IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


විවාද කරන්නේ කුමන ඉතිහාසය ගැනද?

ජාතික හා ජාත්‍යන්තර යථාර්ථයන්ට ගැළපෙන භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට දශක හතරක් පමණ ගත වූ අතර, එම කාලය තුළ මිය ගිය පිරිස දස දහස් ගණනකි. සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා වන අතර, ඉංග්‍රීසි සම්බන්ධක භාෂාවය. දෙමළ භාෂාව ද්විතීයික තත්වයට පහත හෙළා ඉංග්‍රීසි භාෂාව වරප්‍රසාද ලත් කිහිප දෙනකුගේ ආරක්ෂාව බවට පත් කළ 1956 වසරේ සිංහල පමණයි ප්‍රතිපත්තිය තීරණාත්මක වැරැද්දක් බවට වූ දේශපාලනික හා සමාජීය එකඟතාවක් පවතී.

මෙම පුළුල් එකඟතාවට විරුද්ධ වන්නේ සිංහල-බෞද්ධ අන්තවාදී අන්තයේ සුළුතරයක් පමණි. එහෙත් 11 ශ්‍රේණියේ පෙළපොතෙහි ඉතිහාසය ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට උගන්වනු ලබන්නේ ඔවුන්ගේ ඉතිහාස අනුවාදයයි.

1956 මැතිවරණය සහ සමාජ වෙනස යන මාතෘකාවෙන් යුත් පොතේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජයට සම්බන්ධ කොටස ගන්න: “ස්වදේශීය භාෂාව, ආගම සහ සංස්කෘතිය අගය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා බණ්ඩාරනායක මහතා වටා නව බලවේග කිහිපයක් පෙළගැස්වීම නිසා එම රජය විසින් සමාජ විප්ලවයක් සිදු කරන ලද බව විශ්වාස කෙරේ... නිදහස ලබා ගැනීමෙන් පසුව පවා ඉංග්‍රීසි භාෂාව විශේෂ ස්ථානයක් හිමි කරගත් අතර, එය ස්වදේශීය භාෂා විද්වතුන්ට ගැටලු සහගත තත්වයක් විය. ඒ නිසා, මහජන එක්සත් පෙරමුණ වටා රොක් වූ අය ප්‍රතිපත්තියක් ලෙස සිංහල නම් කිරීම පිළිගෙන තිබුණි... ඔහුගේ පරිපාලනය තුළ සැලකිය යුතු සන්ධිස්ථාන වූයේ ජාතිකත්වය අගය කරන ප්‍රතිපත්තිය සහ පොදු ජනතාවගේ නොවිසඳුණු ගැටලු විසඳීමට ගත් උත්සාහයයි”.

ඉතිහාසයේ මෙම අනුවාදයේ, ස්වදේශික (මුල් සිංහල පාඨය දේශීය) යනු සිංහල සඳහා සමාන පදයකි; ස්වදේශික භාෂාව සිංහල, ස්වදේශික ආගම බුද්ධාගම සහ ස්වදේශික සංස්කෘතිය සිංහල-බෞද්ධ සංස්කෘතියයි. ස්වභාෂා ද සිංහල වන අතර ජාතිකත්වය ද එසේමය (දේශීත්වය). සිංහල එකම ස්වදේශික භාෂාව බැවින්, සිංහල පමණක් නිවැරැදි ප්‍රතිපත්තිය විය. ඉංග්‍රීසි මෙන් දෙමළ ද ස්වදේශික නොවන අතර, එබැවින් ද්විතීයික තත්වයට හෝ කිසිදු තත්වයක් නොලැබීමට සුදුසු වේ.

