IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


අදටත් වලංගු බණ්ඩාරනායක චින්තනය

දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 62 වෙනි ගුණ සැමරුම මේ මස 26 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මෙරට යම් යම් කාල වකවානුවලදී විවිධ ක්ෂේත්‍ර තුළ සුවිශේෂී කාර්යභාර්යන් ඉටු කළ ප්‍රතාපවත් ජනතා නායකයන් බිහි වී ඇත. ශ්‍රී ලංකා දේශපාලන ප්‍රවාහය තුළ යුග පෙරළියක් කළ මහා යුග පුරුෂයකු ලෙස  වසර 62 කට පෙර අපෙන් සමුගත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක දිවංගත අගමැතිතුමා අවිවාදයෙන් යුතුව නම් කළ හැකිය.

මෙලොව බිහි වූ සෑම ජාති හිතෛෂියකුගේම, දේශප්‍රේමියකුගේම හා ජනතා නායකයකුගේම එකම බලාපොරොත්තුව වන්නේ තමන් උපන් මාතෘ භූමියට  උපරිම අන්දමේ සේවාවක් ඉටු කිරීමය. එනමුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් යුතුව කටයුතු කරන එවන් උදවිය සොයා ගත හැක්කේ ඉතාම කලාතුරකිනි. අද අපි සිහිපත් කරන දිවංගත බණ්ඩාරනායක මහතා එවැනි ශ්‍රේෂ්ඨ පුත් රුවනකි.

නිදහස් ලංකාවේ බිහි වූ පළමු  ආණ්ඩුවේ සභානායක  ධුරයත්, සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයත්  ලැබූ බණ්ඩාරනායක මහතාට ආණ්ඩුවේ ගමන් මග පිළිබඳ පැහැදිලි විශ්වාසයක්  නොවීය. අන්ත වාමාංශික හෝ අන්ත දක්ෂිණාංශික  නොවන දේශපාලනයේ මැදුම් පිළිවෙත අනුගමනය කරන නව පක්ෂයක්  බිහි  කිරීම සඳහා 1951 වර්ෂයේ දී දැරූ සියලු‍ තනතුරු  අත්හැර ඔහු විරුද්ධ පක්ෂයට එක්විය. තමා බිහි කළ නව පක්ෂය 1952 මහ මැතිවරණය වනවිට ප්‍රශස්ත  ජයග්‍රාහී මට්ටමකට පත් කිරීමට සමත් වූ මෙතුමා එම පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා බවට පත්විය.   1956 මැතිවරණයේදී  බිහිකර ගත් නව සන්ධානය තුළින් පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී යුග පෙරළියක් ඇති කරන්නට මෙතුමාට හැකි විය.

එදා එම දේශපාලන සංසිද්ධිය මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන් දුටුවේ “බමුණු කුලයේ  බිඳ වැටීමක්”‍ ලෙසිනි. රජය බිහි කර  කෙටි කලක් තුළ ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරවා ගනිමින් බස් ව්‍යාපාරය, වරාය ජනසතු කරන්නට ලෝකයේ සියලු‍ ජාතීන් සමඟ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට හා බහුතර ජනතාව කථා කරන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්නට සහ අන්  ආගම්වලට ලැබිය යුතු නිසි තැන ලබාදෙමින් බුද්ධාගම ආරක්ෂා කරමින් පෝෂණය කරන්නට ගත් ප්‍රගතිශීලී පියවර දේශපාලන විරුද්ධවාදීන්ගේ පමණක් නොව  කැබිනට් මණ්ඩලයේ සිටි සමහර සාමාජිකයන්ගේ ද විවේචනයට ලක් විය.

