ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ ඇති තෝරාගත් කුඩා ඇසුරුම් (පැකැට්ටු) වර්ග කිහිපයක් කඩිනමින් තහනමකට යටත් කිරීමේ සූදානමක් ගැන දැනගන්නට ලැබී ඇත. කුඩා ඇසුරුම් (පැකැට්) භාවිතය ශ්‍රී ලංකාවේත් පහළ ආදායම් ලබන වෙනත් සංවර්ධනය වන රටවලත් වැඩිවෙමින් පවතී. මේවා පරිභෝජනය වැඩි වෙද්දී පරිසරයට ඇතිවන බලපෑමත්, ආර්ථිකය කෙරේ ඒවායින් ඇතිවන බලපෑමත් පැහැදිලිව දිස්වේ.

කුඩා ඇසුරුම් යන සංකල්පය චීනයේ හැන් පෙළපත රජ කළ කාලය දක්වා දිවයන්නකි. ඉතා අඩු මිලකට කුඩා නිෂ්පාදන ප්‍රමාණයක් අලෙවි කිරීමේ මෙම වාණිජ යාන්ත්‍රණය කාලයක් තිස්සේ පරිණාමයට භාජන වී තිබේ. පෙර කාලයේ මුලින්ම කුඩා ඇසුරුම් සාදා ඇත්තේ රෙදි සහ වැල්වලිනි. බොහෝ ඒවා එකල සුවඳ කැවූ කුඩා පැසවල් මෙන් නිමවා තිබිණි. කෙසේ වුව ද අද වනවිට බෙහෙවින් වාණිජකරණයට ලක්වී ඇති මේවා අඩු ආදායම්ලාභීන්ගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම පිණිස වෙළෙඳපොළට යොමු කෙරේ.

වර්තමානයේ බොහෝ ඇසුරුම් සාදනු ලබන්නේ බහුවිධ ස්ථරවලින් යුක්ත ප්ලාස්ටික් වර්ගවලිනි. සුපිරි වෙළෙඳ සංකීර්ණවල කෝපිහල්, ෆාමසි, සිල්ලර කඩ ආදියේ මේවා අලෙවි කෙරේ. ප්ලාස්ටික් භාවිතයට එරෙහි ව්‍යාපාරයක් වූ ප්ලාස්ටික් ප්ලැනට් මගින් කරන ලද අධ්‍යයනවල දී හෙළිදරව් වී ඇත්තේ වසරක් පාසා ගෝලීය වශයෙන් මෙකී ඇසුරුම් බිලියන 885ක් භාවිතයට ගැනෙන බවයි. දැනට නිෂ්පාදනය වර්ධනය වන වේගයෙන් මේවා නියාමනයකට ලක්නොකර දිගින් දිගටම නිෂ්පාදනය වුවහොත් 2030 වසරේ දී කුඩා ඇසුරුම් ට්‍රිලියනයක් නිම වෙතැයි ගණන් බලා තිබේ.

කුඩා ඇසුරුම් බොහෝ සෙයින් භාවිත කරන්නේ අඩු ආදායම් ලබන ජනකායක් වන අතර අප්‍රිකානු, දකුණු ආසියානු ප්‍රදේශවල මේවා බහුලව භාවිත වේ. කුඩා ඇසුරුම් නිෂ්පාදනයේ දී ලෝකයේ සමස්ත නිෂ්පාදනයෙන් අඩකට දායක වන්නේ අග්නිදිග ආසියාවයි. පසුගිය 20 වසර පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා කුඩා ඇසුරුම් භාවිතයට ඇබ්බැහි වී සිටිති.

අඩු මිලකට අඩු ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සාර්ථක වී ඇත්තේ ඉහත කී කලාපවල රටවලය. සීමිත මූල්‍ය සම්පත් ඇති ජනයා ඒවා මිලදී ගන්නට පෙළැඹෙති. ආදායම් පිරමීඩයේ පහළම ඉන්නා ජනයා තොග මිලදී ගැනීමට වඩා කුඩා ඇසුරුම් මිලදී ගැනීමට කැමැති වෙති. එම නිසා ඒවා භාවිතය බහුල වී ඇත්තේ ද අඩු ආදායම් ලබන ජනතාව අතරේය. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා මිල අඩුවීම යන සාධකය කෙරේ සැලකිලිමත් වන නිසා, අති විශාල වෙළෙඳපොළ කොටසකට මිල අඩු ඇසුරුම්වලින් අවතීර්ණය විය හැකි වේ.

