නිදහස ලැබීමටත් පෙර අවධියේ සිටම සහනාධාර මත යැපෙන ප්‍රජාවක් බිහි කිරීමට අදාළ කටයුතු සිදු විය. ඒ අනුව 1945 සිට නිදහස් අධ්‍යාපනයත් 1951 සිට නිදහස් සෞඛ්‍යයත් 1940 ගණන්වල සිට ආහාර සහනාධාරත් ලබාදීම ආරම්භ විය. කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ද නොයෙක් සහනාධාර ලබා දීම සිදු විය.
මේ තත්වය ක්‍රමයෙන් වර්ධනය වූ අතර 1977 දී නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වාදීමෙන් පසු 1979 දී ආහාර මුද්දර නිකුත් කිරීම ආරම්භ කෙරිණි. එය 1989 දක්වා වසර දහයක කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක විණි. එයින් මාසයකට සරිලන භාණ්ඩ ලබා ගැනීමට අදාළ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. මෙම ආහාර මුද්දර වැඩසටහන 1989 දී ජනසවිය නමින් වෙනස් කොට ක්‍රියාත්මක කළේය. එය 1995 තෙක් ක්‍රියාත්මක විය. දුප්පත්කම අවම කිරීම, රැකී රක්ෂා බිහි කිරීම සහ ස්වයංව නැගී සිටින ජනතාවක් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණු විය. ඒ යටතේ මාසිකව යම් මුදලක් ඊට හිමිකම් පෑ ජනතාවට හිමි විය.
වසර 1995 දී ජනසවිය අහෝසි කර ඒ වෙනුවට සමෘද්ධිය නමින් අලුත් සමාජ ආරක්ෂණ වැඩසටහනක් හඳුන්වා දුන්නේ ය. එය 2013 දක්වා ක්‍රියාත්මක විණි. 2013 දී සමෘද්ධි ව්‍යාපාරය දිවිනැගුම නමින් නව මුහුණුවරකින් ක්‍රියාත්මක කෙරිණි. ඊට සමගාමීව සමෘද්ධි වැඩසටහනත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. සමෘද්ධි වැඩසටහනේ දී ඊට හිමිකම් කියන පුද්ගලයන්ට මාස්පතා යම් මුදලක් ලබාදෙන අතර ඊට අමතරව සමෘද්ධි බැංකු ජාලයක් බිහිකර ඒ ඔස්සේ ක්ෂුදූ මට්ටමේ ණය ලබා දීමත් සිදු වේ. ප්‍රජාව මූලික කරගත් සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම, පෝෂණයට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ස්වයං රැකියා ඉලක්ක කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් මේ යටතේ සිදු කෙරේ.
සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධ කර දිවිනැගුම ආයතනය පිහිටුවන ලදී. සමෘද්ධි ව්‍යාපාරයට වඩා පුළුල් පරාසයක ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව අඩු කළ යුතුය යන අරමුණ පෙරදැරිව මෙම දිවිනැගුම වැඩසටහන හඳුන්වා දෙන ලදී. 2023 දී දිවිනැගුම සහ සමෘද්ධි වැඩසටහන් අහෝසි කර අස්වැසුම නමින් අලුත් සමාජ ආරක්ෂණ වැඩසටහනක් හඳුන්වා දුන්නේය. මෙම අස්වැසුම වැඩසටහන යටතේ අන්ත දුප්පත්, අවදානම් තත්වයේ පසුවෙන, සංක්‍රාන්ති අවධියේ පසුවෙන සහ දුප්පත් නොවන ආදී වශයෙන් කණ්ඩායම් හතරක් හඳුනාගෙන අරමුදල් ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ ය. ඒ යටතේ අන්ත දූගී දුප්පත් පවුල්වලට රුපියල් 15,000 ක මුදලක් ද දුප්පත් පවුල් සඳහා රුපියල් 7,500 ක මුදලක් ද අවදානම් මට්ටමේ පසුවෙන අය වෙනුවෙන් රුපියල් 5,000 ක් ද සංක්‍රාන්ති අවධියේ සිටින අය අරභයා රුපියල් 2,500 ක් ද වශයෙන් මාස්පතා මුදල් ගෙවනු ලැබේ.
