අද අප ජීවත් වන්නේ අර්බුද රැසක් මධ්‍යයේය. එය අමුතුවෙන් කිව යුතු නැත. ලෝකය දේශගුණික අර්බුදවලින් පමණක් නොව, මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ අර්බුදවලින් ද බැටකයි. 2019 දී, දේශගුණික විපර්යාස හේතුවෙන් ආහාර අර්බුදයක් පිළිබඳවත්, මහා සාගතයක් පිළිබඳවත් බියක් හට ගැණුනි.   

‘කොවිඩ් 19’ වසංගතය හිස එසවූයේ, 2019 වසර අවසානයේය. 2020 වසර පුරාම ‘කොවිඩ් 19’ වසංගතයේ බලපෑම ලෝකයේ සෑම කෙනකුටම දැනෙන්නට වූ අතර, ලෝකය ගමන් ක​රන්න පටන් ගත්තේ ආර්ථික අවපාතයක් මැදිනි. කෙසේ නමුත්, ‘කොවිඩ් 19’ සැර බාල වී, එම ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ලෝකය වෙර දරද්දී, නව අර්බුදයක් නිර්මාණය විය. ඒ, යුක්රේනය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුදා ක්‍රියා මාර්ගයකට යොමු වීමය. යුද ගැටුම් හේතුවෙන්, ලෝකයේ සැපැයුම්දාමවලට එල්ලවන බලපෑම සුළුපටු නොවෙයි. ලෝකයේ කොතැනක හෝ යුද ගැටුමක් ආරම්භ වුණු සැණින් තෙල් මිල ඉහළ යන්නේ ද ඒ නිසාය. 

 
2019 ට පෙර, දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ ආහාර නිෂ්පාදනයට බලපෑම් එල්ල වී තිබුණි. එය ‘කොවිඩ් 19’ වසංගයත් සමග නරක අතට හැරුණි. ඒ වනවිටත් තිරිගු මිල සියයට 60 කින් පමණ ඉහළ ගොස් තිබුණි. ලෝකයේ ආහාර සැපැයුම සැලකිල්ලට ගතහොත්, යුක්රේනයට සහ රුසියාවට ඉතා වැදගත් ස්ථානයක් හිමිවෙයි. යුක්රේන යුද්ධය, තෙල් සම්බන්ධයෙන් පමණක් නොව, තිරිඟු‍, සූර්යකාන්ත තෙල් සහ සීනි සම්බන්ධයෙන් ද අර්බුදයක් ඇති කළේය.   


එය ලෝකයේ ආහාර සැපැයුම් දාමයට බාධාවක් විය. ඉදිරියේ දී දරුණු ඵලවිපාක ගෙන දෙනු නොඅනුමානය. යුක්රේන රුසියන් අර්බුදයේ ආර්ථික බලපෑම තවමත් ශ්‍රී ලංකාවේ අපට දැනෙන්න පටන් ගෙන නැත. යුද්ධය අද හෙට අවසන් වුවත්, මෙම ආහාර අර්බුදය එක රැයින් අවසන් වන්නේ නැත. එය ඉදිරි වසර ගණනාව තිස්සේ පවතිනු ඇත.   


රුසියාව ලෝකයේ ප්‍රධාන පෙළේ තිරිගු අපනයනකරුවන්ගෙන් කෙනෙකි. තිරිඟු‍ ආපනයනය කරන රටවල් අතර පස්වැනි ස්ථානයේ පසුවන්නේ යුක්රේනයයි. රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් යුක්රේනයේ තිරිඟු‍ නිෂ්පාදනය සහ අපනයනය බිඳ වැටුණි. රුසියාවේ තිරිඟු‍ නිෂ්පාදනය සහ අපනයනය බිඳ වැටුණේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට බටහිර රටවල් පැනැවූ සම්බාධක නිසාය.   


යුක්රේනය ඔවුන්ගේ තිරිඟු‍ අපනයනය සිදු කරන්නේ කළු මුහුද හරහා එරට වරාය නගර තුනකිනි. ඔඩෙසා, කෙර්සෝන් සහ මයිකොලාව් යනු එම වරාය තුනය.   


