IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ලෝක ආර්ථික ප්‍රවණතාවලට අනුගතවීම

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එනම් 1945න් පසු 1975 දක්වා අවුරුදු සියයක කාලය තුළ නිදහස් රාජ්‍ය 143ක් ලෝකයේ බිහි වී තිබේ. දෙවැනි ලෝක යුද්ධය එන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දැරූවේ රටවල් 50ක් පමණි.

එම රටවල් 143ත් එක් වූ විට එහි සාමාජික රටවල් ගණන 193කි. දැනට අවුරුදු 80ක් ගත වී ඇතත් මේ රටවල් 143 අතරින් දේශපාලන නිදහස ලබා නැගී එන රාජ්‍යයන් බවට පත් වී ඇත්තේ රටවල් පහක් පමණි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එම රටවල් පහයි. මහද්වීප තුනෙහි ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන රටවල් පහ ලෙස ද එම රටවල් හැඳින්විය හැකිය. බ්‍රික්ස් සංවිධානය පිහිටුවන්නේ මෙම රටවල් පහ කේන්ද්‍ර කර ගෙනය.

ඉතිරි රටවල් 138ම 1945 සිට වසර 80ක් ගත වූ පසුත් අද දක්වාම සිටින්නේ සංවර්ධනය වන හෝ සංවර්ධනය නොවූ හෝ ඌන සංවර්ධිත මට්ටමකය. මෙම පවතින යථාර්ථය අපි තේරුම් ගත යුත්තෙමු. මේ තත්ත්වයට පත්වීමට මූලිකව හේතු වී ඇත්තේ දේශපාලනික නිදහස ලැබුණත් ආර්ථික නිදහස නොලැබීමය. ඊට හේතුව ප්‍රධාන වශයෙන්ම අධිරාජ්‍යවාදයයි. එහි බලපෑමයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ අලු‍ත් රටාවක් ඇති විය. ප්‍රධාන වශයෙන් කඳවුරු දෙකක් නිර්මාණය විය. එනම් ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුරත් සහ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරත් වශයෙනි. 1945-1990 දක්වා මෙම ප්‍රවණතාව දක්නට ලැබිණ. එම කාලය තුළ පැවැතියේ ඇමෙරිකාව සහ සෝවියට් දේශය කරට කර සිටින න්‍යෂ්ටික බලවතුන් දෙදෙනකු වශයෙනි. මේ නිසා ලෝක යුද්ධයක් ඇතිවීමට තරම් පරිසරයක් නිර්මාණය වූයේ නැත. කලාප දෙක අතරම පැවැති අන්‍යෝන්‍ය බිය මීට බලපාන්නට ඇත.

අනෙක් රටවල්වලට සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය නොවීය. නිසි වෙළෙඳපොළක් නොවීය. තාක්ෂණය නොවීය. ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් කොරියන් හා වියට්නාම් ආදි යුද්ධ ආරම්භ කළ නිසා ආසියානු රටවලට එයින් විශාල බලපෑමක් ඇති විය. එසේම නිදහස ලැබූ රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටියේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය ඇෆ්ගනිස්ථානය ඇතුළු දකුණු ආසියානු රටවල් ය. මෙම රටවල් මුලින්ම නිදහස ලැබූ රටවල් වුවත් තාම සංවර්ධිත තත්වයට ඒමට නොහැකි වී තිබේ. ඊට ප්‍රධාන හේතුවක් නම් කිසිම එකමුතුවක් නොමැති එකම කලාපය මෙය වීමය. දකුණු ආසියානු රටවල දේශ සීමා යුද්ධ, එකිනෙකාගේ බිය සැක ,ආගමික හා ජාතිවාදී ගැටුම්, ත්‍රස්තවාදී ගැටුම් , යුද කුමන්ත්‍රණ, වර්ණ විප්ලව නිසා තවමත් ආර්ථික සංවර්ධන කලාපයක් බවට පත් කරගත නොහැකිව පසුවේ.

