05_Nimthera_P2_Back  

 

-“රිෆා” ඇයගේ නාමය වන්නීය. ඉස්ලාම් භාෂාවේ අරුතට අනුව -“රිෆා” යනු නායකත්වයට පත්වන්නි, නායකත්වය දරන්නී යැයි ඇය සඳහන් කරන්නීය. ඒ අනුව ඇය තම නාමය සැබෑ ලෙසම අරුත්බර ගත් චරිතයකි. තවත් ලෙසකින් කිවහොත් ඇය තම වෘත්තියට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වන චරිතයකි. නීතිඥවරියක ලෙස වෘත්තීය ජීවිතයට එළැඹී ඇය ජීවිතය සින්න කර ඇත්තේ එම වෘත්තියට පමණක් නොවේ. මෙරට ප්‍රකට ව්‍යාපාර සමූහයක් වන “-ෆෙයාර්වේ” :ත්‍්ෂඍඋ්ශ* හෝල්ඩින්ග්ස්හි විධායක අධ්‍යක්ෂවරියක වන ඇය ඊට අමතරව තවත් අධ්‍යක්ෂ තනතුරු පහක් පමණ දරන්නීය. ඒ සියල්ලට අමතරව, ශ්‍රී ලංකා කාන්තා වාණිජ මණ්ඩලයේ සභාපතිනිය වන්නී ඇයයි. කාන්තාවකට සියල්ල කළ හැකිය යන අරුත දරා ගෙන ව්‍යාපාරික ලෝකයේ මෙන්ම ව්‍යාපාර කරන කාන්තාවනට ශක්තියක් වූ මේ “-රිෆා” ජීවිතයේ දිගු ගමනක් ආ රිද්මයේ හැඩරුව ගැන අද අපි ඇය සමඟ කතා කරමු. 

 


● ගම කොහෙද?
ගම ගාල්ලෙ. ගාලු කොටුව පළාත කිව්වොත් හරි.


● ඉගෙනීම් එහෙම කළේ?
කොළඹ බිෂොප් විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ.


● පවුලේ විස්තර එහෙම?
අම්මා ගෘහණියක්. තාත්තා නීතිඥවරයෙක්. පසුකාලයකදී ලංකා බැංකුවේ සභාපති ලෙස කටයුතු කළා. මගේ අයියා වෛද්‍යවරයෙක්. අක්කා පෙර පාසල් ගුරුවරියක්. මල්ලි නීතිඥවරයකු ලෙස කටයුතු කරනවා.


● ඇයි ඔබ නීතිඥවරියකවීමට හිතුවේ?
පරම්පරාවෙන්ම එය බැඳී තිබුණා. ඒ වගේම මගේ සීයාත් නීතිඥවරයෙකු වුණා. ඒ නිසා පවුලෙන්ම ඇතිවූ දෙයක් කිව්වොත් හරි.


● ඉගෙනීම් කළේ ඒ අරමුණම දරා ගෙනද?
පාසල් කාලයේදී ඉගෙනීම් කටයුතු කළා. නමුත් මුල් කාලයේදී එහෙම අරමුණක් තිබුණෙ නැහැ. සමහර අවස්ථාවලදී මම දඟ වැඩත් කරලා තිබුණා.

5


● ඒ කාලෙ දඟ වැඩක් ගැන මතක් කළොත්?
එතකොට මට මතක විදියට මම හිටියෙ අටේ පන්තියේ. දවසක් ටීචර් නැති වෙලාවක මගේ මූලිකත්වයෙන් අපි සින්දු කිව්වා. ඔන්න එතකොට ටීචර් ආවා. දැන් එහෙනං පන්තියෙ පිටිපස්සට ගිහින් අපි ඔක්කෝටම ඇහෙන්න සින්දු කියන්න කීවා. ඊට පස්සෙ අපි එහෙම කළා. අපි කිව්වෙ ,උැ ාදබ.එ බැැා නබදඅ ැාමජ්එසදබ, කියන සින්දුව. ටීචර්ට හොඳටම තරහා ගියා. ඒ වගේ සිදුවීම් තියෙනවා. 