රුසියාවෙන් සහ යුක්රේනයෙන් තිරිඟු ආනයනය කරන ලොව ප්‍රධානතම රටක් වන්නේ ඊජිප්තුවය. ඉන්පසු පිළිවෙළින් සෙසු තිරිඟු‍ ආනයනය කරන්නන් වන්නේ තුර්කිය, බංග්ලාදේශය, නයිජීරියාව, යේමනය, අසර්බයිජානය සහ සුඩානයයි. ලිබියාව, ලෙබනනය සහ ටියුනීසියාව ද මෙම ලැයිස්තුවට අයත් බව පැවැසෙයි. තිරිඟු‍ අවශ්‍යතාව ධනවත් හෝ සංවර්ධනය වූ රටවලට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවලට ද තිබේ. එහිදී සැපැයුම් දාමයට බාධා එල්ල වන්නේ නම්, මෙම රටවල් අර්බුදයකට ලක් වෙයි. ආහාර මිල තව තවත් ඉහළ යයි.   


2020 දී තිරිඟු මිල සියයට 33 කින් ඉහළ ගියේය. යුද්ධය තව තවත් ඇදුණොත් තත්ත්වය තවත් දරුණු විය හැකිය. තත්ත්වය මග හරවා ගැනීමට ඇමෙරිකාව, කැනඩාව ඉදිරිපත් විය හැකිය. එහෙත්, එය අර්බුදය සමථයකට පත් කිරීමට ප්‍රමාණවත් වන්නේ නැත. යුක්රේනයේ යුද්ධය මුල්කොට ගනිමින්, ඉතාමත් බරපතළ ආහාර අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත්, එය ඉදිරි වසර 15 ක කාලය පුරා ලොවට බලපෑම් කරමින්, සාගතයක් නිර්මාණය කරනු ඇති බවත් නිව්​ෙ‌යා්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවකදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මුළු ලොවටම අනතුරු ඇඟවීය. එම අනතුරු ඇඟවීම සුළුවෙන් තැකිය නොහැකිය.   


ඛනිජ තෙල් පිළිබඳ ජගත් විශේෂඥයන් අනතුරු අඟවමින් පෙන්වා දී ඇත්තේ ඉදිරියේ දී ඩීසල් සම්බන්ධයෙන් ද විශාල අර්බුදයක් හටගනු ඇති බවය. මෙම ඩීසල් අර්බුදය ද සෘජුව ලෝකයේ ආහාර සැපැයුමට දැඩි වශයෙන් බලපෑම් එල්ල කිරීමට මේ වනවිටත් පටන් ගෙන තිබේ. අප ජීවත් වන ලෝකය එකිනෙකා සමඟ බද්ධ වූවකි. අප ශ්‍රී ලංකාව වැනි කුඩා රටක සිදුවන සිදුවීම් පෙළක් ගෝලීය වශයෙන් බලපෑමක් නොකරනවා විය හැකිය. කෙසේ නමුත් සෙසු රටවල් සම්බන්ධයෙන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.   


ලෝකයේ ආහාර නිෂ්පාදන මධ්‍යස්ථාන ඇත්තේ එක් කලාපයකය. පාරිභෝගිකයන් සිටින්නේ වෙනත් කලාපයකය. ආහාර පමණක් නොව, ඉන්ධන සම්බන්ධයෙන් තත්ත්වය ද එසේමය. ඉන්ධන නිෂ්පාදන සිදුවන්නේ ලෝකයේ එක් කලාපයක වන අතර, ඉන්ධන පාරිභෝගිකයන් සිටින්නේ වෙනත් කලාපයකය. ඒ අනුව, පාරිභෝගිකයන් භූ දේශපාලනික වශයෙන් සිදුවන ගැටුම්කාරී තත්ත්වයකදී ආහාර සැපැයුමට මෙන්ම ඉන්ධන සැපැයුමට ද බාධා එල්ල වීම වළක්වා ගැනීම දුෂ්කරය. ඒ අනුව, රටරටවල ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය විශේෂයෙන් යොමු විය යුත්තේ මෙම අර්බුදවලට පිළියම් සෙවීමටය.   


රුසියන් යුක්රේන අර්බුදයේ දී, රුසියාවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පැනැවූ සම්බාධක බටහිරට පාරා වළල්ලක් වී තිබේ. බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීම මගින්, බටහිර රටවලට රුසියාවෙන් ආහාර සහ පොහොර ලබා ගැනීම දුෂ්කර විය. එය එම රටවල ආහාර නිෂ්පාදන කටයුතු මන්දගාමී කළේය. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, රුසියන් රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වමින්, එම අර්බුදයට පිළියම් සෙවූ බවත්, පැවැති සාකච්ඡා සාර්ථක වුණු බවත් සම්බාධක මධ්‍යයේ ආහාර සහ පොහොර රුසියාවෙන් ලබා ගැනීමට එම සාකච්ඡා සාර්ථක වුණු බවත් පසුගිය 31 වැනිදා වාර්තා විය.   
බීබීසී ඇසුරිනි.

 

 

ලු‍සිත ජයමාන්න