IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


රොකට්ටුවේ දේශපාලන කතන්දරේ

සුප්‍ර ීම්සැට් සමාගම චීන සමාගමක් සමග එක්ව 2012දී ගුවන් ගත කරන ලදැයි කියන සුප්‍ර ීම් සැටි 1 චන්ද්‍රිකා පිළිබඳව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් අතර අවුල් සහගත තත්වයක් ඇති කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලබා දුන් තොරතුරු අනුව අගමැතිනිය දුන් පිළිතුර ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මීට පෙර මෙම චන්ද්‍රිකාව සම්බන්ධයෙන් දැරු මතයට පටහැනි වීම මෙම අවුල් සහගත තත්වයට හේතුවී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු වන බොහෝ දෙනා ‘‘ චිචි’’ යනුවෙන් හඳුන්වන රෝහිත රාජපක්ෂ මහතාගේ ව්‍යාපෘතියක් වශයෙන් පොදුජන පෙරමුණේ  (එකල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ) නායකයෝ මෙම චන්ද්‍රිකාව හැඳින් වූහ. සුප්‍රිම් සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා ඇතැම් අවස්ථාවල දී රෝහිත රාජපක්ෂ මහතා හඳුන්වා තිබුණේ සිය චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවා වශයෙනි.

ඒ නිසාදෝ එකල විරුද්ධ පක්ෂ මෙම ව්‍යාපෘතිය හැඳින් වූයේ  එක් පුද්ගලයකුගේ සතුට වෙනුවෙන් මහජන මුදල් නාස්ති කිරීමක් ලෙසය. ඔවුහු එය දූෂිත ව්‍යාපෘතියක් ලෙසත් හැඳින් වූහ.

එහෙත් ආයෝජන මණ්ඩලය මගින් ලබාදෙනු ලැබ අගමැතිනිය විසින් ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිපත් කරන ලද තොරතුරු අනුව මෙම ව්‍යාපෘතියට රජයේ මුදල් වැය වී නැත. හෙත් එම ව්‍යාපෘතිය මගින් ඩොලර් බිලියන 300කට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත.

මෙය ජවිපෙට හා ජාතික ජනබලවේගයට සහාය දෙන ඇතැම් අයගේ කෝපයට ලක්වී ඇත. ඇතැමුන් සමාජ මාධ්‍ය මගින් සිය විරෝධය පාමින් හරිනි අමරසූරිය මෙනවිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ද කියා තිබිණි. අගමැතිනිය මෙම තොරතුරු ඉදිරිපත් කළ දිනයේම අදහස් දැක්වූ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා ආයෝජන මණ්ඩලය අගමැතිනියට වැරැදි තොරතුරු දී ඇති බවත් ඒ ගැන පරීක්ෂණයක් කළ යුතු බවත් පවසා තිබිණි. ඉන්පසු ඔහු වෙනත් ස්ථානවලදීද ආයෝජන මණ්ඩලය  විවේචනය කර තිබිණි.

මෙම තත්වයෙන් වැඩියෙන්ම සතුටට පත්ව සිටින්නෝ පොදුජන පෙරමුණේ නායකයෝය. ඔවුන් පවසන්නේ ජවිපෙ වසර 13ක් තිස්සේ සුප්‍රිම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරමින් තිබූ බොරුව අගමැතිනියගේ පිළිතුරෙන් නිෂේධනය වී ඇති බවය. එසේම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සත්‍යය පවසන්නේ අගමැතිනිය ද නැත්නම් සමරසිංහ ඇමැතිවරයා දැයි අසමින් ඔවුහු ආණ්ඩුව අසීරුවට පත් කරන්නට ද උත්සාහ කරති.

 මේ අතර අගමැතිනියගේ හා අැමැතිවරයාගේ අදහස්වලින් පෙන්වන්නේ ජවිපෙ හා මාලිමාව (ජාතික ජනබලවේගය) අතර ඇති අභ්‍යන්තර ගැටුම යැයි පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේත් සමගි ජන බලවේගයේත් ඇතැම් නායකයෝත් පවසති. මෙවැනි ගැටුමක් ඇතැයි පෙන්වන්නට ඔවුන් උත්සාහ කරන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිටය.