● සින්දු කියන්න හොඳට පුළුවනිද?
පාසලේදී විෂයයන්ට අමතරව මම ක්‍රීඩා කළා. ටෙනිස්, පිහිනීම් වැනි ක්‍රීඩා අංශ වගේම පාසල් ඉස්ලාමීය සමාජයේ සාමාජිකාවක වුණා. නාට්‍යවලටත් හිටියා. එක්තරා අවස්ථාවක ජෝන්රීඞ් ලෙස රඟපෑවා. ඒ වනවිට මගේ ආසාව වුණේ ගණකාධිකරණ අංශය වෙතයි. නමුත් පසුව නීති පැත්තට හැරවුණා. පාසල් ජීවිතය ඇත්තටම ජාති ආගම් භේදවලින් තොරව අපට සාමූහිකව හිතන්න වගේම තමුනට කැමැති අරමුණ කරා යාමට අවකාශය සලසා තිබුණා. 


● පාසල් අධ්‍යාපනයට සමුදීලා ඊළඟට මොනවද කළේ?
නීති විද්‍යාලයට යාම අරමුණ වුණා. හැබැයි නීති විද්‍යාලයට ඇතුළත්වීම හිතන තරම් ලෙහෙසි වුණේ නැහැ. සෑහෙන්න මහන්සි වී පාඩම් කරන්න සිද්ධ වුණා. ඒ නිසා අමතර පන්තිවලටත් ගියා. ඒ විදියට කටයුතු කරද්දී තමයි මට ෆයිසර්ව හඳුනා ගන්න ලැබුණෙ. 


● ඒ කියන්නෙ වත්මන් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා නේද?
ඔව්, එයා තමයි. ලෝ කොලේජ් එකේ සිටියදී තමයි අපි දෙන්නා අතර වූ ආදර කතාව පටන් ගත්තෙ. මම මගේ අරමුණ කරා යද්දී කාගෙවත් දිහා බැලුවේවත් නැහැ. ඒත් දෛවය අපි දෙදෙනා මුණ ගැස්සුවා. අපි දෙන්නාම එකම වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයින් ලෙස දිවුරුම් දීම කළා.


● හිටපු අමාත්‍යවරයකුගේ පුතෙකු වූ නිසාද ඔබ එයාට කැමැති වුණේ?
අපෝ ඒ නිසා නම් නෙවෙයි. අපේ අදහස් ගැලපුණා. ඒ නිසා අපි විවාහවීමට තීරණය කළා. නීතිඥවරු ලෙස දිවුරුම් දීමෙන් පසුව විවාහයත් ඉක්මණටම සිදුවුණා. ඉන්පසුව නීතිය පිළිබඳව උසස් අධ්‍යාපනය සහ උපාධි ලබා ගැනීමේ අරමුණ ඇතිව අපි දෙදෙනාම එංගලන්තයට ගියා. හැබැයි ෆයිසර් නම් උපාධිය ලබා ගත්තා. හැබැයි අධ්‍යාපන කටයුතු හමාර නොකොට මට නැවත ඒමට සිදුවුණා.


● හේතුව?
ඒ වනවිට මම ගැබ්ගෙන සිටියෙ. ඒ නිසා දරු ප්‍රසූතියට ලංකාවට ඒමට සිදුවුණා.


● ඉන්පසුව නීතිඥ වෘත්තියේ කටයුතු දිගටම කරගෙන ගියාද?
ඉන්පසුව ෆයිසර්ගෙ තාත්තා යටතේ නීති කටයුතුවල නියැලුණා. පසුව ජෙෆ් අලගරත්නම් මහතාගේ සමාගමය යටතේත් කටයුතු කළා. සමාගම් නඩු සඳහා දිස්ත්‍රික් උසාවියෙ විභාග වූ නඩුවලට තමයි වැඩි හරියක්ම පෙනී සිටියෙ.


● ඒ විදියට කටයුතු කරමින් සිටි ඔබ ව්‍යාපාර ක්‍ෂේත්‍රයට එන්න හිතුවෙ ඇයි?
වෙනසක් අවශ්‍ය වුණා වගේම එම වෙනසත් අපේක්ෂා කළා. දෙවැනි දරුවා ලැබෙන්න සිටියදී තමයි ඒ තීරණයට ආවේ. මොකද ඒ නිසා උසාවි යාම අපහසු වුණා. මේ අතරේදී මගේ තව යාළුවකුගේ යෝජනාවකට අනුව අපි නව ආයතනයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කළා. පුද්ගල කුසලතා වර්ධනය සහ සමාගම්වල සේවක පිරිස් පුහුණු කිරීමේ කටයුතු අපේ නව ආයතනය මඟින් සිදුවුණා.


