”මේ ඇත්තො නං මොන එකකුටවත් කතා දමන්නත් කොදොයි. මේ ඇත්තන්ට හිත්ලෑවොත් තමයි මේ ඇත්තන්ගෙ කොලපොජ්ජ ඇනව් කලන්නෙ කොදොයි. මේ ඇත්තන්ගෙ රුකුල්පොජ්ජෙ ගිනිමච්ච මන්දොකරන ලිප් පොජ්ජට ලානව.” (මම නම් මේ පාර අහවලාට ඡන්දය දෙන්න කියල කියන්නෙ නැහැ. හිතුනොත් තමයි මාත් ඡන්දෙ දාන්නෙ. නැතිනම් ඡුන්ද කාඞ්එක ලිපට දාල පුච්චනවා) දේශපාලනඥයන් හා දේශපාලනය ගැන හොඳටම කලකිරුණ දඹානේ වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ 1999 දී ජනාධිපතිවරණ සමයේ මා අදහස් විමසද්දී එසේ කීවේය. රටේ පාලකයන් ගැන මේ රැහේ නායකයා එදා කියන කතාවට වඩා අද කියන කතාව වෙනස්ය. මුල ඉඳන්ම මේ කතාවට අපි සවන් දෙමු. ඞී.එස්. සේනානායක අගමැතිතුමාගේ කාලයේ මේ ගම්මාන දියුණු කරන්න කණ්ඩායමක් එවල තියෙනව. මෙහාටත් ඒ කණ්ඩායමක් ඇවිත් තියෙනව. ඒ ගොල්ල පාරවල් හැදුවා. ගෙවල් හැදුවා. බඩු විකුණන්න කඩ හැදුවා. පාරවල්  පහසුකම් වැඩිවෙනකොට රැහේ නොවන පිට පළාත්වල මිනිස්සු මේ ගම්මානවල පදිංචියට ආවා. ඒ අයගේ ගති සිරිත්වලට පොල්ලෙබැද්ද, රතුගල, නිල්ගල යනාදී වැදිගම්මානවල නව පරපුරේ අය ඉක්මනට ගොදුරු වුණා. ඒ දවස්වල ඞී.එස්. සේනානායක මහත්තය දඩයම්තලාවට ඇවිත් තාත්තට (හිටපු වැදිනායක තිසාහාමිට) එන්න කියල පණිවුඩයක් එව්වා. තාත්තා ගිහිල්ල තියෙන්නෙ මහියංගනේ ජේමිස් මුදලාලිත් එක්ක. ඒ උත්සවයේ තාත්තටත් කතාවක් කරන්න දීල තියෙනවා. තාත්තා කතාකළට පස්සේ ඞී.එස්. සේනානායක මහත්තය බොහොම සතුටුවෙලා එන්න හදනකොට එතුමාගේ අතේ තිබුණු මුද්ද ගලවලා තාත්තගෙ අත අල්ලගෙන ඇඟිල්ලක දාලා තියෙනව. ඒ මුද්ද රත්තරන්ද මොනවද කියල තාත්ත දන්නෙ නැතිලූ. ජේමිස් මුදලාලිත් එක්ක මහියංගනයට ආවට පස්සේ කුරහන්, බුලත්, පුවක් තාත්තට දීල ජේමිස් මුදලාලි ඒ මුද්ද ඉල්ලගත්තලූ. තාත්තා මුද්දෙ වටිනාකම දන්නේ නැහැ. තාත්තා මැරෙන්න දින කීපයකට ඉස්සෙල්ලා මේ කතාව කියල හිනාවුණා. දේශපාලන බ්‍රෝකර්ලගෙන් පරිස්සම් වෙන්න කියල. ජේ.