(මුදිතා දයානන්ද)
පාතාලය” මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය යනු ගසට පොත්ත සේ එකිනෙකට බැඳී පවතින සබඳතාවයකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙකු සතුව  ඕනෑවටත් වඩා මුදල් තිබේ. එහෙත් එයට එන අභියෝග මැඩලන්න නම් යම් මැරබලයක් අවශ්‍යවේ.

පාතාලය ඔවුන් පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙනි. එසේම නීතියෙන් පැමිණෙන බාධා ඉවත්කරගැනීමට නම් දේශපාලන හයියක් ද අවශ්‍ය වේ. දේශපාලකයෙක් ළංකර ගන්නේ ඒ වෙනුවෙනි. දේශපාලකයා සමග ගනුදෙනු පවත්වාගෙන යාමට ඔවුහු මුදල් වැය කරති. දේශපාලකයාටද තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයන් වෙනුවෙන් වැය කිරිමට කොපමණ මුදල් තිබුණත් ප‍්‍රමාණවත් නැති තරම්ය. ඒ නිසා ඔවුන්ට කාගෙන් මුදල් ලැබුණද භාරගනු ඇත. එසේම දේශපාලකයාටද  ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් මර්දනය කරගැනීමට පාතාලයේ සහය අවශ්‍ය වේ. ඇතැම් දේශපාලකයෝද යහමින් මුදල් සෙවීමට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙති. 

පාතාලයේ  උදව් ලබාගන්නා දේශපාලකයන්ට ඔවුන්ගේ රහස් වැඩි ප‍්‍රමාණයක් දන්නා පාතාලයන් අභියෝගයක් වන අවස්ථාද මතුවේ. ඔවුන්ගෙන් තමන්ගේ රහස් හෙළිවනු ඇතැයි යන බියක්ද ඇතැම් අවස්ථාවල මතුවේ. ඒ නිසා දේශපාලයකයන් විසින් තමන්ට උදව් කළ පාතාලයන් ඝාතනයට පෙළඹුන අවස්ථාද පවතී. ඒ සඳහා ඔවුන් නැවත වෙනත් පාතාල කණ්ඩායමක සහය ලබාගනු ඇත.

මේ ආකාරයට දේශපාලකයෙක් පාතාලයේ පිහිට ලබාගැනීම කොටි වලිගයක් අල්ල ගත්තා වැනිය. අත්හැරිය නොහැකිය.  අත්ඇරිමට නම් තවත් එවැනිම කෙනෙකු ළංකර ගත යුතුය. කෙසේ වුවද සාදාකාලිකවම පාතාලය ළගින් සිටිනු ඇත. එසේම පාතාලයන්ට දේශපාලකයන් වදයක්  වන අවස්ථා, ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය දේ ඉටුකරගන්නට නොහැකි අවස්ථාද මතුවේ. එවැනි දේශපාලකයන් ඝාතනය කිරිමට එවිට අදාල පාතාල නායකයන් කටයුතු කරනු ඇත. මෙලෙස විවිධ හේතු මත එකිනෙක බැඳී පවතින මේ සබඳතාවය බිඳීම පහසු නැත.

දේශපාලකයාගේ රැකවරණය හා ආශිර්වාදය ලැබෙන තාක් පාතාලය සම්පූර්ණයෙන් නැති කිරිම සිහිනයක් පමණක් වනු ඇත.කලින් කලට අපේ රටේ සාමාන්‍ය ජනතාවට විවිධ භීෂණයන්ට ලක්වන්නට සිදුවිය. වසර තිහක්ම යුද්ධය නිසා භීතියට පත්වූ ජනතාව අසූව දශකයේ ජවිපෙ හා එකල පැවති ආණ්ඩුවේ ගැටුම මත ඇති වූ භීෂණයට ද මුහුණ දුන්හ. මේ සියලූ භීෂණයන් අවසන් කළ පසු සුදුවෑන් සංස්කෘතිය නිසා  සමාජය භීෂණයට ලක්විය. එයද අවසන් විය. එහෙත් දැන් යළිත් භීෂණයක් පැමිණ තිබේ. ඒ පාතාල භීෂණයයි.

