඩු ආදි නිෂ්පාදන ආදි අංශ වෙත මෙය විසිරී ඇත. නව තීරුබද්ද නිසා මෙම අපනයන අධෛර්වත් වන අතර එක්සත් ජනපදය වෙළෙඳපොළෙහි මෙරට අපනයනවලට තරග කිරීමේ හැකියාව අඩුවෙයි. මේ හේතුව නිසා එම අංශවල කඩාවැටීමක් ඇතිවුවහොත් ලක්ෂයකට ආසන්න රැකියා අහිමිවීමක් සිදුවිය හැකිය.
විදේශ විනිමය ඉපැයීම් ගලා ඒම අඩුවීම
ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ මුහුණදුන් විදේශ විනිමය ගැටලුවල මෙරට ආර්ථිකය දරුණු අර්බුදයක් කරාගෙන යාමට සමත්විය. එම තත්වයෙන් ක්‍රමයෙන් මිදෙමින් ආර්ථිකය ස්ථාවරවීම ආරම්භවීමත් සමගම මෙරටට විදේශීය විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන අපනයන මත මෙලෙස පීඩනයක් එල්ල වීම ආර්ථිකමය වශයෙන් අහිතකර ප්‍රතිඵල රාශියක ආරම්භය විය හැකිය. අනෙක් රටවලට සාපේක්ෂව ඇමරිකාව සමග සිදු කරන අපනයන මෙරටට වෙළෙඳ වාසියක් ලබා දුන් අතර නව බද්ද හේතු කරගෙන මෙම වාසිය අහිමිවිය හැකිය. මෙරටට ගලා එන විදේශ විනිමය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 500 ක පමණ අහිමිවීමක් සිදුවිය හැකි බව අනුමාන කළ හැකිය. මෙය දිගු කාලීන ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කිරීමට ද හේතු විය හැකිය.
අගය එකතු කළ අංශ මත වන බලපෑම
නව තීරුබද්ද හේතු කරගෙන ශ්‍රී ලංකාවෙහි අගය එකතු කළ නිෂ්පාදන අංශ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල විය හැකිය. විශේෂයෙන් ඝන ටයර්, අත්වැසුම් හා කාර්මික අතරමැදි භාණ්ඩ වැනි දේ අපනයනය කරන්නන්ට පීඩනයක් ගෙන දෙයි. එකතු කළ අගය මත අපනයන සිදුකිරීමෙන්, අපනයන විවිධාංගීකරණය සදහා ශ්‍රී ලංකාව දරන උත්සාහය ව්‍යර්ථවීමට මෙය හේතුවක් විය හැකිය. එමෙන්ම වියට්නාමය, ඉන්දියාව වැනි රටවලට අඩු තීරුබදු අනුපාත පවතින බැවින් ඇමරිකාවේ ගැනුම්කරුවන් එම රටවල භාණ්ඩ වෙත මාරුවීමේ අවදානම පවතී.
දළ දේශීය නිෂ්පාදිතය මත වන බලපෑම
අපනයන කර්මාන්ත බිඳවැටීම ජාතික ආදායමට සෘජුවම බලපෑම් කළ හැකිය. කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් හැකිළී ගිය මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2024 වනවිට සියයට 5කින් ඉහළනංවා ගැනීමට සමත් විය. අපනයන අභිමූඛ නිෂ්පාදන කර්මාන්ත මගින් ඒ සදහා සැලකිය යුතු දායකත්වයක් හිමිවිය. නව තීරුබදු නිසා එම අපනයන ආදායම පහළ වැටුණොත් ජාතික ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අභියෝගයක් වනු ඇත.
මෙවන් සෘජු බලපෑම්වලට අමතරව මෙම තීරුබද්ද නිසා මෙරට ආර්ථිකයට අත්විදිය හැකි වක්‍ර ප්‍රතිඵල රාශියකි. විවිධ අංශවල රැකියා අවස්ථා අහිමිවීම නිසා රටෙහි ජනතාවගේ ජීවන තත්වය පහත වැටීමට මෙය හේතුවක් විය හැකිය. එමෙන්ම ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට අසමත්වීම හා ගෙවුම් ශේෂය මත දැඩි පීඩනයෙන් මිදීමට තවදුරටත් ණය මූලාශ්‍ර මත යැපීමට සිදුවුවහොත් ආර්ථික අර්බුදයෙන් මිදීමේ හැකියාව දුර්වල වෙයි. මේ පිළිබදව සලකා බලා අප මුහුණදී සිටින මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු වෙයි.
