1987 ජුලි 29 වැනිදා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර ශී‍්‍ර ලංකාවෙන් පිටත් වූ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි නව දිල්ලියට ගියේ නැත. ඔහු තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ මරීනා වෙරළ තීරයේ පැවැති ජන රැලියකදී මෙවන් ප‍්‍රකාශයක් කළේය. ”ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය අපටත් බලපානවා. ඒ සඳහා පමණක් නොවෙයි මේ ගිවිසුමට අත්සන් තැබුවේ අපේ ආරක්‍ෂාව ගැනත් සලකා බලලයි.” මේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඉන්දුxලංකා ගිවිසුම හා එමගින් යෝජනා කළ පළාත් සභා ක‍්‍රමය උතුරේ වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් මෙන්ම ඉන්දියාවේ ආරක්‍ෂාවට ද බලපාන කාරණයක් සේ එදා ඉන්දියාව කල්පනා කළ බවයි. මේ අතර තම රජය හා ඉන්දියාව අතර පළුදු වී තිබූ මිත‍්‍රත්වය යළි ඇතිකර ගැනීමට මෙම ගිවිසුම නිසා ජේ.ආර්. ජයවර්ධන රජය සමත් විය. එම රජයේ කීර්තිමත් අමාත්‍යවරයකු වූ ගාමිණී දිසානායක ඊට මැදිහත් විය. අවසානයේ ගාමිණී දිසානායක හා ඉන්දියාවේ ගාන්ධිවරුන් අතර මිත‍්‍රත්වය බණ්ඩාරනායකවරුන්ටත් වඩා ඈතට ගිය මිතුදමක් ලෙස වර්ධනය වූ බව කියැවේ. මේ නිසා පළාත් සභා ක‍්‍රමය උතුරේ ප‍්‍රශ්නයට ලැබෙන ඉන්දියානු ක‍්‍රමයේ දේශපාලන විසඳුමකි. ඊට එරෙහිව රටම ගිනිගෙන තිබියදී මැති ඇමැතිවරුන් වෙනම තැනක සිට බස් රථයකින් පාර්ලිමේන්තුවට ගෙන්වා බලහත්කාරයෙන්ම 13 වැනි සංශෝධනය ලෙස පළාත් සභා පනත සම්මත කරගැනීමට එදා ජේ.ආර්. ජයවර්ධන රජය කි‍්‍රයා කළේය. මෙම පනත සම්මත වීමට දිනකට පෙර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉන්දියානු මාධ්‍යවේදියෙක් ජනාධිපති ජේ.ආර්.ට මෙවන් ප‍්‍රශ්නයක් යොමු කළේය. ”ඔබේ රජය ඇතුළෙන්ම මීට විරෝධයක් තිබෙනවා. අගමැති රණසිංහ පේ‍්‍රමදාස හා අමාත්‍ය ඇතුළත්මුදලි ගිවිසුම අත්සන් කරන අවස්ථාවටවත් සහභාගි වුණේ නෑ. ආණ්ඩු පක්ෂය ඇතුළේ පැහැදිලිවම ප‍්‍රශ්නයක් තිබෙන බව පෙනෙනවා. මේ වගේ පසුබිමක පළාත් සභා පනත සම්මත කරගැනීමට නොහැකි වුවහොත් ඔබ කුමක්ද කරන්නේ ?” ”එහෙම වුණොත් මම පාර්ලිමේන්තුව විසුරුවනවා. මම හිතන්නේ නැහැ එවැනි ප‍්‍රශ්නයක් ඇතිවේය කියල. මේ පනත සභානායක විදියට ඉදිරිපත් කරන්නේ අගමැති රණසිංහ පේ‍්‍රමදාසයි,” ජේ. ආර්.