පාතාල භීෂණය අද ඊයේ ඇති වූවක් නොවුණද එය යටපත්ව තබාගැනීමට ඇතැම් ආණ්ඩු සමත්විය. පසුගිය කාලය තුළ උදෑසනට අවදිවන්නෙකු ගුවන් විදුලියට සවන් දෙන්නේ අද කවුරු මරලාද දන්නේ නෑ යනුවෙන් ඝාතනයට ලක්වුවන් ගැන දැනගැනිමේ අදහසින් යැයි කිවහොත් එහි වරදක් නැත. 

අද දවසේ පාතාලය ගැන කතා කරන විට කාගෙත් මුවගට නිතැතින් නැගෙන නාමය මධූෂ්ය. මධූෂ්ටද අවශ්‍යව ඇත්තේ එයමය. ලාංකීය පාතාල ලෝකයේ ‘ගෝඩ් ෆාදර්‘  වීම ඔහුගේ සිහිනය වි ඇති බව පෙනෙන්නට තිබේ. කලක් ඔහු දකුණ හොල්ලාගෙන සිටියේ දකුණේ අණසක පතුරුවාගෙන සිටි කොස්ගොඩ සුජී සමග ගැටෙමිනි. මේ දෙදෙනාම තමන්ගේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කළේ විදේශ ගතව සිටිමිනි. ඒ සඳහා මධූෂ් දකුණේ තවත් පාතාල කණ්ඩායම්වල සහය ලබාගත්තේය. කොස්ගොඩ සුජීද තමන්ගේ බලය පතුරුගැනීම සඳහා සමයංගේ සහය ලබාගත්තේය. 

දෙදෙනාම හොරොයින් ජාවාරම තදින්ම පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ය. දකුණේ  බලය අල්ලා ගැනීම සඳහා දෙදෙනා අතර පැවති ගැටුම නිසා කලක් දකුණ භීතියෙන් ඇලලී ගියේය. සමයංගේ ඝාතනයත් සමග මේ ගැටුම් තවත් උත්සන්න විය. එහෙත් දැන් ඒ ගැටුම් පරාජය කරමින් ඉහළට එසවී සිටිමට මධූෂ්ට හැකියාව ලැබී තිබේ. අද රටේ සිදුවන පාතාල ක‍්‍රියාකාරකම් හා ඝාතනයන් බොහොමයක් පිටුපස සිටින්නේ කඹුරුපිටියේ මධූෂ් බවට පොලිස් වාර්තා මගින් කියවේ.

පොලිසියටද තර්ජන එල්ල කරන තරමටම තර වී සිටින කඹුරුපිටියේ මධූෂ් හෙවත් සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත උපතින් පාතාලයෙක් නොවන බව කවුරුත් දන්නා ඇත්තය. එසේ නම් ඔහු පාතාල නායකයෙක් වුණේ කොහොමද? ඩැනී හිත්තැටිය ඝානයේ සිට කොස් මල්ලි ඝාතනය දක්වා මධුෂ්ගේ ගමන කුමක්ද? ඔහුට පාතාලයෙකු සේ හැදි වැඩෙන්නට කිරිපෙව්වේ කවුද? මේ ඇත්ත තිත්ත වුණත් එය කතා කිරිමට සිදුව තිබේ. ඒ යළිත් වතාවක් රට පාතාලයන්ට යන්නට ඉඩ හැර  තිබේද යන ගැටලූවක් දැන් දැන් මතුවෙමින් පවතින නිසාය.

මධූෂ් උපන්නේ මාතර කඹුරුපිටියේය. ඔහු සිය මව පියා හා එකම සහෝදරයා සමග අගහිගකම් පිරි ගියත් සතුට රැඳී තිබුණ තම පුංචි කැදැල්ලේ සුරතල්ව හැදි වැඩුණේය. පාසල් යාමට පටන් ගත් තැන් පටන් හොඳින් අධ්‍යාපනය හැදෑරූ ඔහු ඉඳහිට දගකාරකම්ද නොකළා නොවේ. මේ පුංචි කැඳැල්ලට කණ කොකා හැඬුවේ 88-89 භීෂණ සමයත් සමඟය. 

