IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


හැඳුනුම්පත් එකතු කරන රැහේ ඇත්තෝ

දඹානේ ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පතක් ප‍්‍රදානය කිරීමේ පුවතක් විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල පළවිය. දඹානට ගිය ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා නිලවශයෙන් මෙම හැඳුනුම්පත වැදි නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන්ගේ පුත‍්‍ර නියෝජ්‍ය වැදිනායකයාට පැළඳවූයේය. වැදි නායකයා හැඳුනුම්පත අතට ගත්තේය. ඔහුටම හිනා ගියේය. දේශපාලනයේ හා දේශපාලනඥයන්ගේ හැටි හොඳටම දන්නා වැදි නායකයා උපහාසයෙන් සිනා සී බලා සිටියත්, පැමිණ සිටි පිරිස අගේට රූපරාමු ගෙන මාධ්‍යවලට මුදා හැරියෝය. මේ හැඳුනුම්පත මුලින්ම යෝජනා වූයේත් ලබා දුන්නේත්, චන්ද්‍රිකා රජය කාලයේය. මෙය එතරම්ම ප‍්‍රායෝගිය දෙයක් නොවූවත් වන්නියලැ ඇත්තෝ ඊට එකඟවීමට ප‍්‍රධාන හේතුව වූයේ එම හැඳුනුම්පතට නෛතික බලයක් ලබාදෙන බවට වූ පොරොන්දුවයි. රැහේ ගැටලූ හඳුනාගෙන විසඳුම් ලබාදීමේ අරමුණින් මහනුවර ජනාධිපති ලේකම් නිල නිවාසයේ දී 1998 ජූලි 12 වැනිදා සාකච්ඡාවක් පැවැත්විණ. ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාව සඳහා මාධ්‍ය සගයෙකු ලෙස සහභාගිවන්නැයි මා හට ආරාධනා කළේ වැදිනායක වන්නියලැ ඇත්තන් හා එවකට බදුල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයාව සිටි ඩබ්ලිව්.එම්.ඒ. විජේකෝන් මහතාය. ඒ මහනුවර ගමනට දිස්ති‍්‍රක් ලේකම්වරයා මෙන්ම එවකට මහියංගනය ප‍්‍රාදේශීය ලේකම්වරයාව සිටි සුමිත් සුරවීර මහතා ද එක්ව සිටියේය. ඒ ගමන ද හරි අපූරුය. මහනුවර ගිය හැටියේ, දළදා මාලිගාව වැඳ පුදාගත යුතු යැයි යෝජනා කළේ වන්නියලැ ඇත්තන් ය. කොටි ප‍්‍රහාරයකට ලක්ව තිබූ දළදා මාලිගාව ඒ වනවිට ප‍්‍රතිසංස්කරණය කෙරමින් තිබිණ. සුදෝ සුදු මල් වට්ටි මිල දී ගත් අපි එක පෝලිමට ගමන් කරමින් සිටියෙමු. ඉදිරියෙන්ම ගියේ වන්නියලැ ඇත්තන් ය. දළදා මාලිගාව ඉදිරියේ වූ සෝදිසි කපොල්ලේ සේවය කළ පොලිස් නිලධාරියා එකවරම මග අවහිර කළේය. ”කරුණාකරල පොරව තියල යන්න. නැතිනම් ඇතුලට යන්න දෙන්න බැහැ.” ඔහු කියා සිටියේය. ”මම වැදි නායකයා මේ පොරව මගේ ආභරණයක්....” වන්නියලැ ඇත්තන් කියා සිටියත්, පොලිස් නිලධාරියාගෙන් බුරුලක් නොවීය. දිස්ති‍්‍රක් ලේකම් විජේකෝන් මහතා ද කතාවට පැටලූනේය. තවත් පොලිස් නිලධාරියෙක් අප දෙසට දුවගෙන ආවේය. මහත්තයා, මේක අපිට දීපූ උපදෙස්. කිසිම ආයුධයක් අරන් මාළිගාවට යන්න දෙන්න බැහැ..” ”මේක ආයුධයක් නෙවෙයි, මේක ආභරණයක්. රජතුමා මාලිගාවට ගියේ කඩුව ගලවල තියලද? තරමක් කේන්ති ගිය වන්නියලැ ඇත්තෝ ඇසුවේය. ”මම නම් පොරව ගලවන්නේ නැහැ. රාළහාමි ගිහින් දියවඩන නිළමේට මේ බව කියන්න. බැහැ කියනවනම් මම ආපහු යන්නම්.” වැදි නායකයා කීවේය. රාළහාමි එතැන සිටියදීම සාජන් මහත්තයා ආපසු මාළිගාව දෙසට දිව ගියේය. සිදුවන දේ කුමක්දැයි නොදැන අපි බලා සිටියෙමු. ටික වේලාවකට පසු පොලිස් පරීක්‍ෂකවරයෙක් මාලිගාවේ සිට වේගයෙන් අප දෙසට ආවේය. ඔහුගේ මුහුණේ සිනාවක් රැඳී තිබිණ. වන්නියලැ ඇත්තන්ට සිය ආචාරය පිළිගැන්වීය. එන්න නායකතුමා, පොරව ගලවන්න එපා දියවඩන නිළමේ තුමා කිව්වා ඉක්මනට එක්ක එන්න කියලා... පොලිස් නිලධාරියා ඉතා ආචාරශීලීව පවසා සිටියේය. කොටි දළදා මාලිගාවට කළ විනාශය දෑසින් දුටු වැදි නායකයා ඉතා සංවේගයෙන් ඒ ගැන කතා කරමින් පිය ගැට පෙළ නැග්ගේය. එවකට, දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා වැදි නායකයා පිළිගත්තේය. දළඳා වහන්සේට මල් පූජා කර හිතේ හැටියට වැඳ පුදාගත් පසු, දියවඩන නිළමේවරයාගෙන් ආරාධනයක් ලැබිණ. ඒ තේ පැන් සංග‍්‍රහයක් සඳහාය. දියවඩන නිළමේ සමග වැදි නායකයා සල්ලාපයේ යෙදුණේය. ඉන්පසු, සාම්ප‍්‍රාදියක සමුගැනීම සිදු වූයේ නිළමේවරයාගේ දෑත මත වන්නියලැ ඇත්තන්ගේ දෑත තැබීමෙනි. ඒ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ එළිමහනේ සිහිල් තුරු වදුලේ සාකච්ඡාවට කටයුතු සූදානම් කරන්න ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි මහතාට අමතරව කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ උපදේශක (වගා ලංකා) ඞී.එම්. ආරියරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී. දිසානායක, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ බර්ටි ජයසේකර, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විජය රණසිංහ, බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් ඩබ්ලිව්.එම්.ඒ. විජේකෝන් යන මහත්වරු රාජ්‍ය අංශය නියෝජනය කළහ. ”වැදි රැහේ අයට කැලයේ ඇති උරුමය... දේශපාලන තීන්දු නිසා එය අහිමිව ගිය අයුරු හා වනජීවි නීතිරීති නිසා රැහේ සංස්කෘතික ජීවන රටාවට ඇති බාධා ආදිය වන්නියලැ ඇත්තෝ අපූරුවට විග‍්‍රහ කළේය. වනජීවී අංශයෙන් කියැවුණේ... කැලෑ විනාශය මෙන්ම නීතිවිරෝධී වනසතුන් දඩයම් වැළැක්වීම සඳහා පනවා ඇති නීති වෙනස් කිරීම අපහසු බවය. වන්නියලැ ඇත්තන්ගේ කතා ස්වරූපය දැඩිවිය. ”ඔව් මහත්තයා, කැලේ මහා ගස් කපාගෙන යනවා. ඉවක් බවක් නැතිව සතුන් දඩයම් කරගෙන යනවා. කව්ද ඒවා කරන්නේ කෝ ඔය නිලධාරීන් ඒවාට විරුද්ධව පියවර අරන් තියෙනවාද? මහත්තයල එන්න මාත් එක්ක කැළේට යන්න. මගේ අත්දෙකෙන් බදන්න බැරිතරම් වට ප‍්‍රමාණයේ සහිත වටිනා ගස් එදා තිබුණා. අද තියෙන්නේ මුල් විතරයි. අපේ වැද්දෝ නෙවෙයි දඩයම් කරන්නේ මස් වැද්දෝ. අපේ අනන්‍යතාවයට අයිතිවාසිකම්වලට නීතිදාන නිලධාරින් ඇයි මේ විනාශයන් වළක්වන්නේ නැත්තේ. හේතුව මම කියන්න  ඕන නැහැනේ... වන්නියලැ ඇත්තෝ බාලපටබැඳි මහතාගේ දෑස දෙස බලාගෙනම කියාගෙන ගියේය. බාලපටබැඳි මහතා බොහොම සන්සුන්ව වන්නියලැ ඇත්තන්ගේ හිත නිවෙන අයුරින් කතා කළේය. මෙහිදී පහත සඳහන් එකඟතාවයන් ඇතිවිය. ”කෑරගොඩෙයි, කන්දේගම් ගම්වල යි වැව් දෙක හදලා දෙන්න පුළුවන්. වැව් ළඟ පදිංචිවෙලා වගාවක් කරන්න ඉඩ දෙන්න පුළුවන්, වැව්වල මාළු ඇති කරන්න පුළුවන්. කැමතිනම් සත්තු ඇති කරන්න පුළුවන්. කැලේ ආරක්‍ෂා කරන්න වරිගේ තරුණයන්ට රැුකියා දෙන්න පුළුවන්.