ගේ පිළිතුර විය. ජනාධිපති ජේ. ආර්. කීවා සේම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අඩංගු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට සභානායක වූ අගමැති රණසිංහ පේ‍්‍රමදාසය. ඔහු එහි දී කතා කළේ මේ පනතින් බලය බෙදෙනවා මිස රට නොකැඩෙන බවට දැඩි විශ්වාසයකිනි. ”මේ පනතින් රට කැඩෙන්නේ නැහැ. රටේ ඒකීය භාවය වෙනස් වෙන්නෙත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයත් එය තහවුරු කර තිබෙනවා. ඒ නිසා තමයි මම මේ පනත ඉදිරිපත් කරන්නේ. රටට ද්‍රෝහීවන කිසිම දේකට මම මැදිහත් වන්නේ නැහැ.” මෙවන් ඍජු අදහස් එදා ඔහුගේ ප‍්‍රකාශයේ ගැබ්විය. එසේම පසුකලෙක මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර ඊළාම් ප‍්‍රකාශ කළ සැණින් ජනාධිපති පේ‍්‍රමදාස පාර්ලිමේන්තුවේ සුළුතර ඡන්දයකින් උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට සමත්විය. වෙන විධියකින් ඔහු පෙන්නුවේ අවශ්‍ය නම් 13 වැනි සංශෝධනය යටතේ ”පරිධියට” බෙදන බලය ”මධ්‍යයට” නැත්නම් පාර්ලිමේන්තුවට පවරාගත හැකිය කියලාය. පරිධියට දෙන බලය පාර්ලිමේන්තුවට පවරා ගන්න හැකිනම් ඇයි බය වෙන්නේ ? අද සමහරුන් එහෙම තර්ක කරන බවක් පෙනෙන්නට නැත. එදා මෙම පනත නිසා එල්.ටී.ටී.ඊ.ය හැර අවශේෂ දෙමළ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ වී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්විය. වත්මන් රජයේ අමාත්‍යවරයකු වන ඩග්ලස් දේවානන්ද හා ඔහුගේ ඊ.පී.ඞී.පී. සංවිධානයද ඉන් එක් කණ්ඩායමකි. ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ, ඊරෝස් ආදී තවත් සංවිධාන කීපයක්ම මේ අතර විය. අවසානයේ පළාත් සභා නිසා උතුරේ හා දකුණේ අන්තවාදයට බිලි වූ සිංහල හා දෙමළ දේශපාලන නායකයෝ රැුසක් වූහ. විජය කුමාරණතුංග, ගාමිණී දිසානායක වැනි සිංහල නායකයෝ රැසක් මෙන්ම උමා මහේෂ්වරන්, පද්මනාභ, නීලන් තිරුචෙල්වම් සහ සභාරත්නම් වැනි දෙමළ නායකයෝද ඒ අතරේ වෙති. දෙපැත්තේම දේශපේ‍්‍රමී හා දේශද්‍රෝහී සටන් පාඨය යටතේ මේ පිරිස ජීවිතක්‍ෂයට පත්වූහ. විශේෂයෙන්ම පළාත් සභා පිළිගත් දෙමළ නායකයෝ එල්.ටී.ටී.ඊ.යේ දේශද්‍රෝහියෝ වූහ. එම ලේබලය යටතේම දකුණේ අන්තවාදීන්ට පළාත් සභා පිළිගත් සිංහල නායකයෝ බිලිවූහ. අමාත්‍ය ගාමිණී දිසානායක හා අගමැති රජිව් ගාන්ධි යන දෙපළ ඉන්දු-ලංකා ගිවිසුම හා මිතුදම නිසා එල්.ටී.ටී.ඊ.ය අතින් ජීවිතක්‍ෂයට පත්වූහ. මේ අතර ඉන්දු-ලංකා ගිවිසුම හා පළාත් සභා නිසා ඉන්දියාවට කීර්තිමත් නායකයෙක් නැති විය. අපේ රටේ පළාත් සභා නිසා ඉන්දියාවට ද පාඩුවක් සිදු වී ඇතැයි අදත් ඔවුන් කල්පනා කරන්නේ මේ නිසාය. මෙවන් පසුබිමක් තුළ වුවද මේ රටේ උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස ගෙනා පළාත් සභා ක‍්‍රමය ආරම්භයේ සිටම දෝෂ සහිතය. එසේම එය ඉන්දියාවේ මැදිහත් වීමෙන් සිදුවීම නිසා අපේ අසල්වැසියාගේ සම්බන්ධතාවකින් යුතුය. මේ වන විට උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීමේදී පදනමක් ලෙස 13 වැනි සංශෝධන පාවිච්චි කළ හැකි බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති වී තිබේ. 