IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අම්මයි දුවලයි බෑනයි මාල සොරකමේ

-සර් මාල කඩන කල්ලියක් කතරගම පූජා නගරයේ ගැවසෙනවා. වැඩිහිටි අය මාල කඩන්න ඒ ගොල්ලන්ගේ කුඩා දරුවොත් යොදවාගෙන ඉන්නවා කියා තමා කියන්නේ. සෝදිසියෙන් හිටියොත් කට්ටියම අල්ල ගන්න පුළුවනි.”


කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් මහතා හමුවීමට ඔහුගේ නිල කාමරයට පැමිණි අයෙක් කියා සිටියේය. 
ඒ පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික ඔත්තුකරුවෙකි. 

20_SLTK_P20_Back
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් ධනපාල මහතාද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ පොලිස් ස්ථානාධිපති කාරියවසම් මහතා ඔහුගේද උපදෙස් මත සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් කණ්ඩායම් යොදවනු ලැබුවේ මාල කැඩුමේ නිරතව සිටින සංවිධානාත්මක කල්ලිය අල්ලා ගැනීමටය. පසුගිය සති අන්තයේ එක දිගට නිවාඩු තුනක් යෙදී තිබූ නිසාත් කතරගම දේවාලයේ ඉල්මහ පෙරහර පැවැත්වෙන නිසාත් වෙනදාට වඩා බැතිමතුන්ගෙන් දේවාල භූමිය පිරී ඉතිරි ගොස් තිබිණි.


සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කතරගම දේවාල භූමියේ තැනින් තැන සැරිසැරුවේ කිසිම කෙනෙකුට කිසිම සැකයක් ඇති නොවන  අන්දමිනි. 


අයියෝ කවුද ගැහැණු කෙනෙක් මගේ පොඩි එකාගේ චේන් එක කඩා ගත්තා යැයි කියමින් ගැහැණු කෙනෙක් කෑ ගැසුවාය. 


බැතිමතුන් අතරේ ගැවසෙමින් සිටි පොලිස් නිලධාරියෙක් ඒ සැනින් ක්‍රියාත්මක වී සැක කටයුතු කාන්තාවක් අල්ලා ගත්තේ චේන් එක කඩා ගත් දරුවාගේ පියාගේද සහාය ඇතිවය. 


කාන්තාව අල්ලා ගත් පසු ඇය සමීපයේ සිටි කුඩා පිරිමි දරුවෙක් ද අල්ලා ගත්තේ පළා යාමට උත්සාහ කළ අවස්ථාවේය. 


මම චේන් එක කැඩුවේ නැහැ සර්. මම වන්දනාවේ ආපු කෙනෙක්. මම වැදගත් පවුලක කෙනෙක්. මට අනුන්ගේ චේන් කඩන්න ඕනකමක් නැහැ. 
පොලිසිය කොටු කර ගත් 65 හැවිරිදි කාන්තාව කියා ඇත්තේ ආඩබ්ම්බරකමක් ද පෙන්වමින් යැයි කියති. 


වැදගත් පවුලක කෙනෙක් යැයි කියා සිටි කාන්තාව ළග පොඩි එකා ගෙලේ පැළඳ සිටියදී කඩා ගත් රන් චේන් පට තිබුණේ නැත. ඒත් ඒ චේන් පොට තිබුණේ කාන්තාව සමීපයේ සිටියදී පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ අල්ලා ගත් පොඩි එකාගේ කලිසම් සාක්කුවේ තිබියදීය. 


ලොකු අම්මා චේන් එක කඩලා මගේ අතට දුන්නා. මම ඒ චේන් එක කලිසම් සාක්කුවේ දා ගත්තා. 


පොඩි එකා කිව්වේ පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේය. 


දැන් මොකද කියන්නේ?


පොලිස් නිලධාරියා එසේ අසද්දි බොරු පුරාජේරුකම් කී කාන්තාව දෙන්න උත්තරයක් නැතිව බිම බලා ගත්තාය.


 මේ පොඩි එකා තමුන්ගේ කවුද?  යැයි කියා කාන්තාවගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය කිව්වේ මේ මගේ දුවගේ පුතෙක් යැයි කියාය. 


කාන්තාව රන් මාල කැඩීමට ගොස් ඇත්තේ තමාගේ මුණුබුරෙක් ද කැටිවය. 


පොලිස් කණ්ඩායම තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගත්තේ කතරගම දේවාල භූමියේ සැරිසරමින් සිටියදීය. 


