IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සෙවනගල සීනි කර්මාන්තයේ අදුරු අනාගතය

දැඩි නියඟය හේතුවෙන් සෙවනගල උක් වගා භූමි හරහා මේ දිනවල පැතිර යන ගින්න පාලනයකින් තොරව පැතිර යාමෙන් සෙවනගල උක් කර්මාන්තයට ගැටලු‍ ගණනාවක් නිර්මාණය වී තිබේ.

ගිනි ගැනීමට හසුවූ උක්දඬු දශක ගණනාවක් තිස්සේ සෙවනගල සීනි කර්මාන්තය විසින් මිලට ගනු ලැබූ නමුත් පසුගිය මාසයේ 30වැනි දින සිට එම ආයතනය පිළිස්සුණු උක් අස්වැන්න මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගම උක් ගොවි ජනතාව දැඩි නොසන්සුන්තාවට පත්වී සිටිති.

 මෙම දුක් ගින්දර මධ්‍යයේ සෙවනගල උක් ගොවීන්ට මෙන්ම උක් ප්‍රවාහකයන්ට මතුවී ඇති ගැටලු‍ පිළිබඳව මුලින්ම අදහස් ප්‍රකාශ කරමින් සෙවනගල උක් ගොවි බල මණ්ඩලයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත සුරාජ් මහතා මෙසේ පැවැසීය.

සෙවනගල සීනි සමාගම විසින් උක් ගොවීන්ට රුපියල් මිලියන දෙසිය දහසයකුත් ටැක්ටර් සංගමයේ සාමාජිකයන්ට මිලියන දහසයක මුදලකුත් ගෙවීමට තිබෙනවා.

ඒ වගේම සෙවනගල උක් බිම් පුරා විකිණීම සඳහා කපා දමා තිබෙන පිළිස්සුණු  උක් ටොන් ප්‍රමාණය දස  දහසක් පමණ වන අතර කපා දමා තිබෙන අමු උක්ගස් ටොන් ප්‍රමාණය තුන් දහසක් පමණ වෙනවා.

ටොන් එක් ලක්ෂ විසි දහසකට ආසන්න උක් ටොන්  ප්‍රමාණයක් කැපීමට ඉතිරිව තිබෙනවා. මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා සෙවනගල සීනි කර්මාන්තය සීනි නිෂ්පාදනය කිරීම සඳහා අඹරලා තිබෙන උක් ටොන් ප්‍රමාණය එක් ලක්ෂ විසිතුන් දහසක් වැනි ප්‍රමාණයක් පමණයි.

ඒ කෙසේ වෙතත් මේ වසරේ ඇඹරුම් වාරය නොවැම්බර් 20 වැනි දිනෙන් අවසන් කිරීමට නියමිතයි. ඉන් පසුව එළැඹෙන්නේ අධික වර්ෂා කාලයක් නිසා ප්‍රායෝගික ගැටලු‍ මතුවන නිසයි සෑම වර්ෂයකම එසේ සිදු කරන්නේ.

එම නිසා හැකි ඉක්මනින් ගොවියන් සමග සාකච්ඡා කර පිළිගත හැකි විසඳුමකට පැමිණිය යුතුව තිබෙනවා. එන්න එන්නම ගැටලු‍ නිර්මාණය වෙමින් තිබියදී තමයි උක් වගා ගිනි ගැනීමට ලක් වෙමින් තිබෙන්නේ.

සෙවනගල ප්‍රදේශයේ ගොවි පවුල් හාර දහසක් පමණ  පිරිසක් හෙක්ටෙයාර් හාරදහස් දෙසීයකට අධික ප්‍රමාණයක උක් වගාවන්  සිදුකරමින් සිය ජීවනෝපාය සරිකර ගනිති.

එම ගොවි පවුල්වල සාමාජිකයන්ට අමතරව එම ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත ජනතාවක් එහි අතුරු රැකියාවල නිරත වෙමින්  ජීවිකාව   ගෙනයන අතර උක් ප්‍රවාහකයෝ ද එහි ප්‍රධාන කොටස්කරුවෝද වී  සිය ආදායම් මාර්ගවල යෙදෙති.

එම ප්‍රදේශයේ ගොවීන් වගා කරන සියලු උක් අස්වැන්න දශක  හතරක පමණ  කාලයක සිට මිල දී ගනු ලබන්නේ  සෙවනගල ලංකා සීනි සමාගම විසිනි.