1956 දී තවත් මාර්ගයක් අනුගමනය කළ හැකිව තිබුණි. ඒ සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා බවට පත් කිරීම සහ ඉංග්‍රීසි අත්‍යවශ්‍ය සම්බන්ධක භාෂාවක් ලෙස තබා ගැනීමය. එම මාර්ගය හරහා එකිනෙකා සහ ලෝකය තේරුම් ගැනීමට සහ සම්බන්ධවීමට හැකි ත්‍රෛභාෂා ලාංකික පරම්පරා නිර්මාණය කිරීමට ඉඩ තිබුණි. එහෙත් සියල්ලට පසුව, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු‍ම ප්‍රධාන දේශපාලන පක්ෂ සහ නායකයන් විසින් 1953 දක්වා භාෂාමය සමානාත්මතාව පිළිගනු ලැබීය.

“සිංහල පමණයි” යන්නට දෙමළ ජනතාව පමණක් නොව වාමාංශිකයෝ ද දැඩි ලෙස විරුද්ධ වූහ. භාෂාමය වෙනස්කම් කිරීමේ මෙම මාවතේ අප බලා සිටින අනාගතය පිළිබඳ වඩාත්ම දූරදර්ශී අනතුරු ඇඟවීම කරනු ලැබුවේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා විසිනි. ඒ 1956 දී නිල භාෂා (සිංහල පමණයි) පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුරේදීය. “අපට අවශ්‍ය වන්නේ ස්වාධීන ලංකාවක්ද නැතිනම් ලංකාවේ ලේ ගලන අර්ධ දෙකක්ද...? එක භාෂාවක්, ජාතීන් දෙකක්; භාෂා දෙකක්, එක ජාතියක්”.

ඉතිහාසයේ මෙම ලක්ෂණ කිසිවක් 11 ශ්‍රේණියේ සිසුන්ට උගන්වා නැත. ඒ වෙනුවට ඔවුන් කියන්නේ ස්වභාෂා විද්වතුන්ට සිංහල පමණක් අවශ්‍ය නිසා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එය සම්මත කළ බවය. කතාව අවසානය. සිංහල පමණක් සඳහා කිසිදු විරෝධයක් නොතිබුණි, භාෂා සමානාත්මතාව සඳහා කිසිදු ඉල්ලීමක් නොතිබුණි, බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමක් නොතිබුණි, 1958 කෝලාහල නොතිබුණි, ජනවාර්ගික ගැටලු‍වක් නොතිබුණි, භාෂා ගැටලු‍වක් නොතිබුණි.

11 ශ්‍රේණියේ ඉතිහාස පෙළපොතෙහි සිංහල-බෞද්ධ යන්න ජාතික (දේශීය) සමග මිශ්‍රණය කිරීම අහඹු හෝ අහම්බයක් නොවේ; එය ඉතිහාසය අර්ථකථනය කර විස්තර කරන රාමුවය. උදාහරණයක් ලෙස, මෙම කොටස ගන්න: “බෞද්ධ පාසල් සහ පිරිවෙන් පිහිටුවීම නිසා, සංස්කෘතියේ වටිනාකම තේරුම් ගත් ආගමික තරුණ පරම්පරාවක් බිහි විය. එම තරුණයන් අතර, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන සහ ජෝන් ද සිල්වා වැනි මාතෘ භූමියේ සැබෑ පුත්‍රයන් සහ දේශීය සංස්කෘතියේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කළ ජාතික ලේඛකයන් සහ නායකයෝ පිරිසක් සිටියහ. ඔවුහු ස්වදේශිකයන් අතර දේශප්‍රේමය සහ ජාතිකවාදය අවදි කිරීමට විවිධ ආකාරයේ මාධ්‍ය භාවිත කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස... ස්වදේශිකයන් අතර දේශප්‍රේමය අවුළු‍වාලීමේ ව්‍යාපාරයක් මතු විය...”