මධූෂ්ගේ මව එකළ තහනම් දේශපාලනය කාර්යයක නියැලි සිටිතැයි ආරක්ෂක අංශවලට ඔත්තු ලැබිණ. සැබැවින්ම ඇය එවැනි දේශපාලනයක නිරත වූ බවට තොරතුරක් නැතත් ආන්ඩුවට එරෙහිව දේශපේ‍්‍රමි සංවිධානය විසින් සංවිධානය කළ රැස්විමකට ගමේ අයද සමග ඇයටද සහභාගී වන්නට සිදුවිය. එයට සහභාගී වී ආපසු එමින් සිටියදී රජයට එරෙහිව ගියැයි රජයේ ආරක්ෂක අංශ විසින් තැබූ වෙඩි ප‍්‍රහාරයකින් මධුෂ්ගේ මව ඝාතනයට ලක්වන්නේ අට හැවිරිදි මධූෂ්ට හා තවමත් අවුරුදු හයක්වත් නොවු ඔහුගේ මල්ලීටද මවකගේ රැකවරණය ආදරය අවශ්‍යම මොහොතකය. 

එතන් සිට මධූෂ් හා මල්ලි ගැන සොයා බැලූවේ පියා හා ලොකු අම්මාය. පියා නිශ්චිත රැකියාවක් නොකළ අතර කුලී වැඩ කරමිනු ඉපයූ සොච්චම් මුදලින් ඔහු දරුවන් රැුක බලාගත්තේය. මවගේ මරණින් වසර කීපයකට පසු පියා වෙනත් විවාහයක් කරගත් පසු මධූෂ්ලාගේ සම්පූර්ණ වගකීම ලොකු අම්මා මත පැටවිණ. 

මධූෂ් ඉගෙන ගැනීමටද අදක්ෂ දරුවෙක් නොවිණ. එසේම ඔහු අහිංසක තැන්පත් දරුවෙක්ද නොවීය.  නිතරම අනෙකුත් දරුවන් සමග රණ්ඩු කරගත්තේය. ඒ නිකම්ම නොවේ. තමන්ට සිදුවන අසාධාරනයන්ට එරෙහිවය. තමන්ට කරන හතුරුකම් වලට එරෙහිවය. පියාගේත් මවගේත් රැුතකවරණය අහිමි වූ ඔහු ටිකෙන් ටික හිතුවක්කාර දරුවෙක් වන්නට පටන් ගත්තේය. එහෙත් ලොකු අම්මා ඔහුව පාසල් යැවීම නැවැත්වුයේ නැත. ඔහු ද ඉගෙනිම අත්හලේ නැත. 

එහෙත් ලොකු අම්මාට ඇගේ පවුලේ ප‍්‍රශ්නත් තිබියදි තමන් හා මල්ලි වෙනුවෙන් කාලය වැය කිරිම අපහසු බව මධුෂ්ට වැටහිණ. ඒ නිසා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් මධුෂ් පසුව කුලි වැඩ කර ජිවිකාව ගැටගසා ගන්නට වෑයම් කළේය. පාසල් දිවිය හමාර කළ ඔහු ලී මඩුවක කුලියට වැඩ කරන්න පටන් ගත්තේය. කලක් මෙසේ කුලී වැඩ කළ මධූෂ් පසුව ලී ඉරන කුඩා මැෂිමක් අත්කරත්තයක පටවා ගෙන තැනින් තැනට ගොස් ලී ඉරන්නට විය. ඔහු ජංගම ලී ඉරන පට්ටලය ලෙස කා අතරත් ප‍්‍රසිද්ධ වූයේ මේ නිසාය. 

ගම්වල එදිනෙදා කටයුතුවට පොඩි ගසක් කපා ගන්නා අයෙක් ඒ ලී ටික ඉරාගන්න නගරයේ මෝලට අරන් යනවාට වඩා මධුෂ්ගේ ජංගම පට්ටලයෙන් ලී ඉරා ගැනීමට පුරුදුවිය. එය නරයට යනවාට වඩා ඔවුන්ට ආර්ථික වශයෙන් ලාභයක් ගෙන දෙන්නක් වගේම කාලයද ඉතිරි කරන්නක් විය. මේ වැඬේට මධූෂ්ට ලි මෝල් හිමියන්ගෙන් තර්ජන ගර්ජනද එල්ල නොවුවා නොවේ. එසේම ඔහුට උදව් කළ මෝල් හිමියෝද වුහ. මධූෂ් තර්ජන ගර්ජන වලට මුහුණ දෙන්නටද ශක්තිමත් විය. 