කෙසේ වෙතත් සුප්‍රිම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ දක්වන ආකල්ප තේරුම් ගත හැකි වුවත් ඒ ගැන දැන් එජාප හා සජබ නායකයන් දක්වන ආකල්ප ප්‍රශ්නකාරීය. මන්දයත් එම පක්ෂ දෙකේ නායකයෝ ද මුල් කාලයේ දී එජාප නමැති තනි පක්ෂයේ නායකයන් වශයෙන් මෙම ව්‍යාපෘතිය විවේචනය කළහ. එම ව්‍යාපෘතිය මගින් මහජන මුදල් අවභාවිත වී ඇති බවත් ශ්‍රී ලංකාවේ කක්ෂ කලාපයක් චීනයට නොමිලේ දෙනු ලැබ ඇති බවත් ඔවුහු කීහ.

සුප්‍රිම් සැට් යනු ශ්‍රී ලාංකිකයකු වන ආර්.එම්. මනිවන්නන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් සුප්‍රිම් සැට් සමාගම චීනයේ රාජ්‍ය සමාගමක් වන චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් සමග එක්ව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් බව ඒ පිළිබඳ වාර්තාවල දැක්වේ.

ශ්‍රී ලංකාවේ කක්ෂ කලාපයක් තුළ ශ්‍රී ලංකාවේ පළමු සන්නිවේදන චන්ද්‍රිකාව ස්ථානගත කිරීම අරමුණු කරගෙන මෙම සමාගම 2012 මුල්භාගයේ දී ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට අත්සන් කර තිබිණි. චන්ද්‍රිකාවක් සැලසුම් කර  නිෂ්පාදනය කර ගුවන් ගත කිරීමත් චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන්හි සහ චයිනා සැටලයිට්ස් කොමියුනිකේෂන්ස් කෝපරේෂන්හි විවිධ චන්ද්‍රිකාවල අලෙවිකරන පහසුකම් ලබා ගැනීමත් සුප්‍රිම් සැට් සමාගම චීන සමාගම සමග අත්සන් කරන ලද ඉහත කී ගිවිසුමේ අරමුණ බව  සුප්‍රිම් සැට් විසින් 2012 මැයි මාසයේ දී නිකුත් කරන ලද නිවේදනයක සඳහන් විය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට සම්බන්ධ ව්‍යාපෘතියක් නොවේ යැයි අගමැතිනියගේ ප්‍රකාශයේ සඳහන් කරුණ සත්‍යයකි. එහෙත් මේ ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකා රජය අතර ඇති සම්බන්ධය පිළිබඳව ඒ කාලයෙදී විවිධ පරස්පර අදහස් පළ කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සමග රජයට කිසිදු සම්බන්ධයක් නැතැයි එවක ශ්‍රී ලංකා විදුලි  සන්දේශ නියාමක කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කර තිබිණි. ඊට පිළිතුරු වශයෙන් මනිවන්නන් මහතා පවසා තිබුණේ ‘‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ සහයෝගය අපට තියෙනවා. අපගේ මතය අනුව ආණ්ඩුව යනු රජයේ නිලධාරීයකු නොව ජනාධිපතිවරයායි’’ යනුවෙනි.

පැල්පිට මහතා මෙන්ම එවක තාක්ෂණ හා පර් යේෂණ අමාත්‍යාංශයේ තාක්ෂණ, පර් යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂිකා හිමාලි ඇතාවඩුගේ මහත්මිය ද පවසා තිබුණේ මෙය සමාගම් දෙකක ව්‍යාපෘතියක් බවත් සුප්‍රිම් සැටි සමාගමේ නිලධාරීන් අමාත්‍යාංශයට පැමිණියේ චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම පිළිබඳව දැනුම් දීමට පමණක් බවත් ඒ හැර මෙම ව්‍යාපෘතියත් රජයත් අතර සම්බන්ධයක් නැති බවත්ය.

චන්ද්‍රිකාව ගුවන් ගත කරන ලද්දේ චීනයේ ක්ෂිචෑං Xichang ගුවන් ගත කිරීමේ මධ්‍යස්ථානයෙනි. එය  ස්ථානගත කර ඇත්තේ චිනයේ කක්ෂ කලාපයකය. ශ්‍රී ලංකාවට අයත් කක්ෂ කලාපයක ඒ සඳහා ඉඩ දෙන ලෙස 2010 දී  පමණ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලුම් කළද එය ප්‍රමාද වන හෙයින් චීනයේ තක්ෂ කලාපයක චන්ද්‍රිකාව ස්ථාන ගත කරන්නට කටයුතු කළ බව 2012 දී මනිවන්නන් මහතා පවසා තිබිණි.