විසදුම් ක්‍රියාමාර්ග
එක්සත් ජනපද තීරුබදු හේතු කරගෙන මෙරට ආර්ථිකයට එල්ල වීමට ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේදැයි සලකා බැලීමේ දී ඒ සඳහා අනුගමනය කළ හැකි කෙටිකාලීන විසදුම් හා දිගුකාලීන විසදුම් පිළිබඳව අවධානය යොමුකිරීම වඩා උචිතය. කෙටිකාලීන ක්‍රියාමාර්ග සැලකීමේ දී මෙය රටෙහි ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑම් කරන ජාතික හදිසි අවස්ථාවක් වන හෙයින් දෙරට අතර සාකච්ඡා සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර එම මැදිහත්වීම කඩිනම් කිරීම හා රාජ්‍යත්‍රාන්තික මට්ටමේ සහභාගිත්වයෙන් එය සිදු කිරීම ඉතා වැදගත්ය. මෙහිදී අනෙක් රටවලට සාපේක්ෂව මෙරටට නියමවන තීරුබදු අනුපාතය වැඩි වුවහොත්, එය මෙරට අපනයන සදහා අහිතකර අන්දමෙන් බලපෑම් සිදු විය හැකි බැවින් කලාපයේ අනෙක් රටවල් සමග තීරුබදු සමානාත්මතාව ඇතිවන ආකාරයෙන් සංශෝධන සිදු කර ගැනීම වැදගත් වෙයි.
ජාත්‍යන්තර ආර්ථික කටයුතුවලින් එල්ල විය හැකි අභියෝගවලට මුහුණදීම සදහා දිගුකාලීනව ක්‍රියාත්මක කළ හැකි උපක්‍රම වෙත ගමන් කිරීම ද ඉතා වැදගත් වෙයි. ඒ සඳහා අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම හා නවෝත්පාදන කෙරෙහි යොමුවීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වෙයි. මෙහිදී නව වෙළෙඳපොළ සොයා ගැනීම හා පවතින වෙළෙඳපොළ සමග සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම ඉතා වැදගත් වෙයි. මේ අතර ශ්‍රී ලංකාව ඇතුඵ සංවර්ධනයට වෙමින් පවත්නා රටවලට අපනයන පහසු කිරීම සදහා බ්‍රිතාන්‍යයෙන් නව ප්‍රතිසංස්කරණ හදුන්වාදීමට නියමිත බව නිවේදනය කර ඇති අතර මෙවන් සහන වර්ධනය කර ගැනීම මෙන්ම කලාපීය රටවල් සමග වෙළෙඳ සබදතා ශක්තිමත් කර ගනිමින් ඕනෑම තත්වයකට මුහුණදීමේ හැකියාව වැඩි දියුණු කර ගත යුතුය.
විදේශ විනිමය ඉපැයීම් ක්‍රමවේද ලෙස එක් අංශයක් මතම දැඩි ලෙස රඳාපැවතීම වෙනුවට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම උදෙසා කටයුතු කළ යුතුය. මේ අතරට විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සදහා වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්ති අනුගමනය කිරීම, කෘෂිකර්මය සේවා වැනි අංශ තුළට ද විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම හා අධ්‍යාපනය, බලශක්ති, තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍ර තුළ ආයෝජන අවස්ථා පුඵල්කර ගැනීම පිළිබදව වැඩි අවධානය කළයුතු වෙයි. එමෙන්ම විදේශීය ප්‍රේෂණ හා සංචාරක ක්ෂේත්‍රය මගින් රට තුළට විනිමය ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතුය.
මීට අමතරව බලපෑමට ලක් වූ කර්මාන්තවලට සහයවීම සදහා රජයට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකිය. මෙවන් කර්මාන්ත දරිගැන්වෙන ආකාරයේ සහනාධාර ප්‍රතිපත්ති හා බදුසහන ලබාදීම මගින් එම අංශ මත පැටවෙන බර යම්තාක් දුරකට හෝ සමනය කිරීමට හැකියාව පවතී.
(***)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ට්‍රම්ප් බද්ද - අර්බුදයෙන් ගැලවෙන මග
ලුම්බිණි Thursday, 24 July 2025 08:02 AM
කෝ අර්බුදයෙන් ගැලවෙන මග ?