1990න් පසු රුසියාවේ බලය කඩා වැටීමෙන් ඇමෙරිකාව ලෝක බලවතා බවට පත් වීමෙන් ඩොලරය තීරණාත්මක සාධකයක් බවට පත් විය. ඇමෙරිකානු ජනධිපතිවරයා රිචඩ් නික්සන් කළේ ඩොලරය රත්‍රන්වල වටිනාකමෙන් ඈත් කිරීමය. මේ ආදි හේතු නිසා ප්‍රංශය ආදි රටවල් යටපත් වී ඇමෙරිකාවේ බලය තහවුරු වන්නට විය. බැංකු හරහා ණය ලබා දීම ආරම්භ කෙරිණ. මේ නිසාම මුළු ලෝකය පුරාම ඩොලරය සංසරණය වීම ආරම්භ විය. 1971 දී අප රන් පවුමෙන් ඩොලරයට මාරු වනවිට ඩොලරයට වටිනාකම තිබුණේ රුපියල් 7යි ශත 35කි. 77 වනවිට ජේ. ආර්. ජයවර්ධන යුගයේ දී එය රුපියල් 20ක අගයක් ගත්තේය. මෑත ආර්ථික අර්බුදය කාලය වන විට ඩොලරයේ අගය රුපියල් 300 ඉක්මවීය. අප මුලින් සඳහන් කළ නිදහස ලැබූ රටවල් 143ටම මේ තත්වය එක සේ අදාළ වේ. මේ තත්වය ද ආසියානු රටවල සංවර්ධනයට බලපා තිබේ. අදවන විට ඩොලරය ආර්ථික හා දේශපාලන අවියක් සේ භාවිත කරන බව පෙනේ. ඩොලරය රුසියාවට ආර්ථික හා දේශපාලන අවියක් ලෙස බලපෑ අවස්ථාවේ රුසියාව කළේ ඩොලරයෙන් ඉවත් වීමය. ඉවත්වී තමන්ගේ රටේ රූබලයත් ඉන්දියානු රුපියලත් චීනයේ මුදල් ඒකකයත් තම ව්‍යාපාරවලට යොදා ගැනීමය.

රුසියාව, චීනය හා ඉන්දියාව ඇතුළු රටවල ක්‍රියාකාරීත්වය අනුව 21 වැනි සියවසේ දී ආර්ථිකයේ ලෝක තත්වය වෙනස් වන බව දැන් තේරුම් ගත යුතුය. ඒ අනුව වසර 500කට පසු ආසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ පෙර ගමන්කරු බවට මේ වන විට පත් වෙමින් තිබේ. චීනයේ මහා ආර්ථික පිම්ම, වියට්නාම් යුද්ධයෙන් පසු අග්නිදිග ආසියාවේ රටවල් දහය විසින් පිහිටුවනු ලැබූ ආර්ථික කලාපය, රුසියාවේ ආර්ථික නැගීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. මේ අනුව ලෝකයේ විශාලතම ආර්ථික ක්‍රියාදාමය බවට මෙය පත්වෙමින් ඇති බව පැහැදිලිය.

නව සේද මාවත ආර්ථික ව්‍යාපෘතිය චීනය දැන් ආරම්භ කර තිබේ. ලෝකයේ මහාද්වීප පහම සම්බන්ධීකරණය කෙරෙන වෙළෙඳ දාමයක් මෙහි වේ. එයින් පිරිවැය අඩුවී තිබේ. බඩු මිල අඩුවීමට එය හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ ආර්ථිකය අදවන විට ලෝකයේ ප්‍රධානතම අපනයනකරු සහ ප්‍රධානතම ආනයනකරු බවට පත් වී අවසාන ය. මිලියන 1400ක වෙළෙඳපොළක් නිර්මාණය කරමින් ලෝකයේ විශාලතම වෙළෙඳපොළ බවට පත් කිරීමට හැකි වී තිබේ. මිලියන 500ක මධ්‍යම පාන්තික වෙළෙඳපොළක් ද මීට ඇතුළත් ය. එයින් ප්‍රාග්ධනය ලොව පුරා ගලා යාම සිදු වේ. අද වන විට ඇමෙරිකානු ආයෝජකයෝ තමන්ගේ ප්‍රමුඛ ආයෝජකයා ලෙස චීනය තෝරාගෙන සිටිති. ඇමෙරිකානු ජනාධිපතිවරයාට මේ තත්වය කිසිසේත්ම පාලනය කළ නොහැකිය. වෙනත් රටවල ආයෝජකයෝ ද මේ ආකල්පයේම සිටිති. අනෙකුත් රටවලින්ද මේ අවශ්‍යතාව පැන නැගීම මත බ්‍රික්ස් සංවිධානය පිහිටුවා ගැනීම සම්බන්ධව අවධානය යොමු විය. 2010 වන විට ලෝකයේ අලු‍ත් තත්වයක් නිර්මාණය විය. එනම් චීනය ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා වීමය. 2017 වන විට චීනය ලෝකයේ දල දේශීය නිෂ්පාදනයේ ක්‍රය ශක්තිය එනම් මිලදී ගැනීමේ හැකි‍යාවෙන් ඇමෙරිකාව අබිබවා යාමට හැකි විය. මේ තත්වය යටතේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව ප්‍රමුඛ රටවල් පිහිටුවාගෙන ඇති බ්‍රික්ස් සංවිධානය හා එක්ව කටයුතු කිරීම අපට අත්‍යවශ්‍ය ඉතා වැදගත් සාධකයක් වනු ඇත.

