මහා ශිව රාත්‍රී දිනය අදයි (11) මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි

‘‘ස්වන්ද්‍රක්කු උහන්දදු සිව රාත්‍රී අම්බාලුක්කු උහන්දදු නවරාත්‍රි’’ යනුවෙන් හින්දු ජනසමාජයේ කියමනක් ඇත. මෙම කියමනෙන් පිළිඹිබු වන්නේ ශිව දෙවියන් ඉතා ප්‍රිය කරන ශිව රාත්‍රිය ගැනය. මෙම ලිපියෙන් අවධාරණය කිරීමට බලාපොරොත්තු වන්නේ ශිව දෙවියන් ප්‍රියකරන ශිව රාත්‍රිය ගැන විමසා බැලීමටය.

ශිව රාත්‍රින් බොහෝ සෑම මාසයකටම ශිව රාත්‍රින් උදාවේ. සෑම මාසයකම එක් දිනයක උදාවන මාසයේ ශිව රාත්‍රිය යනුවෙන් සෑම මාසයකම දෙවතාවකට වරක් උදාවන රාත්‍රිය නිත්‍ය ශිව රාත්‍රිය යනුවෙන්ද දින පහළොවක් නොකඩවා උපවාසයේ යෙදෙන ශිව රාත්‍රිය පක්ෂ ශිව රාත්‍රිය යනුවෙන් ද හැඳින්වේ. යෝගා ශිව රාත්‍රිය යැයි තවත් එකකි. එය සඳුදා දවසක මාසේ පෝය පැමිණිය හොත් ලබන ශිව රාත්‍රිය වේ. මෙසේ බොහෝ ශිව රාත්‍රියන් දෙවියන් වෙනුවෙන් තිබුණත් මහා ශිව රාත්‍රිය උදාවන්නේ වර්ෂයකට එක් වරකි. එය මෙවර අදට යෙදී ඇත.


දේව කතා
ශිව රාත්‍රිය ඇතිවීම පිළිබඳව බොහෝ දේව කතා පුරාණ ග්‍රන්ථවල ඇතත් මින් වැදගත් වන්නේ ශිව මහා පුරාණයේ තිබෙන කතාය. ශිව මහා පුරාණයට අනුව දේව කතා කීපයක් මෙසේය.

පාර්වතී දේවියගේ සෙල්ලම
එක්තරා කාලයක පාර්වතී දේවීය සෙල්ලමට ශිව දෙවියන්ගේ ඇස් දෙකම දෑත්වලින් වැසුවාය. එම නිසා ලෝකය පුරාම ඝන අන්ධකාරයෙන් වැසී ගියේය. සියලුම ජීවීන් පීඩාවට පත් වූහ. එවිට එකොළොස් කෝටියක දේවතාවන්ගේ ප්‍රධානත්වයෙන් ශිව දෙවියන්ට පුද පූජා පැවැත් වුණි. එම සිදුවීම සිහිගන්වනු පිණිස ශිව රාත්‍රිය උත්සවාකාරයෙන් හින්දුවරු සමරන්නෝය.

ශිව දෙවියන්ට විෂ පෙවීම
එක්තරා සමයක ශිව දෙවියන් කිරි මුහුදේ මතු වූ විෂ බීම නිසා සිහිසුන් වූ සෙයක් විද්‍යාමන කරමින් තෙළෙස්වක දිනවල සන්ධ්‍යවේ දී සන්ධ්‍යා නැමැති නැටුම නැටූහ. ඒ හා බැදුණ දුස්වක තිථි රැයේ දී හතරයාමයේම දෙවියෝ ශිව දෙවියන්ට පුද පූජා පවත්වා ඔහුට ශෝත්‍ර ගායනා කළෝය. එම දිනය ශිව රාත්‍රිය බව ආදිකාලයේ සිට හින්දූහු උත්සවාකාරයෙන් සමරති. හින්දු භක්තිකයන් මෙදින සතර යාම සේම ශිව දෙවියන් උදෙසා නිදිවර්ජිතව පුද පූජා පවත්වනු ලබන්නේ මේ සිදුවීම සිහිගන්වනු පිණිසය.

උමා දේවිය ඇතිකරන ලද ශිව රාත්‍රිය
එක්තරා කාලයක ලෝකය විනාශ විය. ලොව සියලුම දේවල් ශිව දෙවියන්ගේ යටතට පත්විය. ඝන අන්ධකාරයෙන් වට වූ ඒ රාත්‍රියේ උමා දේවිය ශිව දෙවියන් හට පුද පූජා පවත්වා යාඥා පැවැත් වූ බව අහමංගල පුරාණ කෘතිය සඳහන් කරයි. එම කෘතියේ සඳහන් වන ආකාරයට උමා දේවිය යාම හතරක්ම යාඥා කළාය. එම සිදුවීම් සිහිගන්වනු වස් ශිව රාත්‍රිය සැමරේ.