මෙලොව බිහි වූ රාජ්‍ය නායකයන් අතර මෙතුමා තරම් ප්‍රශ්න, ගැටලු‍, අභියෝගවලට මුහුණ දුන් තවත් නායකයකු නොවීය. මතවාදීව බණ්ඩාරනායකයන් පරාජයට පත් කළ නොහැකි වූ තැන ශාරීරිකව එතුමා ඝාතනය කොට සමාජයෙන් ඉවත් කරන්නට විරුද්ධවාදීහු පසුබට නොවූහ. 1959 සැප්තැම්බර් 25 වැනිදා එතුමාගේ පපුවට එල්ල වූ වෙඩි උණ්ඩය හුදෙක් තනි පුද්ගලයකුගේ ප්‍රාණය නිරුද්ධ කරන්නට එල්ල කළ ප්‍රහාරයක් නොවීය. එය මේ රටේ දීර්ඝ කාලයක සිට  සමාජ අසාධාරණයන්ට ලක්ව සිටි පොදු ජනතාවට එල්ල කළ වෙඩි උණ්ඩයක් විය.

බණ්ඩාරනායක මහතා අපට අමරණීය චරිතයක් වන්නේ එතුමා අප රටේ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයකු පමණක් නොව දේශපාලන දර්ශනයෙන් අප රට තුළ වපුල ජන නායකයකු ද වන නිසාවෙනි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන  පක්ෂයක් වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි අභිමානවත් වසර යෙදී තිබුණේ මේ වසරේ වසරේ සැප්තැම්බර් 2 වැනිදාටය.

නිදහසින් පසු  1956, 1964, 1970, 1993 හා 2004 යන වර්ෂවලදී  විවිධ සන්ධාන සමග එක්වෙමින් නායකත්වය ලබා  වැඩිම  කාලයක් මෙරට පාලන  බලය හොබවමින් සිටි එකම පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෙවන් නායකත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී ඇත්තේ පක්ෂ නිර්මාතෘ දිවංගත ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා දිවංගත වූවාට පසුව වීම විශේෂත්වයකි. එයට හේතු වී ඇත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන චින්තනය හා බැඳුණු ජනසම්මතව පූර්ණ අයිතීන් ජනතාවට බුක්ති විඳීමට හැකි ක්‍රියාකලාපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබවින්ම අනුගමනය කළ නිසාවෙනි.

අප රට තුළ මියගොස් ඇති කොතෙක් නායකයන් සිටියද  දිවංගත යන ගෞරවාර්ථය වඩාත් ගැලපී ඇත්තේ බණ්ඩාරනායක මහතාට වීමද සුවිශේෂී දෙයකි.  ඒ, බණ්ඩාරනායක මහතා දිවංගත වුවද  එතුමන්ගේ චින්තනය තවමත් දිවංගත නොවී ඇති නිසාවෙන් බව නොරහසකි. පංච මහා බලවේගයේ මුදුන් මුල මත මීට වසර 70 කට පෙර  ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් වූ මහා වෘක්ෂය තවමත් ශක්තිමත්ය.

මිනිස් නිදහසට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවාදී මූලධර්මවලින්  ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබැවින්ම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සැබෑ අභිලාශයෙන් අවංක ශක්තිමත් රාජ්‍ය පාලනයක් සහිත සැමට ආත්ම ගෞරවයකින් යුතුව ජීවත් විය හැකි යහපත් ‍දේශයක් බිහි කිරීමේ ලා සුවිශේෂ කාර්යභාරයක් මෙරට ස්ථාපිත කළ පක්ෂයක් බව අමතක නොකළ යුතුය.

බණ්ඩාරනායක මැතිතුමනි, ඔබ එදා ගොඩනැගූ ශක්තිමත් පක්ෂය අද දවසේ ද ජනතා හදවත් තුළ ද ශක්තිමත්ව ඇත. එහෙයින් ඔබ මිය ගිය ද ඔබගේ චින්තනය තවමත් දිවංගත වී නොමැත.
ජීවත් වූ බණ්ඩාරනායකට වඩා දිවංගත වූ බණ්ඩාරනායක අදත් මේ රටේ ජනතාවගේ හදවත් තුළ ජීවත් වන බව සමාජයේ පොදු මතයක් බවට පත්ව ඇත.

සිරිලක්  මාතාවට  අනුපමේය යුග මෙහෙවරක් ඉටු කළ දිවංගත යුග පුරුෂයාණනි, ඔබ මියගොස් වසර 62ක් ගෙවී ගිය ද මම ඔබට නිවන් සුව නොපතමි. අප බලාපොරොත්තු වන නොනිමි යුග මෙහෙවර ඉටු කිරීමට  නැවතත් මේ සිරිලක් දෙරණේ ඉපිදේවායි මම මුළු හදින්ම ප්‍රාර්ථනා කරමි.