● ඒ ආයතනය ඇරැඹීමට ලොකු මුදලක් ආයෝජනය කරන්නට ඇති?
මිලියනයක විතර මුදලකින් තමයි අපි අපේ සමාගම ආරම්භ කළේ. එය ටිකෙන් ටික දියුණු වෙද්දී මටත් ව්‍යාපාරික අත්දැකීම් රැසක් ලැබුණා. විශේෂයෙන්ම එහිදී මගේ අංශය වුණේ පරිපාලන කටයුතුයි. මේ විදියට අපේ ආයතනය -ෆෙයාර් වේ” සමාගමේ නීති කටයුතු සඳහාත් සේවය ලබා දුන්නා. එම -ෆෙයාර් වේ” ව්‍යාපාර සමූහය අයත් වුණේ නීති විද්‍යාලයේ සමකාලීන චරිතයක් වූ හේමක ඩී. අල්විස් මහතාටයි. ඔහුගේ ව්‍යාපාර ජාලයේ තවත් අංශයක් ලෙස -ෆෙයාර් වේ ඒවියේෂන්” ආරම්භ කළා. එහි අධ්‍යක්ෂ තනතුරකට මට ඇරියුම් ලැබුණා. දැන් ඊට අමතරව මම සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරනවා.


● ඊට අමතරව තවත් සමාගමක් ඔබ ආරම්භ කළා නේද?
නීති අංශය යනු විවිධ පැති සඳහා සංකීර්ණ වූ විෂයයක්. දැන් විදේශීය සමාගම් සඳහා නීති සේවය මගේ ආයතනයෙන් ලබාදීම සිදුවෙනවා.


● මේ අතරේදී ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනිය ලෙස ඔබ පත් වෙනවා. ඒක කොහොමද සිද්ධ වුණේ? 
තමන්ගේම ව්‍යාපාරයක් කිරීම හෝ වෘත්තිකයකු හට ඒ සඳහා ඉදිරිපත් විය හැකියි. සාමාජිකත්වය හිමිවන්නේ ඒ අනුවයි. ඒ විදියට ආ ගමනේදී එක් අවස්ථාවක එහි සභාපතිනිය ලෙස තේරීපත්වුණා.


● ඇයි ඔබට එවැනි තනතුරක් ලැබෙන්නට ඇත්තෙ?
මම හිතන්නෙ, පරිපාලනමය කියන කටයුතු මෙන්ම මානව සම්පත සමග වූ බැඳීමේදී අත්දැකීම් මතින් බොහෝ පළපුරුද්දක් මා ලබා ඇති.


● එහෙම නැතිව, අධ්‍යක්ෂ ධුර පහක් පමණ දරමින් ධනවත් වූ කාන්තාවක නිසා ලැබුණු තනතුරක් නොවෙයිද?
-ධනවත්” කියන අරුතට වඩා මා ලබා ඇත්තේ අත්දැකීම් සහ පළපුරුද්ද යන ප්‍රායෝගික වූ සම්පතයි. ධනයට වඩා සැබැවින්ම එවැනි දේ වඩා වටිනවා. කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා අවකාශය ලැබෙන්න ඇත්තේ ඒ නිසයි.


● ඔබ සතු අත්දැකීම් සම්භාරය ගැන පැහැදිලි කළොත්? ඒවා ඔබ ජීවිතයට ලබාගත්තෙ කොහොමද?
මට නිරන්තරයෙන්ම අරමුණක් තිබුණා. නමුත් කාන්තාවක ලෙස නිරන්තරයෙන්ම ජීවිතයේ එකම තැනෙක සිරවී සිටියෙ නැහැ. නිතරම මම මගේ වගකීම වටහා ගත්තා. මුල් කාලයේදී සැමියා නීතිඥවරයකු ලෙස තමාගේ කටයුතු කරගෙන යාම පටන් ගන්නකොට එයාට ටයිපිස්ට් කෙනෙක්වත් හිටියෙ නැහැ. ඉතින් මම ඒ කටයුතුවලට උදව් කළා. ඉන්පසුව 2004 දී තමයි මුල් අවස්ථාවේදී එයා ඡන්දයට ඉදිරිපත් වුණේ. පුද්ගලිකව මම දේශපාලනයට අකමැතියි. නමුත් මාස හයක් විතර මහනුවරට ගිහිල්ලා කාන්තාවන් සඳහා වූ වැඩසටහන් මෙහෙයවමින් මම සැමියාගේ ගමනට උදව් කළා. ඒ අවස්ථාවේ මගේ වැඩවලින් මොහොතකට ඈත්වී සිටියා. 2010 ඡන්දයේදීත් ඒ විදියට උදව් කළා.