එම රාත්‍රියේදී අඳුර මැදින්ම පාර්වතී දේවිය ශිව දෙවියන් කරා ගොස් මෙසේ ඇයැ ද සිටියාය. "දේවයන් වහන්ස මේ රාත්‍රියේදී ඔබ වහන්සේට පුද පූජා පැවැත් වූ මා යාඥා කළේ කෙසේද? ඒ අයුරින් ශිව රාත්‍රියේ දී යාඥා කරන්නට මේ ආත්මයේ දී ඉසුරක් මතු ආත්මයේ දී දිව්‍ය ලෝකයත් අවසානයේ දී මෝක්ෂයත් ලබා දෙනු මැනව." ශිව දෙවියෝ ද ඒ අයුරින්ම ඇය ඇය ද සිටි වරයට අනුකම්පා කළහ. එදින සිට ශිව රාත්‍රිය මහා උත්කර්ෂවත් අන්දමින් හින්දුහු සමරති.

ශිව ලිංගය පහළ වීම.
මහා විෂ්ණු දෙවියෝ තමාට ක්‍රිෂ්ණ අවතාරය ලබා ගත්තේ ගෝකුල ප්‍රදේශයේදීය. එම අවතාරය ඔහු විසින් ලබා ගත්තේ මැදියම් රැයේදීය. මෙම සිදුවීම මැදින් මාසයේ අව අටවක තිථියලත් දිනයේ දී සිදුවිය. එය ගෝකුලක්ෂ්මිය යනුවෙන් හැඳින්වේ. මෙම ගෝකුලක්ෂ්මිය සිදුවී දින 180 පසුව ශිව රාත්‍රිය උදා වේ. එදින මධ්‍යම රාත්‍රියේ දී ලිංගයක් ලෙසින් ශිව දෙවියන් දෘෂ්‍යමාන විය.

ශිව දෙවියන් දේව ලීලාවෙන් බොහෝ අවතාර ගනිති. එබැවින් ශිව ලිංගය ද එහි එක්තරා සංකේතයක් බව ශිව පුරාණය පෙන්වා දෙයි. මෙම ශිව ලිංග ස්වරූපය ශිව ලබාගත්තේ ශිව රාත්‍රියේ දී මැදියම් රැයේ නිසා ශිව පූජාව හින්දු බැතිමතුන් සිදුකරනු ලබන්නේ ද එදින මධ්‍යම රාත්‍රියේදීය.

සාහිත්‍ය කෘති වර්ණනා කරන ශිව දෙවියෝ
"ශිවානන්ද ලහිරි" නැමැති කෘතියේ එන ශ්ලෝකයක ශිව දෙවියන්ගේ ගමන සහ සියලුම විලාශයන් පෙන්වා දෙයි. එම ශ්ලෝකයේ ශිව දෙවියන්ව නීලකන්ඩන් යනුවෙන් ද හැඳින්වේ. නීලකන්ඩන් සංස්කෘත භ​ාෂාවෙන් අර්තවත් මොනරාටය. මොනරා නර්තන පක්ෂියෙකි. මෙම සංසිද්ධිය "සාහිත්‍ය රත්නකාරමි" යන කෘතියේදී ද මේ ආකාරයෙන්ම ශිව දෙවියන් නීලකන්ඩන් වශයෙන් හඳුන්වා ඇත. එබැවින් ශිව දෙවියන් නර්තන පක්ෂියාගේ ස්වරූපය ද පෙන්නුම් කරයි.

"ශිවානන්ද" ලහිරි කෘතිය ලියන ශ්‍රී සහෙර බගවත්පාදර් ශිව දෙවියන් මොනර විලාශයෙන් කරන රංගනය ඉතා ඉහළින් වර්ණනා කරයි. මේ නිසා දෙමළ හින්දු නර්තන ශෛලින් මානවයාට දෙනු ලැබුවේ ශිව දෙවියන් බව හින්දුන් විශ්වාස කරති.

ශිව රාත්‍රිය ගතකළ යුතු ආකාරය
ශිව රාත්‍රි දිනයේ දී හිමිදිරියේම අවදි විය යුතුය. සිතේ සතුට අැතිකර ගෙන තම නිවැසියන් අසල්වැසියන් සමඟ මෙම රැය ඉතා යහපත්ව ගතකිරීමටත් ධ්‍යාන උපදවා ගැනීම සඳහා උපවාස කිරීමට සියල්ලෝම පොළඹවා ගත යුතුය.

