IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


විවෘත ඡන්දයට විරුද්ධ ඇයි?

එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ සියයට පනහ ඉක්ම වූ මන්ත්‍රී සංඛ්‍යාවක් නොලැබුණු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් තෝරා ගැනීම පිළිබඳව ඇතිව තිබෙන ගැටලු‍ව මේ වනවිට දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. එම තනතුරුවලට ඒ ඒ පක්ෂ හෝ කණ්ඩායම් විසින් යෝජනා කරනු ලබන මන්ත්‍රීවරුන් අතුරින් කෙනෙකු පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්ද ක්‍රමය පිළිබඳව ගැටලු‍ව ඒ අතර ප්‍රධාන වේ.

ඕනෑම පළාත් පාලන ආයතනයක පළමු සභා වාරය ආරම්භ කිරීමට පෙර සභාපති හෝ නගරාධිපති තනතුරු සඳහා අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් ඉදිරිපත්ව ඇති අවස්ථාවක ඡන්දයක් පැවැත්වීමට සිදුවේ. මෙවර ගැටලු‍ව පැන නැගී ඇත්තේ එම ඡන්දය පැවැත්විය යුත්තේ විවෘතවද, රහසිගතවද යන්න තීරණය කිරීම සම්බන්ධයෙනි. ඒ පිළිබඳව තීරණය ගත යුතුව ඇත්තේ අදාළ පළාත් පාලන ආයතනයට තේරීපත් වූ සමස්ත මන්ත්‍රීවරුන්ගේ බහුතරය විසිනි. මේ සම්බන්ධයෙන් පවත්නා නීතිරිතිවල එම තීරණය ගත යුත්තේ විවෘත හෝ රහසිගත ඡන්දයෙන් ද යන්න නිශ්චිතව සඳහන් නොවන බැවින් එහි ව්‍යාකූලතාවක් පවතින බව සමහරු ප්‍රකාශ කරති.

පළාත් පාලන ආයතන පිළිබඳ නව ඡන්ද ක්‍රමය යටතේ පැවැති පළමු පළාත් පාලන මැතිවරණය 2018 වසරේදී පැවැති අතර එම ඡන්ද විමසීමේදී එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ සියයට පනහකට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි නොවූ පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවක් පැවැතුණි. එම ආයතනවල ප්‍රධානීන් තෝරාගැනීම සඳහා පැවැති පළමු රැස්වීම්වලදී ඡන්දය පැවැත්විය යුත්තේ විවෘතවද, රහසිගතවද යන්න තීරණය කළ යුතුව තිබුණ ද, එම ආයතන සියල්ලකම පාහේ ප්‍රධානීන් පිළිබඳව තීරණය කරනු ලැබුයේ රහසිගත ඡන්දයකින් නොව වාචිකව ඒ ඒ මන්ත්‍රීවරුන් ගෙන් විමසීම මගිනි. යම් පළාත් පාලන ආයතනයක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් එකම පක්ෂයකට හිමි නොවූ අවස්ථාවලදී මෙම පියවර අනුගමනය කරන ලදී.

මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර අවසන් වරට මෙරට පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලද්දේ 2018 වසරේ යහපාලන රාජ්‍ය කාලවකවනුවේදීය. එම මැතිවරණයෙන් වැඩි පළාත් පාලන ආයතන ගණනක් දිනා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. එසේ වුවද සමහර පළාත් පාලන ආයතනවල සියයට පනහ ඉක්ම වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් දිනාගැනීමට ඔවුන්ට නොහැකි විය. එම ආයතනවල බලය පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පැවැති එක්සත් ජාතික පක්ෂය උත්සාහ දැරූ බවක් වාර්තා නොවේ. එම පක්ෂ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත් කිරීමට අදාළ ඡන්දය පැවැත්වීමේ ක්‍රමය පිළිබඳව අර්ථකථන දීමට හෝ එවැනි ආයතනවල තම පාලනයක් පිහිටුවීමට හෝ ඔවුන් උත්සාහ දැරූ බවට ද සඳහනක් නැත. තමන්ගේ අභිමතය විවෘත ඡන්දයක් මගින් ප්‍රකාශයට පත්කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව සළසා දී තිබුණි. එබැවින් පළාත් පාලන ආයතනවල නගරාධිපති, උපනගරාධිපති හෝ සභාපති, උපසභාපතිවරුන් තේරීම රටේ දේශපාලන මාතෘකාවක් බව‌ට පත්වූයේ ද නැත. එහෙත් ජාතික ජන බල වේග රජය ක්‍රියා කරන්නේ සියලු‍ පළාත් පාලන ආයතනවල බලය තමන්ට හිමිවිය යුතුය යන ස්ථාවරයේ සිට බව පැහැදිලි වේ.

පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තේරීමේදී මන්ත්‍රීවරුන් එකසිය දහතුනකට වැඩි සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂයට අගමැති ධුරය අනිවාර්යයෙන්ම හිමිවේ. එසේ නොමැතිව එක පක්ෂයක් අනෙක් පක්ෂවලට වඩා වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමිකර ගෙන නොසිටිය ද, අනෙක් පක්ෂ සමග එකතුව එකසිය දහතුනක් හෝ ඊට වැඩි මන්ත්‍රීවරුන් පිරිසකගේ එකතුවෙන් එම පක්ෂයට අගමැතිවරයකු පත්කර ගැනීමට හැකියාව ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව ඒ ඒ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත්කර ගැනීමට ඉඩ නොතබා රජය ඒ පිළිබඳව විවිධාකාරයෙන් බලපෑම් කිරීම හේතුවෙන් මේ වනවිට අවුල් රැසක් ඇතිව තිබේ. සමහර පළාත් පාලන කොමසාරිස්වරුන් මන්ත්‍රීවරුන්ගෙන් කවර මතයක් ප්‍රකාශ වුවද රහසිගත ඡන්දයකින් පමණක් එම තනතුරුවලට පත්කර ගැනීමට කටයුතු කර තිබේ. සමහර කොමසාරිස්වරුන් මන්ත්‍රීවරුන්ගෙන් වාචිකව විවෘත ඡන්දය ලබාගෙන සභාපතිවරුන් පත් කිරීමට කටයුතු කර තිබේ. මෙම පත්වීම් සඳහා පවත්වන රැස්වීමේ මුලසුන හොබවනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරුන් මිස මැතිවරණ කොමිසමේ නිලධාරීන්  නොවේ. මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබේ. එසේ වුවද පළාත් පාලන කොමසාරිස්වරු රජයේ නිලධාරීහුය. සමහර නිලධාරීන් රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කරද්දී ඇතැම් නිලධාරීන් විවෘත ඡන්දයක් පැවැත්වීමට කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ එම තේරීම් ක්‍රමය අවුල්සහගත තත්වයකට පත්ව ඇති ආකාරයයි.

අනෙක් අතට රජය විසින් ද මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබඩි ප්‍රතිපත්තියක් බව පැහැදිලි වේ. කොළඹ මහ නගර සභාවට නගරාධිපතිවරයකු තෝරා ගැනීමට පැවැති පළමු රැස්වීමේදී ආණ්ඩු පක්ෂය රහස් ඡන්දයක් දැඩිව ඉල්ලා සිටියේය. එසේ වුවද කොටගලදී විපක්ෂය රහස් ඡන්දයක් ඉල්ලා සිටියේය. කොළඹ මහ නගර සභාවේදී ආණ්ඩු පක්ෂය අනුගමනය කළ පිළිවෙතම අනුගමනය කරමින් එහිදී විපක්ෂයේ කණ්ඩායම් රහස් ඡන්දයක් ඉල්ලා සිටි ආකාරය සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ විඩියෝ පට මගින් දැකගත හැකිවිය. එසේ වුවද, ආණ්ඩු පක්ෂය ලංකා කම්කරු කොංග්‍රසය සමග එකතු වී එහිදී ඉල්ලා සිටියේ විවෘත ඡන්දයක් පවත්වන ලෙසය. මේ ආකාරයට එක තැනකදී නීතිය අනුව රහස් ඡන්දයක් පැවැත්විය යුතු යැයි අවධාරණය කරන අතර තවත් තැනකදී නීතිය අනුව විවෘත ඡන්දයක් පැවැත්විය යුතු යැයි ඉල්ලා සිටීම මගින් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන පිළිවෙතේ පවතින හාස්‍යජනක තත්වය හෙළිවේ.

තමන්ට පැහැදිලි බහුතරයක් නොලැබුණ ආයතනවල බලය පිහිටුවීම සඳහා විවිධ බලපෑම් කිරීමෙන් රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගැනීමට තිබූ ඉඩප්‍රස්ථා රජය අහිමි කරගෙන තිබේ. ජනාධිපති ධුරයත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයත් හිමි කරගෙන සිටින රජයකට බහුතරය අහිමි වූ  පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කර ගැනීමෙන්  අමුතු වාසියක් සැලසෙන්නේ නැත. හොරුන්, මංකොල්ලකරුවන්,  දූෂිතයන් ලෙස තමන් විසින්ම හැඳින්වූ පිරිස් එකතු කරගෙන බලය ලබා ගැනීම තුළ ලැබෙන ප්‍රතිඵල කවරේද යන්න රජය අවබෝධ කරගත යුතුව තිබුණි. එසේ නැත්නම් ජාතික ජන බලවේගය බලයට ගෙන ඒම සඳහා විශාල කැපවීමක් කළ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැනි අයගෙන් හෝ විමසිය යුතුව තිබුණි.