ජූලි මාසයේ 07 වැනිදා බ්‍රික්ස් සංවිධානය බ්‍රසීලයේ දී නැවත රැස් වේ. මේ වනවිට රටවල් 44ක් අලු‍තින් මේ සඳහා එක් වීමට අපේක්ෂාවෙන් සිටියි. වියට්නාමය, ඉන්දුනීසියාව සෞදි අරාබිය ඇතුළු බොහෝ රටවල් මේ සමග එක්ව සිටියි. තුන්වැනි ලෝකය යන යෙදුම දැන් අවලංගු වී තිබේ. 1990 දී සෝවියට් දේශය කඩා වැටුණු පසු ජනමාධ්‍යයෙන් තුන්වැනි ලෝකය යන වචනය අතහැර දැමීය. ඊළඟට භාවිතයට ආවේ ගෝලීය දකුණ යන යෙදුමයි. ගෝලීය දකුණ යනු ආසියාව ලතින් ඇමෙරිකාව අප්‍රිකාව ඇතුළු කලාපයයි. ගෝලීය උතුර යනු ඇමෙරිකාව, කැනඩාව, යුරෝපය හා ජපානය ඇතුළු කලාපයයි. ගෝලීය දකුණේ ජනගහනය සියයට 87කි. ගෝලීය උතුරේ එය සියයට 13කි. ගෝලීය දකුණේ දල දේශීය නිෂ්පාදනය මේ වනවිට සියයට 60ට වඩා වැඩි අගයක් ගෙන තිබේ. එහෙත් ගෝලීය උතුරේ දල දේශීය නිෂ්පාදනය සියයට 40ක අඩු අගයකි. එදා නොබැඳි සමුළුවේ දී ගත් තීරණ අද වෙනස් වී තිබේ. ඒ අනුව ගෝලීය බල තුලනය අද වන විට වෙනස් වී තිබේ. එම පරිසරය අප මුලින් කී නිදහස ලැබූ රටවල් 143ටම සංවර්ධන මාවතට පිවිසීමට අවස්ථාවක් වනු ඇත.

මේ වන විට ලෝකයේ ආර්ථික කලාප ගණනාවක් ඇතිවී තිබේ. ඒ අනුව අද තිබෙන්නේ ඒක ද්‍රව ලෝකයක් නොව බහු ද්‍රව ලෝකයකි. අද වන විට ආසියාව තුළම ආර්ථික කලාප කිහිපයක් දැකිය හැකිය. ඒ අනුව දකුණු ආසියාව එක් ආර්ථික කලාපයකි. නැගෙනහිර ආසියාව තවත් ආර්ථික කලාපයකි. අග්නිදිග ආසියාව තවත් ආර්ථික කලාපයකි. මැදපෙරදිග ද මේ වනවිට එක් ආර්ථික කලාපයක් ගොඩ නැගෙමින් තිබේ. ලතින් ඇමෙරිකාව වෙනම ආර්ථික කලාපයක් ගොඩ නැගී තිබේ. අප්‍රිකාවේ ආර්ථික කලාප අතර ද උප කලාප ගණනාවක් මේ වන විට බිහි වී තිබේ. මේ සියල්ල අනුව පෙනෙන්නේ කුමක්ද? ආර්ථික වශයෙන් බ්‍රික්ස් සංවිධානයද උපාය මාර්ගික ආරක්ෂාව සම්බන්ධ සංවිධාන ද මේ වන විට ගෝලීය දකුණ කේන්ද්‍රකරගෙන බිහි වී තිබෙන බවය. ලෝක තත්වය දැන් වෙනස් වී ඇත. අද ඇති වී තිබෙන යුක්‍රේන්- රුසියන් ගැටුම හා ඉරාන-ඊශ්‍රායල් ගැටුමත් ඇතිවීමට බලපා ඇති සැබෑ හේතුව මේ ගෝලීය දේශපාලන ආර්ථිකයේ වෙනස්වීමය. අධිරාජ්‍යවාදීන් අනුන් ලවා යුද්ධ කරවන්නේ මේ නිසාය. යුක්‍රේනය පිටුපස ඇමෙරිකාව සිටින්නේ මේ නිසාය. ඇමෙරිකාව සොල්දාදුවන් යොදා නොගෙන බැහැර සිට ආයුධ සපයමින් පහසුකම් සලසමින් මුදල් වියදම් කරන්නේ මේ නිසාය. ඇමෙරිකාව ඊශ්‍රායලය පිටුපස සිටිමින් කරන්නේද මේ ටිකමය. ඒවා භූ දේශපාලනික භූ ආර්ථික කාරණා බවට පත් ව තිබේ.