ශ්‍රී ලංකා කක්ෂ කලාපයක් යොදා ගැනීමට ජාත්‍යන්තර විදුලි සන්දේශ සංගමයෙන් අවසර ගත යුතු බත් එම සංගමය ද ඒ සඳහා කලාපයේ රටවල් එකඟතාව ගත යුතු හෙයින් එම අවසරයට වසර 4ක් පමණ ගත වන බවත් පවසා ඇති පැල්පිට මහතා කෙසේ වෙතත් සුප්‍රිම් සැට් ආයතනය කක්ෂ කලාපයක් සඳහා ඉල්ලීමක් තමන් වෙත ඉදිරිපත් නොකළ බවද පවසා ඇත.

අගමැතිනියගේ ප්‍රකාශයෙන් පසු ප්‍රකාශයක් කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාවේ කක්ෂ කලාප තුළ කිසිදු චන්ද්‍රිකාවක් නැතැයි කීය. ශ්‍රී ලංකාවේ කක්ෂ කලාප තුළ සුප්‍රිම් සැට් ස්ථාන ගත කළ බව කිසිවකු කීවේ ද නැත.

 එහෙත් මෙය චීනයේදී නිෂ්පාදනය කර චීනයේදී ගුවන් ගත කර චීනයේ කක්ෂ කලාපයක ස්ථාන ගත කර ඇත්නම් ශ්‍රී ලංකාවේ ධජය ප්‍රදර්ශනය කළ පමණින් එය ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක් වන්නේ ද යන  ප්‍රශ්නය මතු වේ. එහෙත් එය ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් බවට ඇඟවෙන ප්‍රකාශ ඒ කාලයේ දී රජයේ ඇතැම් ආයතන හා නායකයන් කර තිබිණි.

චන්ද්‍රිකාව ගුවන්  ගත කරන ලද 2012 නොවැම්බර් 28 වැනිදා නිකුත් කරන ලද නිවේදනයක ශ්‍රී ලංකා රජය ‘‘ තමන්ගේම වූ චන්ද්‍රිකාවක් කරා වූ ගමනේදී මෙය සන්ධිස්ථානයක්’’ යැයි සඳහන් කර ඇති බවත් ඇමෙරිකානු සමාගමක්  මෙම ව්‍යාපෘතිය සඳහා  ශ්‍රී ලංකා රජයට නීතිමය හා මූල්‍යමය ආධාර සපයා ඇති බවත් ඇමෙරිකාවේ ස්පේස් නිව්ස් පුවත්පත් සේවය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව චන්ද්‍රිකාවක් හිමි දකුණු ආසියාවේ තුන්වැනි රටයැයි මෙම රජයේ නිවේදනයේ සඳහන් වන බවත් මෙය තවත්  මෙවැනි සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ආරම්භයක් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇති බවත් එම ස්පේස් නිවුස් වාර්තාවේ සඳහන් වේ.

යානය ගුවන් ගත කිරීමේ අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ ඇමැති තිස්ස විතාරණ, චිනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හා රෝහිත රාජපක්ෂ මහතා  සහභාගි වූ බව සුප්‍රිම් සැට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි විජිත් පීරිස් මහතා පවසා තිබිණි. චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමට සමගාමීව ආක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සිරස්තලය වූයේ ‘‘ ශ්‍රී ලංකාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයි’’ යනුවෙනි.

මෙය ශ්‍රී  ලංකාවේ චන්ද්‍රිකාවක්ද යන්න ගැන  නව දිල්ලියේ ආරක්ෂක අධ්‍යයන හා විශ්ලේෂණ ආයතනයේ නිලධාරියකු වූ අජේ ලෙලේ අපූරු ප්‍රකාශයක් කර තිබිණි. ‘‘මේක හරියට සුනීතා විලියම්ස්ගේ ප්‍රශ්නය වගෙයි. විලියම්ස් ඇමෙරිකානු ගගනගාමනියකි. ඇගේ පියා ඉන්දියානුවෙක්, ඉතින් මෙහි ඉන්න අය ඇය ඉන්දීය ගගනගාමිනියක්ය කියනවා. ඒ වගේ ශ්‍රී ලංකාවේ අයත් මේක ශ්‍රී ලංකා චන්ද්‍රිකාවක්ය කියනවා. ’’