ආර්. ජයවර්ධන ඇමති කාලේ දඹානට ඇවිත් තියෙනවා. දඹානේ තිබුණ ඉලූක් සෙවිළි කළ පාසල දියුණු කරන්න උදව් කළ හැකි බව කියල තියෙනව. ඒ දවස්වල ඉස්කෝලෙ ළමයි 8 දෙනයි. එක ගුරුවරයයි. තාත්තා කැමති වුණේ නැහැ අපේ අය ඉස්කෝලෙ යනවට. එක්සත් ජාතික පක්ෂයේ ඇමති කාලේ බණ්ඩාරනායක මහත්තයා පදියතලාවට ඇවිත් තියෙනව. එතකොට අපි පුංචියි. පදියතලාවට අපේ අයට එන්න කියල උදලූ, කැති, පොරෝ, මිරිස්, පාන් පිටි වගේ දේ දීල තියෙනව. සැතපුම් 12ක් පයින් ගිහිල්ල මේව අරන් ආවෙ. ඩඞ්ලි සේනානායක මහත්තය මහියංගනයට ආවා. එනකොට එතුමා එන්න කිව්වම තාත්තත් එක්ක මාත් ගියා. කැලෑව ආරක්ෂා කර ගන්න  ඕනෑ කියල තාත්ත ඩඞ්ලි සේනානායක මහත්තයත් එක්ක කතා කළා. මිනිස්සු හොරෙන් කෑලෑ කපනවා. කැලේ ආරක්ෂාකර දෙන්න කියල ඉල්ලූවා. ආඳාඋල්පත කන්දකැටිය යන හැම තැනදීම ඡන්ද රැස්වීම්වලට ආවම ඩඞ්ලි සේනානායක මහත්තයත් එක්ක මේ ගැන කතාකළා. අද වගේ තමයි. අපිට එන්න වාහන එවනවා. ඇවිත් එක්කරගෙන යනවා. ඩඞ්ලි සේනානායක මහත්තය අගමැති කාලේ ඉඳලම කැලයේ නිදහසේ ජීවන රටාව ගෙනියන්න ඉඩ දෙන්නැයි ඉල්ලූවා. එතුමා කියල තියෙනව තිසාහාමි ඇත්තෝ ඔය ඇත්තො වෙනම ජීවත් වෙන්න. ඒකට කොලනියක් හදල දෙන්නම් කියල. කන්දෙ ගම්වල කොලනිය හැදුවෙ එහෙමයි. ගෙවල් 28ක් හදල දීල අපේ සමහරු පදිංචි කෙරෙව්වා. සිිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය මහියංගණයට ඇවිත් වාහනයක් එව්වා තාත්තට එන්න කියල. තාත්ත එදත් එතුමියගෙන් ඉල්ලල තියෙන්නෙ අපිට අපේ කැලේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලයි. ඒකට හේතු වුණේ පිටින් ආව මිනිස්සු කැලේ කපල හේන් කරන්න පටන් ගැනීම. ඒ විතරක් නොවෙයි කැලේ තිබුණ මහ ගස් කපල හොර දැව ජාවාරම් කරගෙන ගියා. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ මාදුරුඔය අභයභූමියක් බවට ප‍්‍රකාශ කළා. කොටබකිණිය අපේ පැලට එන පාරෙත් (බැරියර්) මාර්ග බාධකයක් දැම්මා. මේ අසාධාරණය දේශපාලනඥයන්ට කියලා වැඩක් නොවුණ තැන තාත්තා බදුල්ලට ගිහින් නීතිඥ සිගේරා මහත්තය මුණගැහිල බදුල්ල දිසා අධිකරණයේ නඩු දැම්මා. උසාවිය නියෝග කළා එදාම බැරියර් එක ඉවත් කරන්න කියල. අපිම ඇවිත් බැරියර් එක ගලවල වීසිකළා. ඔහොම ඉන්නකොට පේ‍්‍රමදාස මහත්තය ජනාධිපති වුණා. එතුමා මහියංගණය ගම්උදාවට ඇවිත් තාත්තට එන්න කිව්වා. තාත්ත ගියේ නැහැ. මීට පස්සේ කිසිදේකට එන්නෙ නැහැ කියල පණිවුඩයක් යැව්වා. ගම්උදාව ප‍්‍රදර්ශනයට අපි ගියේ නැහැ. ”සොරබොර” රැහේ අය කීපදෙනෙක් ප‍්‍රදර්ශනය කියල තිබුණා. ඊට පස්සේ පල්ලෙකැලේ ගම්උදාවට ඇවිත් සාකච්ඡා කරන්න කියල පේ‍්‍රමදාස මහත්තය පණිවුඩයක් එව්වා. ඒ සාකච්ඡාවට තාත්ත එක්ක අපේ අය දොළොස් දෙනෙක් ගියා.