1987 පළාත් සභා පනත සම්මත කරගත් මොහොතේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සතු වූ පාර්ලිමේන්තු බලයම අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ද තිබේ. අවශ්‍ය නම් වත්මන් රජයේ පාර්ලිමේන්තු බල පරාක‍්‍රමය හමුවේ පළාත් සභා ක‍්‍රමය අහෝසි කළ හැකිය. ඊට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නම් එම ජනමත විචාරණය වුවද මේ රජයට පහසුවෙන්ම ජයගත හැකිය. ඉන්දියාවට හා ජාත්‍යන්තරයට කුද ගහගන්න කියා මේ රජයට හා ජනාධිපතිවරයාට එය කළ හැකිය. එහෙත් මේ ආණ්ඩුවේ වැඩිම දේශපාලන අත්දැකීම් ඇති අයකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එවැනි තීරණයක් නොගෙන (13 යනුවෙන්) දහතුනටත් එහාට ගිය විසඳුමක් ගැන කතා කරන්නේ මන්දැයි ඊට වඩා අඩු දේශපාලන අත්දැකීම් ඇති අය තේරුම් ගැනීම වැදගත්ය. පළාත් සභා ක‍්‍රමයේ වරදක් තිබේ නම් එය සකසා ගැනීම වෙනම කාරණයකි. සත්‍ය වශයෙන්ම මෙම ක‍්‍රමය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට භාජන කළ යුතුය. නොඑසේ නම් මෙවන් වෙනත් ක‍්‍රමයක් යෝජනා කළ යුතුය. විශේෂයෙන්ම පළාත් සභා අහෝසි කිරීමේ සටන් පාඨය ගෙන එ්මේ සදාචාරාත්මක අයිතියක් හෙළ උරුමයට, ජාතික නිදහස් පෙරමුණට හා මහජන එක්සත් පෙරමුණට තිබුණත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට හා පැරණි වමට නැත. ඊට හේතුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනියගේ නායකත්වයෙන් පළාත් සභාවල සමගාමී ලැයිස්තුව අහෝසිකර ”ඒකීය” නොව ”එක්සත්” ශී‍්‍ර ලංකාවක් තුළ බලය බෙදීම ඇතුළත් 2000 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවේ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් මඟිනි. එදා කැබිනට් මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩායමේදී වත්මන් ආණ්ඩුවේ පැරැුන්නෝ සියල්ලෝම ඊට අදාළ පනත් කෙටුම්පත එක සිතින් අනුමත කළහ. එය චන්ද්‍රිකා මැතිනිය තනියෙන් ගෙනා යෝජනාවක්ද නොවේ. ”සුදු නෙළුම්” වන්දනා කරමින්, දේශපාලන සාකච්ඡා පවත්වමින්, නීලන් තිරුචෙල්වම් වැනි අය ජීවිත පරිත්‍යාග කරමින්, ලක්ෂ්මන් කදිර්ගාමර්ලාගේ දායකත්වයෙන් ගෙන ආ යෝජනාවකි. පළාත් සභා රටට හඳුන්වා දුන් යූ.ඇන්.පී.ය එය අනුමත නොකිරීම හාස්‍ය ජනක ගොන් කමකි. එ් යුගයේ චන්ද්‍රිකාගේ ”සුදු නෙළුම්” මල් වට්ටියට අත නොගැසූ කෙනෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නොසිටියහ. අලූත් මන්තී‍්‍රවරුන් හැරෙන්න එ් සියල්ලෝම අදත් සිටිති. ඔය කවුරු කවුරුත් මැරිලා ඉපදිලා නැත. එසේම තොත්ත බබාලාද නොවන්නෝය. 2000 ව්‍යවස්ථාව සම්මත වුණා නම් මේ රට තවදුරටත් ”ඒකීය” ශී‍්‍ර ලංකාවක් නොව ”එක්සත්” ශී‍්‍ර ලංකාවක් වනු ඇත. එසේම