පාසල් වයසේදීද එතරම්ම අහිංසකයෙක් නොවු මධූෂ් මේ අභියෝගවලට මුහුණ දෙන්නටද සමත්විය. ඒ තමන්ට චන්ඩි පාට් දාන අයට බය නැතිව පෙරලා චන්ඩිපාට් දැමිමෙනි. එසේම තමන්ට උදව් කළ අයටද ඔහු දෙවියන්ම මෙන් සැළකුවේය. එදා මධූෂ්ට අවශ්‍ය වුණේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට පමණි. 

මෙවැනි කටයුතුවල නිරත වීම පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම තරුණ වයසේදීම මෙතරම් භාරදූරකාර්යයක නියැලීම විසින් ඔහුව අත්දැකීම්වලින් පෝෂණිය කරන්නට ඇත. ඒ අත්දැකිම්වලින් තෙම්පරාදු වන ඔහුට තව තවත් සමාජයට මුහුණ දෙන්නට ශක්තිය ලැබෙන්නට ඇත. එසේම මෙවැනි වෘත්තියක නියැලෙන තරුණයෙකු ලෙස ඔහුට සමාජයේ විවිධ තරාතිරමේ අය ආශ‍්‍රය කරන්නට සිදුවන්නටද ඇත. 

මධුෂ් විවාහකයෙක් නොවන බවටත් ඔහු වැඩියෙන්ම කැමති අනියම් සබඳතාවලට බවටත් බොහෝ දෙනා අතර මතයක් පවතී. එහෙත් ඇත්තටම මධූෂ් අවිවාහකයෙක් නොවේ. ජංගම ලී මෝලක හිමිකරුවෙක් වූ මේ කඩවසම් තරුණයාගේ ආදරය දිනා ගන්නට සමත් වු තරුණියක්ද ගමේ සිටියාය. කඩවසම් තරුණයෙක් වූ මධූෂ්ට අකමැති වීමට හේතුවක් ඇයට නොවිණ. එසේම ඒ වන විටම ගමේ කාගෙත් මගුළට මරණයට සම්බන්ධ වු කාගෙත් දුකට සැපට ළගින් සිටි මධූෂ්ගේ අතගන්නට ඇතැම් කෙල්ලෝ පොරකන අවස්ථාවක ඇය කුමකට පස්සට යන්නද? එකල පාසල් යන වයසේ පසුවූ ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව රජයේ රැකියාවක් ලබාගන්නට සමත් වූවාය. අනතුරුව ඇය මාතර මහරෝහලේ සාත්තු සේවිකාවක වූවාය. මධූෂ් හා ඇය විවාහ වූයේ ඉන් අනතුරුවය. ඒ ජිවිතයද හොඳින් ගත විය. 

තම රැකියාවේදි ඇතැමුන් සමග ගැටුම් ඇති කරගන්නට සිදුවුවද ඒවා ඔහු පුංචි කැදැල්ලට ප‍්‍රශ්නයක් වන්නට ඉඩ තැබුවේ නැත. ආදරයෙන් පිරි කැදැල්ල ඔහුට සැනසුම ගෙන දුන්නේය. ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරමින් කැදැල්ලට පුංචි පැටියෙක්ද එක්විය. කැදැල්ල සතුටින් පිරි ගියේය.