එම සාකච්ඡුාවේදී එතුමා තීරණය කළා මාදුරුඔය අභය භූමියෙන් අක්කර 1500ක කැලෑ බිමක් මැනල අපේ අයට වෙන්කරල දෙන්න. ඒකට නම් තියනව කිව්වෙ තිසාහාමි ඇත්තන්ගේ අභය භූමිය කියල. ඒ සාකච්ඡුාව නිසා වනජීවී එකට විරුද්ධව දැම්ම නඩුව ඉවත්කර ගත්තා.ජනමාධ්‍යවලින් ලොකු ප‍්‍රසිද්ධියකුත් දුන්නා. මිනින්දෝරු මහත්තුරු ඇවිල්ල කැලෑව මැනල ගල්දාල කණු දාල තාත්තට එන්න කිව්වා මායිම් පෙන්වන්න. තාත්තා ගියේ නැහැ. ඒ වෙලාවේ තාත්ත කිව්වෙ අක්කර (1500) මොකක්ද කියල තේරෙන්නෙ නැහැ කියල. අභය භූමියේ තියෙන වැදි ජනයාගේ පාරම්පරික ගම්මාන පහ ඇතුළත් වන සේ අයිතිය ලබාදිය යුතුයි කියල තාත්තා කිව්වා. ඒ වැඬේ එතැනින් නතර වුණා. ඌව හිටපු ප‍්‍රධාන ඇමැති පර්සි සමරවීර මහත්තය තාත්තාගෙ හොඳ යාළුවෙක්. එයත් ලොකු උත්සාහයක් ගත්තා අපේ ඉල්ලීම ඉටුකරවල දෙන්න. පොදු පෙරමුණ ආණ්ඩුව බලයට පත්වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියටත් තාත්ත මේ ප‍්‍රශ්නය ඉදිරිපත් කළා. වැඬේ හරියන පාටක් නැහැ. ඊට පස්සේ මම අර සුදුනෝනත් එක්ක ස්විස්ටර්ලන්තයට ගිහින් ලෝකයේ රටවල් (136)ක ගෝත‍්‍රිකයන් සහභාගි වූ සමුළුවේදී අපට සිදුව ඇති අසාධාරණය ගැන කරුණු කිව්වා. එම සමුළුව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කෙරෙව්වා. එදාම ලිපියක් සකස් කරලා රටවල් 136ම ගෝත‍්‍රිකයන් අත්සන් කරලා ඒ ලිපිය රජයට එව්වා. ඒ ලිපිය ලැබුණට පස්සේ ජනාධිපතිතුමියගෙ ලේකම්වරයා තවත් ලේකම්වරු 11 දෙනෙක් එක්ක අපේ ගෙදරට ආවා. ඒ පිරිස සමග දීර්ඝ සාකච්ඡාවක් කළා. මේ ඉල්ලීම් ඉටුකිරීම අමාරු දෙයක් නොවෙයි කියල ඒවා ඉටුකරන්න ඒ අය පොරොන්දු වුණා. මේ අතරේ මගේ තාත්තා මැරුණා. ඊට පස්සේ වැදිනායකයා උනේ මම. මහනුවර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡුාවට කැඳවල තිබුණා. ඒකට මමයි අපේ තුන් දෙනෙකුයි ගියා. අරව කරන්න  ඕනෑ මේවා කරන්න  ඕනෑ කියල කතා කළා. අන්තිමට වැදි අයට හැඳුනුම්පත් දෙන්නත්, කීප දෙනෙකුට රජයේ රැකියා දෙන්නත් පොරොන්දු වුණා. ඒ අනුව අපේ තරුණයො 4 දෙනෙකුට රැකියා දුන්නා. 