.jpg)
‘ඔය ටූත් බ‍්‍රෂ් එක දැන් මාසයක් විතර. කෙඳිත් එහෙට මෙහෙට වෙලා; පරණයි. අලූත් එකක් ගන්න; පරණ එකෙන් දත් මදින්න හොඳ නෑ.’
මව්පියෝ ද වෛද්‍යවරු ද දරුවන්ට කියති.
‘මොකක්ද පුතා ඔය ‘හම්පඩ කලිසම’ හැමදා ම අඳින්නෙ? හරියට ඇඳුම් නෑ වගේ; වෙන එකක් අඳින්න. ඔයා හරියට ‘යුනිෆෝම් කාරයෙක්’ වගේ..’
තමන් ‘කැමති’ එක ම කලිසම, ‘ආස’ කලිසම, නිතර ම අඳින පුතාට අම්මා කියන්නී ය.
‘මොකද්ද අප්පා! හැමදා ම ‘පරිප්පු’. වෙනස් කෑමක් හදන්නකෝ? නැත්නම් ‘වෙන ක‍්‍රමයකට’ හදන්නකෝ’
දරුවෝ අම්මලාට කියති.
අලූත් දෙයක්, වෙනස් එකක්, වෙනත් ක‍්‍රමයක් පිළිබඳ යෝජනා, චෝදනා, සංයෝජනා ගෙදරදොරේ ගලන්නේ ය.
‘හින්දි ෆිල්ම් හැම එකක ම තියෙන්නේ එක ම ‘වට්ටෝරුව’ ය. හැබැයි ‘ත‍්‍රී ඉඩියට්’ ටිකක් වෙනස්. අපි බලමු ද?’ මාගේ මිත‍්‍රයෙක් කී ය.
‘මෙගා නාට්‍යය හැම එකක් ම එක වගේ. ගෑනු තුන්දෙනෙක් ලස්සනට ඇඳගෙන සාලෙ මැද්දෙ පවුඩර් දාගෙන රණ්ඩු කරනවා. ව්‍යාපාරයකට හරි, මිනිහට හරි ‘අපේ අම්මා පරණයි; තාත්තගෙන් දැන් වැඩක් නෑ; බිරිද ස්වාමියා දැන් ඉස්සර වගේ ‘තරුණ’ නෑ; ළමයි ලොකුයි; පොඩි ළමයි නෑ; යනාදිය ආධ්‍යාත්මය බැදුණු, ඥාතීත්වය බැදුණු ලේ මස් ඇට නහරවලට බැදුණු ආත්මීය කාරණාවන් ය. අපට භෞතික පරිසරය වෙනස් කරන ඉක්මනට ආත්මීය කාරණා වෙනස් කළ නො හැකි ය. එහෙත් පුරුෂාර්ථ, මානවධර්මතා, ආධ්‍යාත්මික ජීවිතය සහ වෙනස් කිරීමට අකමැති ‘පෙකණිවැලේ’ සම්බන්ධතා ද ටිකෙන් ටික වෙනස් වේ. තරුණ පෙම්වතාට කෝක බැලූවත් එක වගේ. හඳයාගෙයි ප‍්‍රසන්නගෙයි ටෙලිනාට්‍ය ඔයිට’ වෙනස්. අඩු ගානේ ‘ටෙලි පුන්නක්කු’ වෙනුවට ඒවගේ ‘මනුෂ්‍ය කෑමක්’ තියෙනවා. පුන්නක්කු කන ‘හරක්’ නොවී ‘මිනිස්සු’ වෙමු ද?’ රැඩිකල් විචාරක තරුණයෙක් කියන්නේ ය.