මධූෂ්ට යාළුවන්ගෙන්ද අඩුවක් නොවිණි. විවිධ තරාතිරමේ යහළුවන් ඒ අතර විය. ඇතැමෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් සමග සම්බන්ධ වී සිටියහ. ඇතැමෙක් චන්ඩින් විය. ඒ අතර සමහරෙක් බස්රථ වලින් කප්පම් ගැනීමට පුරුදුව සිටියහ. මේ ඇසුරේ කෙළවර වූයේ මධූෂ්ද බස්රථ වලින් කප්පම් ගන්නා කල්ලියක සාමාජිකයෙක් වීමෙනි. මෙලෙස කප්පම් කල්ලියක සාමාජිකයෙක් බවට පත්වීමත් සමග මධූෂ්ගේ ජීවිතය වෙනස්ම පැත්තකට ගලායන්නට විය.

මධූෂ් සතුව වූ ආක‍්‍රමණශීලි හැකියාව නිසාම කෙටි කලකින් ඔහු තමන්ගේම කප්පම් කණ්ඩායමක් මෙහෙයවන නායකයෙක් බවටද පත්විය. එකල කප්පම් කල්ලි අතර ගැටුම්වලටද මධුෂ් මැදිහත් විය. ක‍්‍රමයෙන් මධූෂ් ප‍්‍රදේශයේ නම ගිය චණ්ඩියෙකු බවට පත්විය. මුදල් ලැබෙන්න ලැබෙන්න තව තවත් ඒ කෙරෙහි ලොබ බැඳගත් මධූෂ් සිය කණ්ඩායම් මෙහෙයවා වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන්ද කප්පම් ගන්නට පටන් ගත්තේය. එපමණකින් නොනැවති අවි ආයුධ පෙන්වා මිනිසුන් බිය ගන්වා කොල්ලකෑමේද නිරත විය. 

මේ හැසිරීම් නිසා මධුෂ්ට නිතර නිතර අත්අඩංගුවට පත් වන්නට සිදුවිය. එකල මධූෂ්ගේ නමින් අධිකරණවල නඩු නොපැවරූ පොලිසියක් නොවීය.රක්ෂිත බන්ධනාගාර ගත වන මධූෂ් යළි එලියට එන්නේ තමන්ගේ කාර්යය කරගෙන යා හැකි තවත් චණ්ඩියෙකු දෙන්නෙකු හඳුනා ගනිමිනි. ඉන්පසු ඔවුන්ගේද සහය තම කණ්ඩායමට එක්කර ගැනීමට මධූෂ් සමත් විය. මධූෂ් අතින් සිදුවු පළමු ඝාතනය ගැන චෝදනාව නැගෙන්නේ මෙලෙස සිය කප්පම් කල්ලිය වැඩිදියුණු කරගනිමින් එය යහමින් පෝෂණය කරගනිමින් යද්දීය. 

මධූෂ් අතින් මිය ගිය පළමු පුද්ගලයා කවුද? ඒ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනි හිත්තැටිය මහතා යැයි සිතෙන්නට පුලූවන. ඒ මධූෂ්ගේ නමට තිබෙන ප‍්‍රසිද්ධම පළමු ඝාතන චෝදනාව එය වන නිසාය. එහෙත් ඔහුගේ පළමු ඝාතනය එය නොවේ. එලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ කප්පම් ඉල්ලා සිටියදි ඒවා ලබාදීමට මැලිවු ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවය පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන්ද මධූෂ් අත්අඩංගුවට පත්විය. එහෙත් ඔහු ඒ සියළු චෝදනාවලින් නිදහස් විය. ඒ ඇසින් දුටු සාක්ෂි නොමැති වීමෙනි. 

ඒ වන විට මධූෂ්ට දේශපාලන සම්බන්ධතාද ගොඩනැගී තිබිණ. ඒ දේශපාලන සබඳතාද ඔහුගේ සහයට සිටියා වන්නට ඉඩ ඇත. අදත් දේශපාලනයේ නියැලෙන දකුනේ ප‍්‍රබල දේශපාලඥයෝ කීප දෙනෙක්ම මධූෂ් සමඟ  සබඳතා පවත්වන බව කඹුරුපිටියට පමණක් නොව දකුණටම ප‍්‍රසිද්ධ රහසකි.  

මධූෂ් ඇයි ඩැනි හිත්තැටිය මහතා ඝාතනය කළේ? ඒ පිළිබඳව ඉදිරියේදි කතා කරමු.

මතු සම්බන්ධයි...............