දුපත් මානසිකත්වයෙන් තොරව කල්පනා කිරීමේදී දැවැන්ත ත‍්‍රස්තවාදී සටනක් අවසානයේ ඉන්දුනීසියාවේ ”අචේ” ප‍්‍රාන්තය නිර්මාණය වී තිබෙන්නේ එදා ගෙනා 2000 ව්‍යවස්ථාවටත් වඩා ඉදිරියට යමින් බලය බෙදා ගෙනය. එහෙත් ඉන්දුනීසියාව තවමත් ”ඒකීය” රටකි. මේ නිසා වචනවල පැටලී සිටීමේ පදනමක් හෝ තේරුමක් නොපෙනේ. සාමාන්‍යයෙන් යුදමය ජයග‍්‍රහණයකින් පසුව දේශපාලන විසඳුමක් පිළිබඳ යෝජනා ස්වාභාවිකව කරළියට එන්නේ නැත. ඊට හේතුව ලැබූ ජයග‍්‍රහණය යුද ජයග‍්‍රහණයක් වන නිසාය. මේ නිසා එම ජයග‍්‍රහණය රැකගැනීමට නැවත අවශ්‍ය වන්නේ යුද බලයයි. එය බලය පිළිබඳ ”මිලිටරි” චින්තනයට පමණක් නොව දේශපාලන සිද්ධාන්තවලට අනුවද ස්වාභාවිකය. රටකට සිග්නල් කණු නොවන දේශපාලනඥයන් අවශ්‍ය කරන්නේ මෙවන් පසුබිමක් තුළය. මේ මොහොතේ ජාතිකත්වය පිළිබඳ මතවාදය ඉහළට ගෙන පළාත් සභා අහෝසි කිරීමේ සිට ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණ සඳහා පහසුවෙන්ම අනාගත දේශපාලන න්‍යාය පත‍්‍රය සකස් කරගත හැක. ඊට දේශපේ‍්‍රමී හා දේශද්‍රෝහී වර්ගීකරණය මතුකර ගැනීමත් සමග මධ්‍යස්ථ මතධාරීහු පහසුවෙන්ම යටපත් වෙති. එසේම ශී‍්‍ර ලංකාවට අද දවසේ එවැන්නකට හිතහදා ගත හැකිවන්නේ ජාත්‍යන්තරය හා විශේෂයෙන්ම ඉන්දියාව ද අමතක කරලාය. දුපත ගැන පමණක් කල්පනා කරලාය. පළාත් සභා අහෝසි කිරීමේ වත්මන් දේශපාලන රැල්ල මතුවන්නේ ”දිවි නැඟුම පනතට” දෙන ලද අධිකරණ තීන්දුව පදනම් කරගෙන බව පෙනේ. එම තීන්දුව මතු වන්නේම පළාත් සභා පනතේ ඇති දුර්වල තාක්‍ෂණයක සාධක හරහාය. ඊට හේතුව පළාත් සභාවලට වෙන් කර ඇති විෂයන් මධ්‍යම ආණ්ඩුවේ හා මධ්‍යම ආණ්ඩුවේ විෂයන් පළාත් සභාවල සම්බන්ධීකරණයටද යටත්වන සමගාමී ලැයිස්තුව නිසාය. මෙම සමගාමී ලැයිස්තුව දැන් පළාත් සභාවලටත් මධ්‍යම ආණ්ඩුවටත් ප‍්‍රශ්නයක් වී තිබේ. එය ක‍්‍රමයේ ඇති දෝෂයකි. 2000 ව්‍යවස්ථාව මඟින් සමගාමී ලැයිස්තුව අහෝසිකර ඊට විසඳුමක් සොයාගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් හෝ සමස්ත ක‍්‍රමය පිළිබඳව වුවද නැවතත් පලදායී සාකච්ඡාවක් මතුකරගත හැකිය. සාමාන්‍යයෙන් ”හිසරදයක්” හැදුණු විට ඊට ප‍්‍රතිකාරයක් කරගන්නවා විනා බෙල්ල කපා ගන්නේ නැත. මේ සූදානම් වන්නේ එවැනි වැඩකටය. මේ වැඩ නිසා ජාත්‍යන්තර වශයෙන් බෙල්ල යන්නේ රටේ නායකයාගේ ද ආණ්ඩුවේ ද කියා කීමට කල් වැඩිය. අවසානයේ රටේ නායකයා බටහිර ජාත්‍යන්තරයට බිලිදීමේ සැලැස්මකට සමහරුන් නොදැනුවත්වම ගොදුරුවෙලාදැයි කියන්න දන්නේ නැත. ලෝකයේ එහෙමත් වැඩ වෙනවාය. මේවා සම්බන්ධයෙන් එහෙත් හෙටක් ගැන කල්පනා කරන අයට නම් බයක් ඇතිවනු ඇත. රටක දේශපාලන චින්තනය සකසාගත යුත්තේ ”එදාවේල ටුවර්ස්” ක‍්‍රමයකට නොවන බව මේ කිසිවකුට අමුතුවෙන් කියාදිය යුතු ද නැත.
වසන්තප‍්‍රිය රාමනායක