මෙහිදී ද ජාතික, දේශීය, ජාතිකවාදය සහ ස්වදේශික යන සියල්ලම සිංහල-බෞද්ධ සමග සමපාත වේ. “මාතෘ භූමියේ සැබෑ පුත්‍රයන්” ලෙස ප්‍රශංසා කරන ලද ජාතික ලේඛකයන් සියලු දෙනාම සිංහල-බෞද්ධයන් වූ අතර, ඔවුන්ගේ “ජාතිකවාදය” බ්‍රිතාන්‍ය විරෝධීත්වයට වඩා සුළුතර විරෝධී විය. ඔවුන්ගේ වංශාධිපත්‍යය බහුත්වවාදී ලංකාවක් නොව, සුළුජාතීන් යනු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් ඇති සම-හිමිකරුවන් නොව, දුක් විඳීමට මෙහි සිටින අමුත්තන් වූ සිංහල-බෞද්ධ දේශයකි. ඔවුන් දැල්වීමට උත්සාහ කළ දේශප්‍රේමය වූයේ එම සිංහල-බෞද්ධ දේශයට, එහි ආගමට සහ සංස්කෘතියට ඇති විශ්වාසවන්තභාවයයි. එම බැහැර කිරීමේ දේශප්‍රේමය, අපේ පොදු අනතුර සඳහා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සිට රාජපක්ෂලා දක්වා අවස්ථාවාදී දේශපාලනඥයන් විසින් භාවිත කරනු ඇත.

 

ළිං මැඩියෝ

‘ දිගු ඊළාම් යුද්ධයේ මුල් බීජ වැපිරුවේ‘සිංහල පමණයි” ප්‍රතිපත්තියයි. ඉන් සිංහලයන් බොහෝ දෙනෙකුට ජාත්‍යන්තර භාෂාවක් ඉගෙනීමේ අවස්ථාව අහිමි කළ අතර, ඔවුහු නොදැනුවත්කමේ සහ පටු අදහස්වල ගිලී ගියහ. මෙම දැනුමේ ඌනතාව සහ පටු දැක්ම 11 ශ්‍රේණියේ ඉතිහාස පෙළපොතේ අන්තර්ගතය සහ සංයුතිය තුළ පැහැදිලිව දක්නට ලැබේ.

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ලංකාව තුළ ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කිරීමට ගනු ලැබූ උත්සාහය සඳහා පෙළපොත සැලකිය යුතු ඉඩක් වෙන් කරයි. “බ්‍රිතාන්‍ය පාලන සමයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංවිධාන කිහිපයක් රට තුළ කතෝලික ධර්මය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තේය. ඒවා මිෂනාරි සංවිධාන ලෙස හැඳින්වේ”. මෙයින් පසුව මිෂනාරි සංවිධාන ලැයිස්තුවක නම් ඇත.

ගැටලු‍ව වන්නේ එසේ ලැයිස්තුගත කර ඇති මිෂනාරි සංවිධාන කිසිවක් කතෝලික නොවීමය. ඒවා සියල්ලම විවිධ රෙපරමාදු නිකායන්ට අයත් ඒවාය. ඔවුන්ගෙන් කිසිවකු කතෝලික ධර්මය පතුරුවා හැරියේ නැත. ඔවුන් පතුරුවා හැරියේ එංගලන්ත පල්ලියේ අනුවාදයෙන් ආරම්භ වන විවිධ ආකාරයේ රෙපරමාදු ආගම් ය.

පෙළපොතේ ලේඛකයන්, සංස්කාරකවරුන් සහ අවේක්ෂකයන් ලැයිස්තුවේ ඇති නම් දෙකක් මඟින් මෙම වැදගත් වැරැද්ද පිළිබඳව දැනුවත් විය යුතුව තිබුණි. ඒ බැප්ටිස්ට්වරු සහ

වෙස්ලියන්වරුය. නිසැකවම නම්වලින් ඇඟවෙන්නේ මෙම මිෂනාරි සංගම් කතෝලික නොව රෙපරමාදු බව නොවේද?

අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍යය කතෝලික රටක් නොව දැඩි රෙපරමාදු රටක් බව සොයා ගැනීමට තරම් ඉතිහාසයක් පෙළපොතේ ලේඛකයන්, සංස්කාරකවරුන් සහ අවේක්ෂකයන් නිසැකවම දැන සිටියාද? සියල්ලට පසුව, 1829 කතෝලික විමුක්ති පනත තෙක් බ්‍රිතාන්‍යයේ කතෝලිකයන්ට නීත්‍යනුකූලව වෙනස්කම් කරනු ලැබුණි (පාර්ලිමේන්තුවේ සේවය කිරීම තහනම් කිරීම ඇතුළුව). 2013 වසර වන තෙක්ම බ්‍රිතාන්‍ය රජවරුන්ට සහ ඔවුන්ගේ උරුමක්කාරයන්ට කතෝලිකයන් සමඟ විවාහ වීම තහනම් විය. අදටත් කතෝලිකයකුට එක්සත් රාජධානියේ රජකු හෝ රැජිනක විය නොහැක.

ඉතින් 11 ශ්‍රේණියේ ඉතිහාස පෙළපොත් සම්පාදකයන් නිගමනය කළේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ලංකාවේ කතෝලික ධර්මය ව්‍යාප්ත කිරීමට උත්සාහ කළ බවද? ඒ හා සමාන වැරැද්දක් වන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ බටහිර රටවල මහායානය ප්‍රචාරය කරන බව පැවසීමය.

මෙම හාස්‍යජනක දෝෂය සඳහා දී ඇති කාරුණික පැහැදිලි කිරීම වන්නේ එය වැරැදි පරිවර්තනයක් බවය. මුල් සිංහල අනුවාදයේ කිතුණු යන වචනය භාවිත කරයි. ඉංග්‍රීසි අනුවාදයේ කිතුණු කතෝලික බවට පරිවර්තනය කර ඇත. එහෙත්, එසේ නම්, පරිවර්තකයා වැරැද්දක් කර ඇත්නම්, එය කොමසාරිස් ජෙනරාල්වරයා සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අනෙකුත් ඉහළ නිලධාරීන්, කර්තෘ මණ්ඩලය, ලේඛක මණ්ඩලය හෝ භාෂා සංස්කාරක දැක ගත යුතුව තිබුණි. ඔවුන්ගෙන් කිසිවකු එසේ නොකළ නිසා සහ දෝෂය සංස්කරණ තුනක් හරහා පැවතුණ නිසා, නිගමනය නොවැළැක්විය හැකිය..., එනම්, මෙම නෝනාවරු මහත්වරු කිසිවෙක් කතෝලික ධර්මය සහ රෙපරමාදු ආගම අතර ඇති වෙනස නොදනිති. නොදැන සිටිනවා පමණක් නොව, එය සොයා ගැනීමටද උනන්දුවක් නැත. එසේම අනාගත පරම්පරාවන්ට මග පෙන්වන්නේ මෙම නොදැනුවත්කම සහ පටු අදහස් ඇති අයය.

ලෝකය පිළිබඳ එවැනි නොදැනුවත්කම ප්‍රායෝගික ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර, බොහෝ විට ඒවා මාරාන්තික විය හැකිය.