ජේ. ආර්, ඞී. එස්, එස්. ඩබ්ලිව්, පේ‍්‍රමදාස, විජේතුංග, ඇන්. ඇම් කවුරු කවුරුත් ඇන්දේ පැළැන්දේ හැමදා ම එක ම විදිහට ය. අපේ අම්මා අප්පච්චිගෙ ඇඳුමේ පැළඳුමේ ද කවදාකවත් ‘ලොකු වෙනසක්’ තිබුණේ නැත. ඒත් අපේ ජීවිත එහෙම නො වේ ම ය. වෙනසක් ම ඉල්ලන්නේ ය. වෙනස පිළිබඳ කරදරය නිරන්තරව ම වද දෙන්නේ ය. වෙනස නො මැති නිසා ම හිතට වද වෙමින් වි`දවන්නේ ය.
රුසියාව ‘සමාජවාදය’ එපා වී දේශපාලන වෙනසකට ගියේ ය. චීනය, කියුබාව සහ වියට්නාමය පමණක් නො ව චිලී සහ ජර්මනිය ද ‘වෙනස’ ඉල්ලූවේ ය. ‘වෙනස’ වෙනුවෙන් සිරියාව, අයර්ලන්තය පමණක් නො ව රුමේනියාව හා තවත් බොහෝ රටවල් අප‍්‍රමාණ මනුෂ්‍ය ජීවිත සහ භෞතික සම්පත් විනාශ සිදු කරගත්තේ ය.
‘ඔයාගෙ දැන් ‘බඩ’ ඇවිල්ල. ඩෙනිම් අඳින්න එපා; කැතයි. ඔයා දාන්නෙ කොල්ලෝ දාන සපත්තු’
මගේ බිරිඳ ද පුතා ද මට සෝපහාස කරති; මා ලජ්ජාවට පත් කරති. මට ‘වෙනස්’ වන ලෙස ඔවුහු කියති. මට කොලෙස්ටරෝල් හා ඩයබිඩික් නිසා තෙල් කෑම නො දෙති. මට සීනි තහනම් ය.
මම ආසාවට ඔවුනට හොරෙන් ඉඳහිට තෙල් කෑම ද සීනි ද කමි. ඉස්සෝ දැල්ලෝ මට තහනම් ය. ඒ මා ‘ආස ම’ දේවල් ය. මට අවස්ථාව ලැබුණු සැනින් ඉස්සෝ හතර පහක් ‘හොරෙන්’ රස කරමි. හොරෙන් වෙනත් රහක් ලැබීම ද සතුටකි.
‘ගෙදෙට්ට වෙලා ඉඳලා එපා වෙලා. නිවාඩුවකට කොහේ හරි යමු.’ මගේ බිරිඳ කියන්නී ය. ‘හැමදා ම රස්සාවට ගිහිල්ලා එපා වෙලා. දවසක් නිවාඩු දාලා ගෙදර ඉමු.’ මගේ මිත‍්‍රයාගේ බිරිඳ කියන්නී ය. ‘හැමදා ම කඩෙන් කාලා එපා වෙලා. ගෙදර මොනවහරි උයාගෙන කන්න ඕනි.’ රැකී රක්ෂාවලට යන්නෝ කියති. ‘එක ම කෑම ගෙදරින් කාලා එපා වෙලා. රෑට එළියට ගිහිල්ලා ‘ඩිනර්’ ගමු. නිතර ම ගෙදරින් කෑම ගන්නා දරුවෝ යෝජනා කරති.
ජංගම දුරකථන දහය පහළොවක් ම මම වෙනස් කළෙමි. එකක් තාක්ෂණික හේතු ය. දෙක විලාසිතාව ය. මගේ මුල් ම ‘ගඩොල් භාග සෙල්ටෙල් එක ගැන මට දැන් ලජ්ජා සිතෙයි. ‘ඔයා දැන් මේවා අඳින්නේ නෑ. කාට හරි දෙමු.’ කියා මගේ පරණ සපත්තු ද කලිසම් කමිස ද ගෙදරින් එළියට විසි වෙන අවස්ථා බොහෝ ය. ‘පරණ එක වෙනුවට අලූත් එකක්’ යනු වෙළඳ දැන්වීමක් පමණක් ම නො ව ඇත්ත ජීවිත කියවීමක් ද වන්නේය.
