IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හෝමාගමින් වාර්තා වූ  උතුම් සත් ක්‍රියාව

දුගඳ හමන, කෝපය අවුළුවන සුළු පුවත් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සමයක මනුෂ්‍යත්වය අරුත්බර ගන්වන පුවත් විරළ වශයෙන් හෝ වාර්තා වේ. අප පුවත්පත ඉකුත්දා එබඳු පුවතක් වාර්තා කළේය. පුවත විදුහල්පතිවරයකුගේ අසිරිමත් ආදර්ශයක් සම්බන්ධයෙනි. 

කසුන් ගුණරත්න මහතා විදුහල්පතිවරයෙකි. ඔහු වසර නවයක පමණ කාලයක් හෝමාගම මහින්ද  රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති ලෙස රාජකාරී කළේය. ඉකුත්දා ඒ මහතා වෙනත් පාසලකට මාරුවීමක් ලැබ ගියේය.

සිසුන්  දහස් ගණනක් ඉගෙන ගන්නා හෝමාගම, මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ස්වර්ණමය  යුගයක් නිර්මාණය කරදුන් ඒ මහතාගේ සේවය අගයා ප්‍රණාමය පුද කිරීමේ උළෙලක් ආචාර්ය මණ්ඩලය සිසු දරුවන් දෙමාපියන් හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කළහ. 

ඉහත උපහාර උළෙලේ දී සිසුන්ගේ දෙමාපියන් රුපියල් ලක්ෂ 31ක මුදලක් ඒ මහතාට පරිත්‍යාග කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි. එහෙත් ඒ මහතා එම පරිත්‍යාගය ගෞරවණීය ලෙස ප්‍රතික්ෂේප කර එම මුදල යොදවා එම පාසලට සුහුරු පුස්තකාලයක් තනා දෙන ලෙස ඉල්ලා සිටියේය. විදුහල්පතිවරයාගේ ඉල්ලීමට අනුව එම සුහුරු පුස්තකාලය ඉදිවිය. කසුන් ගුණරත්න මහතා වෙනත් පාසලකට මාරුවී යන දා උත්සව ශ්‍රීයෙන් එම සුහුරු පුස්තකාලය සිසු අයිතියට පත් කළ බව අප පුවත්පත වාර්තා කළේය.

ආදර්ශයේ බර හා ගැඹුර විවරණය කළ නොහැකි තරම්ය. විශේෂයෙන්ම උත්තම සාරධර්ම සුනාමියට හසුව විනාශ වෙමින් පවතින යුගයක මිනිස් ඇසට කඳුළක් නැංවීමට මෙන්ම මිනිස් සිතට අලුත් මානයක් රැගෙන ඒමට කසුන් ගුණරත්න මහතාගේ ආදර්ශය බලවත්ය. 

ඇත්තම කතාව නම් මේ රටේ කිසිදු ක්ෂේත්‍රයකට තමන්ගේ ගරුත්වය රැකගෙන ජීවත් විය නොහැකි බවය. ගඳගහන පිළුණු සිදුවීම් වලින් ඒ බව මනාව පසක් වෙයි. ගුරු ක්ෂේත්‍රයට ද  එමගින් ගැලවීමක් නැත. ගුරු වෘත්තියේ ගරුත්වය අභිමානය කෙළසා දමන විවිධ මාදිලියේ පිරිස් ගුරු ක්ෂේත්‍රයේ සිටිති. ගුරු ක්ෂේත්‍රය එබඳු ඉරණමකට ලක්විය යුතු නැත. එහෙත් ජාතියේ අවාසනාවකට එය එසේ සිදුවී තිබේ. 

‘‘විශේෂිතය සමස්තය නොවන’’ බව ඒකාන්ත සත්‍යයකි. ගුරු වෘත්තියේ ගරුත්වය ඔප් නංවන බහුතරයක් ගුරුවරු සිටිති. එහෙත් යහපත් දෙයට වඩා අයහපත් දෙය වේගයෙන් පැතිර යයි. අයහපත් දෙස කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙයි. එම පරිසරය තුළ ගුරු ගෞරවය බරපතළ ලෙස සැහැල්ලුවට ලක්වීම විමතිය දනවන්නක් නොවේ. 

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතාගේ බලගතු ආදර්ශය අප පුවත්පත වාර්තා කළේ මුල් පිටුවේ සේයාරුවක් ද සමගින් ආකර්ශනීය ලෙසය. එයට හේතුව මේ රට ගොඩනැගිය හැකිවන්නේ ආදර්ශ වලින් මිස කයි කතන්දරවලින් නොවන නිසාය.

‘ඔවා දෙනු පරහට – තමා සම්මතයෙහි පිහිටා සිට’ යන්න අපගේ රුධිර ධාතුව සමග බැඳුණු උදාර සංකල්පයකි. එහෙත් සාරධර්ම නොවටිනා මිනිස් කසළ බවට පත්වන ශාපලත් කාලයක එබඳු උදාර සංකල්ප පරඩල් බවට පත්වීම නියතයකි. එය එසේ යැයි කියා කරබාගෙන සිටිය නොහැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ජාතියේ අනාගතය තනන වගකීම දෙවුරට ගත් ගුරු පරපුර ඉදිරිපිට රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමේ වගකීම ද පැටවී තිබේ. අනාගත මිනිස් සම්පත නිර්මාණය කළ හැකි වන්නේ පංති කාමර, දේශන ශාලා තුළ විෂය නිර්දේශ ආවරණය කිරීමෙන් පමණක් නොවේ. වචනයට වඩා ආදර්ශය උතුම්ය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතා තමාට ලැබුණු තුටු පඬුරෙන් එම පාසලේ සිසුන්ට සුහුරු පුස්තකාලයක් ඉදිකර එය සිසු අයිතියට පත් කිරීම මිනිස්කමට ආමන්ත්‍රණය කළ බරසාර ආදර්ශයකි. මේ මවු පොළොව එබඳු ආදර්ශ ඉල්ලා සිටින පැයක කසුන් ගුණරත්න මහතා පෑ ආදර්ශයට ලංකාදීපයේ ආචාරය මෙලෙස පළ කරමු.

(***)



අදහස් (3)

හෝමාගමින් වාර්තා වූ  උතුම් සත් ක්‍රියාව

Thissa Saturday, 22 July 2023 05:50 AM

හැමදාම අහන්න ලැබෙන නිෂේධාත්මක පුවත් අතරේ, අහන්න ලැබුන ඉතා හොඳ පුවතක්. එතුමාට අපේ ගෞරවය සහ ප්‍රණාමය...!

:       4       34

Nilantha Gamage Saturday, 22 July 2023 07:15 AM

යුගයේ ස්මාර්ට් මිනිසෙක්... අපගේ ආචාරය...!

:       2       28

B.M.G.V.K.WEERASINHE Tuesday, 25 July 2023 11:50 AM

ගුරුවරු අතර ඇගැයීම් ලැබිය යුතු ගුරුවරු උත්තමයෙකි ඹබ. ඹබට ගෞරවය සහ ප්‍රණාමය...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2060 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site