● කාන්තාවක ලෙස මේ ඔක්කෝම වැඩ එනම් වෘත්තීය කටයුතු, සමාගම් අධ්‍යක්ෂ ඇතුළු අනෙකුත් සියලු දේ දරා ගත්තෙ කොහොමද?
මේ සියල්ල සඳහා සැලසුමක් අවශ්‍යයි. දවස සැලසුම් කිරීම කාන්තාවකට ඉතා වැදගත්. ඒ දවසේ වැඩියෙන්ම දායකත්වය ලබාදිය යුතු කටයුත්තේ සිට සියල්ල පෙළ ගැස්වීම වැදගත්. එහෙම නැතිව ඒ මොහොතට හිතෙන හිතෙන දේ කළ නොහැකියි.


● සාමාන්‍ය සමාජයේ කාන්තාවකට ඔය කියන විදියට සැලසුම් ගහලා ජීවිතය ගෙන යන්න බැහැ නේද? ඊට වඩා ජීවත්වීම සඳහා වූ ජීවන අරගලයක ඇයට යෙදෙන්න සිදුවෙනවා. එහෙම නේද? 
කාන්තාවක් යනු ස්වභාවයෙන්ම සියල්ලටම මුහුණ දිය හැකි චරිතයක්. ඇයගෙ පදාර්ථය එයයි. සියලු දේ සමබර කර ගැනීමේ ශක්තිය ස්වභාවයෙන්ම ඇය සතුයි. ඒ වටහා ගැනීම වෙන් වෙන් වශයෙන් නොවේ. සමස්ත කාන්තාවටම කළ හැකි දෙයක්. ලෝකයට මිනිස් සම්පත බිහි කරන්නේ කවුද? කාන්තාවයි. එහෙව් කාන්තාවට ලෝකයට මොන තරම් නම් විශිෂ්ට දේ කළ හැකිද? තමා තමාව වටහා ගැනීම කළොත් කාන්තාවකට වඩා සාර්ථකවීමට පුළුවනි.


● අපි මීළඟට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ගැන කතා කළොත්? කොහොමද ව්‍යාපාර කරන කාන්තාවන් ඊට සම්බන්ධ විය යුත්තේ? 
වසරකදී තමුන්ගේ ව්‍යපාරයෙන් මිලියනයක පමණ ලාභාංශ පෙන්වන ව්‍යාපාරික කාන්තාවනට ඒ සඳහා අවකාශය තිබෙනවා. ඉන්පසුව ඔවුනගේ බැඳීම සමග ව්‍යාපාර දියුණු කිරීම සඳහා ඔවුනගේ කුසලතා දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා වූ විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. සාමාජිකත්වය ලද අයට මාස තුනකට වතාවක් හමුවීමේ අවස්ථා ලැබෙනවා. ඒ මඟින් තමුන්ගේ ව්‍යාපාරය සඳහා සමූහයේ හඳුනා ගැනීම වගේම ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීමට බොහෝ අවකාශයන් සැලසෙනවා.


● එලෙසින් අවකාශයන් සැලසෙන්නේ මෙහි සාමාජිකත්වය ලබන කාන්තාවනට විතරයි නේද? 
සාමාජිකත්වය ලබාගත යුතුම නැහැ. ඕනෑම ව්‍යාපාරයක් කරන කාන්තාවකට අපි උපදෙස් ලබාදීමට බැඳී සිටිනවා. අපට කතා කරලා තමුන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය දියුණුව සඳහා වූ උපදෙස් ආදී බොහෝ දේ ලබාගත හැකියි. ව්‍යාපාර වෙතින් ජීවිතය ජය ගන්නට හදන කාන්තාවනට ඒ ජය මාවත ගැන අප වටහා දෙනවා. දියුණු වූ ව්‍යවසායිකාවනට වගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන ඕනෑම කාන්තාවකට එයා ව්‍යාපාරය පටන් ගත යුතු විදිය ගැන වගේම බැංකුවට ගිහින් කොහොමද තමාගේ ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා ගනුදෙනු කළ යුතු විදිය ආදී බොහෝ දේ ගැන දැනුම්වත් කිරීමට අප බැඳී සිටිනවා.