දැන් අපි ඞීමන් ආනන්දගේ මාරක කතා කියවන්නේ නැහැ. චිත‍්‍ර කතා ද නැත; පේ‍්‍රම කතා ද නැත. කාලයක් ‘0’ කණ්ඩායමේ පොත් කිය වූ මගේ බිරිඳ දැන් බෞද්ධ පතපොත කියවන්නී ය. ටී. වී. බැලූ පුතා දැන් නිතර ම අන්තර්ජාලයේ ය. ඔවුහු අලූත් වෙති; වෙනස් වෙති.
‘ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි.’ යන්න හැම ගෙදරක ම බිරිඳගේ ‘පුරුෂ කේන්ද්‍රීය’ චෝදනාවයි. පෙම්වතා ද, ස්වාමියා ද, පෙම්වතිය ද බිරිඳ ද දරුවෝ ද වෙනස් වී ඇත. වෙනස් නො වී ඇත්තේ එක ම දෙයකි. ‘ඔයා මට ආදරෙයි ද?’ යන සදාකාලික ව අසන ප‍්‍රශ්නය පමණකි. පේ‍්‍රමය ආරම්භ වූ දිනයේ සිට මැරෙන තෙක් ම විසදුම් නැති, වරදක් ඇතත් නැතත් සැක සහිත අනවරතයෙන් කුහුල වඩන ප‍්‍රශ්නය එයයි. ඔයා මට ආදරෙයි ද? එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදියා වෙනස් වී පුනරුත්ථාපනය වී ඇති බව පත්තර කියන්නේ ය. ආණ්ඩුව ද වෙනස් විය යුතු බව කියැවෙන්නේ ය. ‘වෙනස්’ අයවැයක් මිනිස්සු බලාපොරොත්තු වෙති. ‘අපේ ගෙදර’ පරිසරය දහදොළොස් වතාවක් වෙනස් කළේ මගේ වුවමනාවට වඩා මගේ බිරිඳගේ වුවමනාවට ය. ‘සුදු යකඩ වැට පරණයි’ අපි වෙනස් කළෙමු. ‘පුටු සෙට් එක පරණ ස්ටයිල් එකේ..’ වෙනස් කළෙමු. ‘ලෑම්ප් ෂෙඞ්, ගෙදර කර්ටන් හැමදා ම එක ම විදිහයි’
අලූත් කළෙමු.
ඒ සියලූ වෙනස් කිරීම් ගැන වර්තමාන කතාව ද හරි ම කලකිරෙන සුලූ ය.
‘කිසිම තේරුමක් නැති දේවල් අපි කළේ. අපරාදේ...’
දැන් ආගමික දෘෂ්ටිය, අල්පේච්ඡුතා වෙනස අපි අපේක්ෂා කරමු.
ඉහතින් කී සියල්ල අපේ භෞතික ජීවිතයට සහ පරිසරයට අදාළ ව කළ වෙනස්කම් ය.
අපට අපේ අම්මා, තාත්තා, දරුවා, බිරිඳ, ස්වාමියා, පෙම්වතා, ආගම යනා දී දේවල් වෙනස් කරන්නට අලූත් කරන්නට ඉඩ නැත්තේ ඇයි?
දැන් බොහෝ ගෙවල්වල පීතෘ මූලික ගෞරවය හෙවත් ‘පියා’ මූලික වීම දක්නට නැත. ඉස්සර ‘තාත්තා’ ලොකු ය. අම්මා පුංචි ය. දැන් තාත්තා ‘පුංචි’ වී අම්මා ‘ලොකු’ වී ඇත. දරුවාට පියා අහිමි වී අම්මා සමීප වී තිබේ. තාත්තා දුර ය. අම්මා ළග ය. බොහෝ අම්මලා ද තාත්තා ව හෑල්ලූ කරමින් ක‍්‍රියා කරති. අම්මාට ඕනෑ හැටියට ගෙදර දොර බොහෝ දේ සිදුවන බැවිනි. දැන් පවුල පවතින්නේ තාත්තා අම්මා වෙලා ය; අම්මා තාත්තා වෙලා ය.
