ලංකා සමාජයේ පසුගිය දශක කිහිපය තුළ පැහැදිලිව හඳුනාගත හැකි කාරණයක් නම්, ත්‍රස්තවාදය අවසාන වීමත් සමගම සංවිධානාත්මක අපරාධවල යම් වර්ධනයක් දක්නට ලැබීමයි. එය මහජනතාවගේ ජනජීවිතයේ නිදහස සහ ආරක්ෂාවට බලපෑම් කිරීම දක්වාම වර්ධනයක් මේ වන විට දැකිය හැකිය. ඇතැම් සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ රැහැනට හසු වූ අවස්ථාවල මහජනයා දැක්වූ ප්‍රසංශාත්මක ප්‍රතිචාරවලින්ම ඒ බව පැහැදිලි වේ.
දරුණු ගණයේ පාතාල කල්ලි බොහොමයක් ඍජුවම සම්බන්ධ වන්නේ එක්කෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සමගය. එසේත් නැති නම් කුලියට මිනී මරන අපරාධ සමගය. ඊටත් අමතරව පුද්ගල පැහැර ගැනීම්, තර්ජන ගර්ජන ආදි කටයුතු සම්බන්ධයෙන් ද සංවිධානාත්මක අපරාධ කල්ලිවල යම් සම්බන්ධයක් දැකිය හැකිය. මෙම අපරාධ කල්ලිවල පසුබිම නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, එම කල්ලි සාමාජිකයන් අතර වැඩි පිරිසක් ත්‍රිවිධ හමුදාව අතහැර ගිය පුද්ගලයන් සිටින බවය. නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත්ව සමාජගත වන ඇතැමුන් ලබා ඇති අවි ආයුධ පුහුණුව ආදිය සමාජ අනර්ථකාරි ක්‍රියා සඳහා භාවිත කරන අතර, ආදායම් මාර්ගයක් ලෙස අපරාධ කල්ලි හා සම්බන්ධව ක්‍රියා කරන බව ද පැහැදිලිය. ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් බොහෝ රටවල ඉතා පැහැදිලි දත්ත වර්තා සැකසී තිබේ. එවන් දත්ත වාර්තා අත්‍යවශ්‍යය. මේ බොහෝ දෙනා වැඩි වශයෙන්ම සම්බන්ධ වී සිටින්නේ මත්ද්‍රව්‍ය ජාලයත් සමගය. මත්ද්‍රව්‍ය ජාලය මර්දනය වුවහොත් පාතාල ක්‍රියාකාරකම් ද සැලකිය යුතු මට්ටමකින් අඩු වන්නට පුළුවන.
ලෝකය පුරා ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි බොහොමයක් තම මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ කොතැන සිට ද? මූලිකවම ගතහොත්, බන්ධනාගාරවල සිට පවා මෙම කටයුතු මෙහෙයවමින් කප්පම් එකතු කිරීම් ගැන තොරතුරු පසුගිය කාලයේ අසන්නට ලැබිණ. බන්ධනාගාරවල සිටම දුරකතන භාවිත කළ අවස්ථා ගැන තොරතුරු දැක්වුණු අවස්ථා තිබේ. එසේ සිදු විය හැක්කේ කුමන පසුබිමක් යටතේ දැයි සොයා බැලිය යුතුය.