ගංගොඩවිල සෝම හිමියෝ 2023 දෙසැම්බර් මාසයේදී ශීත ඇඳුම් නොමැතිව රුසියාවට ගොස් සීතල නිසා හටගත් රෝග තත්වයක් හේතුවෙන් එහිදී අපවත් වූහ. ගංගොඩවිල සෝම හිමියන් සහ මුස්ලිම් කොංග්‍රස් නායක එම්.එච්.එම්. අෂ්රොෆ් අතර බුද්ධාගම පිළිබඳ විවාදයක් පැවැති අතර, ටී.එන්.එල්. නාළිකාව හරහා විකාශය වූ එම විවාදය බොහෝ දෙනෙක් නැරඹූහ. එම විවාදයේදී සෝම හිමියෝ පරාජයට පත් වූහ. ඉන් අනතුරුව, සෝම හිමියෝ තම මුස්ලිම් විරෝධී ව්‍යාපාරය ක්‍රිස්තියානි විරෝධී ව්‍යාපාරයක් බවට පත් කළහ. ඔහු රුසියාවේදී මිය ගිය විට, ඔහුගේ ගෝලයෝ එය මිනීමැරුමක් ලෙස හැඳින්වූ අතර, අපරාධය සම්බන්ධයෙන් මූලධර්මවාදී කිතුනුවන්ට චෝදනා කළහ. චෝදනා කෙතරම් උමතු මට්ටමකට ළඟා වූවාද යත්, මරණය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබීය.

ලාංකිකයන් ලෝකය ගැන තව ටිකක් දැනුවත්ව සිටියා නම්, රුසියාවේ බහුතර ආගම රුසියානු ඕතඩොක්ස් පල්ලිය බව ඔවුන් දැන ගන්නට ඉඩ තිබුණි. කතෝලිකයන් ජනගහනයෙන් සියයට.1 ක් පමණක් වන අතර, කතෝලික නොවන ක්‍රිස්තියානීන් සියයට.3 ක් පමණි. රුසියාවේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට වඩා බෞද්ධයන්, මිථ්‍යාදෘෂ්ටිකයන් සහ මුස්ලිම්වරු වැඩිය. ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට භික්ෂුව ඝාතනය කිරීමට අවශ්‍ය නම්, ඔවුන් සෝම හිමියන්ට ආරාධනා කරන්නේ ඔවුන්ට පිරිස් බලයක් හෝ වෙනත් බලයක් නොමැති රුසියාවට නොවේ. ඔවුන් ආරාධනා කරන්නේ එක්සත් ජනපදයට හෝ ඔවුන් බහුලව සිටින හා බලවත් වෙනත් රටකටය.

අවාසනාවකට මෙන්, රජ කළේ නොදැනුවත්කම සහ පටු අදහස්ය. චම්පක රණවක සහ උදය ගම්මන්පිලගේ සිහළ උරුමය විසින් ප්‍රධාන වශයෙන් ඇවිළවූ ක්‍රිස්තියානි විරෝධී උන්මාදය ලැව්ගින්නක් මෙන් පැතිර ගියේය. සෝම හිමියන්ගේ අභාවයෙන් මාස දෙකකට පසු, ජාතික සංඝ සම්මේලනයේ රැස්වීමකදී, ඕමල්පේ සෝභිත හිමියෝ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන සහ සමකාලීන අභියෝග දෙක ලෙස කොටි ත්‍රස්තවාදය සහ මිෂනාරි ත්‍රස්තවාදය හඳුනා ගත්හ. එල්ටීටීඊය ක්‍රිස්තියානි ව්‍යාපාරයක්

බවද එහිදී ප්‍රකාශ විය. ඉන්පසු පල්ලිවලට ප්‍රහාර මාලාවක් එල්ල විය. කතෝලික ධර්මය සහ රෙපරමාදු ආගම සහ ප්‍රධාන ධාරාවේ රෙපරමාදු පල්ලි සහ ආශිර්වාදාත්මක පල්ලි අතර ඇති වැදගත් වෙනස මැරයන් නොදැන සිටි බැවින්, ඕනෑම පල්ලියකට පහර දීම සාධාරණ ක්‍රීඩාවක් බවට පත්විය. නිදසුනක් වශයෙන්, එක් ඉලක්කයක් වූයේ කතෝලික පල්ලියක් වන පන්නිපිටියේ ලූර්දු අප ස්වාමිදූගේ පල්ලියයි.