මේ වෙනසට පෙරදිග රටවල් සහ අපරදිග රටවල් මුහුණ දෙන ආකාරය විවිධ ය; වෙනස් ය. ලංකාවේ මොනවා වෙනස් කළත් ‘බිරිඳ’ වෙනස් කිරීමට ඉඩ නැත. පෙම්වතිය වෙනස් කිරීමට ද ඉඩ නැත. එකී යෝජනාවම ‘මාරාන්තික ෂොක්’ එකකි. ප‍්‍රචණ්ඩත්වය කැඳවීමකි. ‘වෙනස් වුණොත් තෝ මරනවා’ තරමට සාහසික ක‍්‍රියාවලියකි. බිරිඳ හෝ ස්වාමියා වෙනස් කිරීමට යෝජනා කිරීම ම ‘ජීවිතය සහ මරණය’ අතර මාරාන්තික අරගලයක ආරම්භයකි. විඳවීම වෙනුවට පළිගැනීම කැඳවීමකි. එය ස්ථීර ව ම මානසික ලෙඩකි. සෞඛ්‍ය සම්පන්න මට්ටමකින් වෙනස් වීමට අපේ සමාජ, සංස්කෘතික, දේශපාලන සහ ආගමික සමාජය ලාංකික අපට ඉඩ දෙන්නේ නැත.
යුරෝපීය සමාජයේ දී ‘වෙන්වීම’ හා ‘වෙනස් වීම’ මානව ජීවිතය ලොකුවට ‘ෂොක්’ කරන්නේ නැත. හේතුව විමසීම සහ ඉනික්බිතිව ඉඩ දීම එහි දී බොහෝ විට සිදු වේ. මගේ අදහස එය වඩා ශිෂ්ටාචාරවත් බව ය. පවුල, විවාහය, පේ‍්‍රමය ආශි‍්‍රත බොහෝ වෙනස්වීම්වලට අපේ සමාජයේ ඉඩක් නැත. එනිසා ‘වෙනස’ ‘හොරෙන්’ කර ගැනීමට ලාංකිකයා වෙහෙසෙති. ‘වෙනස’ අනිවාර්ය මිනිස් අවශ්‍යතාවකි. මනුෂ්‍ය ජීවිත සම්බන්ධ ව මෙම වෙනස ලාංකිකයා ‘ෆැන්ටසියක් හරහා’ කර ගනිති. ඔබගේ බිරිඳගේ ද ස්වාමියාගේ ද පෙම්වතාගේ ද පෙම්වතියගේ ද ජීවිතය තුළ ෆැන්ටසියක් තිබෙන බව ඔබ තේරුම් ගත යුතු ය. ඔවුහු එය යුරෝපයේ මෙන් යථාර්ථයක් කර නො ගනිති. යුරෝපීය සමාජය එහිදී අපට වඩා විවෘත ය; ශිෂ්ට ය. වද විඳවිඳ විඳවන්නේ නැතිව ඔවුහු ‘වෙනස’ යථාර්ථයක් කොට ගනිති.
‘ජීවිතය විග‍්‍රහ කිරීමේ දී, විශේෂයෙන් පේ‍්‍රමය සහ ලිංගිකත්ව විෂයේ දී සැකය, ආසාව, ලිංගික ඊර්ෂ්‍යාව ස්වාභාවික ය. ඕනෑ ම සමාජයක දී ලිංගික සහසම්බන්ධතාවයක දී එය ස්වාභාවික ය. එහි දී ‘වෙනස’ අලූත් වීම මානව අවශ්‍යතාවයකි. ශිෂ්ටාචාරය ගොඩනැඟෙන්නේ එකී අපේක්ෂා සමහරක් කේන්ද්‍ර කොට ගෙන ය. යුරෝපීය සමාජය තමන්ට අවශ්‍ය මානවීය වෙනස්කම් ‘සෞඛ්‍ය සම්පන්න’ ලෙස සිදු කර ගනිති.