පැහැදිලිව පෙනෙන අනෙක් කරුණ නම්, මෙම පාතාල ක්‍රියාකාරකම් බොහොමයක් මෙහෙයවන්නේ ජාත්‍යන්තර ජාලයක සබඳතා සහිතව වීමය. එම ජාත්‍යන්තර ජාලය තුළ ද වඩාත් ප්‍රකටව තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයය. ඒ සඳහා හේතුවක් තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ‘කළු සල්ලි’ සංසරණය වඩාත් පහසු වී තිබීමය. ‘මුදල් විශුද්ධිකරණය’ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැඩි උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. මේ වාසිය සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රයෝජනයට ගන්නා බවක් ද දැකිය හැකිය. එමීර් රාජ්‍යයට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ද අපරාධ කල්ලි ජාත්‍යන්තර වශයෙන් මෙහෙයවන බව පෙනෙන්නට තිබේ. ඇතැම් අපරාධ කල්ලි නායකයෝ වඩාත් සුරක්ෂිතව පවුල් පිටින් එම රටවල සිට අපරාධ මෙහෙයවති. එසේ අපරාධ මෙහෙයවන පුද්ගලයන් නීතියේ රැහැනට හසුව බන්ධනාගාරගත වුවත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මාර්ගයෙන් තම කටයුතු පවත්වාගෙන යනු දැකිය හැකිය.
සංවිධානාත්මක අපරාධ කල්ලි ඍජුව සම්බන්ධ වන අපරාධ කෙබඳු ඒවා දැයි පැහැදිලිව හඳුනා ගැනීම මෙම අපරාධ මර්දනයේ දී වඩාත් වැදගත් වේ. ලෝකයේ බොහෝ රටවල ‘සංවිධානාත්මක අපරාධ පනත’ ක්‍රියාත්මක වන්නේ මේ පසුබිම මතය. එහෙත්, ලංකාවේ තවමත් ‘සංවිධානාත්මක අපරාධ පනත’ ක්‍රියාත්මක වන්නේ නැත. අපරාධ නිර්වචනය කරන ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම පනත වන්නේ ‘දණ්ඩ නීති සංග්‍රහය’යි. මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, ඊට අනුබල දීම ආදි බොහෝ කරුණු එහි ඇතුළත්ය. එහෙත්, මෙහි ‘සංවිධානාත්මක’ යන කොටස ඇතුළත් වන්නේ නැත.
දණ්ඩ නීති සංග්‍රහයට අමතරව අපරාධ නිර්වචනය කෙරෙන තවත් පනතක් වන්නේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනා එවකට අධිකරණ ඇමැතිවරයාව සිටි දේවනායගම් මහතා පැහැදිලිව පෙන්වා දෙන්නේ, ‘උතුරේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක කල්ලි මගින් අපරාධ කෙරෙන’ බවය. හිටපු ඇමැතිවරයාගේ එම ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවල සඳහන් වේ. ඔහුට කල්තියාම ඒ බව තේරුම් ගොස් තිබිණ. මෙම පනත ගෙනාවේම ත්‍රස්තවාදීන්ගේ මිනී මැරුම්, කප්පම් ගැනීම් ඇතුළු බරපතළ ගණයේ අපරාධ මර්දනය කිරීමේ මූලික අරමුණ ඇතිවය. එහෙත්, ත්‍රස්තවාදය නිම වූ කාලයේ පමණක් නොව ත්‍රස්තවාදය පවතින අවස්ථාවල දී පවා ඇතැම් තැන්වල දී මෙම පනත අවභාවිත විය. අද අප අත්විඳින්නේ එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීමේ ප්‍රතිඵල බව මෙහිදී මතක් කළ යුතුය. මෙම අවභාවිතය තුළ ඇතැම් දේශපාලනඥයෝ ඇතැම් පාතාල කල්ලිවලට රැකවරණය සැපැයූහ. මිනිස් ඝාතන චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ ඇතැම් පාතාල කල්ලි නායකයෝ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූහ. ඇතැම් පාතාල කල්ලි සාමාජිකයෝ ඇතැම් දේශපාලනඥයන්ගේ සුරතලුන් බවට පත්වූහ. ඇතැම් දේශපාලනඥයන් සමග ප්‍රධාන පෙළේ පාතාල නායකයන් මිත්‍රශීලි සබඳතා පැවැත්වූ අන්දම දැන් දැන් අනාවරණය වෙමින් පවතී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සැබෑ අරමුණ යහපත් වුවත්, එය වරින් වර අවභාවිත වීම නිසා එය පලිගැනීමේ චේතනාව මත ක්‍රියාත්මක වූ අවස්ථා ඉතිහාසයේ දැකිය හැකිය. සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් ඇතුළු අවදානම් හමුවේ ඇමෙරිකාව මේ වන විට දේශප්‍රේමි පනත හඳුන්වා දී තිබේ. මේ අනුව පෙනෙන්නේ, අපරාධ මර්දනය කිරීම සඳහා විවිධ රටවල් නව නීති හඳුන්වා දෙමින් සිටින බවය.