  • ඉගෙන ගන්න කැමති අයට උපකාර කරන්න පුළුවන්.
  • කැලේ ජීවත්වෙන හැමදෙනාටම හැඳුනුම්පතක් දෙනවා. මීපැණි, බෙහෙත් පැළෑටි විකුණගන්න පහසුකම් දෙන්න පුළුවන්. අලූතින් කැලෑබිමේ පදිංචිවන අයට ලෝක ආධාර වැඩසටහන යටතේ උදව් කරන්න පුළුවන්.
  • වනබිම ඇතුලේ ජීවත්වෙන්න ලැබෙන්නේ පිරිසිදු වැදි ගෝති‍්‍රකයන්ට පමණයි.
  • වනබිම ඇතුලේ ජීවත්වන පිරිසට පෞද්ගලික නායකත්වයක් හිමි නොවන අතර පොදු ගෝත‍්‍රික සංවිධානයක් මගින් තීරණ කි‍්‍රයාත්මකයි.
  • වනබිම ඇතුලේ ජීවත්වන සියලූ දෙනාම වනබිම ආරක්‍ෂා කර ගැනීමේ වගකීම භාරගත යුතුයි.
  • අකටයුත්තක් සිදුවුවහොත් සියලූදෙනා වගකිව යුතුයි.
  • වනබිම තුළ ජීවත්වන සියලූ දෙනාටම වෙනම හැඳුනුම්පතක් දිය යුතුයි. වනජීවී දෙපාරේත මේන්තුවත්, එක්ක එකතුවෙලා වනබිම රැක බලා ගත යුතුයි. කැලෑ බිම පාවිච්චි කිරීමේ දී එළි කළ හැක්කේ වාසයට පමණයි. එහි සීමාව වන්නේ ගෝත‍්‍රික සංවිධානය පෙන්වා දෙන කොටසයි.
  • වනබිමේ ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය නොදෙන අතර විකිණීමට හෝ පැවරීමට නොහැක.
  • පුද්ගලික උවමනාවකට හැර විකිණීමට හෝ වෙනත් හේතුවක් සඳහා ගස් කැපිය නොහැක.
  • දඩයම් කළ හැක්කේ ආහාර සඳහා පමණි. විකිණීම සපුරා තහනම් ය.
  • මී පැණි හා ඖෂධ වර්ග විකිණිය හැක.
  • වන බිමේ වාසය කරන අය පැරැණි ගෝත‍්‍රික සිරිත් ආරක්‍ෂා කළ යුතුය.
මෙහිදී රැහේ අය වෙනුවෙන් වූ එකඟතාවයන් මෙසේය. ආදි වැදි නායකයා මේ ඉතිහාසය සිහිපත් කරන්නේ සුරංගනා කතාවක් සිහිපත් කරන අයුරිනි. ”මේ තරම් සාධාරණ වැඩපිළිවෙළක් අපි යෝජනා කළා. ඊට පස්සේ, චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ලියවිල්ලක් නිකුත් කළා. ඒත් අධිකරණය කිව්වේ ඒ ලියවිල්ලේ නීත්‍යානුකූල බවක් නැති බවයි. අලූත් ඇමතිතුමත් අලූත් හැඳුනුම්පතක් දුන්නා. ඒකත් තවත් හැඳුනුම්පතක් විතරක් වේවි. කමක් නැහැ ඇමතිතුමා තුටු කරන්න  ඕනනේ. ඒනිසා එකත් භාරගත්තා යැයි වැදිනායක වන්නියලැ ඇත්තෝ පැවසුවේ අමුතු හිනාවක් පෙන්වමිනි.
සටහන: බදුල්ලේ පාලිත ආරියවංශ
වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 වැදි රැහේ ජීවිතය-5 වැදි රැහේ ජීවිතය-6 වැදි රැහේ ජීවිතය-7 වැදි රැහේ ජීවිතය-8 දේශපාලනඥයන්ගේ සුරංගනා කතා සිහිපත් කරන නායක වන්නියලැ ඇත්තෝ   බාධක මැද දළදා මාළිගාව වැඳපුදා ගනිද්දී ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණ සාකච්ඡාව ලංකාදීපය වාර්තා කළ අයුරු. හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතා සමග වැදි නායකයා  



අදහස් (0)

හැඳුනුම්පත් එකතු කරන රැහේ ඇත්තෝ

ලියොන් ගුණවර්ධන Saturday, 27 December 2014 04:52 PM

අපේ ආදී වාසීන්ගේ තොරතුරු අලලා පාලිත ආරියවංස මැතිදුන් විසින් සකස් කර පළකර ඇති අගනා සටහන් පෙළ මා විසින් මෙයට පෙරද යෝජනා කල ඇති පරිදි සිංහල සහ ඉංග්‍රීසි බසින් පොතක් සේ පල කලොත් අපේ ආදී වාදිසින්ගේ අගනා සංස්කෘතිය , මුළු ලෝ වැසියන්ම දැනගන්නවා ඇත. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1354 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1262 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site