”අපේ පරම්පරාවේ අය බොරු කියන්නේ නැහැ. අන්සතුදේ ගන්නෙත් නැහැ. මත්පැන් බොන්නෙත් නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නේත් නැහැ. බුද්ධාගමේ සඳහන් පන්සිල් හතරක්ම ඒ අය රකිනවා. නමුත් මම සතුන් මරන්නෙත් නැහැ. මස් කන්නෙත් නැහැ. ඒ නිසා මම පන්සිල් පද පහම රකිනවා.” යැයි ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් පැවසුවේ ආඩම්බරයෙනි. ආදිවාසීන්ගේ රාජධානිය වූ දඹාන අද වෙනස්ය. ඇතැම් ආදිවාසීන්ගේ ඇඳුම් පැළඳුම් වෙනස්ය. වාසස්ථාන වෙනස්ය. අද වැදි දරුවෝ පාසල් යති. දැරියෝ ද පාසල් යති. සමහරු රජයේ රැුකියා කරති. කුමක් වෙනස් වුවත් සංස්කෘතියේ වෙනසක් වී නැතැයි ආදිවාසි නායකයා පවසන්නේය. ඔහු උපමාවට ගන්නේ ගෙදර හදන පූසාය. ඔහුගේම වචන වලින් පවසන්නේ නම් එය මෙසේය. අද දවස් පොජ්ජ මන්දො වෙනකොට ලෝක පොජ්ජ වෙනස් තැන මන්දො වෙනවා. ගම් පොජ්ජවල් වෙනස් තැන මන්දො වෙනවා. මිනිස් ගජ්ජු වෙනස් තැන මන්දො වෙනවා. හැබැයි මේ ඇත්තන්ට ඇය රුකලට මන්දො වෙන එකක් තමයි මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජ ඇහි රුකලට මන්දොකෙරුවත් වෙලා පොජ්ජකට මේ ඇත්තන්ගේ කැකුළොත් ඉදිනිවා තැරිකෝමන්තැලක් වටාගෙන හොදා වාගේ. කෝමන්තැලක් වටාගෙන හිදින කැකුලො හිදිනවා කරු කුරුගච්චන රුකුල් පොජ්ජෙ වැඩ පොජ්ජ මන්දො කරන කැකුලොත් හිදිනවා.කෝමන් තැනින් වෙනස් තැන මන්දො උනත් ඒ ඇත්තන්ගේ සිරිත් පොජ්ජෙන් වෙනකට මනදො වෙලා කොදොයි, කරු කරුගච්චන රුකුල් පොජ්ජෙ මන්දොවන කැකුලො ඒ වැඩ පොජ්ජේ හමාර තැන මන්දොවෙලා පැල පොජ්ජවල් වලට මන්ගච්චපුවම මංගච්චන්නේ පෙතලි පොජ්ජකුත් කැලැ පොජ්ජෙ. කැලැ පොජ්ජට මංගච්චල පැණි පොජ්ජ හෙවම් පොජ්ජ මන්දොකරනවා ගෙඩි පොජ්ජවල් තිබෙන කාල මැච්චෙදි නිවාඩු පොජ්ජ තිබෙන දින පොජ්ජවල් වලදි ගෙඩි පොජ්ජ වල් එකතු තැන මන්දොකරනවා. ඒ වගේ අල පොජ්ජ හෑරුම් පොජ්ජ මන්දො කරනවා, ඉතින් මේ ඇත්තො හිත්ලාන්නේ රුකල් පොජ්ජක රදන පොල්ලච්චල ඇත්තො ඒ ඇත්තො හැදච් පොජ්ජ මන්දො කරන්නේ රුකුල් පොජ්ජක ඒ ඇත්තන්ගෙ සිරිත් පොජ්ජ තමයි. දඩයම් පොජ්ජ මන්දො කරගෙන කැලෑ පොජ්ජ මංගච්චල මොනා එකෙක් හරි ඇල්ලම් පොජ්ජ මන්දො කරගෙන කැවිල්ලාන එක, ඒවාගේ තමයි මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජ කැකුලො ආණ්ඩු පොජ්ජෙ වැඩ පොජ්ජ මන්දො කෙරුවත් රුකුල් පොජ්ජට මංගච්චු ගමන් මංගච්චනේකැලැ පොජ්ජට. රුකුල් පොජ්ජෙ පොල් ඇච්චයි මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජෙ රදන කැකුලොයි ඇහිරුකුලට මන්දොකෙරුවොත් මේ දෙකමක තියෙන්නේ එක සිරිත් පොජ්ජයි. ඔහු කියයි. මේ දෙකේම තියෙන්නේ එකම සිරිත ඔහුගේ කතාවේ සාමාන්‍ය තේරුමයි. ආදිවාසීන් හා බුදු දහම අතර සම්බන්ධයක් තියෙනවද? මගෙන් ප‍්‍රශ්නයකි. බුදුහාමුදුරුවෝ බුදු බව ලබාගෙන ඉස්සෙල්ලාම වැඩියේ මේ රටට, මහියංගණයට. බුදුහාමුදුරුවෝ වඩින කොට මහියංගණයේ හිටියේ යක්ෂ ගෝත‍්‍රික මනුෂ්‍යයෝ යක්කු නොවෙයි. බුදුහාමුදුරුවෝ වැඩියේ යක්කු රටෙන් එළවන්න කියලා සමහරු කියනවා. හැබැයි ඒගොල්ලෝ කිව්වට අපනම් විශ්වාස කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ යක්ෂ ගෝත‍්‍රිකයන්ට පමණක් නොවෙයි කාටවත් හිරිහැර කළ ශාස්තෘවරයෙක් නොවෙයි. මහියංගණයට වැඩම කළේ මහියංගණයේ සිටි යක්ෂ ගෝත‍්‍රික මිනිසුන්ට යමක් තේරුම් ගන්න පුළුවන් විදියේ මොළයක් තිබුණා ඒ නිසයි. එසේ කියනදේ තේරෙන මිනිස්සු ඉන්න තැනකට තමයි බුදුහාමුදුරුවෝ වැඩියේ. එදා ඉඳලම අපේ පරම්පරාවේ මිනිස්සු බුදු දහමත් සමග සම්බන්ධයක් තියෙනවා. නමුත් මේ සම්බන්ධය තිබුණට මළගිය ඇත්තෝ අදහපු පරම්පරාවක් තමයි අපේ පරම්පරාව. ඒ සිරිත් විරිත් එලෙස පවතිනවා. බුදු දහමත් අදහන වෙලාවට අදහනවා. මාවරාගල ආරණ්‍යය කියලා කියන්නේ ඒ කඳු ආශ‍්‍රිත ප‍්‍රදේශය අපේ මළගිය නෑයෝ හෙවත් යකුන්ගේ දෙවියන්ගේ ස්ථාන වන කඳු එයට අයත්. එම ස්ථානය, අපේ අප්පච්චි තමයි කුඩාවැල්ලේ ධම්මපාල නමැති හාමුදුරුවන්ට පුජා කළේ. ඒ විතරක් නොවෙයි මගේ මල්ලි කෙනෙකුත් ශාසනයට පූජා කළා. ඒ ආරණ්‍යයේ ගලක බුදුරූපයක් නෙළන්න මමයි මාරවගල ආරණ්‍යයේ හාමුදුරුවොයි කාලයක් තිස්සේ සාකච්ඡ කළා. දවසක් කොළඹ යද්දි මං හාමුදුරුවන්ට කිව්වා මං මැරෙන්න කලින් මේ බුදුපිළිමයේ වැඩ පටන්ගන්න හරි  ඕනෑ කියලා. මං මැරුණත් ඉන්න කෙනෙක් හරි ඉතුරු ඉදිකිරීම කරාවි කියලත් කිව්වා. එතකොට හාමුදුරුවෝ කිව්වා ඔබ ආරණ්‍යය සංවර්ධන සමිතියේ සභාපති. මම නායක හාමුදුරුවෝ අපි දෙන්නම මැරෙන්න කලින් මේක පටන් ගන්න  ඕන කියලා. ඒ අනුව පසුගිය වෙසක් මාසේ 24 වැනිදා අපි බුදුපිළිමය නෙළීම ආරම්භ කළා. දැනට වැඩ කරගෙන යනවා. අවුරුදු දෙකකදී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි මුදල් රුපියල් ලක්ෂ 50 ක් පමණ අවශ්‍ය වෙනවා. ඒවාට කවුරු හරි උදව් කරයි කියලා හිතාගෙන වැඩ කරගෙන යනවා. මම ඉල්ලා සිටිනවා පිං කැමති අයට මේකට උදව් කරන්න කියලා. වැදි නායකයා කීවේය. මම අතුරු ප‍්‍රශ්නයක් යොමු කළෙමි. දැන් ආදිවාසීන් මස් කන්නෙ නැද්ද? එහෙම කියන්න බැහැ, අපේ අය දඩයම් කරනවා. දඩමස් කනවා. නමුත් ඉස්සරවගේ කැලෑවේ මුවෝ, ගෝන්නු, හාවෝ අඩුයි. දඩයමක් කරගෙන මටත් හොරෙන් තමයි කන්නේ. කාලයක් තිස්සේ ගොවිතැන් කරගෙන තමයි ජීවත් වෙන්නේ. මම නම් දඩයමේ යන්නෙත් නැහැ දඩමස් කන්නෙත් නැහැ. ඒ කියන්නේ නායකතුමා දඩයමේ ගිහිල්ලම නැද්ද? මම විමසීමි. මම දඩයක්කාරයෙක් වුණේ අවුරුදු 12 දී. මගේ අප්පච්චි තමයි දුන්න, ඊතලය පුරුදු කළේ. ඒ දවස්වල නම් මගේ ඉලක්කයක් වැරදිලා නැහැ. හැබැයි අවුරුදු 30 කට පෙර මම දඩයමත්, දඩමස් කෑමත් නතර කළා. ධාන්‍ය හා එළවළු විතරයි මගේ ආහාරය. මම බුදු දහමට හරිම ලැදියි. වෙහෙර විහාරස්ථානවල පිංකම්වලට ආරාධනා ලැබුණම හරිම කැමැත්තෙන් යනවා. මහියංගණයේ නගරයේ ඇති මහ බුදුපිළිමේ නිධන් තැන්පත් කරන්නත් සහභාගිවුණා. මහියංගණ විහාරස්ථානයේ වැදි පෙරහරේ යන්නෙත් හරිම ආශාවෙන්. අපේ පරම්පරාවේ ළමයි අය 6 දෙනෙක් මහණ වෙලා ඉන්නවා. අපේ අය පන්සල් යනවා. දානෙ පිළිගන්වනවා. හැමදේටම උදව් කරනවා. තවම වැදි භාෂාවෙන් බණක් කියලා නැද්ද? තවම නැහැ. හැබැයි කතාවක් නම් තියෙනවා වැදි බණ කියලා. එසේ කියා ආදිවාසි නායකයා නොනවත්වාම හිනා වුනේය.