නොදැනුවත්කම රජ කරන විට, එවැනි මාරාන්තික වැරැදි සාමාන්‍ය දෙයක් බවට පත්වේ. ඉතිහාසයෙන් උගන්වන පාඩම් රඳාපවතින්නේ ඉතිහාසය උගන්වන දේ මතය. 11 ශ්‍රේණියේ ඉතිහාස පෙළපොතේ ඇති සමහර දෝෂ එතරම් භයානක නොවන නමුත්, ඉන් කරන හෙළිදරව්ව ඒ හා සමානය. බෞද්ධ පාසල් පිහිටුවීම පිළිබඳ කොටසේ එක ගැහැනු පාසලක් ගැනවත් සඳහන් නොවේ. බෞද්ධ පාසල්වල නිර්මාතෘවරුන්ගේ ලැයිස්තුවේ හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමාගේ නම ඇතුළත් වන අතර, මියුසියස් විද්‍යාලයේ නිර්මාතෘ මාරි මියුසියස් හිගින්ස්ගේ නම එහි ඇතුළත් නොවේ. ලැයිස්තුවේ ජෙරමියස් දියෙස්ගේ ලිංගභේදය කාන්තාවකගේ සිට පිරිමියකු දක්වා වෙනස් කර ඇත්තේ, එය ලැයිස්තුවේ සියලු‍ම පිරිමින්ට ගැළපෙන පරිදි විය හැකිය. පෙළපොත ලියන, සංස්කරණය කරන සහ අධීක්ෂණය කරන අය, විශාඛා විද්‍යාලය ආරම්භ කළ ජෙරමියස් දියෙස් මැතිණිය, මැතිතුමා නොව, සෙලෙස්ටිනා රොඩ්‍රිගෝ දියෙස් මැතිණිය බව දැන සිටියේ නැත. ඇය කොස් ප්‍රවර්ධනය හේතුවෙන් කොස් මාමා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ආතර් වී. දියෙස්ගේ මවය. සරල අන්තර්ජාල සෙවුමකින් මෙම ලැජ්ජා සහගත වැරැද්ද වළක්වා ගත හැකිව තිබුණි. එහෙත් ඒ සඳහා කරදර වන්නේ ඇයි?

සමහර විට මෙම සමාව දිය නොහැකි දෝෂ පැන නගින්නේ ඉතිහාස පෙළපොතේ පුරුෂ කේන්ද්‍රීය දෘෂ්ටිකෝණය නිසා විය හැකිය. උදාහරණයක් ලෙස, බෞද්ධ පුනරුදයේ නායකයන්ට අවශ්‍ය වූයේ “ස්වදේශික සංස්කෘතිය අගය කිරීමට දිරිගැන්වීමෙන් තම රටට ආදරය කරන යුග පුරුෂයන් නිර්මාණය කිරීමට...” විය හැකිය. ඔවුන්ට අවශ්‍ය වූයේ කාන්තාවන් නොව ස්වදේශික පිරිමින් බව කීමටය. මෙම ලෝක දැක්ම තුළ, කාන්තා පාසල් සහ ඒවායේ ආරම්භකයන්, කතෝලිකයන් සහ කතෝලික නොවන ක්‍රිස්තියානීන් අතර වෙනස හෝ දෙමළ සහ මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් තරම්ම වැදගත් නොවේ. වසර කිහිපයකින් ඡන්දදායකයන් සහ පුරවැසියන් බවට පත්වන සිසුන්ට සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී සහ පුරුෂ කේන්ද්‍රීය විසින් උගන්වනු ලබන ඉතිහාසය මෙයයි. අතීතය පිළිබඳ එවැනි නැවත අර්ථකථනයක් සහ නිරූපණයක් සමග, අප ගමන් කරන්නේ කුමන ආකාරයේ අනාගතයක් කරාද?