● ඒ කියන්නෙ ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන ඕනෑම කාන්තාවකට මෙතැනින් අත්වැලක් සැපයෙනවා කියන එකද?
අනිවාර්යෙන්ම, ඕනෑම කාන්තාවකට එලෙසින් ඇවිත් උපදෙස් ලබාගත හැකියි. පසුව දියුණු වූ පසුව ඇයට මෙහි සාමාජිකත්වය ලැබීමට පුළුවනි. කාන්තාවගේ අභිවෘද්ධිය සඳහාම තමයි මෙය ගොඩනැංවී තිබෙන්නෙ.


● මෙය රජයට අයත් ආයතනයක්ද?
නැහැ. සාමාජිකත්වය මත සහ අරමුදලක් මඟින් ක්‍රියාත්මක වන මණ්ඩලයක්. වසර දෙකකට වතාවකදී අපි ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායික කාන්තාව ඇතුළු ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ විවිධ දක්ෂතා දැක්වූ කාන්තාවන් උදෙසා සම්මාන පිරිනැමීමේ උළෙලක් ද පවත්වනවා. මෙම ජුනි 20 වෙනිදාට පෙර මීළඟ සම්මාන ප්‍රදානය සඳහා විවිධ ව්‍යාපාර ස්වභාවය යටතේ කාන්තාවනට අයදුම් කළ හැකියි. මහ පරිමාණ, මධ්‍යම, සුළු, ඉතා සුළු ආදී ඕනෑම ස්වභාවයක් යටතේ අයදුම් කළ හැකියි.


● වත්මන් ශ්‍රී ලාංකීය කාන්තාව දකුණු ආසියාවේ අනෙකුත් රටවල කාන්තාවනට සාපේක්ෂව ව්‍යාපාරවලට නැඹුරු වීමේ ප්‍රවනතාවය මොන වගේද?
ඉතාම අවම තත්ත්වයක පවතින්නෙ. 


● ඇයි එහෙම වෙන්නට ඇත්තෙ?
අපේ ක්‍රමවත්, විධිමත් පිළිවෙළක් තිබුණෙ නැහැ. දක්ෂ කාන්තාවන් සිටිනවා. නමුත් ඔවුන් අපේ ආර්ථිකයට උදව් වෙන වතු ක්‍ෂේත්‍රයේ ඇඟළුම් ක්‍ෂේත්‍රයේ වගේම කම්කරු (විදේශ විනිමය ගෙනෙන) විශාල පිරිසක් සිටිනවා. නමුත් නිසි පිළිගැනීමක් ඔවුනට නැහැ. රටේ ආර්ථිකයට ඔවුන් සැබෑ ලෙස සක්‍රීය වුවත්, නිසි ක්‍රමවේදයක් රටේ නැහැ. කාන්තා ව්‍යවසායකයින්ටත් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මැතකදී අපි සමීක්ෂණයක් කළා. නිවසේ සිට යම්කිසි ව්‍යාපාරයක් කළාට ඔවුනට වගකිව යුත්තන්ගෙන් පෙළැඹවීම අඩු නිසා ඉදිරියට ඒම අවහිර වී තිබෙනවා. ණය මුදලක් ගැනීමේදී පවා ප්‍රශ්නවලට මුහුණ දිය යුතු වෙනවා.


● එවැනි දුෂ්කරතා, අවහිරතා, ප්‍රශ්නවලින් මිදෙන්න නම් මේ කාන්තාවනට කවුද උදව් කළ යුත්තේ? කොතැනින්ද පිළිසරණ ලැබිය යුත්තේ?
රජය සහ අනෙකුත් ඒ හා බැඳුණු ආයතන ඒ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්. අපේ කලාපයෙ රටවල් හා සැසඳුවොත් වියට්නාමය වගේ රටක කාන්තා ව්‍යවසායකයින් ඉදිරියට යමින් පවතිනවා.


