IMG-LOGO

ආර්ථික වර්ධනයට බාධක

2025 අප්‍රේල් මාසය අග භාගයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරින් ලංකාවට පැමිණ ආපසු යනවිට ප්‍රකාශ කළේ ඔවුන්ගේ මාණ්ඩලික මට්ටමේ නිරීක්ෂණ කටයුතු අවසන් බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතර වැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාව ඇතිකර ගත් බවය. මෙම අරමුදලේ නිල ප්‍රකාශවල මේ වනතෙක් සඳහන් වන්නේ එම කරුණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබාගැනීමට ඊට බාධා පැමිණෙන මට්ටමේ කාරණා රට ඇතුළෙහි පවතින බවක් බැලූ බැල්මට පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවුරුදු හතරකට යටත් වන ගිවිසුමකට අත්සන් තබා තිබේ. එම නිසා හිතුමතයට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්ව ක්‍රියා කිරීමේ හැකියාවක් වර්තමාන ආණ්ඩුවට නැත. එහෙත් මාලිමා ආණ්ඩුව ජනතාවට ඉදිරිපත් කළ වැඩපිළිවෙළක් හා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තිබේ. එම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි බාධාවකි. එහෙත් මේ අවස්ථාවේ මූල්‍ය අරමුදලෙන් ඉවත් වී කටයුතු කිරීමේ හැකියාවක්ද නැත. ආර්ථික අර්බුදයෙන් මිදී ස්ථායිකරණය වී තිබුණත් අපට රට හමුවේ බලපාන ආර්ථික ගැටලු‍ තවමත් සම්පූර්ණයෙන් විසඳී නැත. 2028 දී ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට අවශ්‍ය සංචිත තවමත් ගොඩනැගී නැත. දැනට අප සතුව ඇත්තේ ඩොලර් බිලියන 6.5ක පමණ ගණනකි. මූල්‍ය අරමුදලේම කොන්දේසි අනුව වාහන ආනයනය ලිහිල් කිරීම නිසා එයින් ද විදේශ සංචිත යම් ප්‍රමාණයක් අඩු වී තිබේ.

ආණ්ඩුවේ සමස්ත වැඩපිළිවෙළ තුළ මෙම ආර්ථික කළමනාකරණය එක් පැත්තක් පමණි. ගෙවුම් ශේෂ ගැටලු‍ ඇතිනොවන පරිදි ස්ථායිකරණය රඳවා ගනිමින් විදේශ සංචිත ගොඩනගාගනිමින් උද්ධමනය පාලනය කරමින් මෙම ගමන යා යුතුව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන ප්‍රතිසංස්කරණ කොටසේ ක්‍රියාවට නැංවිය යුතු තවත් අංශ වේ. එහෙත් මාලිමා ආණ්ඩුවට ජනතාව දුන් ජනවරම  අයි.එම්.එෆ්. එකඟතා සම්බන්ධයෙන් යන ගමනට ලබා දුන් එකක් නොවේ. එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටියේ මාලිමා ආණ්ඩුවට පෙර පැවැති ආණ්ඩුවයි. මාලිමා ආණ්ඩුවට ජනතාව පුළුල් ජනවරමක් ලබා දුන්නේ තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යාමට නොව ඉන් ඉවත්වීමට අවශ්‍ය පසුබිම සකසන්නටය. පෞද්ගලිකකරණය නැවැත්වීමටය. රාජ්‍ය දේපොළ විකිණීම නැවැත්වීමටය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ඇතැම් එකඟතාවල පෞද්ගලිකකරණයටත් රාජ්‍ය දේපොළ විකිණීමටත් වැඩි බරක් ලැබේ. එසේ කිරීමට මේ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැත.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්පූර්ණයෙන් එකඟව කටයුතු කිරීම යනු නව ලිබරල්වාදී වෙළෙඳපොළ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට රාජ්‍ය දේපොළ විකුණා රාජ්‍ය සේවක කප්පාදුවක් කර ඉදිරියට යාමකි. මේ අනුව අපට පැහැදිලි වන කාරණය නම් මාලිමා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුහදව කටයුතු කරන ගමන් ජනවරම ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නා බවය. උදාහරණයකට රාජ්‍ය සේවයට අලු‍තින් 15,000ක් බඳවා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වන්නක් නොවේ. ඔවුන්ගේ නිර්දේශය නම් රාජ්‍ය සේවකයන් තව දුරටත් අඩු කිරීමය. ශ්‍රී ලංකා එයා ලයින් පෞද්ගලිකකරණය නොකිරීමට ගෙන ඇති තීරණයත් ඊට සමානය.