 

ඉතිහාසයේ සිට අනාගතය දක්වා

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ 101 වැනි ඒකකය 1953 වසරේදී පලස්තීනයේ කිබියා ගම්මානයට ඇතුළු වී පලස්තීන සිවිල් වැසියන් 69 කට වැඩි පිරිසක් සමූලඝාතනය කළ අතර, ඔවුන්ගෙන් තුනෙන් දෙකක් කාන්තාවෝ සහ ළමයි වූහ.

ඊශ්‍රායල-යුදෙව් ඉතිහාසඥයකු සහ දාර්ශනිකයකු වන යෙෂයාහු ලෙයිබොවිට්ස් මෙම සංහාරයෙන් කම්පනයට පත් විය. “මෙම අපරාධය කිරීමට මානසික බාධාවක් නොමැති අපේ මේ “තරුණයා” බිහි වූයේ කොහෙන්ද කියා අපි අපෙන්ම අසාගත යුතුයි” යැයි ඔහු ලිවීය (යුදෙව් ආගම, මානව වටිනාකම් සහ යුදෙව් රාජ්‍යය). පලස්තීන ඉඩම් අත්පත් කර ගැනීම දිගටම පැවතුණහොත්, ඊශ්‍රායල යුදෙව්වන් යුදෙව්-නාසිවරුන් බවට පත්වනු ඇතැයි ඔහු අනතුරු ඇ​ෙඟව්වේය. වර්තමානයේදී ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරයෙන් ඔප්පු වන්නේ ඔහු කෙතරම් දක්ෂ අනාවැකිකරුවකුද යන්නය.

එවැනි ඝාතකයන් බිහි වන්නේ කෙසේද යනුවෙන් ඔහු මතු කළ ප්‍රශ්නය, වසර ගණනාවක් පුරාම හොඳම ඊශ්‍රායල-යුදෙව් මනසින් යුතු සමහරක් පොර බදමින් සිටින ප්‍රශ්නයකි. පොදු එකඟතාවය අධ්‍යාපනයයි. පෙළපොත්, ඉතිහාසය උගන්වන ආකාරයයි.

1922 වසරේදී, පලස්තීනයේ ජනතාවගෙන් සියයට 78 ක් පලස්තීන මුස්ලිම්වරුන් වූ අතර, සියයට 9.5 ක් පලස්තීන ක්‍රිස්තියානීන් විය. යුදෙව්වන් ජනගහනයෙන් සියයට 11 ක් පමණක් විය. 1942 දී පවා, සියයට61 ක් පලස්තීන මුස්ලිම්වරුන්  වූ අතර, සියයට 8 ක් පලස්තීන ක්‍රිස්තියානීහු වූහ. යුදෙව්වෝ සියයට 30ක් පමණක් වූහ. සියොන්වාදීන් විසින් ඊශ්‍රායල රාජ්‍යය නිර්මාණය කරනු ලැබීම සඳහා 1948 වසරේදී බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ලද රට මෙයයි. භූමියක් නොමැති ජනතාවක් සඳහා මිනිසුන් නොමැති භූමියක් ලෙස එය නැවත සකස් කරනු ලැබුණි.

ඊශ්‍රායල-යුදෙව් සිසුන්ට පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා උගන්වනු ලබන ඉතිහාසය මෙය. ඊශ්‍රායල-යුදෙව් ඉතිහාසඥ ඉලාන් පැපේ පවසන පරිදි, ඔහුගේ උපාධි අධ්‍යයනයේ තුන්වැනි වසර තුළ, “ඉතිහාසය ඉගැන්වූ ආකාරය තුළ යම් ආකාරයක පරස්පරතාවක් ඇති බව මට වැටහුණා. සියවස් ගණනාවක් පුරා පලස්තීනය හිස් ස්ථානයක් බවට එක් අතකින් හැඟීමක් තිබුණා... එහෙත් අපි උපාධියේ අවසානයේ, 1948 වසරේ සිදුවීම්වලට පැමිණි විට, 1948 වසරේදී පලස්තීනුවන් ස්වේච්ඡාවෙන් පිටව ගිය බවත්, පලස්තීන සරණාගත ගැටලු‍ව නිර්මාණය වූයේ එලෙස බවත් අපට ඉගැන්නුවා. මේ අය ගියාද කියලා, රට හිස් වෙනකොට ඒ අය කවුද කියලා මම මහාචාර්යවරයෙක්ගෙන් ඇහුවා මට මතකයි. ඔහුගේ පිළිතුර හැමදේම දැනගත යුතු ආකාරයේ කරදරකාර සිසුවෙක් වගේ දෙයක්”.