මේ හයදෙනාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් අල්ලා ගත් 65 හැවිරිදි කාන්තාවගෙන් සහ ඇයගේ මුණුබුරාගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මතය. 


කලින් අල්ලා ගත් 65 හැවිරිදි කාන්තාවගේ 35 සහ 37 හැවිරිදි දියණියන් දෙදෙනා ද ඒ දියණියන් දෙදෙනාගේ දරුවන් තිදෙනා සහ එක් දියණියකගේ විවාහක සැමියාද මේ හයදෙනා අතර සිටියහ. 


කඩාගත් චේන් පොට සාක්කුවේ දමාගෙන සිටියදී පොලිසිය අල්ලාගෙන තිබුණේද එක් දියණියකගේ දරුවෙකි. 


පොලිස් අත්අඩංගුවට පත් දරුවන් හතර දෙනා අවුරුදු 08, 07, 13 සහ 19 අතර වයසේ පසුවන්නෝ වෙති. 


මේ හතර දෙනාම තවමත් පාසල් යන දරුවෝය. 


අත්අඩංගුවට ගත් අට දෙනාම පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 


දරුවන් සිවු දෙනා ඒ ප්‍රදේශයේම පාසලක ඉගෙනුම ලබති. 


අත්අඩංගුවට ගත් බෑනා 41 හැවිරිදි අයෙකි. 


65 හැවිරිදි කාන්තාවගේ එක් දියණියකට දරුවන් තිදෙනෙක් සිටින අතර අනෙක් දියණියට එක් දරුවෙක් සිටී. 


රන් මාල 06, රන් වළලු 02, රන් පෙන්ඩන් 04, බ්‍රේස්ලට් 01, පංචායුධ 01ක් සහ ඉමිටේෂන් වළලු 02ක් මෙම සැකකරුවන් සහ සැකකාරියන් සන්තකයේ තිබී පොලිසිය සොයා ගත්තේය. 


කතරගම දේවාල භූමියේ වෙස් වලාගෙන සිට රන් මාල කඩා එකම පවුලේ කල්ලිය අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් පරීක්ෂක කේ.ජී. සාලිය සංජීව, පොලිස් සැරයන් ජාගොඩ (16949) සැරයන් සමන් (28030), පොලිස් කොස්තාපල්වරුන් වන කමලසිරි (3646), ප්‍රියදර්ශන (74929) යන මහත්වරුන් හා කාන්තා පොලිස් කොස්තාපල් චමිලා (8396) මෙනවිය සහ සිවිල් ආරක්ෂක බළකායේ නියාමකවරියක වන දමයන්ති (6136) මහත්මිය විසිනි. 


සොයාගත් ස්වර්ණාභරණවල වටිනාකම ලක්ෂ 05කට ආසන්නය. 


මේවා කතරගම වන්දනාවේ ආ බැතිමතුන් කැටිව ආ පොඩි දරුවන් ගෙලේ බැඳ සිටියදී කාන්තාව හා ඇයගේ දියණියන් දෙදෙනා කඩාගත් ඒවාය. 
රන් වළලු දෙක පමණක් කාන්තාවකගේ අත් බෑගයක බහා තිබියදී සොරාගත් එකකි. 


රන් මාල කඩන කල්ලියක් කතරගම දේවාල භූමියේ දී අල්ලා ගෙන ඇති බව දැනගත් බැතිමතුන් දෙදෙනෙක් තමන් සමඟ පැමිණි පොඩි දරුවන් දෙදෙනාගේ රන් මාල කඩා ගත් බවට ඒ මොහොතේම පොලිසියට පැමිණිලි කර ඇත. සොයා ගත් රන් භාණ්ඩ අතර ඒවාද විය. 


හැටපස් හැවිරිදි කාන්තාවගේ බෑණා අත්අඩංගුවට ගෙන තිබුණේ රන් මාල සොරා ගැනීමට ආධාර අනුබල දුන් බව කියමිනි. 


පවුලේ සැම දෙනාම පිළියන්දල සිට කතරගමට පැමිණ තිබුණේ වෑන් රථයකිනි. 


ඒ වෑන් රථය 65 හැවිරිදි කාන්තාවට අයත් එකක් වන අතර එහි වටිනාකම ලක්ෂ 40ක් පමණ වෙයි. 


වෑන් රථය පදවා ගෙන පැමිණ තිබුණේ බෑනාය. 