● ශ්‍රී ලාංකීය භූමියේදී කාන්තාවන් මොන වගේ අංශ වෙතින් ඉදිරියට ආ යුතු කියලද ඔබ කියන්නෙ?
බොහෝ කාන්තාවන් ස්වාධීනව ව්‍යාපාරවල නියැළෙමින් සිටිනවා. නමුත් කළමනාකරණයෙහි අඩුවක් දක්නට ලැබෙනවා. ඊළඟ වසර කොහොමද තමුන් පෙළගැස්විය යුත්තේ කියන සැලසුම් ඉතා අවමයි.


● ලාංකීය සමාජයේ ‘කාන්තාව’ සතුටින් ජීවත්වනවාය කියලා ඔබ විශ්වාස කරනවාද?  පුරුෂාධිපත්‍ය බොහෝ දුරට පවතින නිසා ඇයගෙ ගමන දුෂ්කරයි කිව්වොත්?
-ඔව්-නැහැ” කියලා නිසි පිළිතුරක් දෙන්නට බැහැ. එය එසේ නම්? එය සමබර කර ගැනීමේ හැකියාව රඳා පවතින්නේත් කාන්තාවටයි. අපි මේ නීතිඥ වෘත්තිය දිහා බලමු. බොහෝ පිරිසක් නීතිඥ වෘත්තියේ නියැලීම ප්‍රතිශතයක් ලෙස හරි අඩුයි. පිරිමින්ට පමණක් කළ හැකි රැකියා යන මතය තියෙන නිසා තමයි එහෙම වෙන්නෙ.


● වෘත්තීය ජීවිතයේදී ඔබ වගේ සමාගම් අධ්‍යක්ෂවරියකවීම දක්වා කාන්තාවකට ගමනක් යා යුතු නම්? ඇය කුමක් කළ යුතුය කියලද ඔබ විශ්වාස කරන්නෙ?
මම හිතන්නෙ ඇය තමුන්ව වටහා ගැනීම වගේම ඇයගෙ ගමනාන්තය ඇය ඉලක්ක කර ගැනීම වැදගත්. ඒ අනුව ඇයට සූදානම් සහිතව ගමනක් යා හැකියි. අධ්‍යාපනයක් ලබා ගැනීම ප්‍රමුඛයි. නමුත් එහෙම නොවුවා නම්? පළපුරුද්ද අනුව ඇයට ඒ අවස්ථා කරා යා හැකියි. 


● වැඩ වැඩි වුණාම මානසික ආතතිය කාන්තාවකට ඇතිවන බව ප්‍රකාශ වෙනවා. ඔබට එහෙම නැද්ද?
තියෙනවා. එවිට මම කරන්නෙ ව්‍යායාම කරන එකයි.


● එහෙම බැරි අයට?
කාලය හොයා ගන්න. තමුන්ට තමුන්ව පාලනය කර ගන්න නම්? ඒ දවස ඇතුළෙදී තමුන්ට කළ හැකි දේ පමණක් පෙළ ගස්වා ගෙන එය ඉටු කරන්න. පමණට වඩා ඉක්මවා ගියොත් පීඩනය නිරන්තරයෙන් ඇතිවන දෙයක්.


● වඩා ක්‍රියාකාරී වූ ඔබ වැනි කාන්තාවන් මෙන්ම අනෙකුත් කාන්තාවන් ජීවිතය පහසුවෙන් ගත කිරීමට නම් මොනවද කළ යුත්තේ? 
කාන්තාවකට තමාගේ කටයුතු ගැන අවබෝධයක් තිබීම වැදගත්. ඇයට ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ, සැමියාගෙ වැඩ ආදී කටයුතු ගැන සොයා බැලිය යුතු වෙනවා. එය කළ යුතුමයි. එය පැහැර හරින්න බැහැ. මම ඒ සියල්ලට කාලය වෙන් කරගෙන ඒ වගකීම ඉටු කරනවා.


● පැය අටක රැකියාව කරන අයට එය ප්‍රායෝගික නැහැ නේද? එවැනි කාන්තාවකට දරුවන්ගෙ රාජකාරි, සැමියාගේ වැඩ, ගෙදර වැඩ ඒ වගේම ආර්ථිකය ගැනත් හිතන්න වෙනවා. එහෙම නේද?
පවුලේ අයගෙන් සහයෝගය ලබා ගැනීමත් එවිට වැදගත්. ඇයගෙ අරමුණ සහ සිතිවිලි අනුව තමයි ඒ පහසුව ඇයට ලබාගත හැකි වන්නේ. 