26 දෙනෙකුට හැඳුනුම්පත් දුන්නා. පවුල් 117කට ”උළු” දුන්නා. මටත් කතා කළා. උළු දාපු ගෙයක් හදල දෙන්න. මම කිව්වා අනේ මට එපා. මගේ පැල්කොටේ මට හොඳයි කියලා. මහින්ද රාජපක්ෂ මහත්තය ජනාධිපති උනාට පස්සේ අපේ බලාපොරොත්තු ලියලන්න පටන් ගත්තා. එතුමා අගමැති කාලේ දඹානට ඇවිත් අපි මුණගැහිල තියෙනව. එදා අපේ ප‍්‍රශ්න ඉදිරිපත් කළාම ජනාධිපති වුණාම මේ ප‍්‍රශ්න විසඳන්න කටයුතු කරනව කියල කිව්වා. එතුමා දැන් අපිට උදව් කරනවා ඉතිහාසයේ කවදාවත් නැති විදියට. මැති ඇමැතිවරු එවලා නිලධාරින් එවලා රැහේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමා දඹානට ඇවිත් ගමනැගුම යටතේ විශාල වැඩසටහනක් දියත් කළා. ආදිවාසී ජනඋරුම කේන්ද්‍රය, නැණසැල, කිරවනාකඳුර වැව ප‍්‍රතිසංස්කරණය, අත්යන්ත‍්‍ර පේෂකර්ම වැඩසටහන ක‍්‍රියාත්මක වුණා. කිරවනාකඳුර වැව ප‍්‍රතිසංස්කරණයට සමෘද්ධියෙන් රුපියල් කෝටි එකහමාරක් වැයවෙලා තියෙනවා. නිවාස 108කට සෙවිලි ආධාර ලෙස රුපියල් ලක්ෂ 26ක් වැයකරල තියෙනවා. ළඟදී දවසක් මහාමාර්ග නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල මහත්තය ඇවිත් මාර්ග සංවර්ධන වැඩසටහනක් පටන් ගත්තා. රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් විතර ඒකට වැයකරන බව දැනගන්න ලැබුණා. මම එතුමාගෙන් ඉල්ලා සිටියා මේ පාරවල් නම් කාපට් කරන්න එපා, බොරළුදාලා සංවර්ධනය කරන්න කියල. ඒ අනුවයි දැන් පාරවල් සංවර්ධනය වෙන්නේ. ජනාධිපතිතුමා වගේ නායකයෙක් බිහිවුණේ රැහේ වාසනාවට කියල මට හිතෙනවා.” රැහේ අනන්‍යතාව රැකදෙන්න වාකරේ පැවැති ආදිවාසී දින උත්සවයේදී එතුමා පොරොන්දු වූවා යැයිද වැදිනායක වන්නියල ඇත්තෝ පැවසුවේය.
බදුල්ලේ පාලිත ආරියවංශ
වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 වැදි රැහේ ජීවිතය-5 වැදි රැහේ ජීවිතය-6 වැදි රැහේ ජීවිතය-7 වැදි රැහේ ජීවිතය-8 වැදි රැහේ ජීවිතය-9 වැදි රැහේ ජීවිතය-10 වැදි රැහේ ජීවිතය-11 දඹාන මාර්ග සංවර්ධන වැඩසටහන දියත් කරමින් ඇමති නිර්මල කොතලාවල මහ ඇමැති දිවංගත පර්සි සමරවීර මහතා සමග හිටපු වැදිනායක දිවංගත ඌරුවරිගේ තිසාහාමි ජනාධිපතිතුමා වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් සමග