මේවා ඇසුරුම් කිරීම පහසු වීම ද වාසියක් ලෙස සැලකේ. ප්‍රමාණය සහ සංයුතිය නිසා ද මේවා ප්‍රවාහනය කිරීමේ දී සාපේක්ෂව වාසි සැලසේ. පුළුල් පාරිභෝගික පිරිසකට මෙම ඇසුරුම් හරහා සමීප විය හැකිය.
පරිමාණානුකූල ආර්ථික වාසි ලැබීමේ අවස්ථා ද කුඩා ඇසුරුම් නිසා සෑහෙන තරමින් අහිමි වී යයි. කුඩා ප්‍රමාණයක් මිලදී ගැනීමට වඩා තොග මිලදී ගැනීමෙන් වාසි සැලසේ. මේවා මිලදී ගැනීම නිසා ආර්ථික වශයෙන් ඇති බාධක අඩු ආදායම්ලාභීන්ට ඉවත් වුව ද ඔවුන්ට වැඩි මිලක් කුඩා ඇසුරුම් භාවිතයේ දී ගෙවන්නට සිදුවේ. මෙයින් සිදුවන්නේ අඩු ආදායම්ලාභීන්ට වෙනත් දේ මිලට ගන්නට හෝ මුදල් ඉතිරි කරගැනීමේ ඇති අවස්ථා ගිලිහී යාමය.

කුඩා ඇසුරුම් භාවිතයේ ඇති අහිතකරම ප්‍රතිඵලය ඒවා පරිසරයට හානිකර වීමය. බහුවිධ ස්ථරවලින් සමන්විත ප්ලාස්ටික් නිමැවුම් හි සියයට 60ක් ඇත්තේ පොලිතින් වර්ගය. ඒවා ප්‍රතිශක්තිකරණය කළ නොහැකිය. පරිසරයට අපද්‍රව්‍ය මුදාහැරීම පිළිබඳව ගණන් තබාගන්නා අය ඉදිරිපත් කරන දත්තවලට අනුව මේවා වෙරළ තීරවල හා මුහුදු පත්ලේ තිබී බොහෝ සෙයින් හමුවී තිබේ. ශ්‍රී ලංකාවේ සාගර පරිසර සංරක්ෂණයේ යෙදෙන තරුණ පිරිසකගෙන් සමන්විත ද පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංවිධානය වෙරළ තීරයේ මේවා ඉවත් කිරීමේ කටයුතු කරයි. ඔවුන් පවසන ආකාරයට පරිසරය දූෂණය කරන ප්ලාස්ටික් වර්ග ඇසුරින් බහුලවම ඇත්තේ හිස් ආහාර ඇසුරුම්ය. එකතු කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට 45ක් පමණ තිබී ඇත්තේ ඉවතලූ එකී ආහාර ඇසුරුම්ය.

මෙකී ඉවතලූ බහු ස්ථර ප්ලාන්ට් ස්ථර සහිත ඇසුරුම්වලින් කුඩා මයික්‍රො ප්ලාස්ටික් සහ නැනෝ ප්ලාස්ටික් කොටස් බහුලව ගිලිහී යයි. මෙම කුඩා කොටස් ලෙස බිඳී ගිය මයික්‍රො ප්ලාස්ටික් අංශු මුහුදු ජීවීහු ගිල ගනිති (ආහාර යයි සිතා). මෑතක දී කරන ලද අධ්‍යයනයන්ගෙන් පෙනී ගියේ මයික්‍රො ප්ලාස්ටික් බහුලවම ඇත්තේ මාලදිවයින සමීපයේ සහ දකුණු ආසියානු කලාපයට ආසන්න මුහුදු තීරවල බවයි.

මයික්‍රො ප්ලාස්ටික්වලින් හානිකර ප්‍රතිඵල විඳි මුහුදු ජීවීන් අතර කැස්බෑවුන් සහ සාගර ආශ්‍රිත සතුන් ද වේ. එම සතුන්ට ජීර්ණ අපහසුතා හා ආහාර රුචිය අඩුවීම ඇතිවී උන්ගේ ආහාර ගැනීමේ රටාව ද වෙනස් වේ. ඒවායේ අවසන් ප්‍රතිඵලය වන්නේ එම සතුන්ගේ ප්‍රජනන හැකියාව අඩුවීමය. ගෝලීය වශයෙන් බිලියන 1.5ක් ජනයා මත්ස්‍ය ආහාර අනුභවයට ගන්නා අතර ඔවුන්ගේ සත්ව ප්‍රෝටීන පරිභෝජනයෙන් සියයට 20ක් ලබාගන්නේ මත්ස්‍ය ආහාරවලින්ය. මෙම නිසා මත්ස්‍යයන් ආහාරයට ගත් මයික්‍රො ප්ලාස්ටික් අවසානයේ මිනිසාගේ ජීර්ණ පද්ධතියට එක්වේ.

