IMG-LOGO

චීනයේ හා ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකා වාසී සැමට සතුටක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායි පණිවුඩ දෙකක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සති අන්තයේ දී දැනගන්නට ලැබී තිබූ බව මාධ්‍ය  ඔස්සේ අනාවරණය විය. ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකළ දෙදින සංචාරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කර තිබූ ඉල්ලීමට සුබදායි ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ආණ්ඩුව ඒ සඳහා කැමැත්ත පළකළ බව දන්වා ඇතැයි සඳහන්ය.

පසුගිය 16 වැනිදා සඳුදා දිනයේ දී ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිල වශයෙන් දන්වා තිබුණේ ශ්‍රී ලංකාවට දිගටම ආර්ථික සහාය ලබාදීමට කැමැත්ත පළකරන බවය. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික නිපුණත්වය හේතුවෙන් රට ලබාගත් ජයග්‍රහණයකි.

ඉන්දියාව විසින් මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වෙත අදාළ කාරණය දැනුම් දෙමින් යවා තිබූ ලිපිය ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර මාධ්‍යයට නිකුත් කර තිබිණි.

ඉන්දියාවේ එම කැමැත්ත ලැබීම ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු රඳවාගෙන සිටින මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගැනීම පිළිබඳ අපේක්ෂාව විශාල ලෙස ඉහළ නැංවීමකි. ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදුන් තවත් රටක් වන චීනය ද ඉදිරි දෙවසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට  කැමැත්ත පළකරන බවට මූල්‍ය අරමුදලට සෘජුවම පසුගිය දා දන්වා තිබිණි. එය ද ශ්‍රී ලංකාවේ මූල්‍ය අරමුදලේ ණය ආධාර ලබා ගැනීම තවදුරටත් තහවුරු කිරීමක් බව ද සඳහන් කළ යුතුය. ඒ අනුව චීනයෙන් ලබාගෙන ඇති  ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට වසර දෙකක සහන කාලයක් ලැබෙනු ඇත.

කෙසේ වුවද ණය ලබාගැනීමට දොරක් විවෘත වූ පමණින් ඒ සම්බන්ධයෙන් උදම් ඇනීම සුදුසු නැත. ලබාගන්නා ණය කොහෙන් ගත්තත් ගෙවිය යුතුය. මූල්‍ය අරමුදලින් ලබාගන්නා ණය ආධාරයේ එක් පැහැදිලි වෙනසක් වන්නේ ඒ සඳහා ගෙවිය යුතු වන පොලිය අඩු අගයක් ගැනීමය. එසේම ලොවේ අඩු පොලියට එක් එක් රටවලට ණය ආධාර සපයන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් ණය පහසුකම් ලබා ගැනීමට ද මුල්‍ය අරමුදලේ සහතිකය වැදගත් වෙයි. ශ්‍රී ලංකාවට මහත් ගැටලුවක්ව පවතින විදෙස් සංචිතයේ ඩොලර් නියඟයට ද එය වැහි පොදක් වන බවත් පෙන්වා දිය යුතුය.

ලබාගන්නා ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට විදෙස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් හඳුන්වා දෙනු ලැබීය. එය රටට මහත් අවාසියක් වූ බවත් එම අවාසියේ ප්‍රතිඵල රටේ සියලු මූල්‍ය කටයුතු බලාපොරොත්තු කඩවන තත්ත්වයට තල්ලු කර දමා ඇති බවත් යථාර්ථයයි. මේ යථාර්ථය හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙයවීම ජනාධිපති ඇතුළු රජයේත් මහ බැංකු අධිපති ඇතුළු  සියලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේත් වගකීම වෙයි.

ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීමේ සතුට සැබෑ ලෙස භුක්ති විඳිය හැක්කේ ඒ ගැන උදම් ඇනීමෙන් නොව ඒ හරහා ලබා දී ඇති කාලසීමාව ලංකාවට වාසිදායක තත්ත්වයට හරවා ගැනීමෙන් සහ ඒ සඳහා සැලසුම් සහගතව ක්‍රියාකර  ලබාගන්නා ප්‍රතිඵලයෙන් පමණි. මේ කාලසීමාව ඉදිරි මාස 12 සිට 18 දක්වා පමණ දීර්ඝ වනු ඇති බවද සඳහන්ය. ඉන්දියාවේත් චිනයේත් කැමැත්ත පළවීම හේතුවෙන් මූල්‍ය අරමුදලේ යෝජිත ණය ආධාර පහසුකමේ ප්‍රථම කොටස ඉදිරි සති කිහිපය තුළ දී ලබා ගැනීමට හැකිවනු ඇතැයිද අපේක්ෂිතය.

ඉන්දියාව, චීනය හෝ අපේ රටට  හිතවත් වෙනත් රටවල් හෝ හැමදාමත් ආධාර දීමට ඉදිරිපත් වන්නේ නැති බව සියලු දේශපාලන පක්ෂ නායකයන් තරයේ සිතට ගත යුතුය. රූපවාහිනී නාළිකාවල, ජනහමු වේදිකාවල  ගිරිය පුප්පාගෙන උගුර ලේ රහවනතුරු කෑගැසුවත් රටක ආර්ථික දියුණුව රැඳී තිබෙන්නේ ඒ ඒ රටට ගැළපෙන සේ බුද්ධිමත්ව ලොවේ ප්‍රවණතා හඳුනා ගැනීමෙන් බිහිකර ගන්නා ජාතික ආර්ථික ප්‍රතිපත්ති මත පමණි.

ඡන්දයෙන් ඡන්දෙට වෙනස් වන ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් හැටියට අද දුක් විඳින්නේ මේ රටේ පොදු මහජනතාව මිස රට කරවූ පාලකයන් නොවන බවත් පෙන්වා දීම අවශ්‍යය. ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට ඉන්දියාවත් චීනයත් විසිකළ අත්වැල ශක්තිමත්ව අල්ලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය යුතුය. එම අත්වැලත් දේශපාලනීකරණය කිරීමෙන් වළකින්නැයි සියලු දේශපාලන නායකයන්ට දැනුම් දෙනු කැමැත්තෙමු.  

(***)



අදහස් (0)

චීනයේ හා ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකා වාසී සැමට සතුටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12596 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 318 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 217 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site