කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීමට සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පියවර ගැනීමත් සමගම කිතුල් කරමාන්තයට අභිමානයක් එක්ව තිබේ. පොලිසියේ නිල ඇදුම දුටු සැනින් පැන දුවන මල්කපන්නන් වෙනුවට අද දැකිය හැක්කේ බයක් සැකක් නැතිව කිතුලක් මදින කිතුල් කාර්මිකයන්ය. මේ පසුබිම සකස් කිරීම සඳහා අනපනත් පවා වෙනස් කර ඇත. මේ නිදහස් මත මෙතෙක් සැඟව තිබූ බොහේ දේ දැන කරළියට එන්නේය. කිතුල් මදින්නේ පිරිමි පමණක් නොව හරි හරියට කිතුල් ගස් නැග මල් කපා පැණි වස්සන ළඳුන්ද සිටින බව දැන් නම් නිසැකවම කිව හැකිය. මෙම ළඳුන් සොයා ගිය ගමනට පාර කැපුවේ කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීමට වෙහෙසෙන සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ආර්. සමරසිංහ මහතාය. කාර්මික සංවර්ධන මණ්ඩලයේ බදුල්ල කාර්යාලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එල්.කේ. රණවන, සහකාර අධ්‍යක්‍ෂ ආර්.එම්. කුලරත්න හා ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකාර ඩබ්ලිව්.පී.ජී. පුෂ්පකුමාර සහ ආර්.එම්.ඩබ්ලිව්.එල්. රත්නායක යන මහත්වරු මාරගෝපදේශකයෝ වූහ. වියළුව මැතිවරණ කොට්ඨාසයේ මීගහකිවුල හන්දියෙන් හැරී මොරහෙල ගමට ගියෙමු. කිතුල් මදින එක් කාන්තාවක් ජීවත්වුනේ මේ ගම්මානයේය. ඇයගේ නම සමරකෝන් ජයසුන්දර මුදියන්සේලාගේ කරුණාවතීය. 46 වැනි වියේ පසුවන ඇය පස් දරු මවකි. සිහින් සිරුරකින් හෙබි මේ උත්සාහවන්ත කාන්තාව වැඩට මෙන්ම කතාවටද රුසියෙකි. ඇය කථිකත්වය විදහා දක්වමින්ම කතාව පටන්ගත්තාය. ”මං කවදාවත් ඉස්කෝලේ ගිහින් නැහැ. මම බැදපු එක්කෙනාත් එහෙමයි. අපි දෙන්නම ගහන්නේ කණ අත්සන. මව්පියන්ගේ කැමැත්ත ඇතිව අපි විවාහ වුණා. එතකොට මගේ වයස අවුරුදු 16යි. බොරු වයසක් දාලා බැන්දා. මේ ගම්මානය ඒ දවස්වල හරිම දුෂ්කරයි. ඉස්කෝලෙ යන්නෙ කොහොමද ඒ සඳහා පහසුකම් තිබ්බෙ නැහැ. එදා විතරක් නෙවෙයි අදත් මේ ගම්මානය දුෂ්කරයි. තාම අපට විදුලිය නැහැ. මේ ළඟටම විදුලිය ඇවිත් තියෙනවා. ඒත් අපේ ගම්මාන වලට විදුලිය ලැබෙන්නේ දේශපාලනඥයන්ගේ බොරු පොරොන්දු වලින් විතරයි. කියලා වැඩක් නැහැ මහත්තයෝ අපි කාටවත් අතනොපා ජීවත්වෙන, ඇත්නම් කාල නැතිනම් බඩගින්නේ ඉන්න අය. කිතුල් කර්මාන්තය මම දන්නා කාලේ ඉදලම මේ ගම්මානවල තියෙනවා. මගේ තාත්තා කිතුල් මදිනකොට මම බලන් හිටියා තාත්තාට උදව් කලා. තාත්තා හවස් වෙනකොට මලක් කපල රාටිකකුත් බොනවා. ඒක හරිම ගුණයිනේ. මම බැන්දට පස්සේ මහත්තයා තමයි මල් කපනහැටි