IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වැටුප් නොගෙන රටට වැඩකළ ලෝක නායකයෝ

බලය පමණක් නොව, ධනය ද අවභාවිත කරමින් තව තවත් බලය සහ ධනය උපයනවා යන්න ලොව බොහෝ රාජ්‍ය නායකයන්ට එල්ල වන බරපතළ චෝදනාවකි. දේශපාලනය යනු ජනතා සේවයක් නොව, මුදල් ඉපැයීමේ ව්‍යාපාරයක් යන සිතුවිල්ලෙන් දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනෙක් සිටිති. එහෙයින්, දිළින්දන් ලෙස දේශපාලනයට අවතීර්ණ වන බොහෝ දෙනා ඉතා කෙටි කලකින්ම මිලියනපතියන් පමණක් නොව බිලියනපතියන් ද බවට පත් වීම අරුමයක් නොවේ.

මෙවැනි දේශපාලකයන් සිටින ලෝකයක, රටේ පාලකයා වුව ද කිසිදු වත්කමක් නොතිබූ, රටේ සම්පත් සොරකම් නොකළ, තමන්ට නියමිත වැටුප් පවා ප්‍රතික්ෂේප කරමින් ඒවා රටේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යෙදවූ, දිළින්දන් ලෙස දේශපාලනයෙන් සමුගත් අවංක රාජ්‍ය පාලකයෝ ද වෙති. ඒ, අතළොස්සකි.

ඒ සියල්ල අතරින් අංක එක ස්ථානයේ පසුවන්නේ, ලතින් ඇමෙරිකාවට අයත් උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුහිකා බව අමුතුවෙන් කිව යුතු නැත. ලොව දුප්පත්ම ජනාධිපති යන නාමයෙන් අප කවුරුත් මුහිකා හඳුන්වන්නේ ඔහුට අපහාසයක් කිරීමට නොව, ඔහුට ඇති ආදරයෙන් සහ ගෞරවයෙනි. 2010 සිට 2015 වසර දක්වා උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා වූ මුහිකාට මාසික වැටුප ලෙස ඩොලර් 12,000 ක් හිමි විය. ඒත් මුහිකා එය ප්‍රතික්ෂේප කළේය. මුහිකා ඔහුගේ මුළු වැටුපම ලබාදුන්නේ තම රටේ දුප්පතුන්ට ප්‍රතිලාභ සැලසීමට සහ කුඩා ව්‍යවසායකයන්ට උපකාර කිරීම සඳහාය. සාමාන්‍යයෙන් උරුගුවේ වැසියකුගේ මාසික ආදායම ඩොලර් 700ක් පමණය.

ජනාධිපති මුහිකා ද ලබා ගත්තේ ඩොලර් 775 ක මුදලකි. 2010 දී උරුගුවේහි සියලු‍ දේශපාලනඥයන්ගේ වාර්ෂික වත්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වූ විට, මුහිකා ජනාධිපතිවරයාගේ වාර්ෂික වත්කම වූයේ සිය අබලන් වුණු වොක්ස්වැගන් රථයේ වටිනාකම වූ ඩොලර් 1,800ක් සහ බිරියගේ නමට හිමි ඉඩමක්, ට්‍රැක්ටරයක් සහ නිවසේ තක්සේරුව වූ ඇමෙරිකන් ඩොලර් 215,000 මුදලක් පමණි. එම අවස්ථාවේ, උරුගුවේ උප ජනාධිපතිවරාගේ වත්කම ඔහුගේ වත්කම මෙන් තුන් ගුණයක් විය.

උරුගුවේ ජනාධිපති වීමට පෙර 1960 සහ 1970 කාලයේ මුහිකා, ‘ටුපාමරෝස්’ නමැති ගරිල්ලා කණ්ඩායමේ සටන්කරුවෙක් විය. සෙසු සටන්කරුවන් ඔහු හැඳින්වූයේ ‘රොබින් හුඩ්’ ලෙසිනි. ඔවුහු බැංකු, දූෂිත සමාජශාලා සහ දූෂිත ව්‍යාපාරියන්ගෙන් කොල්ලකමින් එම ධනය දිළිඳුන්ට ප්‍රදානය කළහ. ගරිල්ලකු ලෙස කටයුතු කරමින් සිටියදී, ඔහු වසර 14 කට සිරගත කෙරුණු අතර පලා යෑමේ උත්සාහයකදී වෙඩි ප්‍රහාර 6කට ලක්විය. උරුගුවේ ජනාධිපති ලෙස කටයුතු කළද ඔහු දිගටම පෙනී සිටියේ ජනතාව වෙනුවෙනි. ජනාධිපති මැදුරෙහි වාසයට නොගිය ඔහු සිය බිරිඳ සහ බල්ලා ද සමඟ ඔවුන්ගේ කුඩා ගොවිපොළෙහි ජීවත් විය. අදටත් මහලු‍ මුහිකාගේ අවසන් නවාතැන වී ඇත්තේ මෙම කුඩා ගොවිපොළය.