අපි එය ‘ලෙඩක්’ කරගෙන සිටිමු. අප දිනපතා පුවත්පත්වල දකින බොහෝ අපරාධ එකී රෝගයේ ප‍්‍රතිඵල ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක් සොයා ඇව්දිමි මහ කතර දිගේ.. දවසක් දෙකක් නොව මුළු කාලයම වගේ.. දහසක් දෙනා දුටුවත් මිරිඟුවක අගේ.. මනසක් තිබේ ඒකද ඇති කරුමෙ මගේ.(නදී)
සන්නස්ගල ගුරු පියාණෙනි ඔබට සැමදා ජයවේවා (දී)
යුවලක් විවාහ වීමට පළමුව නොගැලපීම් මත වෙන්වීම ගැන කිසිම ගැටළුවක් නැහැ. ලාංකික සමාජයට මෙය ඇත්තටම අරුමයක් නෙමෙයි. තමන්ගේ ජීවිතයේ ඉදිරි කාලයේ දුක සැප බෙදාගන්න කෙනාව නිවැරදිව තෝරා ගන්නට හැමෝටම අවස්ථාවක් තිබිය යුතුයි. නමුත් විවාහවීමෙන් පසුව වෙන්වීම විසදුමක් ලෙස තෝරන්නට ඉක්මන් වුනොත් ඉන් අසරණ වන්නේ හය හතර නොදන්නා දරුවන්. මේ දරුවන් ගැටවරයන්, වැඩිහිටියන් ලෙස සමාජ ගත වනවිට ඔවුන්ගේ සීසීකඩ ගිය ළමා කාලය ඔවුන්ගේ සමාජ ජීවිතය අසමබර වීමට හේතුවන හැටි. ඔවුන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බහි වන හැටි හා නොයෙක් අනිටු පල විපාක වලට මුහුණ දෙන හැටි බටහිර රටක බොහෝ කලක් වෙසෙන මා දැක තියනවා. මගේ අත්දැකීම නම් විවාහ ජීවිතයේ බොහෝ බාදක එකිනෙකට අවංක වීමට සහ කැපකිරීම් කිරීමට ලැස්තිනම් දුරු කර ගැනීමට පුළුවන් බවයි. මේවගේ පවුලක තිරසාර පැවැත්මට ඉවහල් වෙන අදහස් සමාජයට දෙන්නේ නැතිව සන්නස්ගල මහත්තයා බටහිර අසාර්ථක සමාජ ගති පැවතුම් ලාංකික මනස් තුලට ඔබන්න හදන්නේ හුදු ජනප්‍රියතාවය උදෙසා කියලයි මට නම් හිතෙන්නේ. බටහිරින් ගන්නවා නම් මීට වඩා උතුම් ගති පැවතුම් ලාංකික සමාජයට ගන්න තියනවා. සන්නස්ගල මහත්තයා මැණික් තියද්දි ගොම රිටි අහුලනවා.(නදී)
සන්නස්ගල මහතා මීට වඩා හිතලා ලිව්වනම් හොදයි .ඔය කියන හැම දෙයකම අපි ගන්න ඕන නැහැ. වෙස්ටෙර්න් විදියට හිතන්න ඕනනම් ඕව නෙවි කරන්න ඕන... (දී)
අවුරුදු 2600 කට කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ වර්තමානේට ගැලපෙන්න නියමටම ඔබතුමා කියල දීල තියෙනවා.(දිල්)
වෙනස් වීම හොදයි ඒත් තමන්ගෙ ගෑණි මිනිහ නිතර වෙනස් කරන්න ගියොත් රටක අනාගයක නෑ. සන්නස්ගල මහත්තය වැඩිපුර ඇමරිකානු චිතපට බලනව ඇති. ඒත් ඒවායේ ඒ රටේ යහපත් පවුල් ගැන පෙන්වන්නෙ නෑ. ඒක ඇමරිකාවෙ ජනාධිපතිම නිදසුනක්. (අ)