බේත් තියන හැටි කියල දුන්නේ. අපි දෙන්නා සහයෝගයෙන් වැඬේ කළා. ඊට පස්සේ මම තනියම මල් කපන්නයි බේත් තියන්නයි තෙල්දිය ගන්නයි හකුරු පැනි හදන්නයි පටන් ගත්තා. ගහේ නගින එක කජුකනවා වගේ සුළු දෙයක් ඔන්න බලන්න මහත්තයෝ යැයි කියමින් ඇය ගෙට දිව ගියාය. නැවත එලියට ආවේ මුට්ටියද සමගිනි පිහිය ඉනේ රුවාගෙන කිතුල් ගහට නගින්න පටන්ගත්තාය. කිතුල් ගසක බැදි පුරුක් සහිත උණගසක් මිස කිසිදු ආධාරකයක් නොවීය. ගසට නගින අතර තුරද ඇය අප දෙස බලා සිනාසුනේ මේක සුළුදෙයක් කියනා බව පසක් කිරීමටය. කිතුල් ගසේ අතුමත රැඳී කිතුල් මලේ පැණිගෙන යළි කිතුල්මල කපා මුට්ටිය බැඳ ඇය පහළට ආවේද වේගයෙනි. ඇය නැවත අප සමග කතාවට වැටුනාය. ටවුන්වල අයනම් අපි ගැන මොනව හිතයිද දන්නේ නැහැ. අපි නම් කාලයක ඉඳලා මල් මදිනවා. කිතුල් පැණි, කිතුල් හකුරු හදනවා. හැබැයි දැන් මල් අඩුයි. තෙලිදිය බෝතල් හයක් යනවා පැණි බෝතලයක් හදන්න. පැණි බෝතලය අපෙන් ගන්නේ රුපියල් දෙසීයට. හකුරු කිලෝවක් ගන්නේ දෙසීයට දෙසිය පනහට ඇය පැවසුවේ දුක්මුසු ස්වරයකිනි. අපි ඇයද කැටුව මීගොල්ල ගමට ගියෙමු. රත්නායක මුදියන්සේලාගේ සිරියාවතී (46) ජීවත්වන්නේ මේ ගම්මානයේය. සිරියාවතී පැවසුවේ දුක්බර කතාවකි. මගේ මහත්තයාව ගමේම කීපදෙනෙක් එකතුවෙල් ඝාතනය කළා. මලක් කපලා එන ගමන් මග රැක ඉදළ තමයි මහත්තයා කපල මැරුවේ. දැන් නඩුව විභාග වෙමින් තිබෙනවා. මහත්තය නැතිවුණාට පස්සෙ දරුවො හදාගන්න ලොකු යුද්ධයක් කළා කිතුල් මල් කපන්න යොමු උනෙත් ඊට පස්සේ. මට හොඳට ගස් නගින්න පුළුවන්. හැබැයි ළමයි ලොකු උණාට පස්සෙ ඒ ගොල්ල කැමැති නැහැ මම කිතුල් මල කපනවට. කොහොම නමුත් මම වැඬේ අත ඇරියේ නැහැ. කරුණාවතීලට වගේම තමයි අපේ ගමටත් විදුලිය නැහැ. මමත් කවදාවත් ඉස්කොලේ ගිහින් නැහැ. ඒ වාසනාව අපට තිබුනේ නැහැ. හැබැයි මගේ දරුවොන්ගේ දරුවෝ ඉස්කොලෙ යනවා. විදුලිය නොමැතිකම ඒ දරුවන්ගේ අධ්‍යාපනයට මහා බාධාවක්. කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කරල උදේට කියනවා ආච්චි නහය දනවා කියල. මේ බාදක මැද තමයි අපි ජීවත් වෙන්නේ ඇය පවසන අතර රෙද්ද සකසුරුවමට ඇඳගනිමින් මල්කපන පිහිය ඉනේ රුවා ගත්තාය. දැන් ඇය කිතුලේ යාමට සූදානම්ය. මුට්ටි අතින් ගෙන කඩිසර ගමනින් කිතුල් ගස පාමුලට ගියාය. ගසට වැඳ නමස්කාර කර ගසේ ඉහළට ගමන් කළාය. ඇයටද මේ ගස් ගමන ඉතා සුළු දෙයකි. කිතුල මැද සිනාසෙමින් පහළට බැස්සේ තෙලිදියද රැගෙනය. මේ ලලනාවන්ගේ කතාව කිතුල් පැණි සහ කිතුල් හකුරු තරම්ම රසවත්ය. එහෙත් ඔවුන්ගේ ජීවිත අතිශයින්ම දුක් බරය.