1994 වසරේ පැවැති මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මුහිකා 1999 මැතිවරණයේදී සෙනෙට් සභිකයෙක් ලෙස තේරී පත්විය. මුයිකාගේ ජනප්‍රියත්වය හේතුවෙන් ජනතා ප්‍රසාදය විශාල ලෙස හිමි වූ අතර 2004 වන විට ඔහු නියෝජනය කළ බ්රෝඩ් පෙරමුණ ජනතාවගේ විශ්වාසය දිනා සිටියේය. එම වසරේ මැතිවරණයේදී මුහිකා නැවත සෙනෙට් සභාවට තේරී පත් වූ අතර, බ්රෝඩ් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ටබාරේ වස්කුවෙස් ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධාන බලවේගය බවට පත් විය.

2005 වසරේ දී ජනාධිපති ටබාරේ වස්කුවෙස් විසින් මුහිකා පශු සම්පත්, කෘෂිකර්ම හා ධීවර අමාත්‍යවරයා ලෙස නම් කරන ලදී. 2008 දී කැබිනට් මණ්ඩලයක් වෙනස් වන තෙක් ඔහු ඉල්ලා අස් වූ අතර ඔහු වෙනුවට අර්නෙස්ටෝ අගාසි පත් කරන ලදී. පසුව මුහිකා නැවත සෙනෙට් සභාවේ අසුනක් හිමි කර ගත්තේය. 2009 වසරේ දී පැවැති මැතිවරණයෙන් ජයගත් හෝසේ මුහිකා, 2010 දී උරුගුවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

අති සුඛෝපභෝගී ජනාධිපති මැදුරේ වාසයට නොගිය ඔහු එය උරුගුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ කෞතුකාගාරයක් බවට පත් කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාව සිටි සමයේද ඔහු සෑම දිනකම තම ගොවිපොළේ සේවය කළේය. ඔහුගේ මෝටර් රථය වූයේ කලින් සඳහන් කළ අබලන් වූ වොක්ස්වැගන් බීට්ල් රථයකි. හිටපු බොහෝ රාජ්‍ය නායකයන් බෙන්ට්ලි හෝ රෝල්ස් රොයිස් මෝටර් රථවලට ඇලු‍ම් කළත්, මුජිකාට 1987 වසරේ දී මිලට ගෙන තිබුණු ඒ, කුඩා බීට්ල් රථය ඒ සියල්ලටම වඩා සුඛෝපභෝගීය. ඔහු තම ගොවිපොළේ නිපදවන ද්‍රව්‍ය අලෙවි කොට ලැබෙන මුදලින්ද කොටසක් දිළින්දන් වෙනුවෙන් ලබා දෙයි. පස්වසරක් ජනාධිපති ධුරය දැරීමෙන් පසු මුජිකා දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. නේපාලයේ අගමැති පදවිය දැරූ සුෂිල් කොයිරාළ ද එරට සිටි අගමැතිවරුන් අතර දිළින්දෙකි. ධනවත් පවුලක අයෙක් වූ ඔහු තම පිය උරුමයෙන් ලද ධනය ප්‍රතික්ෂේප කළේය. අරපිරිමැස්මෙන් යුත් ජීවන රටාවකට ප්‍රසිද්ධව සිටි ඔහු සරල දිවියක් ගත කළ අගමැතිවරයෙකි. බලයට පත්වූ දා සිට ගත් ක්‍රියාමාර්ග ගණනාවකින් ඔහුගේ ජනතා ප්‍රසාදය දිනාගත්තේය. ඔහු සතු වත්කම් ලෙස දැක්වුණේ අයි ෆෝනයක් හා තවත් ජංගම දුරකථන දෙකක් පමණි. ඔහු සතුව ඉඩමක් හෝ නිවෙසක් හෝ නොතිබි අතර අගමැති සමයේ නිල නිවෙසේ වාසය කළ ඔහු 2016 මිය යන තෙක්ම ජීවත් වූයේ කුලී නිවෙසකය. වරක් රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා බුරුමයට ගිය ඔහුට ගමන් වියදම් ලෙස එරටින් ලද ඩොලර් 650 ක මුදල පවා ප්‍රතික්ෂේප කළේය.