කෙසේ වෙතත් අප අවධානයට ලක් කළ යුතු කරුණ නම් ආණ්ඩුවට ලැබුණු ජනවරමය. ආණ්ඩුව ගොඩනැගුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොව මේ රටේ ජනතාවයි. එබැවින් එම ජනවරම ආරක්ෂා කිරීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීම වී තිබේ. ආණ්ඩුව මේ දෙක අතර යම් සමබරතාවක් පවත්වාගෙන ඉදිරියට යාමට මහන්සි ගන්නා බවක් පෙනේ. කෙටිකාලීනව ශ්‍රී ලංකා ආර්ථිකයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අවශ්‍ය නිසා එයද රඳවා ගනිමින් අසීරුවෙන් හෝ ඉදිරි ගමන සැලසුම් කිරීමට දරන උත්සාහයක් අපට මෙහිදී දැකගත හැකිය. අපටනම් පැහැදිලිවන්නේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීම අසීරු වී ඇත්තේ අයි.එම්.එෆ්. ගිවිසුම නිසා බවය. මෙම ගිවිසුම නොතිබුණා නම් ආණ්ඩුව ජනතාවට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ විධිමත්ව හා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

  රටේ දැනට පවත්නා ආර්ථික තත්වය ගෙන බැලු‍වොත් එය ඇත්තේ අසුබවාදී තැනකයැයි කිව නොහැකිය. ආර්ථික අර්බුදය නිසා ඇතිවූ අර්බුදකාරී තත්වය මේ වන විට බොහෝ සෙයින් පහවී යමින් තිබේ. උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අර්මුදල සහ ලෝක බැංකුව පෙන්වාදෙන පරිදිම සියයට 4කට ආසන්නව මේ වසරේ ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යාමට හැකි වී තිබේ. 2026 වනවිට සියයට 5 ඉක්ම වූ වර්ධන වේගයක් ළඟා කරගැනීම ඉලක්කය වේ. මෙම ආර්ථික වැඩපිළිවෙළ අනුව එම ඉලක්කය සපුරාගත හැකි වනු ඇති බව විශ්වාස කළ හැකිය.  එහෙත් ආර්ථික අර්බුදය හමුවේ මේ රටේ දිළිඳු කම දෙගුණ විය. මිලියන 1.4ක්ව පැවැති මේ රටේ දිළිඳුභාවය ආර්ථික අර්බුදය නිසා මිලියන 2.8ක් දක්වා වර්ධනය විය. ප්‍රායෝගිකව බැලු‍වොත් මෙම තත්වය ක්ෂණිකව වෙනස් කිරීම දුෂ්කරය. දිළිඳුකමට කෙටිකාලීන විකල්පයක් හැටියට අස්වැසුම වැනි සුබසාධන ක්‍රම ක්‍රියාත්මක වෙමින් පවතී. දිළිඳු ජනතාව රැකියා මාර්ග අවස්ථා සලසාගෙන ආර්ථික මාර්ගය සුරක්ෂිත කරගැනීම දක්වාම මේ සුබ සාධන කටයුතු යම් ආකාරයකින් ක්‍රියාත්මක කරන්නට සිදු වනු ඇත. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කොන්දේසියක් හැටියටද පවතී. පීඩාවට ලක් වූ ජනතාව රැක බලාගැනීම එම කොන්දේසි යටතේ වෙයි.