තරුණ පරපුර අලුත් විදිහකට හිතන්න ඔබතුමා මහත් වෙනසක් ගන්නවා, මමත් ඒ වැඩේට කැමති (දී)
වෙනස් වෙනස් දෑ නොතකන ජාති ලොව නොනගී (දී)
සන්නස්ගල මහත්තයාට ජයවේවා (දී)
උපුල් වෙනෙස කියන එක පුද්ගල මුලික වූ දෙයක්. ඔබට අවශ්‍ය ඒ වෙනස නම් එය ඔබට අයිති වු දෙයක්. කෙසේ නමුත් ලෝකය බටහිරට නැඹුරු වීම වැළක්විය නොහැකිය. මක් නිසාදයත් ඔවුන් ආසියාතිකයන්ට වැඩිය හැම අතින්ම ඉදිරියෙන් සිටීමය. තනි පුද්ගලයකුට සමාජය වෙනස් කල නොහැකිය. (නදී)
අපේ අයට හොද දේ කියල දෙන්න හරිම ආමාරුයි. අම්මල වශයෙන් පොඩිකාලේ සිට තාත්තට ගරුකිරීමටත් ලොකු අයට ගරුකිරීමටත් කියල දෙන්න ඕනි. අම්ම දරුවන්ට වැඩියෙන් පියාව බලාගත්තම දරුවෝ එය බලා හැදෙනවා. දැන් ඉන්න සමහර අය තමන්ගේ නිදහස පරිත්‍යාග කරන්න සුදානම් නෑ. හොද සමාජයක් හදන්න නම් තාත්තගේ අම්මගේ දෙන්නගෙම සහයෝගය අවශ්‍යයි. ඔබට සුබ පතමි.(නදී)
සන්නස්ගල මහත්තයාගේ අදහස හොඳයි. නමුත් "ගාම්‍යා 2014-01-07 06:17:25" ගේ අදහසත් එක්ක බුද්ධිමය විචාරයක් කල යුතුමයි.(නදී)
ගාම්‍යා 2014-01-07 06:17:25, ඔබගේ අදහසට මමත් එකගයි. යුරෝපයේ තිබෙන අසාර්ථක පවුල් ජිවිත නිසා දුක් විඳින අසාර්ථක වෙන දරුවෝ බලාගන්න ඒ රටවල වෙනම ආයතන තියෙනවා. ඒවටත් කරන්න බැරි තරම් ප්‍රශ්න,ඒවගේ අසාර්ථක පවුල් ජිවිතයක් සන්නස්ගල කියන ගුරුතුමාට උවමනා නම් එහෙම කලාට කමක් නැහැ. ලංකාවේ හොරෙන් නටන අය නැති කරන්න සංස්කෘතිය වෙනස් කරලා බැහැ. ඒ අයට තමන් කවුද කියල තේරුම් ගැනිමේ හැකියාව තියෙන්න ඕනේ.(නදී)
අනිත්‍ය වටහා ගත්තම දෙලොවටම හොඳයි කියන එක අපේ සංස්කෘතියේ තියෙනවා. මේවා අගය කරන්න බාල තරුණ අයට කියල දෙන්න හැමෝම මහන්සි වෙන්න. (නදී)
මම සන්නස්ගලගේ ගෝලයෙක්.(නදී)
මේ කථාව සහ අදහස පිලිබදව මම 100% එකඟ වෙමි. මක් නිසාද යත් කවුරු කෙසේ කිවත් හැමෝම කුමන ආකාරයක හෝ වෙනසක් මේ මොහොත වෙන විටත් ලබන නිසාය. (ස)
වෙනස් නොවන වෙනස්වීම (දී)
මටත් වෙනස් වෙන්න හිතෙනවා.(නදී)
වෙනස් වෙන එක හොඳයි.ඒත් එහෙමයි කියලා හැමදේම වෙනස් කරන්න යන එක නම් ගොන් කමක්.. (ස)
