ඉන්ධන පිරවුම්හල්වල කා කොටා ගන්නා පුරවැසියන්ගේ රූපරාමු මනුෂ්‍යයන්ගේ අසරණකම විදහා පාන්නකි. රටේ ප්‍රශ්න පාලකයන් නොවිසඳනවිට ජනයා ආවේගශීලීව හැසිරීම විමතිය දනවන්නක් ද නොවේ. සන්සුන්ව හා බුද්ධිමත්ව හැසිරෙන්නැයි කෙරෙන ඉල්ලීම් හරසුන් නීච වාගාලාපයන්ගෙන් වෙනස් නොවන්නකි. සා පිපාසිත ජනයා එසේ හැසිරෙද්දී වගකිවයුත්තන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේද එබඳුම තත්ත්වයකි. ඇමති - බස් සංගම් සාකච්ඡාව එයට කදිම නිදසුනකි.

අප පුවත්පත වාර්තා කර තිබුණේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්‍ෂව බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව තීරණය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේ දී බස් සංගම් නියෝජිතයන් පරස්පර මත ඉදිරිපත් කිරීම හේතුවෙන් එකම ගාලගෝට්ටියක් බවට පත්වූ බවය.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යන මහත්වරුන් සහ ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් පිරිසක් සාකච්ඡාව අතරතුර පිටව ගිය බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සහ සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සම්මේලනයේ සභාපති අංජන ප්‍රියංජිත් යන මහත්වරුන් බස් ගාස්තුව ඉහළ දැමීම සම්බන්ධයෙන් දැක්වූ අදහස් පරස්පරවීම හේතුවෙන් මෙම ගාලගෝට්ටිය මතුවූ බවද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

ජනතාව සිටින්නේ පාන් කියාගත නොහැකිවය. අතේ ඇති මුදලට හෝ ඉන්ධන ස්වල්පයක් ලබාගැනීමට ජනතාවට නොහැකිය. බස් රථ ධාවනය මුළුමනින්ම නැතත් බිඳ වැටී අවසන්ය. සීමිත බස් රථවල හා දුම්රියෙහි ජනයා ගමන් කරන්නේ දින නියමයක් නැති මරණ වරෙන්තු අතැතිවය. ඇමතිවරයා හා බස් සංගම් නියෝජිතයන් සාකච්ඡා කරන්නේ බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙනි.

බස් ගාස්තු ඉහළ දමා ඇති ආකාරයට බස් ගාස්තුව තවත් ඉහළ දැමිය හැකිද යන්න අමතක කළ යුතු නැත. මෙරට පොදු මහ ජනතාව සතු ප්‍රධාන ප්‍රවාහන සේවාව වන්නේ බස් හා දුම්රිය වේ. එහි ගාස්තුව එම පොදු මහ ජනයාගේ ජීවන මට්ටමට සැසැඳිය යුතුය. ආදායමට සරිලන පරිදි විය යුතුය. මේ විදියට ගමන් කළොත් ආරම්භක බස් ගාස්තුව රුපියල් සියය පන්නනු ඇතැයි සිතිය හැකිය.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ප්‍රවාහනය ඇතුළු සියල්ලෙහිම මිල ඉහළ යන බව රහසක් නොවේ. බස් රථ හිමියන් සිදුකරන්නේ ව්‍යාපාරයකි. එමෙන්ම එය සමාජ සේවාවකි. මෙය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් බස් හිමියන්ට ලාභයක් අත්විය යුතුය. එහෙත් එය තීරණය කළයුතු වන්නේ ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටාය.

මානව සමාජය අත්පත් කරගන ඇති දියුණුවට සාපේක්‍ෂව ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකිය. අප සමාජය දියුණු යැයි පැවසුනද ක්‍රියාමාර්ග ගැනීමේ දී ඒ බවක් නොපෙනෙන බව වසන් කළ නොහැකිය. පාර්ලිමේන්තු විවාද වුවද එයට නිදසුන්ය. ඇමති හා පෞද්ගලික බස් රථ සංගම් නියේජිතයන් අතර වූ සාකච්ජාවෙන්ද පෙන්නුම් කෙරෙන්නේ එම නොදියුණු ගෝත්‍රික ගති ලක්‍ෂණ විනා අන් යමක් නොවේ.

ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සාකච්ඡාවේ අතරමගදී ඉවත් වන්නේ ‘‘මට වෙන වැඩක් තියෙනවා’’ යනුවෙන් ප්‍රකාශ කර බව ඒ ප්‍රවෘත්තියෙහි සඳහන්ය. එමෙන්ම අමාත්‍යවරයා තමන්ට ආර්ථික විද්‍යා පාඩමක් ඉගැන්වූ බව බස් රථ සංගම් නියෝජිතයන් කියා ඇත.

අදාළ සාකච්ඡාව ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙනි. එවැනි සාකච්ඡාවකට සියලු දෙනා සහභාගි විය යුත්තේ ජාතික වගකීමකින් යුතුවය. එසේ නොවීම තුළ ඕනෑම සාකච්ඡාවක් ළිඳ ළඟ සම්මේලනයක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ සාකච්ඡාවට අත්වී තිබෙන්නේද එම ඉරණමමය.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීම කරන ලෙස ඉල්ලා සිටි තමන් පසුව රැස්වීමෙන් නැගිට ගිය බවය. ‘‘එක එක්කෙනාට ඕනෑ විදියට බස් ගාස්තු ඉහළ දැමිය නොහැකි බවත්’’ ඒ මහතා පවසා තිබේ. සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ අද සිට බස් ගාස්තු ඉහළ දැමීමට එකඟතාව පළවූ බවය.

රටේ ජනතාව සිටින්නේ සෑම අතින්ම වද වේදනාවන්ට ලක් වෙමිනි. වේලක් කෑ පසු ඊළඟ වේල කන්නේ කොහොමදැයි ජනතාවට කල්පනා කිරීමට සිදුව තිබේ. රටේ පොදු ජනයාගේ ගැටලුවලට විසඳුම් පේන තෙක් මානයක නැත. දැන් බස් ගාස්තුවද ඉහළ දමා තිබේ. ජනතාව මෙම ප්‍රශ්න කියන්නේ කාටදැයි නොදනිති. මානව ආපදාවෙන් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට මාන බලන මජර දේශපාලනයෙන් මෙරට ජනයාට ශත පහක ප්‍රයෝජනයක් නැති බවද අවධාරණය කළ යුතුය.

(***)