● අද ඔබ අධ්‍යක්ෂ ධුර පහක් හොබවන කාන්තා චරිතයක්? ඒ තැනට ඔබ ගියේ මොන වගේ දක්ෂතාවයක්, ගුණයක් නිසා කියලද ඔබ හිතන්නෙ?
මම හිතන්නෙ මම නායකත්වයට, උපදේශනයට ඇල්මක් දක්වනවා. ඒ කැමැත්ත මාව ඒ තැනට ගෙනගොස් තිබෙනවා.


● සැමියාගේ දේශපාලන හයිය එක්ක? එහෙම නොවෙයි කියන්න බැහැ නේද?
එහෙම කියන්නත් බැහැ. ඔහු දේශපාලනඥයෙක් නොවුණත් මම මගේ අරමුණට යාවි.


● ඔබට ඔබ ගැන හිතෙන්නෙ කොහොමද? 
මම හිත්නනෙ මම වඩා තැන්පත්. අනෙක් අයට වඩාත් ඇහුම්කන් දෙනවා. වැඩිය කතා නැති කෙනෙක්.


● කාන්තාවක් කොහොම විය යුතුයි කියලද ඔබ හිතන්නෙ?
වඩාත් සමබර විය යුතුයි. ගෙදරට දියුණුව ගෙනෙන්න නම් අනිවාර්යයෙන්ම බිරිඳ අතේ තමයි ඒ ශක්තිය තිබෙන්නෙ. 
මේ යන ගමනෙහි අරමුණ ඔබ දේශපාලනයට ප්‍රවේශවීම නේද?
කවදාවත් එහෙම වෙන්නෙ නැහැ. නමුත් උපදේශනයට කැමැතියි. ඇත්තම කිව්වොත් සැමියා දේශපාලනයට එනවාට එදා මම අකමැති වුණා. නමුත් එයාගෙ කැමැත්තම වූ නිසා පසුව ඒ ගමනට උදව් කළා.


● ඔබ හොඳ ගෘහණියක්ද?
සහතිකෙන්ම ඔව්.


● මොකක්ද ජීවිතය කියලා හිතන්නෙ?
ආගම දහමට අනුව කාන්තාව කටයුතු කළ යුතුයි. ජීවිතය යනු බාධක තියෙන විභාග පරීක්ෂණවලට මුහුණ දෙමින් යා යුතු ගමනක් නම් ඊට මුහුණ දිය යුතුමයි. ආපසු නැවතීමක් හෝ හැරීමක් නැහැ.


● ඔබට කේන්ති යනවද? එවිට මොනවද කරන්නෙ එය නිවා ගන්න?
මට සැලසුමට අනුව සියල්ල විය යුතුයි. එහෙම නොවුණාම කේන්ති යනවා. ඒක මගේ දුර්වලකමක්.


● ඔබ වෙතින් දකින හොඳම දේ?
පීඩනය අවම කරගෙන බොහෝ දේ දරාගෙන කටයුතු කිරීම.


● මෙතැනින් එහාට ඔබගෙ අරමුණ?
මේ ඇති. මේ කරන දේ දියුණු කර ගැනීම අරමුණයි. 


● ජීවිතය ජය ගත්තා කියලා හිතනවද?
බොහෝ දුරට එහෙම හිතනවා. බොහෝ ඉලක්ක අවශ්‍යයි. ඒ වගේම එය සීමාවකට කිරීමත් අවශ්‍යයි. නමුත් අදහන -ආගම” අනුව හොඳ දේ වටහාගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත්.


● සමාජයට මොන වගේ පණිවුඩයක් දෙන්නද කැමැති?
මේ රටට මුලින්ම හදවතින්ම ආදරය කළ යුතුයි. අපි ලාංකිකයෝ යන අරුත ඇතිව සමගියෙන් ජීවත්වීම ඉතා වැදගත්. මේ ශ්‍රී ලංකාවට මම හරි ආදරෙයි. ඒක මගේ ආත්මයෙන්ම එන දෙයක්.

m