පොලිස් බාරයට ගත් වෑන් රථය, මෙවැනි ආකාරයකට රන් මාල කඩා ඒවා උකස් කර කාලයක් තිස්සේ සිට එකතු කර ගත් මුදල්වලින් ලබා ගත් එකක් බවට තොරතුරු ලැබී තිබෙන නිසා ඒ ගැනද පොලිසිය වෙනම පරීක්ෂණයක් පවත්වාගෙන යයි. 


හැට පස් හැවිරිදි කාන්තාව එක් දරුවෙක් ද ඇයගේ දියණියන් දෙදෙනා අනෙක් දරුවන්ද  රැගෙන වෙන වෙනම කතරගම දේවාල භූමියේ සහ ඒ අවට ගැවසෙමින් මෙම රන් මාල සොරකම් සිදු කර තිබේ. 


කතරගම වන්දනාවේ එන බැතිමතුන් සමඟ සිටින අවුරුදු හතර සහ පහ වයසේ පසුවන දරුවන් දෙස ඇස් යොමා ගෙන සිටින මව සහ ඇයගේ දියණියන් දෙදෙනා එම දරුවන් ඔවුන් සමඟ පැමිණි මව්පියන් හා වැඩිහිටියන්ගෙන් හුදකලා වූ අවස්ථාවලදී හිමින් සීරුවේ කිට්ටු වී පහත් වී ඔවුන්ගේ (දරුවන්) මුහුණ සිඹ එක් වරම  රන් මාලය, බ්‍රේස්ලට් කඩා ගෙන ඒ සැණින්ම ඔවුන් සමඟ (සැකකාරියන්) ආ දරුවන්ගේ අතට පත් කරනු ලබති. 


ලොකු අම්මා හෝ අම්මලා දෙන්නා කඩා දෙන රන් මාලය හෝ බ්‍රේස්ලට් එක අතට ගත්ත ගමන් පොඩි එවුන් කරන්නේ ඒවා තමන් ඇඳ සිටින කලිසම් සාක්කුවල දමාගෙන හිමිං සීරුවේ මාරුවීමය. 


පොලිස් පරීක්ෂණවලින් මේ බව හෙළි කර ගෙන ඇත. 


ලොකු අම්මයි අම්මලා දෙන්නයි රන් මාල බ්‍රේස්ලට් කඩා ගෙන අපිට දුන්නාම ඒවා අපේ කලිසම් සාක්කුවල දමා ගන්නවා. පස්සේ ඇවිත් ඒ ගොල්ලෝ ඒවා ආයෙත් ඉල්ලා ගන්නවා. එතකම් අපි ඒවා පරිස්සමට තියාගෙන ඉන්නවා. අම්මලා අපිට නිතරම හොඳ ඇඳුම් පැළඳුම් අරන් දෙනවා. අපි ඉල්ලන ඕනෑම දෙයක් අරන් දෙනවා. අපේ සාක්කුවල තියෙන රන් මාල ඒ ගොල්ලෝ අරගෙන අපේ මුහුණ සිප සුරතල් කරනවා. යැයි පොලිස් අත්අඩංගුවට පත් වූ පොඩි ළමුන් පවසා තිබෙන බව කියති. 


අම්මලා දෙන්නා සහ ලොකු අම්මා මාල සොරකමේ යන දවස්වලට පොඩි එවුන් ඉස්කෝලේ යවන්නේ නැත. 


ඒ පොඩි එවුන්වත් සොරකමේ යොදා ගැනීමට එක්ක ගෙන යන නිසාය. 


එක් දියණියක් සැමියා සහ දරුවන් සමඟ වෙනම නිවසක පදිංචිව සිටින අතර අනෙක් දියණිය සැමියා සහ දරුවන් සමඟ පදිංචිව සිටින්නේ ඇයගේ අම්මාගේ මහ ගෙදරය. 


ඔවුන් පදිංචිව සිටින්නේ සුපිරි නිවාස දෙකකය. 


හැට පස් හැවිරිදි කාන්තාව සහ ඇයගේ දියණියන් දෙදෙනා රන් මාල කැඩීමේ සොරකමේ යන්නේ දෙමළ කාන්තාවන් ලෙස හැද පැළඳ ගෙන හිසේ මල් ද පැළඳගෙනය. 


දෙමළ කාන්තාවන් ලෙස වෙස් වලාගෙන ගියත් මොවුන් සිංහල ජාතික කාන්තාවෝය. 


මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම සංවිධානාත්මක කල්ලිය කතරගම දේවාල භූමියට පැමිණ රන් මාල කඩා ගෙන පළා ගොස් ඇත. එසේ පැමිණි සෑම අවස්ථාවකම මොවුන් දින තුන හතරක් කතරගම ගත කරන්නේ හොඳ හෝටල්වල කාමර වෙන් කර ගෙන ඒවායේය. 