මිසයිල මිනිසා ලෙස ලොවම හඳුනන, ඉන්දියාවේ 11 වැනි ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ද සරල දිවි පෙවෙතක් ගත කළ පුද්ගලයෙකි. 2002 සිට 2007 දක්වා ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා ලෙස සේවය කළ ඔහුට ධනයක් තිබුණේ නැත. ඔහුගේ ජීවන රටාව සරල විය. මහාචාර්යවරයකු, ගත්කතුවරයකු, අභ්‍යවකාශ විද්‍යාඥයකු, අධ්‍යාපනඥයකු සහ ජනාධිපතිවරයකු ලෙස ඔහු සේවය කළද ඔහු විශාල ධනවතෙක් නොවීය. කලාම්ට සිය නිවසේ රූපවාහිනියක් නොතිබූ අතර ඔහුගේ පෞද්ගලික දේපළ වූයේ පොත්පත්, වීනාවක්, ඇඳුම් පැලඳුම් කිහිපයක්, ඔහුගේ ලේඛන එකතුවක්, සීඩී ප්ලේයරයක් සහ ලැප්ටොප් පරිගණකයක් පමණි. විශ්වවිද්‍යාල 40කින් ආචාර්ය උපාධි දිනූ ඔහු තමා උපන් රාමේස්වරමේ කුඩා කාලයේ ජීවත් වූ අයුරින්ම මිය යන තෙක්ම සරල ජීවිතයක් ගත කළේය.

ඉන්දියාවේ අගමැතිවරයකු වූ ලාල් බහදූර් ශාස්ත්‍රිගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳට වාසය කිරීමට නිවෙසක් සහ කරුණාසහගත දීමනාවක් ලබා දීමට රජයට සිදුවූයේ අගමැති ශාස්ත්‍රි සතුව කිසිදු වත්කමක් නොතිබුණු බැවිනි. 1977 වසරේ දී ඉන්දියාවේ අගමැතිවරයා වූ මොරාජි දේසායි මහතාගේ අවසන් කාලයේ ඔහුටද ජීවත් වීමට සිදු වූයේ රජයෙන් ලද කරුණාසහගත දීමනාවෙනි. ඔහුට වාසය කිරීම සඳහා මහල් නිවාසයක්ද රජයෙන් ලබා දුන්නේ ඔහු දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අවංක දේශපාලනඥයකු වූ බැවිනි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම නොවැම්බරයේ පැවැත්වෙන අතර, එය ඉතාමත් තීරණාත්මක එකක් වනු නිසැකය. ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙක වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂයයි. වත්මන් ජනාධිපති 81 හැවිරිදි ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙයි.

ඒ, ඩිමොක්‍රටික් පක්ෂයේ බොහෝ දෙනා විරුද්ධ වෙද්දීය. බයිඩන් යනු ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූ වයස්ගතම පුද්ගලයාය. බයිඩන්ට හරස් වී ඇත්තේ ඔහුගේ වයසය. ක්ෂණිකව තීන්දු තීරණ ගැනීම සහ අදහස් ප්‍රකාශ කිරීම බයිඩන්ට ගැටලු‍වකි. ජනාධිපති සටනින් ඉවත් වී, තරුණ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නැයි බයිඩන්ට ඩිමොක්‍රටික් පක්ෂයෙන් බලපෑම් එල්ල වෙයි. එසේ වුවත්, බයිඩන් මුරණ්ඩුය. තමන් ජනාධිපතිධුර අපේක්ෂකත්වයෙන් ඉවත් නොවන බව ඔහු තරයේ පවසයි.

බයිඩන්ගේ රිපබ්ලිකන් පක්ෂ ප්‍රතිවාදියා වන්නේ 78 හැවිරිදි ඩොනල් ට්‍රම්ප්ය. පසුගිය දා වෙඩි ප්‍රහාරයකින් ද නූලෙන් බේරුණු ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යයි. ඩිමොක්‍රටික් පක්ෂයට ට්‍රම්ප් පරාජය කිරීමට නම්, බයිඩන් හැර වෙනත් තරුණ, ජවසම්පන්න අපේක්ෂකයකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 2017 සිට 2021 දක්වා කාලයේය. බයිඩන් මෙන් නොව, ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ෆෝබ්ස් සඟරාවට අනුව, ට්‍රම්ප්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 5.9 කි.

2017 වසරේ ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දී රාජකාරි ආරම්භ කළේ ජනාධිපති වැටුප එපා කියමිනි. ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 4,00,000 කි. ‘අමතර දීමනාවක්’ ලෙස ඇමෙරිකන් ඩොලර් 50,000 ක මුදලක් ද හිමිවෙයි.