ලෝක බලවතුන් ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන අවසන් සටන අවසන් උත්සාහය මෙය විය හැකිය. මෙය ලෝක ආර්ථිකය හා ලෝක දේශපාලනය තුළ අධිරාජ්‍යවාදයේ අවසන් හුස්ම හෙළන මොහොතකි. අවාසනාවට මේ ලෝක දේශපාලන තත්වය, එහි ප්‍රවණතා හා යථාර්ථය අපේ රටේ ආණ්ඩුව තුළවත් පාර්ලිමේන්තුව තුළවත්, විපක්ෂය තුළවත් විශ්වවිද්‍යාලවලවත් ජනමාධ්‍යයේවත් සාකච්ජා වන බවක් පෙනෙන්නට නැත.

මේ අවස්ථාවේ දී බ්‍රික්ස් සංවිධානය අපට මොන තරම් වැදගත්දැයි තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. බ්‍රික්ස් සමුළුව මීට පෙර අවස්ථාවේ පැවැතියේ 2024 වසරේ ඔක්තෝම්බර් මස 23-24 යන දෙදිනෙහිය. ඒ වන විට ජනාධිපතිවරයාව සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු එම සමුළුව සඳහා යාමට තීරණය කර සිටියේය. එහෙත් මැතිවරණයෙන් පසු එය වෙනස් විය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ සැප්තැම්බර් මස 23 වැනිදාය. සමුළුවට හරියටම මාසයක කාලයක් ඉතිරිව තිබුණි. බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස පූටින් ජනාධිපතිවරයා අත්සන් තබා රුසියන් තානාපතිවරයා මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට දන්වා තිබුණි. එහෙත් පාර්ලිමේන්තු මහමැතිවරණය නිසා මේ සඳහා සහභාගී විය නොහැකි බව ජනාධිපතිවරයා දන්වා සිටියත් එය සාධාරණ කරුණක් සේ සැලකිය හැකි නොවේ. එම සමුළුව ජාත්‍යන්තරයටම මුළු තුන්වැනි ලෝකයටම බලපාන තීරණාත්මක එකකි. අඩුම තරමේ ඒ සඳහා විදේශ අමාත්‍යවරයාවත් යොමු කළ හැකිව තිබුණි. එහෙත් ඒ සඳහා සහභාගී කර වූයේ විදේශ අමාත්‍යංශයේ ලේකම්වරියයි. රටවල් 36ක් මේ සමුළුව සඳහා සහභාගී විය. එහෙත් රාජ්‍ය නිලධාරිනියක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවෙන් පමණි. අනෙක් 35 දෙනා අතරම සිටියෝ ජනාධිපතිවරුය. අගමැතිවරුය. විදේශ ඇමැතිවරුය. මුදල් ඇමැතිවරුය. මෙයින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට බලපෑම් ඇතිවේ. එබැවින් බ්‍රික්ස් සමුළුවට රාජ්‍ය ප්‍රධානීන් සහභාගී නොවීමේ ඓතිහාසික වරද මෙවර සිදුවිය යුතු නැත.

මෙරට පක්ෂ විපක්ෂ සියලු‍ දෙනා වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් සිදුවන ප්‍රවණතා පිළිබඳ මනා අවබෝධයෙන් හා වැටහීමෙන් සිටිය යුතුය. එහෙත් මේ රටේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනාට මේ ගැන ගැඹුරු අවබෝධයක් ඇති බවක් නොපෙනේ. විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් නොව රජයේ නිලධාරීන්ට ද මේ රටේ ජනමාධ්‍යයට ද එම දැනුම ඇති බවක් නොපෙනේ. එබැවින් තවමත් අපි අඳුරේ අතපත ගාමින් සිටිමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කොතෙක් කතා කළත් තව වසර කිහිපයක් යනවිට ඒ වෙනුවට අලු‍ත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයක් නිර්මාණය වෙමින් තිබේ. එය අප හොඳින් තේරුම් ගත යුතුව ඇත. එබැවින් තවත් ප්‍රමාද නොවී බ්‍රික්ස් සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ වීම වැදගත් වේ. ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල් සියල්ලම පාහේ දැනටමත් මේ සමග අත්වැල් බැඳගෙන අවසන් ය. තවමත් මේ නව ප්‍රවනතා කෙරෙහි සැලකිල්ලක් නොදක්වන්නේ නම් ඒ වෙන කිසිවක් නිසා නොව අධිරාජ්‍යවාදයේ ගැතිකම නිසාය. ඒ මතයේම තවදුරටත් සිටියොත් අපේ රට අවලංගු කාසියක් බවට ලෝකය ඉදිරීයේ පත්වනු ඇත.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

ලෝක ආර්ථික ප්‍රවණතාවලට අනුගතවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 310 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site