සටහන හා ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයවගේ අදහස් දැක්වීම වැරදියි.. අහිංසක ගැහැණු අය තමයන්ගේ ජීවිතේ පරදුවට තියලා කරන ජීවිත සටන හෑල්ලුවට ලක් කරන්න එපා.. ඔවුන් කාටවත් අත නොපා වැරදි වැඩ නොකර කරන මේ රස්සාවට අපි ගරු කළ යුතුයි..!!(නු)
අම්මා ඔබ මට ඇත්තටම ආඩම්බරයක්.. ඔබට ජය..!!(නු)
හොද කර්මාන්තයක්. නමුත් මෙම කර්මාන්තයේ යෙදෙද්දී මීට වැඩිය ආරක්ෂිත ඇදුම් ඇන්දොත් තමයි හොද නේද? (නි)
ඔබලා අපිට ගෞරවයක්. (ර)
මේ අය බඩපුරා රා බොන එකයි හිතට අමාරු. (නි)
මලට තිත. (නි)
අසංකගේ ප්‍රතිචාරයට මගේ ප්‍රනාමය.. !!(නු)
දිරිය කාන්තාවන්. (නි)
නියමයි. ලංකාවෙ මිනිස්සු ලංකාවෙ කර්මාන්ත දියුණු කළ යුතුයි. (නි)
සැර බීම වලට වඩා මේවා කොච්චර හොඳද . දේශීය නිෂ්පාධන ඉහල නංවමු....රට බීම නතර කරමු..(ස)
දිරිය මව්නි.. ඔබට අප සැමගේ ආචාරය, කුඩා කර්මාන්ත සහ සමාජසේවා අමාත්‍යංශය මෙයාලට උදව් කරන්න..!(නු)
අපේ සීයලා ඒ කාලෙ කිතුල් මැද්දෙ රා සහ තෙලිදිය බීම සඳහාමයි. අඟල් ගානට බාර් තියෙන දැන් කාලෙ රා මොකටද? පැනි සහ හකුරු සඳහා වෙහෙසෙන මේ වීරියවන්ත කාන්තාවන්ට ශ්‍රමයට වටිනා මිලක් ගෙවන්න. ප්‍රධානම දේ, මේ නිශ්පාදන අතරමැදි වෙළඳුන් විසින් කුණු කොල්ලයට කොල්ල කෑම නැවැත්විය යුතුයි. (නි)
තුෂාර, ඔබ මට පැවසීමට කිසිවක් ඉතුරු කර නැත. (නි)
මෙයාලත් බොනව ඇති නේද මේවා..(ස)
දිරිය ලදුන්. මෙහෙම කරන්නේ රා බොන්න නොවෙයි. ජීවත් වෙන්න (දී)
ජීවත් වෙන්න මිනිසුන් විදින දුක් දැක්කහම අපි තවමත් 18 වෙනි ශත වර්ෂයේද කියලා හිතෙනවා. (නි)
ජීවත් වෙන්න මිනිසුන් විදින දුකක් ? (නි)
බේබද්දො වුනාට කමක්නෙහැ මේවගේ අදහස් දැක්වීමකදි ඒවගේ දේවල් හැමෝටම පෙන්නන්න එපා කිතුල් කර්මාන්තය ගැන සදහනක් දුටු සැනින් මතක්වුනේ කිතුල් රා,බාර්,මේ කාන්තාවන් බොනඑක ගැනයි. මේ ලිපියෙ යතාර්තය තේරුම්ගන්න බැරිතරම් බේබදු මානසිකත්වයෙයෙන් පෙලෙන්නන් බහුතරයක් සිටින දේෂයක කෙසේ ඇතිවේද දේෂිය කර්මාන්තයක දියුනුවක්. (දී)
මොනතරම් අවධානම් වැඩක්ද?(නු)