අවිස්සාවේල්ල-කෑගල්ල ප‍්‍රධාන ගමන් මගේ ගලපිටමඩ හන්දියේ සිට කිලෝමීටර පහක් පමණ දුරින් වැලිතැල්ල -කැටගිල්ල වන රක්ෂිතයයි . එහි පිහිටා තිබෙන සල්ගල ආරණ්‍ය සේනාසනය සුපේෂල, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා සසරින් එතෙරවන්නට මං සොයන තවත් එක් පින් බිමෙකි. අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජු සතුරු ආක‍්‍රමණ වලින් බේරීම සඳහා සල්ගල සැඟවී සිටි බව ජනප‍්‍රවාදය කියයි. රජු සල්ගලට පැමිණීමට පෙර ද මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට සාක්කි ඇත. වන සෙනසුනෙහි ගිජ්ජකූට ලෙනෙහි කටාරමට පහළින් ‘බත දම ගුත ලෙන’ යනුවෙන් බ‍්‍රාහ්මී අක්ෂර දක්නට ලැබේ. ඉන් අර්ථ ගැන්වෙන්නේ ආර්ය මාර්ගයට ප‍්‍රවිෂ්ඨ වූ යන්නයි. භාතෘ ධර්මගුප්ත මහ රහතන් වහන්සේද මෙහි වැඩ සිටි බව කියති. මේ ලෙන විහාර මන්දිරයයි. එහි සමාධි බුද්ධ ප‍්‍රතිමාවකි. වනස්පතින්ගෙන්ද, රක්ෂිතයේ උරුමකරුවන් වන සතුන් ද බහුල සල්ගල කටාරම් කෙටූ ගල් ලෙන් බොහොමයකි. පිප්පලී ලෙන, වේහාර ලෙන, ඉසිගිරි ලෙන, පරමක ලෙන, පාණ්ඩව ලෙන, ඇතුබැඳි ලෙන ඉන් කිහිපයකි. වළගම්බා රජුගේ මඟුල් ඇතු, බැඳ සිටි ස්ථානයේ පිහිටි ලෙන ඇතු බැඳි ලෙන නමින් හැඳින්වේ. මේ සෑම ලෙනක් සමීපයේම යෝගාවචර භික්ෂූන් වහන්සේලා බවුන් වඩන සක්මන් මළුවක් දක්නා ලැබේ. ඇතැම් තැනෙක පිළිකුල් භාවනාව මෙනෙහි කිරීමට යොදා ගන්නා ඇට සැකිල්ලකි. නා නා විධ ‘තුරුලතා හා වන මලින් අලංකාර වූ වනය මැඳින්් පර්වත මුදුණට නැඟි විට මනස්කාන්ත වූ කඳු ශිඛර අවටින් පෙනේ. දසත නෙත ගැටෙන මේ සුන්දර ස්ථානය බැලූම්ගලයි. පෙර රජ දවස සතුරන් පැමිණේදෝයි ඔත්තු බැලූවේද බැලූම්ගල සිට බව කියැවේ. ශ්‍රී පාදස්ථානය ද එතැනට පෙනේ. අරණ්‍යය සිත් කළුය.