මෙම  චන්ද්‍රිකාව මුල සිටම මතභේදයට ලක් වූවකි. මෙය සමාගම් දෙකක ගනුදෙනුවක් නම් සුප්‍රිඩ් සැට් සමාගමට චීනයෙන් ඩොලර් මිලියන 360ක් ලබා ගන්නට ආණ්ඩුව උපකාර කරන්නේ මන්දැයි චන්ද්‍රිකාව ගුවන් ගත කළ දිනවලම එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රශ්න කළේය. ආණ්ඩුව ශ්‍රී ලංකාවේ කක්ෂ කලාපයක් චීනයට දී ඇතැයි ද ඔහු  චෝදනා කළේය. මෙම කක්ෂ කලාපය පිළිබඳව එවක විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ මහාතා ද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉන්දියාවේ චන්ද්‍රයාන් චන්ද්‍රිකා තුනට වැය වූ මුදල හා සුපිම් සැට් චන්ද්‍රිකාවට වැය වූ මුදල් සන්සන්දනය කරමින් මෙරට චන්ද්‍රිකාවේ සාර්ථකත්වය ගැන 2018 දී පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් සභානායක සුසිල්  ප්‍රේමජයන්ත මහතා අපූරු ප්‍රකාශයක් කළේය. තමන් එවැනි චන්ද්‍රිකාවක් ගැන නොදන්නා බවත් 2012 දී එවැනි චන්ද්‍රිකාවක් ගුවන්ගත කරනු ලැබුවේ නම් දැන් (2018දී) එය ආපසු පැමිණ තිබිය යුතු ඔහු පැවසීය.  

පොදුජන පෙරමුණ එම  ප්‍රකාශයට විරෝධය පළ කළේ නැත. එම පෙරමුණ 2012 දී මෙන් එම චන්ද්‍රිකාව ගැන දැන් ආඩම්බර වන්නේ ද නැත. සුප්‍රිම් සැට් දේශපාලනය  එබඳුය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (3)

රොකට්ටුවේ දේශපාලන කතන්දරේ

nimal Saturday, 16 August 2025 05:10 PM

රොකට්ටුවේ දේශපාලන කතන්දරේ කුමක් වුවද රාජපක්ෂලා සහ ඔවුන්ගේ දේශපාලන ගෝලබාලයින් එවැනි චන්ද්‍රිකාවක් ගුවන්ගත කළ බව පාර්ලිමේන්තුවේදී සහ පිටතදී මාධ්‍ය හමුවලදී සපත කරන්නේ නම් ඒ සඳහා ගනුදෙනු සිදුවූ ආකාරය පිළිබඳව අදාල ලියකියැවිලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු වේ. එතෙක් මේ සිදුවීම දුෂිත ගනුදෙනුවක් හෝ එවැනි චන්ද්‍රිකාවක් ගුවන්ගත නොකළ බවට සහ සත්‍ය වශයෙන්ම චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමක් සිදුවුයේ නම් රාජපක්ෂලා මාධ්‍ය මගින් ඒ පිළිබඳව ප්‍රචාරය කිරීමක් සිදුකර එමගින් රටට ලබෙන්නා වූ වාසිය පිළිබඳව උදම් අනමින් මැතිවරණ සමයේ දේශපාලන ප්‍රචාරණයක් ලබාගැනීමක් සිදුවේ...

:       6       4

vis8Monday, 18 August 2025 07:00 AM

අනේ නිමල්: හැමදාම බුරන දේවල් දැන් අපිට නටබුන් වගේ, කවදා හරි අවදි වෙන්න.

:       0       0

vis8 Monday, 18 August 2025 06:57 AM

බල පෙරේතකමට වෙන කරන්න දෙයක් නැති නිසා ජෙප්පෝ රාජපක්ෂලාට ගහපු මඩ දැන් අමු අමුවේ එළිවෙනවා. ඒත් තවම ජේවීපී ඩෝබිලාට මේවා මීපැණි වගේ.. මොවුන් අවදි වන්නේ ඊළඟ ආත්මයේදී.. කෝ අර කාමර ගණනක් පුරවලා තියෙන ෆයිල්? ඉට්ස් ටූ ලේට් ෆොර් ශ්‍රී ලංකා ...සෝ සෑඩ්...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 114 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1056 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site