එහෙත් දැනට මාස කීපයකට පෙර සිට සීනි සමාගමේ ඇති වූ මුදල් අර්බුදයක් හේතුවෙන් උක් ගොවීන්ට ගෙවිය යුතුව ඇති මුදල් එම ආයතනය නිසි ලෙස ගෙවාගැනීමට අපහසුව ඇති පසුබිමක  මෙලෙස උක් ගොවිබිම් ගිනි ගැනීම නිසා ගැටලු‍ රැසක් නිර්මාණය වී ඇත.

උක් වගා ගිනි ගැනීම හේතුවෙන් මේ වනවිට උක් ගොවීන්ගේ  ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවෙමින්  පවතින අතර උක් ගොවීන්ගේ  ඉදිරි සියලු බලාපොරොත්තු එම ගින්නේ දුමාරයෙන්ම වැසී යමින් පවතින බව එම ගොවීන්ගේ අදහස්වලින් පැහැදිලි වේ.

 සෙවනගල ආනන්ද ගොවි සංවිධානයේ සභාපති ජේ. ජගත් සුනන්ද මහතා මෙසේ පැවසීය මේ වනවිට සෙවනගල, කොවුල්ආර, මුතුමිණිගම, දළුක්කැටිය, ගිනිගල්පැලැස්ස, ආනන්දගම, වාසනාගම ඇතුළු ප්‍රදේශවල ගොවිබිම් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වෙමින් පවතිනවා.

දැවී ගිය උක් අස්වැන්න කපා විකුණා ගැනීමට යාමේදී ගැටලු‍ ගණනාවක්  ඇතිවෙනවා. කපන එක් උක් ටොන් එකකින් දවසකට සීයට විස්සකින්  පමණ බර අඩු වෙනවා. පිළිස්සී ගිය උක් අස්වැන්නකට ගෙවන මිල අඩුයි. උක් කැපීමට කැපුම්කරුවන්ට යන ගාස්තුව වැඩියි. කැපුම්කරුවන්ට විවිධ වරප්‍රසාද ලබාදීමත් කළ යුතුවෙනවා.

උක් ගොවියන්ට මාස කීපයක සිට සෙවනගල ලංකා සීනි සමාගම ලබාදුන් වරප්‍රසාද කප්පාදු කර තිබෙනවා.උක් අස්වැන්නට නිසි වෙලාවට නිසි මුදල ගැනීමට අපහසුවී තිබෙනවා. උක් වගා කිරීමේදී මූලික කටයුතු සිදු කිරීම. පොහොර ලබා ගැනීම පමණක් නොවෙයි  සීනි ආයතනය පෙර සිදුකළ  පොදු ප්‍රජා සත්කාර පවා  මේ වනවිට නවතා  දමා තිබෙනවා.

එවැනි අවස්ථාවක තමයි මේ උක් වගා ගින්නෙන් විනාශ වෙන්නේ. වගා භූමියේ පැතිර යන ගින්නෙන් අපි සියලු දෙනාටම  දුක් ගින්දර උහුලන්න සිදුවෙමින් තිබෙනවා. එවැනි පසුබිමක තමයි ගින්නට හසුවූ උක් අස්වැන්න මිලට ගැනීම ආයතනය ප්‍රතික්ෂේප කර තිබුණේ හරියට ගහෙන් වැටුණු එකාට ගොනා ඇන්නා වගේ.

මේ වනවිට දින හැත්තෑ පහක් විතර වෙනවා ආයතනගේ උක් අඹරන කටර් එක කැඩිලා තවම හදලත් නැහැ. පිළිතුරක් දෙන්නෙත් නැහැ. වෙනත් විකල්පයකුත් නැහැ. මීට පෙර උක් ගොවීන්ට මේ තරම් ප්‍රශ්න ගොඩකට මැදිවූ කාලයක් තිබුණේ නැහැ. අද උක් ගොවීයන් අන්ත අසරණ වෙලා. ගින්න එහි එක් ගැටලු‍වක් පමණයි. උක් වගාව හා ඒ ආශ්‍රිත යැපෙන්නන් සියලු දෙනාගේ ජීවිත මේ වනවිට අනාරක්ෂිතව පවතිනවා.

උක් අස්වැන්න දැවීයාමේ සියලු අවදානම ගොවියන්ට ගැනීමට සිදුවීමත් උක් ගොවියා කබලෙන් ළිපට වැටීමක් පමණක් නෙමෙයි සමහර ගොවියෝ උක් වගාවෙන් ඉවත්වීමට පවා ඉඩ තිබෙනවා. උක් වගාවක් පිළිස්සී ගියොත් අලුත් වගාවක් ආරම්භ කරන්න විශාල පිරිවැයක් දැරීමට ගොවියාට සිදුවෙනවා.