මෙම අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය වැඩසටහනට අනුගතව ලෝක බැංකුවේ ආධාර ද සහිතව ක්‍රියාත්මක කරනු ලබයි. 2024 නොවැම්බර් වෙනවිට අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව දාහත් ලක්ෂ තිස් හත්දාස් එකසිය හතළිස් එකක් (1,737,141) දක්වා වැඩි විය. 2013 වෙනවිට දාහතර ලක්ෂ හැත්තෑ හත් දහස් එකසිය හැත්තෑ තුන් දෙනෙක් (1,477,173) සමෘද්ධි ප්‍රතිලාභියෝ වූහ. එය 2019 වෙද්දි දහ අට ලක්ෂ එකසිය අසූ දෙකක් (1,800,182) දක්වාත් 2020 වෙනවිට දාහත් ලක්ෂ අනූ තුන් දහස් දෙසිය අසූ පහ දක්වාත් (1,793,285) 2021 වෙද්දි දාහත් ලක්ෂ හැට දහස් හාර සියය අසූ පහ (1,760,485) දක්වාත් 2022 දී දාහත් ලක්ෂ පනස් තුන් දහස් හාර සියය පනස් අට (1,753,458) දක්වාත් අඩු වැඩි වී ඇත.
ලංකාවේ සිටින මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 57 කි. එයින් පවුල් දාහත් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට සහනාධාර ලබාදෙන තත්වයක් 2022 වෙනවිට නිර්මාණය වී තිබිණි. එය ප්‍රතිශතාත්මකව සියයට 30 ක් පමණ වේ.
මෙපරිදි මාසිකව ජනතාවට සහනාධාර මුදලක් ලබා දෙන්නේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යය සහ වෙනත් සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙන අතරවාරයේ දී ය. අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ දැමීමේ සූදානමක් ගැන ද වාර්තා වේ.
මෙරට සිටින පවුල් ලක්ෂ 24 කට අස්වැසුම ප්‍රතිලාභ ලබා දුනහොත් එසේ ප්‍රතිලාභ ලබන පිරිස මුළු ජනගහනයෙන් සියයට 40 ක් පමණ වේ. මෙරට තිබෙන මුළු ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණය 14,015 කි. පවුල් ලක්ෂ 24 සමස්ත ග්‍රාම නිලධාරී වසම් ගණනින් බෙදූ විට ලැබෙන පිළිතුර 171 කි. එහි අර්ථය එක් ග්‍රාම සේවා වසමක සිටින පවුල් 171 ක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන බවය.
ග්‍රාමසේවා වසමක සිටින මුළු පවුල් සංඛ්‍යාව 400 ක් පමණ වේ. ප්‍රකාශ වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව මිලියන 2.4 දක්වා වැඩි කළ හොත් සිදු විය හැක්කේ ග්‍රාම සේවා වසමක සිටින පවුල් 400 ක සංඛ්‍යාවෙන් පවුල් 170 කට අවශ්‍ය ආහාරපාන වෙනුවෙන් රජය අරමුදල් වෙන් කිරීම ය.