සියල්ල වෙනස් ලෙස දකින්නට අශාකරන සමාජයක ඉන්නා අපි ඔබේ පළමු සිනමා නිර්මාණයක වෙනස දකින්නට ලොල් සිත්ව බලා සිටිමු... කවදාද ඒ දවස? (දී)
ලියා තියෙන දේ නම් සෑහෙන්න ඇත්ත උපුල් මහත්තයෝ. නමුත් ඉතින් සමහර දේ ප්රායෝගිකව කරන්න තමා ටිකක් අමාරු. නමුත් බලමු ඉදිරියට මොනවද වෙන්නේ කියලා.. (ස)
ඔබ තුමාගේ අදහස් හරි ඉහලයි. මම ගොඩක් ගරු කරනවා. (ස)
සන්නස්ගල මහත්තයාට අපි කවදාත් එකඟයි මොකද නව ආරෙකට හිතන්න පුරුදු කරන මිනිහෙක් එතුමා එහෙමයි කියලා විලිසන්ගේ නැති වැඩ කරන්නේ නැහැ එතුමා, එතුමාට තවම ලැජ්ජා නහරේ තියෙනවා (දී)
සන්නස්ගල මහත්තයා කියන දේ මම 100% පිලි ගන්නේ නැති උනාට යම්තරමකට මම පිලි ගන්නවා (දී)
අපි අපේම වෙමු........(දී)
මහාචාර්ය තුමනි ,වෙනස්වීම යනු ස්භාවික දෙයකි. බලහත් කාරයෙන් වෙනස් කිරීම අන්තවාදී ක්‍රියාවකි. (දී)
කතාව නම් සම්පූර්ණ ඇත්ත. (නදී)
වෙනත් වෙන්න ඕනා. දැනටමත් අපි වෙනත් තමයි. වෙනස් වෙන්නත් ඕන. නමුත් වෙනස් විය යුතු ආකාරය කුමක්ද? ඒ ආකාරය අපිට ලංකාවට ගැලපෙන ආකාරයට විය යුතුයි. මෙහිදී අපි තෙරුම් ගත යුතුයි ප්‍රේමය සහ ලිංගිකත්වය කියන දෙයත් සමඟම එන ඊර්ෂයාව, සැකය, කුහක කම ලාංකික අපේ බටහිර සමාජයට වඩා වැඩි බව. නමුත් එයට පිලිතුර ලිංගික වෙන්දේශිය නොව එය තේරුම් ගැනීමයි. ඒ සඳහා සුදුසු එක් පියවරක් ලෙසට මම ලිංගික අධයාපනය යොජනා කරනවා. තවද මේම මාතෘකාව ලංකාවේ සන්ස්කෘතිය, ආගම සමාජ මට්ටම් හා පවුල් පසුබිම ආදි වශයෙන් බෙදා වෙන් කර ඉතා විශාල ලෙස විග්‍රහ කල හැකියි. (නදී)
මෙතුමාත් ඔය වහෙන් හොරෝ කියන්නේ ලංකාවෙත් එකට ජිවත් වීම (කසාදයකින් තොරව )හොදයි කියලා වගේ නේද (දී)
හැම දෙයම වෙනස් වන ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස වෙනස් වීමය.(නදී)
සර් ගේ වචන ටිකනම් මර පංකාදුයි. ඇත්තටම යාවත්කාලින නවීන බණක් වගේ. සර්ට ජයෙන් ජය! (නදී)
මේ කියන කතාව උඩින් බලලා හොදයි කියන්න එපා කියන්නේ මොකද්ද කියලා හොදට තේරුම් ගන්න ( බටහිර රටවල තියෙන්නේ එකට ජිවත් වීම [කසදයකින් තොරව]