 2025 මැයි මාසය පමණ වන විට  උද්ධමනය පාලනය වී අවධමන තත්වයේ වෙනසක් ඇතිවී තිබේ. මෙම වසරේ මැයි වන විට පැවැතියේ සියයට 0.7ක පමණ අවධමන තත්වයකි. මේ වනවිට මහ බැංකුව අනුගමනය කරන වැඩපිළිවෙළ අනුව තව වසරක් පමණ ගතවන විට එය උද්ධමනකාරී තත්වයකට පත්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මහ බැංකු පනතේ ඉලක්ක අනුව උද්ධමනය සියයට 3ත් 5ත් අතර රඳවාගැනීම අපේක්ෂිතය. අවධමනය යනු කෙටිකාලීනව අවාසියක් නොවේ. අවධමනය යනු භාණ්ඩ හා සේවාවල මිල මට්ටම පොදුවේ අඩුවීමය. ජනතාවගේ පැත්තෙන් බැලූ විට එය නරක දෙයක් නොවේ. 2025 අප්‍රේල් මාසය වන විට මාස හතරක කාලයක් තුළ රජයේ අයභාරය සියයට 20කින් වර්ධනය වී තිබේ. එය යහපත් තත්වයකි. 

ආර්ථිකය හමුවේ අපට ඇති අභියෝගය මතුවන්නේ ඉදිරියටය. 2027 වන තුරු දැනට පවත්නා විදේශ සංචිත ප්‍රමාණවත් වනු ඇත. ස්ථායි තත්වය අනුව මාස තුනක ආනයන සඳහා සාමාන්‍යයෙන් අපට අවශ්‍ය වන්නේ ඩොලර් බිලියන 4.5ක් පමණය. එය ඉකමවා යන සංචිත ප්‍රමාණයක් අප සතුව පවතී. එහෙත් 2027 වනවිට විදේශ සංචිත ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කරගැනීමේ ඉලක්කයක් තිබේ. ණය ගෙවීම ක්‍රමානුකූලව සිදු කිරීමට නම් ඒ ඉලක්කයට යා යුතු වේ. මේ ඉලක්කය වෙත යාමට නම් ඒ සඳහා වන මාර්ග හඳුනාගත යුතුය. ආණ්ඩුව ඒ සඳහා විවිධ මාර්ග හඳුනාගනිමින් සිටින බවක් ද පෙනෙන්නට තිබේ.

ඉදිරි අවුරුදු සඳහා විදේශ සංචිත වර්ධනය කරගැනීමට හැකි එක් ප්‍රධාන ක්‍රමයක් නම් විදේශ ඍජු ආයෝජන මෙරටට ගෙන ඒමය. චීනය හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා ඩොලර් බිලියන 3ක් ආයෝජනය කිරීම උදාහරණයකට ගත හැකිය. චීනය බලශක්ති ක්ෂේත්‍රය සහ වරාය ආශ්‍රිතව සිදු කරන ආයෝජනවලින් ද විදේශ සංචිතවල වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. මේ වන විටත් විදේශ ආයෝජන ඉල්ලීම් මෙරටට ඉදිරිපත්වන බව පෙනෙන්නට තිබේ. එහෙත් රාජ්‍ය ආයතනවල දැනට පවත්නා අකාර්යක්ෂමතාව, නීතිවල පවත්නා දැඩි බව හා තීරණ ගැනීමේ ප්‍රමාද හේතු කොටගෙන එම ආයෝජන ඉල්ලීම් සදහා අනවශ්‍ය කාලයක් ගතවන බවක් පෙනෙන්නට තිබේ. රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරන ගැටලු‍ අවාසි සහගත බලපෑම් ඇති කරයි. විදේශ ආයෝජකයකු මෙරටට පැමිණ ආයෝජනයක් සදහා ඉඩමක් ගැනීමට සොයා බැලීමේදී මේ රටේ ඇති ඉඩම් නීතිය වෙනම එකකි. ආයෝජකයකුට ආයෝජනයක් සඳහා ලංකාවේ ඉඩමක් නිදහස් කරගැනීම ඉතාම අසීරු කටයුත්තක් වී ඇත. මේ නිසාම බොහෝ විට සිදුවන්නේ ලංකාවට පැමිණෙන ආයෝජකයන් ආපසු හැරී යාමය. ලංකාවේ ඉඩමක් නිදහස් කරගෙන පවත්නා නීති රීතිවලට එකඟව ආයෝජකයකුට ආයෝජනයක් ආරම්භ කිරීමට වසරක් පමණ කාලයක් ගත වේ.