කුඩා හිස් ඇසුරුම් සාගරයට එක්වෙන්නේ ඇළ මාර්ග සහ ගංගා ඔස්සේය. කොළඹ නගරය ආශ්‍රිත අඩු ආදායම් ලබන ජනයා බොහෝ සෙයින් ඇළ මාර්ග අද්දර දිවි ගෙවති. තම නිවෙස්වල භාවිත අපද්‍රව්‍ය ඔවුන් වැඩිපුරම මුදාහරින්නේ මෙම ඇළ මාර්ගවලටයි.

නම කීමට අකැමැති කඩ/ සාප්පු හිමියෝ කිහිපදෙනෙක් මෙම කුඩා ඇසුරුම් තහනම් කිරීමට පක්ෂව කතා කරති. ඒවායින් ලැබෙන වාසිය අඩු මට්ටමක පවතින අතර ඒවා ගබඩා කිරීමේ දී ඇති අවදානම ද වැඩි බව ඔවුහු කියති. සිදුරු වී ඇති ඇතැම් කුඩා ඇසුරුම් නිසා අනෙක් භාණ්ඩ නරක් වීම ඔවුන් දරන එක් අවදානමකි.


තහනම් කිරීමේ යෝජනාව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සාර්ථක වීමෙන් අනතුරුව අලුතෙන් පත්වූ රජය 2020 මැද භාගයේදී ඇතැම් ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගත්තේය. රජයේ මැතිවරණ ව්‍යාපාරය පුරා ප්ලාස්ටික් භාවිත නොවූ අතර අනෙක් අපේක්ෂකයන්ට ද ප්ලාස්ටික් භාවිතය මගහැර ඉන්නට ඉන් යම් බලපෑමක් ඇතිවිය.

ඒ අතරතුර 2020 ජුනි මාසයේ ගල්කිස්ස වෙරළ තීරය පුරා අසාමාන්‍ය ප්ලාස්ටික් ප්‍රමාණයක් ගොඩගැසී තිබූ බැවින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නට රජයට නැඹුරු වීමට සිදුවිය. 2020 ඔක්තෝබර් මාසයේ දී ප්ලාස්ටික් තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් ඇමැතිවරුන්ගේ අනුමැතිය ලැබිණි. එම යෝජනා සකස් කොට තිබුණේ මධ්‍යම පරිසර අධිකාරියෙනි. එම තහනමට පහත සඳහන් කරුණු ඇතුළත් විය.

බර ග්‍රෑ. 20 හෝ මි.ලි. 20 ප්‍රමාණයට අඩු ඖෂධ නිෂ්පාදනයක් නොවන ඇසුරුම් තහනම් කළ යුතුය.

පොලිතයිලීන් ටෙරාප්තලේට් (PET) හෝ පොලිපනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය, කෘෂි රසායන හෝ වෙනත් වෙළෙඳ හෝ කාර්මික අරමුණු උදෙසා වූ ඇසුරුම්වලට භාවිතය තහනම් කළ යුතුය.
බැලුන්, බෝල, පිහිනුම් තටාක හෝ ජලයේ පාවෙන කෙළි භාණ්ඩ ආදිය හැරුණු කොට සුළං පුරවන කෙළි භාණඩ තහනම් කළ යුතු වීම.

සායන හා වෛද්‍ය කටයුතු සඳහා භාවිත කොට්න් බඩ් හැරුණුකොට, ප්ලාස්ටික් දණ්ඩ සහිත කොට්න් බඩ් තහනම් කිරීම.
මෙම තහනම 2021 ජනවාරි 01 සිට හඳුන්වා දීමට නියමිතව තිබූ නමුත් නිෂ්පාදක සමාගම්වල බලපෑම් සහ නීති අංශයේ ප්‍රමාද හේතු කොටගෙන ප්‍රමාද කරනු ලැබිණි. යෝජිත තහනම ඉන්පසු 2021 අප්‍රේල් 01 දිනෙන් පසුව ක්‍රියාත්මක කිරීම උදෙසා සාර්ථකව ගැසට් පත්‍රයේ පළකර තිබේ.