කන්නේ බොන්නේ ඉස්තරම් වර්ගයේ කෑම බීමය. 


මෙවර මොවුන් නවාතැන් ගෙන සිට ඇත්තේ කතරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විශ්‍රාම ශාලාවක කාමර දෙකකය. 


මාල කැඩීමේ නිරතව සිටියදී මොවුන් පොලිසියට කොටු වූයේ පසුගිය 11 වැනිදාය. 


සැකකාරියන්ගෙන් සහ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය මේ තොරතුරු අනාවරණය කර ගෙන ඇත. 


අම්මලා දෙන්නයි ලොකු අම්මායි අපිට කරන්න ඕනෑ දේවල් සේරම කියා දෙනවා. කිසිම දෙයකට බය වෙන්න එපා පුතේ කියා අපේ හිතේ තියෙන බය අරිනවා. අපිට තියෙන්නේ කඩා ගන්න රන් මාල සාක්කුවේ දාගෙන යන එක විතරයිනේ. මුල් කාලයේ ටිකක් බය වුණා. දැන් ඒ බයක් නැහැ. අපි මේ වැඬේට අම්මලාත් එක්ක එන්න පටන් අරන් අවුරුද්දකට වැඩියි. පොලිසියට කොටු වූ පොඩි දරුවන් දෙදෙනාත් පවසා තිබෙන බව කියති. 


පෙරහරවල් හා ආගමික උත්සව පැවැත්වෙන කාලයට මෙම සංවිධානාත්මක  කල්ලිය කැලණිය රජමහා විහාරස්ථානය, කොළඹ කොච්චිකඬේ පල්ලිය, කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය, රාගම තේවත්ත බැසිලිකා පල්ලිය, නවගමුව දේවාලය, බෙල්ලන්විල විහාරස්ථානය, මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ වැල්ලවත්ත හින්දු කෝවිලට ගොස් මෙවැනි ආකාරයට පොඩි එවුන්ගේද සහාය ඇතිව රන් මාල සොරා ගැනීම සිදුකර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. 


මව්වරුන් පොඩි එවුන් මේ වැඬේට යොදා ගෙන ඇත්තේ වෙන කිසිවක් නිසා නොව කිසිවකුටත් සැකයක් ඇති නොවීමේ උපක්‍රමයක් වශයෙනි. 
සැකකාර 65 හැවිරිදි කාන්තාව මාල කැඩීමට ගොස් ඇත්තේ ඇය 20 හැවිරිදි නව යොවුන් තරුණියකව සිටියදී බවට තොරතුරු පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. 


පොලිසිය පවසනුයේ ඉන් පසු ඇය මෙය සිය දියණියන් දෙදෙනාට ද පුරුදු පුහුණු කර ඇති බවය.


 දියණියන් විවාහ වී දරු මල්ලන්ද ලැබුණු පසු ඒ දරුවන් ද රන්මාල සොරකම පුරුදු පුහුණු කර ඇත. 


හයක් හතරක් නොතේරෙන දරුවන්ද සොරකමට පුරුදු පුහුණු කර ඇති නිසා මොවුන්ට මවුවරුන් යැයි කියා කීමට හෝ ලිවීමද සැබෑ මව්වරුන්ට කරන අපහාසයක් නොවේද?


මේ අය තව දරු පැටවුන්ගේ ජීවිත ද අඳුරු අගාධයකට ඇද දමා හමාරය. 


දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් ධනපාල මහතාගේ විශේෂ උපදෙස් මත කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති. සැකකරුවන් සහ සැකකාරියන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත් කර බාල වයස්කාර දරුවන් ද එදින දක්වා පරිවාස බාරයට පත් කරනු ලැබ සිටිති. 


හැට පස් හැවිරිදි කාන්තාවගේ හා ඇයගේ දියණියන් දෙදෙනාගේ බැංකු ගිණුම්වල ලක්ෂ ගණනින් මුදල් තැන්පත් කර ගෙන තිබෙන බවට තොරතුරු ලැබී ඇති නිසා අධිකරණ නියෝග ලබාගෙන එම ගිණුම් පරීක්ෂාකර බැලීමටද පොලිසිය කටයුතු යොද ගෙන යයි. 



අදහස් (0)

අම්මයි දුවලයි බෑනයි මාල සොරකමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site