IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැද පෙරදිග ගැටුමේ ට්‍රම්ප් භූමිකාව

ඊශ්‍රායලයත් ඉරානයත් අතර ආරම්භ වූ ගැටුමට ඇමෙරිකාව සම්බන්ධ වූයේ ඉකුත් සති අන්තයේය. ඊශ්‍රායලයට සහාය පළ කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ න්‍යෂ්ටික ඉලක්කවලට පහර දෙන්නැයි අණ කළේය. ඒ අනුව, ඇමෙරිකන් හමුදාවේ ‘බී 2’ ප්‍රහාරක යානා හතක්, ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක හතකට ප්‍රහාර එල්ල කළේය.

තමන් තම මිතුරා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමග එක් වී සාකච්ඡා පවත්වා, ඉරානයට මෙසේ ප්‍රහර දුන්නේ, ඉරානයට ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හරහා න්‍යෂ්ටික අවි නිපදවීමට ඇති හැකියාව අහිමි කිරීමට යැයි ට්‍රම්ප් පැවැසීය. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ එම ප්‍රහාරවලින්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැති බවත්, එය මාස ගණනකින් පසුබෑමට ලක්වුණු බවත් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ඊයේ (25) පැහැදිලි කළේය.

‘ගැහුවොත් ගහනවා’ යැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී සහ ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් ඇමෙරිකාවට දිගින් දිගටම අනතුරු අඟවා තිබුණි. ඒ අනුව ඇමෙරිකන් ප්‍රහාරයෙන් පසු ඉරානය ඔවුන්ගේ ප්‍රබල මිසයිල භාවිතයට ගනිමින් අසල්වැසි කටාර් රාජ්‍යයේ අල් උඩෙයිඩ් ඇමෙරිකන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කළේ, පලිගැනීමක් ලෙසය. ඒ, පසුගිය ජූනි 23 වැනිදා කටාර් වේලාවෙන් රාත්‍රී අටට පමණය. තමන් ඇමෙරිකන් හමුදා කඳවුරට පහර දෙන බව ඉරානය කටාර් බලධාරීන්ට කල්තියා දන්වා තිබුණි. කටාර් ගුවන් සීමාව වසා දමන්නැයි ද ඉල්ලා තිබුණි.

ඒ අනුව ඇමෙරිකන් කඳවුරට ප්‍රහාරය එල්ල විය. තමන් අල් උඩෙයිඩ් කදවුරට පහර දුන්නේ අවම බලයකින් බව ද ඉරානය පසුව පැහැදිලි කළේය. අල් උඩෙයිඩ් යනු ඇමෙරිකන් හමුදා සෙබළුන් 8,000 ක් රැඳී සිටින කඳවුරකි. කෙසේ නමුත් ඉරාන ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුවූයේ නැත. කටාර් රාජ්‍යයේ ඇමෙරිකන් කඳවුරට පහර දීම ගැන පසුව ඉරානය කටාර් බලධාරීන්ගෙන් සමාව ඉල්ලු‍වේය. කනගාටුව ද පළ කළේය. කෙසේ නමුත්, කටාර්ය පැවැසුවේ, ඉරාන ප්‍රහාරයෙන් දෙරට අතරේ හොඳ හිත පළුදු වුණු බවය.

දින 12ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කරමින්, ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට කැමැති කරගත් බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, පෙරේදා (24) දිනයේය. ඒ සිය ටෲත් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය. කෙසේ නමුත් මේ බව ඊශ්‍රායලය හෝ ඉරානය කිසිවක් පවසා තිබුණේ නැත. ට්‍රම්ප් සටන් විරාමය ගැන පවසා පැය හතරක් යද්දී, ඊශ්‍රායලයත් ඉරානයත් ප්‍රහාර එල්ල කරමින් එය කඩ කළේය. මෙය ට්‍රම්ප්ගේ දැඩි කෝපයට හේතුවක් විය. ඔහු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූයේ පරුෂ වචනයෙන් ද බනිමිනි. ඊශ්‍රායලය ගැන තමන් විශේෂයෙන් සතුටු නොවන බව ට්‍රම්ප් පැවැසුවේය. ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පැවැසුවේ නේටෝ මහ සමුළුවට සහභාගී වීමේ අරමුණින්, නේටෝ මහ සමුළුවට සහභාගී වීමට යද්දීය.