ප්‍රමාදය හැරුණු කොට යෝජිත තහනම් කිරීමේ ප්‍රධාන දෝෂයන් පවතින බව හඳුනාගෙන ඇත.
එම දෝෂ මෙසේය.

කොට්න් බඩ් සාමාන්‍යයෙන් භාවිත කරනුයේ වෛද්‍ය සහ සෞඛ්‍ය අවශ්‍යතාවලටය. මෙම නීතිය සහිත ඡේදයට ඇතුළත් කර ඇති ව්‍යතිරේක ඉවහල් කරගෙන, ප්ලාස්ටික් සහ කොට්න් බඩ් නිෂ්පාදකයන්ට නීතියෙන් සැඟවීමේ හැකියාව ඇත.

මෙකී සියලුම සුළං පුරවනු ලබන සෙල්ලම් බඩු භාවිත කරනු ලබන්නේ පාවෙන කෙළි බඩු හෝ බෝල හෝ බැලුන් ලෙස නිසා මෙම තහනම මුළුමනින්ම පාහේ ක්‍රියාත්මක වීමට බාධක ඇත.

(PEP) පොලිතයිලීන් ටෙරාප්තලේට් හෝ පොලිපනයිල් ක්ලෝරයිඩ් (PVC) තහනමට ලක්වෙනුයේ එම ප්ලාස්ටික්වලින් නිමවන බෝතල්වලින් සුළු කොටසක් සඳහා පමණි. කෘෂි රසායන ලෙස භාවිත කෘමිනාශක බොහෝමයක් අසුරා ඇත්තේ ද වීදුරු බෝතල්වලයි.

ශ්‍රී ලංකාවේ අලෙවි කරනු ලබන කුඩා ඇසුරුම්වල ලක්ෂණ සොයා බලා තීරණය කරනු සඳහා 2021 මුල් කාලයේ දී කුඩා ඇසුරුම් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකරන ලදී. පාරිභෝජනය කරනු ලබන සහ පරිභෝජනය නොකරන යන දෙවර්ගයේම මිලි. 60 හෝ මි.ග්. 60 දක්වා වූ සියලුම කුඩා ඇසුරුම් මෙම සමීක්ෂණයට අයත් විය. කුඩා ඇසුරුම් වර්ග 64ක් මෙම සමීක්ෂණයේදී නියැදිය ලෙස ගැනුණේය. සමීක්ෂණයේ අරමුණ වූයේ ආර්ථික වශයෙන් මේවායේ පරිමාණය ප්‍රයෝජනවත් වේදැයි විමසා බැලීම සහ කිනම් කුඩා ඇසුරුම් රජයේ නව රෙගුලාසි යටතේ තහනම් වේදැයි විමසා බැලීමය.

මෙම සමීක්ෂණයේ විග්‍රහවලට අනුව එම නියැදියට අයත් වර්ග 64 න් 2021 අප්‍රේල් 1 දායින් පසුව තහනමට ලක්වනුයේ වර්ග 19 ක් පමණකි. මෙසේ වනුයේ රජයෙන් තහනමට ලක්වන මිග්/මිලි 20 ට අඩු ඇසුරුම් පරිභෝජන නොකරනු ලබන ඒවා නිසාය. රජයේ යෝජිත තහනම ක්‍රියාත්මක වුවහොත් එකී ඇසුරුම් වලින් වෙළඳපොළෙන් ඉවත්වනුයේ සියයට 30 ක් පමණකි.

රජය, පරිභෝජනය කරනු ලබන සහ පරිභෝජන නොකරන යන දෙවර්ගයටම මෙම මිලි/මිග් 20 අඩු කුඩා ඇසුරුම් තහනම පැනවුවහොත් නියැදියට ගත් වර්ග 64 න් වර්ග 46 ක් එවිට වෙළෙඳපොළෙන් ඉවත්වනු ඇත. එවිට ශ්‍රී ලංකාවේ කුඩා ඇසුරුම් වර්ග සියයට 72 ක් තහනමට ලක්වේ.

මේ අතර වෙළෙඳපොළේ ඇති කුඩා ඇසුරුම් වලින් සියයට 56 ක් සමන්විත වනුයේ ඖෂධ නිෂ්පාදන බැවින් එවිට බහුතරයකට තහනම ඵලදායි ලෙස පැනවෙන්නේ නැත. එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ඉහළින්ම ඇත්තේ කුඩා ඇසුරුම් නිෂ්පාදකයන් තිදෙනෙකි. ඒ යුනිලිවර් සමාගම, නෙස්ලේ සමාගම හා හේමාස් සමාගමයි. මෙරට වෙළෙඳපොළේ අලෙවි වන කුඩා ඇසුරුම් වලින් සියයට 45 මෙම සමාගම් තුනේ නිෂ්පාදනය.