රජය තමන්ගේ බහුතරය පෙන්වීමට උත්සාහ දරන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් සත්‍ය තත්වය වන්නේ ඒවායේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් රජයේ පාර්ශ්වයෙන් තෝරා පත්කිරීම මහජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවය. විවිධ බලපෑම් හා පොරොන්දු මත අනෙක් පක්ෂවල සාමාජිකයන්ගේ සහාය ලබාගැනීමෙන් කවර ප්‍රතිඵලයක් ලැබෙන්නේ ද යන්න පිළිබඳව රජයට නිවැරැදි තක්සේරුවක් නැති බව පෙනේ. රහසිගත ඡන්දයක් පැවැත්වූ ආයතනවල බලය රජයට හිමිව තිබේ. එසේ වුවද විවෘත ඡන්දයක් පැවැත් වූ බහුතර ආයතන සංඛ්‍යාවක බලය විපක්ෂයට හිමිව තිබේ. සීතාවක නගර සභාව සහ සීතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රධානීන් පත්කර ගැනීමට මන්ත්‍රීවරුන් විවෘත ඡන්දයක් ඉල්ලු‍ව ද, එය නොලැබීම නිසා මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ. සභාවේ ගණපූර්ණය නොමැතිවීම නිසා සභාපතිවරුන් තේරීමකින් තොරව එම රැස්වීම් කල් තැබීමට සිදුවිය. ජාතික ජන බලවේගයට සියයට පනහක් මන්ත්‍රීවරුන් නොමැති ආයතනවල බලය හිමිව ඇත්තේ තමන් එම පක්ෂයට ඡන්දය දීමට සූදානම් බව ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීමට නොහැකි,‘කොන්ද පණ නැති’ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි.

මේ ආකාරයට අයුතු ලෙස සහ එවැනි පුද්ගලයන් එකතුකර ගැනීමෙන් ගොඩනගන බලය කොතරම් අනතුරුදායක ද යන්න රජය වටහා ගත යුතුව ඇත. 1993 වසරේ පැවැති දකුණු පළාත් සභා මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිකර ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරි පත් වූ මන්ත්‍රීවරයකු වන ෆැන්සිස්කු මහතාගේ සහාය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය. ඔහු වෙනම තැනක රඳවා ගෙන පවුලේ අයගෙන් පවා වෙන්කර තබන ලදී. එසේ වුවද එම අසාර්ථක ‘ෆැන්සිස්කුකරණය’ කෙළවර වූයේ යළිත් පළාත් සභාව සඳහා ඡන්දයක් පැවැත්වීමට සිදුවීමෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම පළාත් සභා මැතිවරණයේදී පැහැදිලි ජයක් අත්කර ගත් අතර අවුරුදු දාහතක එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳවැටීම ද එයින් ආරම්භ විය.

රට තුළ සමතුලිත සහ ස්ථාවර පාලනයක් ගොඩනගා ගැනීමේදී බලය බෙදාගැනීම ද ප්‍රධාන අවශ්‍යතාවක් වනු ඇත. විපක්ෂය විපක්ෂයේ තබා ගැනීමට වඩා රාජ්‍ය පාලනයේදී ඔවුන්ගේ සහාය ලබා ගැනීමට හැකි වන පරිදි බලය බෙදා ගැනීමක් ද, වගකීම් පැවැරීමක් ද කළ යුතුව ඇත. මේ දක්වා පත් වූ කිසිම රජයක් යට‌තේ සියලු‍ම පළාත් පාලන ආයතන ආණ්ඩුව කරන පක්ෂයට පමණක් හිමිව තිබුණේ නැත. 1950 දශකයෙන් පසු කොළඹ මහ නගර සභාව අඛණ්ඩව පැවැතියේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේය. එසේ පැවැතීම තුළ පැවැති රජයන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී හෝ රජයේ සංවර්ධන කටයුතුවලදී ඉන් බාධාවක් ඇතිවූයේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හොබවද්දී කොළඹ නගරාධිපතිවරිය වූයේ එක්සත් ජතික පක්ෂයේ රෝසි සේනානායක මහත්මියයි. ගෝඨාභයගේ කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙළට හෝ කොළඹ නගරය පිරිසුදුව තබා ගැනීමේ වැඩපිළිවෙළට ඇයගෙන් බාධාවක් සිදුවූයේ නැත. ඇය රජයට ශක්තියක් වූවාය. එවැනි පිළිවෙත් තුළින් සාර්ථක පාලනයක් සඳහා ඉගෙනීමට බොහෝ දේ තිබේ.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

විවෘත ඡන්දයට විරුද්ධ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 310 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site