ඔය වෙනස බදා ගන්න ගිහින් එංගලන්තේ පමනක්, දවසකට එක් කෙනෙක් බැගින් වන සාමාන්‍ය අගයක් ඇතිව,තම පිරිමි ආදරවන්තයා/සැමියා විසින්,අවම වශයෙන් අවුරුද්දකට 365ක්, තම ආදරවන්තිය/බිරිඳ මිනීමැරීම වාර්තා වන්නෙ කොහොමද? (නදී)
ඔබට අවශ්‍යනම් වෙනස් වීමද අනවශ්‍ය නම් වෙනස් නොවීමද ඔබ සතුය ඔබ කුමක් කලද ලෝකය ඉදිරියට යනු ඇත (දී)
අනේ සර් වෙනස් වන ලෝකයේ නොවෙනස්ව ඇතිදේ මවගේ ආදරයත් හිරු එළියත් පමනයිනේ.(නදී)
වෙනස් වීම කාලය සමග ඉදිරියට අනිවර්යෙන්ම යනවා.එක කාටවත්ම වනස් කරන්න පුළුවන කමක් නහැ. (දී)
වෙනස අපේ ජීවිත වලට ගොඩක් වැදගත් . අපි නිතරම අපේරටේ සස්කෘතියට,සමාජයට ගැලපෙන විදිහට වෙනසකුයි සමාජයට දෙන්න ඕනේ. තමන්ගේ සිතුවිලි මත මේ වෙනස නිතරම ඇතිවෙන්නේ, අපි නිතරම නරක සිතුවිලි අපෙන් අයින් කරන්න ඕනේ.. නරක දේවල් අත්හෙරලා හොදදෙවල් කරන්න අපි වෙනස්වෙමු,,,,,,,,,,,,,,,,,,, (දී)
මම වර්ෂ හතරක් ඉන්දියාවට ඇවිත්. ඉන්දියාවේ තරුණ පරපුර සර්ගේ අදහස් වලට සමාන අදහස් තියෙන අය. ඒ අය වෙනසකට සුදානම් කියල මට හිතෙනවා.. ඒ අයට මුහුන දෙන්න ගොඩක් භාධා තියෙනවා. තරුණ අදහස් පිළිගන්න සමාජය තාම සුදානම් නැහැ. ආගම කුලය භාෂාව මේ හැම දේම අළු යට ගින්දර වගේ.(නදී)
සන්නස්ගල මහත්තයා වගේ හිතන පතන මිනිස්සු මේ රටේ ගොඩාක් අඩුයි , මම නම් ඔබතුමාට හද පතුලෙන්ම සුභ පතනවා (දී)
ලිපිය මුලින් කියවද්දි ඔබතුමා වෙනස් වී ඇති බව දැනුනත් අවසානයට දුටුවේ අරලිය පත්තරයට ලියපු සන්නස්ගලමයි.අප වෙනසක් බලාපොරොත්තු උනත් වෙනස් වීමට අකමැතියි! (දිල්)
සමාජිය සහ පුද්ගල වෙනස ගැන කියන්න මෙතුමා පුදුම උත්සාහයක් දරලා තියෙනවා. බුදු දහම හරියට කියව්වා නම් වෙනස් විම සහ එයට හේතු සරලව දැන ගත හැකියි. මිට අවුරුදු ගානකට කලින් ඔය වෙනස අපේ බුදු පියා දැකීම දැන් නවීන කරලා අමුතු වචන දාල අලුත් දෙයක් වගේ කියන්න අපේ අය හරි දක්ෂයි නේද?(නදී)
ගාම්‍යා 2014-01-07 06:17:25 විචාරයට බොහෝම පින් . අපිට වෙනස් වීම වෙනස් කරන්න බැහැ, එත් අපිට වෙනස් වෙන විදිහ වෙනස් කරන්න පුළුවනි. මේ කාලේ ලංකාවට ඉතා වැදගත් කාලයක් කියලයි මට හිතෙන්නේ . ලංකාව ඉක්මනින් වෙනස් වෙනවා . එක හොද පැත්තට ගන්න එක අපි හැමෝගෙම යුතුකම . (දී)