ලංකාවේ ගමක දුප්පත් පවුල් 30 ත් 40 ත් අතර පිරිසක් සිටීමට හැකි බව අපි ව්‍යවහාරයෙන් දනිමු. එවැනි පවුල්වලට සහන ලබා දීමෙහි කිසිදු වරදක් නොමැත. එහෙත් අස්වැසුම ප්‍රතිලාභ සඳහා හිමිකම් පෑ හැකි පවුල් 171 ක් වගේ ප්‍රමාණයක් එක් ගමක සිටිය හැකි ද යන්න ප්‍රශ්නසහගත ය. එබැවින් අප අධ්‍යයනාංශයේ මැදිහත්වීමෙන් නොයෙක් සමීක්ෂණ ද සිදු කෙරිණි. ඕනෑම ගමක අස්වැසුම වේවා සමෘද්ධිය වේවා කිසිදු සමාජ ආරක්ෂණ අරමුදලක් නොලැබෙන පවුල් ද සිටිති. එසේ ම නොලැබිය යුතු පිරිසක් ද ප්‍රතිලාභීන් බවට පත් ව ඇත. විශේෂයෙන් ම ප්‍රතිලාභ ලෑබීමට නුසුදුසු විශාල පිරිසක් අස්වැසුම ප්‍රතිලාභීන් වශයෙන් හඳුනා ගෙන තිබේ. ඊට හේතුව ප්‍රතිලාභීන් තේරීමේ ක්‍රමයෙහි තිබෙන වැරදි ය.
අස්වැසුම ප්‍රතිලාභීන් තේරීමේ දී සලකා බලන නිර්ණායක ඇති අතර ජනතාවට ඒවා වසන් කිරීමේ හැකියාව ද පවතී. නිදසුනක් ලෙස යම් පුද්ගලයකුට ත්‍රිරෝද රථයක් තිබේ නම් එම පුද්ගලයා අස්වැසුම ප්‍රතිලාභය ලැබීමට නුසුදුසුය යනුවෙන් නිර්ණායකයක් ඇත. ඇතැම් තැන්වල දී අපට නිරීක්ෂණය වූයේ, ත්‍රිරෝද රථ හිමි ඇතැම් පුද්ගලයන් ඒවා වෙනත් අයගේ නම්වලට පවරා තමන්ට ත්‍රිරෝද රථ නොමැති බව තහවුරු කිරීමට කටයුතු කර ඇති බවය. ඊට අමතරව තමන්ට හිමි ඉඩම් හා වෙනත් දේපොළ වසන් කර අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට තවත් අය ක්‍රියා කරති. අස්වැසුම ප්‍රතිලාභීන් තේරීමේ ක්‍රියාවලියේ දී ඊට සම්බන්ධ ඇතැම් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් තමන්ට අවශ්‍ය අයගේ නම් ද ඇතුළත් කර ඇති බවක් අපට නිරීක්ෂණය විය.
අනවශ්‍ය විශාල පිරිසකට සහන දීම හේතුවෙන් රජයේ සහනාධාර බිල ඉහළ ගොස් තිබේ. රජයේ සහනාධාර බිල රජයේ මුළු වියදමෙන් සියයට 18 කි. 2025 දී රජයේ සහනාධාර බිල රුපියල් බිලියන 1,290 කි. මෙම සහනාධාර බිල 2012 දී පැවතියේ රුපියල් බිලියන 408 ක අගයක ය. එම ප්‍රමාණය 2020 වෙනවිටත් රුපියල් බිලියන 561 ක මට්ටමේ පැවතිණි. මේ රාජ්‍ය සහනාධාර බිලෙහි එක් පැතිකඩක් පමණි. මෙයට අමතරව නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් රජය විශාල බරක් දරයි. එමෙන්ම පොහොර සහ වගා සහනාධාර ද ලබා දේ.
මෙපරිදි නොයෙක් සහනාධාර ලබාදීම හේතුවෙන් රාජ්‍ය අයවැය මත දැඩි තෙරපුමක් ඇති කරයි. සහනාධාර ලබන ජනතාවත් සහන මත යැපෙන මානසිකත්වයෙන් කල් යවති. වෙහෙස මහන්සි වී ඉපැයිය යුතු බව නොසිතති. තවත් අය රැකියා කළ ද මෙම සහනාධාර ද ලබති. මගේ යෝජනාව අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව අඩු කළ යුතු බව ය. එසේ කළ හොත් රජයට විරෝධය එල්ල වීමට පිළිවන. එසේ විරෝධය එල්ල නොවෙන ආකාරයට සූක්ෂ්මව එය කළ යුතු ය. එහිදී ග්‍රාම සේවා වසමක සිටින සැබෑ දුප්පතුන් හඳුනා ගැනීම සඳහා අදාළ ගමේ ජනතාවගේ සහාය ද ලබාගත හැකි ය. මන්ද, සිය ගමේ සිටින සැබෑ දුප්පතුන් ගැන ඔවුන් හොඳින් දන්නා නිසා ය. එයට රාජ්‍ය නිලධාරීන්ගේ මගපෙන්වීම ලබා දිය හැකි ය. එසේ හඳුනා ගන්නා නම් ලැයිස්තුව සතියක් හෝ දෙකක් ගමේ ප්‍රදර්ශනයට තබා විරෝධතා ඇත්නම් ඒවා ද ලබා ගන්නා ක්‍රමයක් අනුගමනය කළ හැකි ය.