පුණ්‍ය කාලයේ දී ජලස්නානය කර දෛනික සියලු කටයුතු නිමකර ගැනීමෙන් අනතුරුව උපවාසය ඇරඹිය යුතුය. පුණ්‍ය කාලය අයත්වන්නේ ශිව දෙවියන්ට බව පුරාණ ග්‍රන්ථ සඳහන් කරයි. එම නිසා මෙම පුණ්‍ය කාලයේ දී ශිව දෙවියන් ගැනම සිතා භාවනා කළ යුතුය. ශිව දේව පූජාවන් සිදුකරනු ලබන අය ශිව දේවාලවලට ගොස් ඒවා සිදුකළ යුතුය.

ශිව දෙවියන් උදෙසා ශිව මන්ත්‍ර ගායනා කළ යුතුය. ඉන්පසු ශිව පූජාව සඳහා පූජා භාණ්ඩ සකස් කර ශිව ලිංගය කිරිවලින් නැහැවිය යුතුය. මෙම පූජාව සිදුකරන අතරතුරදී ශිව දෙවියන්ගෙන් තමාට කරුණාව දැක්විය යුතු බව ඉල්ලීමක් කළ යුතුවේ. ශිව මහා පුරාණයත් ලිංග පුරාණයත් කන්ද පුරාණයත් පෙන්වා දෙන ආකාරයට උපවාස අටක් ගැන කියැවේ.

තුන් ආකාරයක ශිව රාත්‍රි
පුරාණ ග්‍රන්ථවල ශිව රාත්‍රි වර්ග තුනක් ගැන සඳහන් වේ. එනම් උත්තම ශිව රාත්‍රිය මත්තම ශිව රාත්‍රිය හා අදම ශිව රාත්‍රිය වේ.
ශිව රාත්‍රිය යනු සදුර්ති ථිතියක් සමඟ බැදුණු එකකි. මෙහිදී ථිපාය යනුවෙන් හැඳින්වෙන්නේ එක් දවසක් පුරා උපවාස කිරීමයි. සදුර්ති ථිතිය යනු දවසේ උපවාස කිරීමට හැකියාවක් තිබෙන කාලය බෙදා වෙන් කිරීමයි. මෙසේ කාලය බෙදා වෙන් කිරීම නිසා ශිව රාත්‍රිය වර්ග තුනකට බෙදා වෙන් කෙරේ මේ අනුව ශිව රාත්‍රි තුන මෙසේ විග්‍රහ කරමු.

උත්තම ශිව රාත්‍රිය
හිරු බැසයන අවස්ථාවේ දී ‘‘තිර යෝදසි’’. තිථිය ගෙවීගොස් සදුර්ථදසි තිථිය ලබා තිබිය යුතුයි. පසුදින දවල් පුරා සදුර්ථදසි තිථිය තිබිය යුතුයි.
තවද හිරු බැසගිය පසුදා රාත්‍රිය ආරම්භ වී පැය දහයකට පෙර සදුර්ථිය ලබා තිබුණහොත් එය ද උත්තම ශිව රාත්‍රිය වේ.

මත්තම ශිව රාත්‍රිය
හිමිදිරි උදෑසනින් ආරම්භ වී පසු දින උදාවීම වන තෙක් සදුර්ති තිථිය තිබුණ හොත් ද හිරු බැස යාමට පෙර සදුර්ති තිථිය එළඹුණ හොත් ද රාත්‍රියෙහි පැය දහයක් (දෙමළ පැය) තිස්සේ සදුර්ථි තිබුණ හොත් එය මත්තම ශිව රාත්‍රිය වේ.

අදම ශිව රාත්‍රිය
රාත්‍රියෙහි දෙමළ පැය විස්සක් තිබී ඉන්පසු අමාවක පැවතුණ හොත් එය අදම ශිව රාත්‍රිය වේ. මෙම දවසේ උපවාස කිරීම සුදුසු නැත. එසේ උපවාසයෙන් ගතකළහොත් පිනක් ලැබෙන්නේ නැත.
මෙසේ ශිව රාත්‍රිය කොටස් තුනකට බෙදුණත් ශිව රාත්‍රිය රැය තුළ සිදුකරනු ලබන පූජාවේ දී කොටස් හතරකට බෙදා සිදු කෙරෙයි. මෙසේ බෙදා වෙන්කරන්නේ පහත සඳහන් පරිදිය මෙය යාම ආකාරයෙන් බෙදා ඇත. එනම්
1 පළමුවන යාමය
2 දෙවන යාමය
3 තුන්වන යාමය
4 හතරවන යාමය

කොටස් හතරේ ශිව රාත්‍රිවල පූජා විධි
පුරාණ ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට කොටස් හතරට බෙදා වෙන් කළ පූජාවන් වෙනස් වූ අයුරකින් කළ යුතු බව පුරාණ ග්‍රන්ථ පෙන්වා දෙයි. ඒවා මෙසේය.