සංවිධානාත්මක අපරාධ යනු, කිසියම් පිරිසක් එක්වී සංවිධානගත වී බරපතළ අපරාධ ක්‍රියා හෝ මූල්‍ය වංචා, සොරකම් ආදිය සිදු කිරීමය. මෙසේ සංවිධානය වන කල්ලිවලට එරෙහිව ක්‍රියා කිරීමේ බලතල පොලිස් නිලධාරීන් ද සතු වේ. එම බලතල යටතේ ක්‍රියාත්මක කෙරෙන කටයුතු ද නඩු කටයුතු ආදියෙහි ප්‍රයෝජනයට ගැනේ. මේ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධි බලතල සහිත පනතක් සේ සැලකිය හැකිය. සංවිධානාත්මක අපරාධ සම්බන්ධව නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමේ තීරණයක් සම්බන්ධයෙන් නව රජයේ අවධානය යොමු වී ඇති බව පෙනේ. එය යහපත් තත්වයකි. අධිකරණවල වෙනත් නඩු කටයුතු ආදිය බහුල නිසා දැනට සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සිදුවන නඩු කටයුතුවල යම් ප්‍රමාදයක් සිදු විය හැකිය.
සැකකරුවන් සඳහා ඇප ලබා දීමෙන් පසු ඔවුන්ට නැවත සංවිධානය වීමේ අවස්ථා ඇතැම් විට ලැබිය හැකි නිසා, මේ සම්බන්ධ නඩු තීන්දු ප්‍රමාදයකින් තොරව පැවැත්වීම වැදගත් වේ. නව තීරණයට අනුව සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමෙන් එම ප්‍රමාදය වළක්වාගත හැකිය. පරීක්ෂණ කටයුතු පහසු කරගැනීම සඳහාත්, සැකකරුවන් නීතියේ රැහැනට හසු කරගැනීම සඳහාත් ජාත්‍යන්තර වශයෙන් සබඳතා වර්ධනය කරගත යුතු අතර, ඒ සඳහා නව තාක්ෂණය භාවිත කළ හැකිය. මේ වන විට ශ්‍රී ලංකාව අන්තර්ජාතික පොලිසියේ විශ්වාසය දිනාගෙන තිබේ. එම නිසාම අපරාධකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට නිකුත් කරන රතු නිවේදන කෙරෙහි ජාත්‍යන්තරයේ සැලකිල්ල ලැබී තිබේ.
මේ තත්වය තවදුරටත් සවිබල ගැන්වීම සඳහා ශක්තිමත් උදර්පන නීති පද්ධතියක් ඇති කිරීම වැදගත් වේ. මේ අනුව, සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාවට නැගිය යුතු ක්‍රම වේද කිහිපයක් අවධාරණය කළ හැකිය. එකක් නම්; සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාවෙන් බැහැරව වෙනත් රටක සිටිත් නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ දී අන්තර්ජාතික පොලිසියේ සහාය ලබාගත යුතු වේ. එම සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු ලංකාවට රැගෙන ඒමට නම් සැකකරුවන් අපරාධකරුවන් මාරු වීමේ නීතිය වන උදර්පන නීතිය ශක්තිමත් කළ යුතුය. විදේශ අමාත්‍යාංශය මැදිහත් වී වෙනත් රටවල් සමග උදර්පන ගිවිසුම් ඇති කරගැනීම මෙහිදී වඩාත් වැදගත්ය.