ට්‍රම්ප් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේය. වාර්ෂික වැටුප සහ දීමනා ප්‍රතික්ෂේප කළත්, නීතියට අනුව, ට්‍රම්ප්ට වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් එකක් ලබා ගැනීමට සිදුවිය. ඉතිරි මුදල ට්‍රම්ප් පුණ්‍යාධාර ලෙස පරිත්‍යාග කළ බව පැවැසෙයි.

‘ජනපති වැටුප මට එපා. නීතියට අනුව මා ලබා ගන්නේ එක් ඩොලරයක් පමණයි. මා ජනපති ධුරයට පත්වුණේ ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යෑමටයි. ජනතාවගේ ආදරය සහ ගෞරවය දිනාගෙන රට සාර්ථකත්වය කරා යන්නයි මට ඕනෑ. මට හම්බ කරන්න ඕනෑ නැහැ’ යැයි ට්‍රම්ප් එදා 2017 වසරේ දී වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අදහස් දක්වමින් පැහැදිලි කර තිබුණි. දේපළ වෙළෙඳාම් සමාගමක ප්‍රධානියකු වන ට්‍රම්ප්ට පෞද්ගලික ගුවන් යානයක් ද ඇත. මේ දිනවල මැතිවරණ රැළි අමතමින් ඔහු ඇමෙරිකාව පුරා යන්නේ මෙම ගුවන් යානයෙනි.

ජනපතිවරයාට නියමිත වාර්ෂික වැටුප ප්‍රතික්ෂේප කළ පළමු ඇමෙරිකන් ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් නොවෙයි. පතල් ව්‍යාපාරිකයකු ලෙස සාර්ථක වී, 1929 දී ජනාධිපති ධුරයට පත්, හර්බර් හූවර් සහ 1961 වසරේ දී ජනපති ධුරයට පත් ජෝන් එෆ්. කෙනඩි ද ඔවුන්ට හිමි ජනපති වැටුප ලබා ගත්තේ නැත. ඔවුහු ජනතා සුබසාධනය වෙනුවෙන් යෙදවූ බව පැවැසෙයි.

ඇමෙරිකාවේ 33 වැනි ජනාධිපතිවරයා වූයේ හැරී ටෲමන් ය. ටෲමන් සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ මූල්‍ය අර්බුදයකය. ඔහු නිහතමානී සහ අවංක පුද්ගලයකු වූ අතර අයහපත් මූල්‍ය ආයෝජන සහ දුර්වල කළමනාකරණය හේතුවෙන් ඔහුගේ ව්‍යාපාරවලින් ණයකරුවෙක් බවට පත්ව සිටියේය.

ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු ඔහුට ජීවත් වීමට නිවෙසක් තිබුණේ නැත. ඔහු සහ බිරිය වාසය කළේ බිරියගේ මවගේ නි‍වසේය. ජීවත්වූයේ තමන් ලද විශ්‍රාම වැටුපෙනි. මෙඩිකෙයා නමැති ක්‍රමය යටතේ ඔහුට සහ ඔහුගේ බිරිඳට එය හිමිව තිබිණි. ඔහුගේ සමස්ත වත්කම වූයේ ඩොලර් මිලියනකටත් වඩා අඩු ගණනකි.

හැරී ටෲමන් යනු ඇමෙරිකාවේ සිටි දිළිඳුම ජනාධිපතිවරයෙකි. ඩොලර් මිලියනයකට වඩා අඩු වත්කමක් සහිත ඇමෙරිකානු ජනාධිපතිවරුන් කීප දෙනෙක්ම වෙති. ඒ අතර කැල්වින් කූල්රිජ්, වුඞ්රෝ විල්සන්, චෙස්ට ආතර්, ඇන්ඩෲ ජොන්සන්, ඒබ්‍රහම් ලින්කන්ද සිටිති.

 

ෆෝබ්ස් ඇසුරිනි.

(***)
ලු‍සිත ජයමාන්න



අදහස් (3)

වැටුප් නොගෙන රටට වැඩකළ ලෝක නායකයෝ

chandima Monday, 22 July 2024 06:27 PM

අපේ කට්ටිය නම්?

:       4       7

Swene Haputhantirige Wednesday, 24 July 2024 05:37 AM

අප වෙනස් විය යුතු නැද්ද ? වෙනස් කළ යුතු නැද්ද ?

:       1       4

SL Wednesday, 24 July 2024 10:33 AM

පඩිත් අරගෙන,කෝටි ගණන මුදල් වියදම් කරගෙන ආතල් එකේ සවාරි ගහපු , රටත් බංකොලොත් කරලා හොරා කාපු ඇමෙරිකන් පුරවැසිගේ මල්වානේ පවුල,........... මල්වානේ පවුලේ නෑයින් තවමත් පාර්ලිමේන්තු යන රටක් මේක.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 751 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site