ඊයේ (25) උදෑසන වෙද්දී, ට්‍රම්ප් මැදිහත් වී ආරම්භ කළ ඊශ්‍රායල ඉරාන සටන් විරාමය සාර්ථක වන බවක් පෙනෙන්ට විය. ඊශ්‍රායලය අපට ප්‍රහාර එල්ල නොකරන්නේ නම්, අප ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නේ නැහැ යන්න ඉරානයේ ප්‍රතිචාරය විය. පසුගිය කාලයේ ඉන්දියාවත් පාකිස්තානයත් කෙහෙවලු‍ පටලවා ගත් අවස්ථාවේදී, ට්‍රම්ප් ඊට මැදිහත් විය. දෙපාර්ශ්වය අතරේ සටන් විරාමයක් ඇති විය. දැන් ඊශ්‍රායල ඉරාන ගැටුම ද නැවැත්වීමට ට්‍රම්ප්ට හැකිවී ඇති බව පෙනෙයි. ඒ අනුව, මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනැමීම සම්බන්ධයෙන් ද බටහිර රටවල් අතරේ කසුකුසුවක් නිර්මාණය වී ඇත.

ඊශ්‍රායලය සහ ඉරානය අතරේ සටන් විරාමයත් සමග ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල, සියයට පහකින් පමණ පහළ වැටුණි. දින 12 ක යුද්ධය අවසන් වෙද්දී, ජාත්‍යන්තර තෙල් මිල පිළිබඳ මිණුමක් ලෙස සලකන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මුලින්ම ඩොලර් 68 දක්වා පහත වැටුණු බව විදෙස් මාධ්‍ය පැවැසීය‍. තෙල් හා ගෑස් ප්‍රවාහනය කරන ප්‍රධාන නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය තර්ජනය කළ අවස්ථාවේදී දිනවල බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබුණි.

ඊශ්‍රායල සහ ඉරාන ගැටුමට මුල ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනය. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පවත්වාගෙන යන්නේ, බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින්ය. රුසියාව මේ සඳහා ඉරානයට සහාය දෙයි. රුසියන් න්‍යෂ්ටික විද්‍යාඥයෝ ඉරානයේ සිටිති. ‘රෑ මැදියම මිටි පහර‘ යනුවෙන් නම් කළ ඇමෙරිකන් හමුදා මෙහෙයුම යටතේ, ඇමෙරිකාව බී2 යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළේ ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන න්‍යෂ්ටික ඉලක්ක තුනටය. මේවා න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ න්‍යෂ්ටික

පර්​යේෂණාගාර විය. රුසියන් විද්‍යාඥයන් මේවායේ සේවය කළ අතර, ඊට පැය ගණනකට පෙර ඔවුන් ඒවායින් ඉවත් වූ බව පැවැසෙයි. ඒ, ඇමෙරිකන් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව දැන සිටි බවට ඉඟියකි.

පසුගිය මාස කීපයේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඕමානයේ ද මැදිහත් වීමෙන්, ට්‍රම්ප් රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡාවට කීපයක් පැවැත්විණි. “සාකච්ඡා අවසන්වනතුරු ඉරානයට පාඩුවේ ඉන්න දෙන්න” මේ ට්‍රම්ප්, ඊශ්‍රායලයෙන් කළ ඉල්ලීමය. එසේ සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් පසුගිය මාර්තු 25 වැනිදා ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවේ සාක්ෂි දෙමින් කළ ප්‍රකාශයකට අනුවය. ඉරානය යුරේනියම් බල ගැන්වීමක් කරන නමුත්, පරමාණු බෝම්බ හෝ වෙනත් න්‍යෂ්ටික අවි හෝ නිපදවීමක් සිදු නොකරන බව ඇය පෙන්වා දුන්නාය. ඒ අනුව, ඉරානය ගැන විශ්වාසයකින් සාකච්ඡා ඇරැඹුණි.

කෙසේ නමුත් සාකච්ඡා සියල්ල අඩපණ විය. ජූනි 13 වැනිදා ඊශ්‍රායලය, ඔපරේෂන් රයිසිං ලයන් මෙහෙයුම ක්‍රියාවට නංවමින් පහර දෙමින් ඉරාන රජය, හමුදාව සහ බුද්ධි අංශ අඩපණ කළේය. ඉරානය පෙරළා ඊශ්‍රායලයට පහර දුන්නේ, ඊශ්‍රායලයේ බලගතු ගුවන් ආරක්ෂක පද්ධතිය අඩපණ කරමිනි. ට්‍රම්ප් ඊශ්‍රායලයට සහාය දක්වමින්, ඉරානයට පහර දීමට අවතීර්ණ වූයේ තුල්සි ගැබාඩ් කළ ප්‍රකාශය තරයේ බැහැර කරමින්, ඉරානයට පරමාණු බෝම්බ සෑදීමට සියලු‍ පහසුකම් ඇතැයි පවසමිනි. ඒ අනුව, තුල්සි ගැබාඩ් ප්‍රසිද්ධියේ පසුව කියා සිටියේ, ඉරානය පරමාණු බෝම්බයක් නිපදවමින් සිටිනවා යැයි තමන් ද විශ්වාස කරන බවය.

 

(***)
ලුසිත ජයමාන්න
අල් ජසීරා ඇසුරිනි



අදහස් (0)

මැද පෙරදිග ගැටුමේ ට්‍රම්ප් භූමිකාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site