පලස්තීනුවන් යනු සතුරන් බවට පත්වන පිටසක්වල ජීවීන් කොටසක්, මිනිසුන් නොවන උප-මිනිසුන් පිරිසක්, ළදරුවන් පවා ත්‍රස්ත යන්ත්‍ර වන සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදී ජනතාවක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට උගන්වන අතර, එවිට ජන සංහාරය කළ හැකි දෙයක් පමණක් නොව, පිළිගත හැකි දෙයක් මෙන්ම, සතුටට කරුණක් ද වේ.

ශ්‍රී ලංකාවේ අපි ජීවත් වන්නේ කළු ජූලියේ 42 වැනි සංවත්සරය යෙදී ඇති කාලයකය. තරුණ ශිෂ්‍යාවක වන ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ සිට සෙල්ලම් බඩුවේ හිමිකරු වූ වළලනු ලැබූ නාඳුනන දරුවා දක්වා බොහෝ දෙමළ ජනතාවගේ අවසාන සොහොන් බිම වන චෙන්මනී සමූහ මිනීවළ අප තවමත් හොල්මන් කරයි. සිංහල මැරයන්, ලංකා හමුදා සහ ජනතා විමුක්ති පෙරමුණ, එල්ටීටීඊ සහ අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම්, ඉන්දීය සාම සාධක හමුදාව සහ ඉස්ලාමීය උන්මත්තකයන් විසින් 1956 වසරේ සිටම අසංඛ්‍යාත සිංහල, දෙමළ සහ මුස්ලිම්වරුන් ඝාතනය කර ඇත. අපගේ අනාගතය එම ලේ වැකුණු අතීතයට වඩා වෙනස් වීමට නම්, එක් පැහැදිලි ආරම්භක ලක්ෂ්‍යයක් වන්නේ එම අතීතය අර්ථකථනය කර විස්තර කරන ආකාරයයි. සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය වලංගු කරන සහ එහි බොහෝ වැරැදි ජයග්‍රහණයක් ලෙස වර්ණනා කරන ඉතිහාස පෙළපොතක් මග පාදන්නේ අතීතයට වඩා නරක අනාගතයකටය.

ඉතින්, ඉතිහාසය ඉගැන්විය යුතුද? ඔව්. සාමාන්‍ය පෙළ සඳහා එය අනිවාර්ය විෂයක් කළ යුතුද? ඇයි නොකළ යුත්තේ?

එහෙත් මුලින්ම තවත් ප්‍රශ්නයක් මතු විය යුතුය? අප උගන් වන්නේ කුමන ඉතිහාසයද? අතීත වැරැදි උත්කර්ෂයට නංවන සහ ඒවායේ ප්‍රතිනිෂ්පාදනය සඳහා සාධාරණීකරණය සපයන ඉතිහාසයද? නැතහොත් යම් දිනෙක, අඩු විනාශකාරී, අඩු ලේ වැගිරීම් ඇති අනාගතයකට අප ගෙන යා හැකි ඉතිහාසයක්ද?

 

(***)
තිසරණී ගුණසේකර විසිනි
“ඬේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ අනිල් කරුණාරත්න



අදහස් (0)

විවාද කරන්නේ කුමන ඉතිහාසය ගැනද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 116 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1057 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site