 සෙවනගල සීනි ආයතනයේ එක් ඇඹැරුම් යන්ත්‍රයක්  තවමත් අක්‍රියව පවතිනවා. හැකි ඉක්මනින් එය අලුත්වැඩියා කරලා ක්‍රියාත්මක කළොත් සියලු උක් ගොවියන්ගේ අස්වැන්න ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම එතනෝල් ටිකයි සීනි ටිකයි අලෙවි කිරීමට යම් වැඩපිළිවෙළක් සකසා ගත යුතුයි.

කේ.පී. පියදාස උක් වගාකරුවෙකු වන මහතා මෙසේ පැවසීය. ගිනිගෙන දැවුණු උක් වගාවක් කැපීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවෙනවා. ජනතාව  විවිධ සෞඛ්‍ය තර්ජනයන්ට ලක්වෙනවා. ටොන් එකක් කැපීම සඳහා රුපියල් දහසක වැඩි මිලක් කැපුම්කරුවන්ට දෙන්න වෙනවා.

කනකර උගස් තියලා රටට ණය වෙලා උක් ගස් කපලා ආයතනයට අරන් ගියාම ඒවා ගන්න බැහැ කියන කොට ගොවියා අන්ත අසරණ වෙනවා. අවසානයේ නිලධාරීන් හැම වගකීමක්ම ගොවියන් වෙත පවරනවා.

කවුරු ගිනි තියනවාද කියලා අපි දන්නේ නැහැ. ගොවියෝ කොහෙත්ම තමන්ව විනාශ කර ගැනීම සඳහා උක් වගාවකට ගිනි තියන්නේ නැහැ. ඒක ගොවි ජනතාව දන්නවා. ඒ නිසා සෙවනගල කිසිම උක් ගොවියෙක් සෙවනගල සීනි සමාගම වහනවාට කැමැති නැහැ. මේක වසා දැමුවොත් අපිට ජීවත්වෙන්න විදිහක් නැහැ.

නම සඳහන් කිරීමට අකැමැති සෙවනගල සීනි සමාගමේ වෘත්තීය සමිති නායකයකු පැවැසුවේ තම ආයතනයේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතින බවත් මෙය වසා නොදමා පවත්වාගෙන යාමට නම් ඇත්තේ එකම විකල්පයක් බවත් අරක්කු මිල රුපියල් එක්දහස් පන්සියයකින් පමණ පහතට දමා තමන් නිෂ්පාදනය කරන දුඹුරු සීනිවලට පනවා ඇති බද්ද අහෝසි කළයුතු බවකි.

එවිට ආයතනයේ නිෂ්පාදනය කරන එතනෝල් විශාල ලෙස අලෙවි කර ගැනීමට හැකියාවක් පවතින බවත් රටේ නීති විරෝධි ලෙස නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය (කසිප්පු) ප්‍රමාණය අවම වන බවද පැවැසීය. කෙසේ හෝ එතනෝල් අලෙවි කිරීම සඳහා යම් ක්‍රමවේදයක් සකසා දෙන්නේ නම් අර්බුදය අවසන් වන බව ද පැවැසීය.

සීනි ආයතනයේ බලධාරීන් නොයෙක් අවස්ථාවල පවසා සිටියේ සීනි ආයතනය වසා දමනවා යැයි කියන කතාව පිළිගත නොහැකි බවත් ඉදිරියේදී ගොවි ජනතාව සමග සාකච්ඡා කර ආයතනයේ දියුණුව සඳහා පියවර ගන්නා බවකි.

ඉකුත් 1 දින උක් ගොවියන් සමග පැවැති රැස්වීමක දී සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එච්.පී. රුවන් සංජීව මහතා උක් ගොවියන් ඉදිරියේ පැවැසුවේ උක් ගොවියන් තීරණ කළේ පිළිස්සුණු උක් ආයතනයට මිලදී ගන්නා තුරු සෙවනගල සීනි සමාගමට උක් අස්වැන්න ලබා නොදෙන බවකි. මේ අනුව නිසි ක්‍රමවේදයක් බලධාරීන් නොයෙදුවොත් සෙවනගල උක් කර්මාන්තයේ ඉදිරි ගමන අවිනිශ්චිත බව පෙනේ.

කෙසේ වෙතත් පිළිස්සුණු උක්ගස් සෙවනගල සීනි සමාගම මිලදී ගන්නා  බව විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශකර තිබුණි.

(*** පල්ලේබැද්ද රෝහණ සමරවීර)



අදහස් (0)

සෙවනගල සීනි කර්මාන්තයේ අදුරු අනාගතය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site