(***)
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ෂාන් විජයලාල් ද සිල්වා



අදහස් (5)

අදටත් වලංගු බණ්ඩාරනායක චින්තනය

Thushara Saturday, 25 September 2021 09:30 AM

බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රථිපත්ති අදට නෙමෙයි එදාට ගැලපෙන්නෙත් නැහැ. පංච මහා බලවේගය තුළින් ශ්‍රී ලාංකීය සමාජය තවදුරටත් භේදබින්න කිරීමේ පාපය සුළුපටු නැහැ. මේ රටේ ජනතාව අදටත් එම කරුමය ගෙවනවා. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න තිබුණු ඉඩ කඩ අහුරලා තනිකර සිංහල සහ දෙමළ අධ්‍යාපනය පාසල් තුළ හඳුන්වා දීමේ ආදීනව අද අපි විදිනවා. බණ්ඩාරනායක මහත්තයා කළේත් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටේ මිනිසුන් අතර දේශපාලන බෙදීම් ඇති කිරීම පමණයි. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව හරි විදිහට ඉදිරියට රැගෙන යන්න මේ කිසිවෙක් සමත් වෙලා නැහැ. ඒ නිසා බොරුවට ගුණවයලා වැඩකුත් නෑ.

:       1       11

asankaSaturday, 25 September 2021 06:22 PM

අද බොහෝ දෙනෙකුගේ විවේචනයට භාජනය කරන දෙයක් නම් මෙතුමා තනිකර සිංහල සහ දෙමළ අධ්‍යාපනය පාසල් තුළ හඳුන්වා දීමට ගත් තීරණය. එදා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම නගරබද පාසල් අතලොස්සක හැර, රටේ පිට පළාත්වල තිබුණේ නැහැ. එවැනි පාසල් වලින් උගත් බොහෝ දෙනා නගරටම වී සිටියා හැර, ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පිට පළාත්වලට ගියේ නැහැ. මේ හේතුවෙන් එදා රටේ බහුතරයක් දරුවන්ට ඉංග්‍රීසි නොදැනීම නිසා උසස් අධ්‍යාපන අවස්ථා අහිමි විය. සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමට සැලැස්වීමෙන් මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී බොහෝ දෙනාට උසස් අධ්‍යාපන අවස්ථා හිමිවිය. මව් බස ප්‍රගුණ කළ කෙනෙකුට, ඉංග්‍රීසි හෝ වෙනයම් භාෂාවක් ප්‍රගුණ කිරීම පහසු දෙයක්... ස්වභාෂාවෙන් පාසල්වල ඉගැන්වීම කළත්, එදා කෙනෙකුට ඉංග්‍රීසි ඉගෙනීම තහනම් වී තිබුනේ නැත. එබැවින් එදා මෙතුමා ගත තීරණය රටේ බහුතරයකට සෙත සැලසුණු තීරණක් ලෙස සැලකිය හැකිය..

:       12       3

SISIRAMonday, 27 September 2021 12:34 AM

ඔබට ලොකු වැරැදිමක් වෙලා බන්ඩාරනායක ප්‍රතිපත්ති වලට පෙර ගමේ පාසලට ගිය මගේ වැඩිමල් සහොදර සහෝදරියන් හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබුවා.

:       0       2

asankaMonday, 27 September 2021 04:33 PM

සිසිර, ඔබ පවසන්නේ ඉතා සුළුතරයක් ගැන පමණයි. එවැනි අයත් උපාධියක් ලබා ගැනීම වැනි උසස් අධ්‍යාපනයක් ලැබුවාද යන්න සැක සහිතයි.

:       0       0

ලුම්බිණි Tuesday, 28 September 2021 10:13 AM

බණ්ඩාරනායක ප්‍රථිපත්ති අදට නෙමෙයි එදාට ගැලපුණෙත් නැහැ. එතුමා ජාතිවාදියෙක් ගෙන එමින් බලයට පත් වුණා. ඒ පටන් ගත් අවුල අදටත් ලිහා ගන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 408 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 315 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 161 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 336 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 510 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1137 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1198 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site