මෙකී ප්ලාස්ටික් ඇසුරුම් තහනම් කිරීමේදී කුඩා ඇසුරුම් හඳුන්වන නිර්වචනය වර්ග සෙ.මි. 144 හෝ මි.ග්‍්. මිලි 50 ලෙස ගතහොත් එවිට කුඩා ඇසුරුම් වලින් සියයට 90 ක් වෙළෙඳපොළෙන් ඉවත්වනු ඇත. එවිට පාරිභෝගිකයාට ප්‍රශස්ත වාසි සැලසෙන වඩා හොඳ ඇසුරුම් වලට වෙළෙඳපොළේ ඉඩකඩ හිමිවනු ඇත.

දිගු කාලයේදී දැනට වෙළෙඳපොළේ ඇති කුඩා ඇසුරුම් වර්ග වලින් සියයට 55 කින් පාරිභෝගිකයාට වාසි සැලසෙන්නේ නැති බව සමීක්ෂණයෙන් අනාවරණය විය. එකම නිෂ්පාදනයක කුඩා ප්‍රමාණයේ ඇසුරුම් මිලදී ගන්නවාට වඩා වැඩි ප්‍රමාණයේ ඇසුරුම් මිලදී ගත්විට පාරිභෝගිකයාට වාසි සැලසේ. ඇසුරුම් වර්ග සියයට 8 ක කුඩා ඇසුරුම්වල මිල වෙනස් නොවන අතර නිෂ්පාදන වර්ග සියයට 37 ක වැඩි ප්‍රමාණයක් ගැනීමේදී අමතර වාසි සැලසේ. ඇතැම් නිෂ්පාදන ඇසුරුම් වල සුපිරි වෙළඳසල්වල සඳහන් අලෙවි මිල සිල්ලර කඩවල අලෙවි කිරීමේදී සඳහන් අලෙවි මිලට වඩා වැඩිය.

භාවිතා කොට ඉවතලු ඇසුරුම් ඒකරාශි කිරීමේ උත්සාහ රාශියක් ඉතිහාසය පුරා දරා ඇත. එහෙත් ඒ බොහෝ ඒවා අසාර්ථක වී තිබේ. වාර්ෂිකව කුඩා ඇසුරුම් බිලියන 40 ක් පමණ නිෂ්පාදනය කරන යුනිලීවර් සමාගම 2012 දී ඉන්දියාවේදී මේ සඳහා පිරෝලයිසිස් නම් සංකල්පය හඳුන්වා දෙන ලදී. එක්කාසු කරගන්නා කුඩා ඇසුරුම් උණුකොට ඉන්ධන ලෙස භාවිතා කිරීමෙන් බලශක්තියෙන් සියයට 60 ක් ඉතිරි කරගත හැකි බව එහිදී හෙළිදරව් විය. රත් කරනු ලැබූ කුඩා ඇසුරුම් දියවී වාෂ්ප බවට පත්වේ. එහිදී ඝනීකරණය වූ එම වාෂ්ප ටැංකිවල ගබඩා කෙරේ. මෙම ක්‍රියාපිළිවෙළ ප්‍රයෝජනවත් වුවද කුඩා ඇසුරුම් ඒකරාශි කිරීමේ අපහසුව නිසා අසාර්ථක විය.

පරිභෝජනය සඳහා නොවූ නිෂ්පාදන ඇසුරුම් කිරීමකින් තොරව අලෙවි කිරීමද එක් විකල්පයකි. මේ අතර වැඩි වෙමින් පවතින කුඩා ඇසුරුම් නිෂ්පාදනයෙන් සිදුවන හානියේ දරුණු ස්වභාවය රජය විසින් සලකා බැලිය යුතුය. මේ සඳහා ඵලදායී නියාමනයක් රජය විසින් පැනවිය යුත්තේ මේ මගින් සිදුවන වාසිවලට වඩා පාරිභෝගිකයාටත්, නිෂ්පාදකයාටත් අලෙවිකරුවාටත්, පරිසරයටත් සිදුවන හානිය වැඩි බැවිනි.


(***)
2021 මාර්තු 19 Daily FT හි පත්‍රයේ පළවූ
Srilanka's Sachet addiction
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