පළමුවන යාමයේ දී සිදුකරනු ලබන පූජාව.
කිරි, මුදවපු කිරි, ගිතෙල්, කෝසල (අක්කරා තෙල් වර්ගයක්) ගෝමයම් (ගොම) සියල්ලක්ම එකට කලවම් කර ශිව ලිංගය නැහැවිය යුතුය. පසුව ශිව ලිංගය උණුවතුරෙන් නහවා සළු අන්දවා බෙලි කොළ නෙළුම් මල් ආදිය පූජා කළ යුතුය. මේ මොහොතේ පරිප්පු එකතු කරන ලද කිරිබතක් පිදිය යුතුය. එමෙන්ම කපුරු දල්වා සුවඳ දුම් දල්වා දීප පූජාව සිදු කොට වේද මන්ත්‍ර ගායනා කළ යුතුය. මේ මොහොතේ ශිව දෙවියන්ට භක්ති පූර්වකව නමස්කාර කළ යුතුය.

දෙවන යාමයේ දී සිදුකරනු ලබන පූජාව
කෙසෙල්, අඹ, කොස් යන පලතුරු ඇතුළුව පලතුරු වර්ග පහක් යොදා සාදාගත් යුෂවලින් නැවතත් ශිව ලිංගය නැහැවිය යුතුය. පසුව කහ දියර සඳුන් දියරයන් නැහැවිය යුතුය. මේ අවස්ථාවේ දී නෙළුම් මල්වලින් සහ මදුරුතලා කොළවලින් පූජාවන් පැවැත්විය යුතුය. ඉන්පසු පායාසම් (එක්තරා සව් කැඳ වර්ගයක්) පූජා කළ යුතු අතර ධූප පූජාවන් ද දීප පූජාවන් ද සිදුකොට යජුර්වේද මන්ත්‍ර ගායනා කොට යැදිය යුතුය.

තුන්වැනි යාමයේ දී සිදුකරනු ලබන පූජා
මී පැණිවලින් ශිව ලිංගය නැහැවිය යුතුය ඉන්පසු උණුවතුරෙන් නැවතත් නහවා කපුරු දල්වා එනසාල් නැතහොත් දිවුල් කොළ ගැල්විය යුතුය. තව ද බෙලිකොළ ද ගැල්විය යුතුය. තල මිශ්‍ර කිරිබතක් පිදිය යුතුය. කස්තුරි සුවඳ ගල්වා යාම වේදයේ මන්ත්‍ර ස්තෝත්‍ර ගායනා කොට පූජාවන් පැවැත්විය යුතුය. තව ද මේ අවස්ථාවේ දී පංච දීපාරාධනාව සිදුකළ යුතුය.

හතරවන යාමයේදී සිදුකරනු ලබන පූජාවන්
"කරුපන්සාර්" නැමැති නානුපට වර්ගයකින් ලබා ගන්නා නානුවලින් ශිව ලිංගය නැහැවිය යුතුය. අතර්වන් වේදයේ වේද මන්ත්‍ර ගයා දීප පූජාව සිදු කළ යුතුය.
මෙසේ සතර යාමයම පූජා නිදිවර්ජිතව පවත්වා පසුදින අලුයම ස්නානය කොට පිරිසුදු වීම යෝග්‍ය බව කන්ද පුරාණය පෙන්වා දෙයි. මේ නිසා ඉන් ඇතිවන ආනිසංස බොහෝමයක් ගැන ද කන්ද පුරාණය විස්තර කරයි.

උපවාසයේ  ආනිසංස
ශිව රාත්‍රි දිනයේ සම්පූර්ණයෙන් උපවාසයේ යෙදුණ හොත් ශිව දෙවියෝ ඒ ඒ බැතිමතුන් ජීවත්වන කාලයටම ආරක්ෂාව සපයන බව ඔවුන්ගේ විශ්වාසයයි. තවද සතුට දියුණුව ද ලබා දෙන බව ශිව මහා පුරාණය පෙන්වා දෙයි. මෙම රැයෙහි උපවාස කිරීමෙන් මරණයෙන් පසුව අනිවාර්යෙන්ම දිව්‍යලෝකයට යා හැකි බව හින්දුන්ගේ විශ්වාසයයි. මේ ආකාරයෙන් වර්ෂ 24ක් ශිව රාත්‍රි උපවාසය සිදුකළ හොත් ශිව දෙවියන් ළඟට ගොස් මුක්තියට පත්විය හැකි බව කන්ද පුරාණය කියයි. මුක්තිය යනු මෝක්ෂයයි. ශිව රාත්‍රියේ දී නියමාකාරයෙන් පුද පූජා පැවැත්වීමෙන් මෝක්ෂයට ළඟාවිය හැකිබව හින්දූහු විශ්වාස කරති.


(***)
ආචාර්ය දෙමළ පණ්ඩිත්
පන්මොළි විත්තහර්, පන්මොලි පුලවර්
මඩුළුගිරියේ විජේරත්න