දෙවැන්න නම්: සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගත් විට අධිචෝදනා පැවැරිය යුතුය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරයට පත්වූ පසු එක්සත් ජාතින්ගේ වදහිංසා විරෝධි පනතට අත්සන් තැබුවාය. ඒ යටතේ 1994 දී ලංකාවේ සියලු වදහිංසා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සම්මුති පනතක් ඇති කෙරිණි. එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සම්බන්ධ නඩු මහාධිකරණයේදී විභාග කෙරුණු අතර, එහිදී පොලිසියට ද බලතල පැවැරුණි.
වැදගත් කාරණයක් නම්, මෙම සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නන් පිළිබඳ සොයා බැලීම සඳහා පොලිසියේ වෙනම ඒකකයක් ක්‍රියාත්මක විය. එම අංශවල සක්‍රීය සේවාව මේ සඳහා යොදා ගත හැකිය. එම නිලධාරීහු මේ සම්බන්ධයෙන් වඩා හොඳ පුහුණුවක් ලබා සිටිති. සංවිධානාත්මක අපරාධකරුවන් අල්ලා ගැනීම සම්බන්ධ හොඳම පුහුණුවක් ලැබූ ප්‍රධාන රටවල් තුනක් වෙයි. ඒ, සිංගප්පූරුව, ඇමෙරිකා එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යයයි. එබැවින්, එම රටවල සහයෝගය ද මේ සඳහා ලබාගැනීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. මේ සියලු කාරණා සඳහා නව තාක්ෂණය යොදා ගැනීමේ අවශ්‍යතාව පවතී.
නීතිය පැත්තෙන් වගේම පොදු සමාජය පැත්තෙන් ද සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනයට සහයෝගය අවශ්‍ය වේ. සංවිධානාත්මක අපරාධ කල්ලිවල දැකිය හැකි තවත් ලක්ෂණයක් නම්, කල්ලි කල්ලි අතර ගැටීම් ඇති වීමය. විවෘත සමාජයේ කෙරෙන වෙඩි තැබීම් ආදිය මේ නිසා දැකිය හැකි අතර, එය පොදු ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලපාන කාරණයකි. එබැවින්, මහජන විමසිලිමත්භාවය ඉතා වැදගත් වේ. එම විමසිලිමත් බව සහ තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියා අවම කිරීමට බලපානු ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය සඳහා වත්මන් ආණ්ඩුව සහ රජය මේ වන විට අවධානය යොමු කර ඇති බව පැහැදිලිය. වත්මන් ආණ්ඩුව බලයට එන්නට පෙර සිටම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ‘අපරාධ මර්දනය’ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබිණ. ඊට අදාළව ආණ්ඩුව එම පොරොන්දු ප්‍රතිපත්තිවල පළමු පියවර තබා තිබේ.
ඒ සමගම පොලිසියට ස්වාධීනව ක්‍රියා කිරීමේ බලය ද පවතී. එහෙත්, මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ දී ආණ්ඩුවට විශාල අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි, කණ්ඩායම් ජාත්‍යන්තරයේ සිටින අපරාධ කල්ලි සමග සම්බන්ධ වන නිසා එම සබඳතා දුර්වල කෙරෙන ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කළ යුතුව ඇත. රජය මේ සම්බන්ධ ජාත්‍යන්තර පොලිසිය සමග සබඳතා ඇති කරගනිමින් ඊට ශක්තිමත් පියවරක් තැබිය යුත්තේ මේ නිසාය. එය බැලූ බැල්මට සරල ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ, එම පාතාල කල්ලි කණ්ඩායම් පිනවූ දේශපාලකයන් තවමත් සිටිය හැකි නිසාය. අපරාධ මර්දනයට ශක්තිමත් අඩිතාලමක් ඇති කරගැනීම සඳහා පොදු ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කරගැනීම වැදගත්ය. තොරතුරු ලබා දෙන ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ද එහිදී තිබිය යුතුය.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අපරාධ රැල්ල මට්ටුව