අස්වැසුම ප්‍රතිලාභීන් සිය කැමැත්තෙන් ම එයින් ඉවත් වෙන තත්වයක් ඇති කිරීමට රජයට පිළිවන. ගම් මට්ටමින් ශ්‍රමදාන සූදානම් කිරීම සහ ඒ සඳහා සතියකට වරක්වත් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සහභාගීත්වය අනිවාර්ය කිරීම, වගා නොකරන ඉඩම් තිබේ නම් එම ඉඩම් තාවකාලිකව වගා කටයුතු සඳහා ලබා දීම ආදී ක්‍රියාමාර්ග ඒ වෙනුවෙන් ඵලදායීව යොදා ගත හැකි ය. මේ කටයුතු සඳහා සහභාගීවීමට ඇති අකැමැත්ත හේතුවෙන් ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන් ස්වේච්ඡාවෙන් අස්වැසුම වැඩසටහනින් ඉවත් වීමට ඉඩ ඇත. විශේෂයෙන් ම අස්වැසුම ලබන එහෙත් ඊට නුසුදුසු ධනවත් පිරිස වැඩසටහනින් ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙනු ඇත. ගමක මාර්ග පිළිසකර කිරීම සහ වගා නොකරන ඉඩම්වල වගා කටයුතු ආරම්භ කිරීම ආදී ක්‍රියාමාර්ගවලින් රටේ ආර්ථික සංවර්ධනයට ද දායකත්වයක් සපයනු ලබයි.
මේ ආකාරයේ සමාජ ආරක්ෂණ වැඩසටහන් හේතුවෙන් ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළට සෘණාත්මක බලපෑම් ඇති කරයි. සහනාධාර මුදල් ලැබෙන හෙයින් බොහෝ අය වෙහෙස මහන්සියෙන් ඉපැයීමට මැළිකමක් දක්වති. මෙරට ආයෝජන වියදම් අවම මට්ටමක පවතී. එහෙත් ණය ගෙවීමේ වියදම් ඉහළ අගයක පවතී. ලබා ගත් ණයවල පොලී ගෙවීමට පමණක් 2025 වසරේ දී රුපියල් බිලියන 2,950 ක් වැය කිරීමට සිදු වේ. රුපියල් බිලියන 1,315 ක් රාජ්‍ය ආයෝජනවලට යෙදවීමට සිදු වේ. රුපියල් බිලියන 1,230 ක් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය වේ. අත්‍යවශ්‍ය පිරිසට පමණක් සහනාධාර ලබාදීමෙන් රජයේ සහනාධාර බිල අඩු කර ගත හැකි ය. එසේ ඉතිරි කර ගන්නා මුදල රටේ සංවර්ධනය සඳහා යෙදවිය හැකි ය. ඒ ඔස්සේ නව රැකී රක්ෂා ඇති කළ හැකි ය. සහනාධාර මත පමණක් යැපෙන මානසිකත්වය වෙනස් විය යුතු ය. රජයේ සහනාධාර ලබා ගන්නා අය කායිකව නිරෝගී නම් වැඩ කිරීමට සූදානම් විය යුතු ය.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සහනාධාර දිගටම අවශ්‍යද?