රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ලබා දී ඇති නිල වාහන නැවත බාර දී ඇතිදැයි සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙළක් මැතිවරණ කොමිසම මගින් ආරම්භකර  ඇතැයි අපි පසුගිය දිනක ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කළෙමු. ඒ සමග ඇමැති කාර්ය මණ්ඩල සහ සංස්ථා දේපළ පරිහරණය සම්බන්ධයෙන් ද සොයා බැලෙනු ඇත. මේ පියවර ගනු ලබන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

මෙරට මැතිවරණ පැවැත්වීමේදී මැති ඇමැතිවරුන්ගේ නිල වාහන ද ඔවුන්ගේ විෂය පථ යටතට වැටෙන රාජ්‍ය සංස්ථා ඇතුළු ආයතන සභාපතිවරුන්ටද, දේශපාලන පත්වීම් ලැබූ සියලු ලොකු ලොක්කන්ට ද ලබා දී ඇති නිල වාහන ද පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩල ද භාවිත කිරීමේ චෝදනාව පොදුවේ මේ රටේ සියලු ආණ්ඩුවලට එල්ල වෙයි. ආණ්ඩුවේ වියදමින් තෙල් ගහගෙන ගෝලබාලයන්ට පඩිනඩිත් ගෙවාගෙන ඡන්ද කිරීමේ කැත සිරිතෙන් අත්මිදීමට මෙරට දේශපාලනඥයන්ට තවමත් නොහැකි වී තිබීම පිළිබඳව ඔවුන් ලජ්ජා විය යුතුය. දේශපාලනඥයන්ගෙන් හතරවටින් බැණුම් අසන තරමට මැතිවරණ කොමිසමේ ඇතැම් කාර්යයන් දුර්වල වී තිබුණද රාජ්‍ය දේපළ අයථා පරිහරණය වැළැක්වීම වැනි ක්‍රියාකාරකම් එවැනි කොමිසමක් පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දෙන බවද සඳහන් කළ යුතුය. සියලු දෙනා එක්ව කළ යුත්තේ මේ වැරදි හැකි පමණින් අඩුකර ගැනීමට ක්‍රියා කිරීමය.

බොහොමයක් මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික තමන්ගේම සමීප ඥාතිහු නැත්නම් ළඟම හිතවත්තු වෙති. ඔවුහු ඕනෑම දේශපාලන මස්තබාල්දු වැඩක් කිරීම සඳහා සැදී පැහැදී සිටින හෙංචයියලා කිහිප දෙනකුගෙන් සමන්විත පිරිසකි. කලාතුරකින් පමණක් විද්වත් කිහිප දෙනකු තම කාර්යය මණ්ඩලයට ඇතුළු කර ගැනීමට සමහර ඇමැතිලා ක්‍රියා කරති. එහෙත් වැඩි වශයෙන් සිදුවන්නේ ඇමැතිගේ බිරිය පෞද්ගලික ලේකම් වන විට ඊළඟට දේශපාලන භූමියට පිවිසීමට නියම වී සිටින පුතාලා දුවලා අතුරින් එක් අයකු හෝ සම්බන්ධීකරණ ලේකම් වැනි තනතුරකට හෝ පත් කරගනු ලැබීමයි. මේ සියලු දෙනාට වැටුප් ගෙවනු ලබන්නේත් වාහන ලබාදීම සහ ඒවාට තෙල් ගහන්නේත් රජයේ මුදලිනි. එනම් රටේ මහජනතාවගේ බදු මුදලිනි. මේ සියලු දෙනා එකතු වී මැතිවරණ කටයුතු සිදුකිරීම සඳහා ඔවුන් විසින් පරිහරණය කරනු ලබන නිල වාහන ඇතුළු දේපළ යොදවාගන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මැතිවරණ නීතිය අනුව මේ ක්‍රියාව බරපතළ වැරැද්දකි. එහෙත් මේ වැරැද්දට හසුවී දඬුවම් ලබන දේශපාලනඥයන් පිළිබඳව අපි කිසිදා අසා නැත්තෙමු. බලය අතැතිව සිටියදී හැම ආණ්ඩුවේම පිරිසක් මේ වැරැද්දට හවුල් වන බැවින් ඒ ගැන කිසිවකු වැඩිපුර සැලකිලිමත් වන බවක් පෙනෙන්නේ ද නැත. මේ වැඩපිළිවෙළේ අවසාන වින්දිතයා ඡන්ද දායකයා වන පොදු මහජනතාවයි.