ආයෝජකයන් මේ තරම් රස්තියාදු වෙමින් කල් මරන්නේ නැත. ඔවුන්ට තම ආයෝජන කිරීමට ලෝකයේ ඕනෑ තරම් රටවල් තිබේ. මේ නිසා දැන්වත් ආයෝජන සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන රාජ්‍ය ආයතන ව්‍යුහයේ වෙනස්කම් ඇතිවිය යුතුය. තීරණගන්නා විධි කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ද මෙවැනි ගැටලු‍ පවතී. ඉදිරියේදී විදේශ සංචිත ගැටලු‍ව අර්බුදයකින් තොරව විසඳා ගැනීමට නම් විදේශ ඍජු ආයෝජන වැඩි ගණනක් ගෙන්වාගැනීම කෙරෙහි අවධානය යොමුවිය යුතු බව අවධාරණය කරන අතරම එම ආයෝජකයන්ට පහසුකම් සැලසීම කෙරෙහිද දැඩි අවධානයක් යොමු විය යුතුය. එසේ වුවහොත් එය මෙරට නිෂ්පාදන ආර්ථිකය සම්බන්ධයෙන්ද යහපත් වනු ඇත.

අනෙක් පැත්තෙන් සංචාරක ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් පසුගිය මාස කිහිපයේ දැකිය හැකි අතර ඊට ඇති බාධා හඳුනාගෙන ඒවා ඉවත්කිරීමට අවධානය යොමුවීම වැදගත්ය. අපනයන ප්‍රවර්ධනයට අවශ්‍ය පරිසරයද ඒ අනුව නිර්මාණය වනු ඇත. ආණ්ඩුව මේ වනවිට ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනුණත් මීට වඩා කාර්යක්ෂම ක්‍රමවේදයක් ඊට අවශ්‍ය බව කිව යුතුය. ජපානය, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල අලු‍ත් ආයෝජනයක් අනුමත කර ගැනීමට ගතවන්නේ දින 30කට වඩා අඩු කාලයකි. එහෙත් ලංකාවේ ආයෝජනයක් අනුමත කර ගැනීමට වසරක් පමණ කාලය ගත වේ.

මේ අනුව ආර්ථිකයේ ඉදිරි මග සකස් කිරීමේදී රජ්‍ය ආයතනවල දැනට පවත්නා නීති පද්ධති, ක්‍රියා පටිපාටි, සංවිධාන ව්‍යුහය ආදිය අප අපේක්ෂා කරන නිෂ්පාදන ආර්ථිකය ගොඩ නැගීමට අවශ්‍ය වන ආකාරයට ප්‍රතිසංවිධානය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් අප අපේක්ෂා කරන ආර්ථික ගමන හා එහි ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර වනු ඇත. රාජ්‍ය ව්‍යවසාය සහ ශ්‍රම බළකාය සම්බන්ධයෙන් ද එබඳු ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වේ. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනිවාර්යයෙන් ඉවත් විය යුතුය. එහෙත් මේ ඊට සුදුසු පරිසරය නොවේ. ඒ ඉලක්කය සපුරා ගැනීමට නම් ප්‍රධාන වශයෙන්ම විදේශ සංචිත අවශ්‍ය ප්‍රමාණයට ගොඩනගා ගත යුතු වේ. එවිට ආණ්ඩුවට ජනවරම ක්‍රියාත්මක කිරීමද පහසු වනු ඇත.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

ආර්ථික වර්ධනයට බාධක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1441 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site