මෙරට ඇතැම් දේශපාලන නායකයන් තම නිල යානවාහන පමණක් නොව ගුවන් හමුදාවේ ගුවන්යානා, හෙලිකොප්ටර් පවා යොදවා ගන්නා බවට ද මීට පෙර පැමිණිලි ලැබී තිබේ. එහෙත් එවැනි ක්‍රියා සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් සිදු කෙරුණු බවක් දැනගන්නට නැත. අසල්වැසි ඉන්දියාවේ වරක් ආණ්ඩුවේ ප්‍රබලයකු මැතිවරණ සමයේදී ගුවන් යානාව වහාම ළඟම ඇති ගුවන් තොටුපොළට ගොඩබස්වා එහි ගාස්තු ගෙවන ලෙසට එම බලවතාට නියම කළේය. ඒ නියෝගය එලෙසම ඉටු කිරීමට ඔහුට සිදු වූයේ එසේ නොකළහොත් බරපතළ මැතිවරණ දූෂණ චෝදනාවක් හේතුවෙන් තමන්ගේ දේශපාලන අනාගතයම අමාරුවේ වැටීමට  ඉඩ තිබූ බැවිනි. එරට මැතිවරණ නීතිය එතරම් තදය. එහෙත් අපේ රටේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලදී නීතිය ක්‍රියාත්මක වන්නේ තරමක් මන්දගාමීව බව පෙනෙන්නට තිබේ. මේ වැරැද්ද යළි යළිත් සිදුවීමට ඉඩක් තැබිය යුතු නැත.

මැති ඇමැතිවරුන්ට පමණක් නොව මහ මැතිවරණයට හෝ වෙනත් මැතිවරණවලට හෝ ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන්ට අතිවිශාල මුදලක් තම ප්‍රචාරක කටයුතු සඳහා වැය කිරීමට සිදුව තිබීම මේ බොහොමක් අක්‍රමිකතා සිදුවීමට මග පාදා තිබේ. 77 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජය මගින් හඳුන්වාදෙන ලද විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතිකළ මනාප ඡන්ද ක්‍රමය මේ සියලු ව්‍යසනවල ආරම්භය විය. මනාප ඡන්ද ක්‍රමය හේතුවෙන් තේරීපත් වීමට තරග කරන සෑම අපේක්ෂකයකුටම තම දිස්ත්‍රික්කය පුරාම ඡන්ද ව්‍යාපාරය සිදුකිරීමට බල කෙරෙයි. එය කොතරම් තරගකාරී සටනක්දැයි කිවහොත් එකම පක්ෂය ඇතුළේ ගහමරා ගැනීම්වලට පවා තුඩු දෙයි. මේ තරගයේ එකම කොන්දේසිය කැලේ නීතිය වන ‘‘ශක්තිවන්තයා ජයගනී’’ යන්න පමණි. අපරාධකාරයන්ට, ජාවාරම්කාරයන්ට පවා මහජන නියෝජිතයන් වීමට අවස්ථාව පෑදුණේ මේ ජේ.ආර්. ක්‍රමයේ බල මහිමය හේතුවෙනි. එහෙත් කරුමය වන්නේ ඉන්පසුව බලයට පත්වූ කිසිම නායකයකුට එය වෙනස් කිරීමට තරම් සිතක් පහළ නොවීමය.