ඒ.ඩී. රන්ජිත් කුමාර

මම ආඩම්බරකාරයන් කොතෙකුත් දැක ඇත්තෙමි. මම කෙළින් වැඩ කරන ඍජු ප්‍රතිපත්ති ඇති මිනිසුන් දැක ඇත්තෙමි. අයුක්තිය උදෙසා කිසිවකුට හිස නොනැමූ කිසිම රජයකට වන්දි භට්ටකම් නොකළ මිනිසුන් දැක ඇත්තෙමි. මේ ගුණාංග සෑම එකට පිහිටි එක් මිනිසකු දැක නැත්තෙමි.

ඔහු ගැයූ ගීතයක් නොඇසූ නොගැයූ කෙනෙක් සොයා ගැනීම නිකිණි සොයනවාටත් වඩා අසීරුවනු ඇති. මේ මහා සංගීතඥයා සිය ජිවිතයේ දුෂ්කර අවස්ථාවන්හි ජාඇල පොළේ කරවල වික්කේය. අබලන්වූ රේඩියෝ පිළිසකර කළේය. රෙදි වික්කේය. එයින් බංකොලොත් විය. එහෙත් ඔහු උත්සාහය අත් නොහැරියේය. ඡායාරූපකලාවට ප්‍රවීණත්වයක් දැක්වූ ඔහු ඡායාරූප ගෙන විකිණීම ආරම්භ කළේය. එහෙයින් පෙරටත් වඩා පාඩු ලැබුවේය. කවුද ඔහු? ඔබේ ජිවිතයට, ඔබේ ගීත රසවින්දනයට බලපෑම් කළ මිනිසෙකි ඔහු. මේ දිරිය මිනිසා සමග දෙපැයක් ගත කිරීමට මෙයට හරියටම වසර හතළිහකට පෙර 1977 ඔක්තෝම්බර් 21 දා (මගේ දිනපොතක සඳහන් වී ඇති පරිදි) මට අවස්තාව ලැබුණි. අපේ රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරී ගිය දිය ගොඩ හැම තැන කිරි ඉතිරේ, ඕලු පිපීලා වෙල ලෙලදෙනවා, මිහි කත නලවාලා, බෝවිටියා දං පළුකං වාරේ, මෙ වන් පිටිසරේ වැනි ජනප්‍රිය ගීත ගැයූ ඒ අසහාය ගායක සුනිල් සාන්ත සොයා මා ගිය ගමන මට කිසිදා අමතක නොවේ.

සුනිල් ශාන්ත ගැන ලියමු දැයි එදා (1977) ‘සරසවිය’ කර්තෘ ධුරය දැරූ ධර්මදාස බොතේජු මහතා මගෙන් ඇසීය.
‘මම එතුමා හමුවෙලා නැහැ. අමුතු කෙනෙක්, කියලා අහල තියෙනවා.’

‘ගිහින් බලන්න, ඒ මනුස්සයට උන්හිටි තැන් අහිමි වෙලාලු’ බොතේජු මහතා යළිත් කීය.

මාත් කැමරා ශිල්පී රාජා පෙරේරාත් එවකට ලේක් හවුසියේ තිබූ කේම්බ්‍රිජ් වෑන් රියකින් ජාඇල දෙහියාගතය බලා පිටත් වුනෙමු. එදා අප දෙහියාගතේ කතෝලික දේවස්ථානය අසල පුංචි ගුරුපාරක් දිගේ ඒ නිවසට යනවිට සුනිලුත් නවීන පන්නයේ ට්‍රරාන්සිස්ටර් රේඩියෝවක් අලුත් වැඩියා කරමින් සිටියේය.

‘ඉඳගන්න තරම් ඉඩක් නැහැ. මේ බූරු ඇඳේ දෙන්නම ඉඳ ගන්න. මේ පුතාලා නිදා ගන්න ඇඳක්. මේ රේඩියෝ එක ගෙනියන්න අයිතිකාරයො දැන් එනවා. ඒ නිසා මට විනාඩි 10 ක් දෙන්න.’ ඔහු ගැඹුරු හඬින් කීය.

සුනිලුන්ගේ ඒ කුටිය කුකුළු කොටුවකට සමානය. පුංචි මේසයක් උඩ රේඩියෝව තබා ලැන්තෑරුම් එළියෙන් ඔහු එය අලුත්වැඩියා කරයි.

ඔය අපි නිදා ගන්න හැටි තමයි. මම යි පුතාල තුන්දෙනයි නිදා ගන්නේ ඔතන. මගේ පුතාලා පාඩම් කරන්නේත් ඔතන. අර පුංචි කාමරේ මගේ නෝනයි, දුවයි නිදා ගන්නේ.’ ඔහු වැඩ කරන අතරේ කතා කරයි.

‘ඔබ ගැන අපි අහලා තියෙන විදිහට ඔබ හිතුවක්කාරයෙක්. මුරණ්ඩු කෙනෙක්. තම මතයේම එල්බ ගෙන සිටින්නෙක්. ගුවන් විදුලිය පැත්ත පළාතකවත් නොගිහින් පොළේ කරවල වික්කලු.’

ඔහු කරමින් සිටි වැඩය නතර කොට මා දෙස බැලුවේය.

‘ඔව් ඒ කාලේදී මම සෑහෙන්න දුක් වින්දා. මුදල් අතින් අන්තිමට වැටිලා හිටි කාලේ ‘ලංකාදීප’ පුවත්පතේ අරමුදලකින් තමයි යම්තම් නැගිට්ටේ. ඒකට මුල පිරුවේ ‘ලංකාදීප’ කර්තෘ ධනපාල මහත්තයා. මම පොළේ කරවල වික්කා, රෙදි වෙළඳාම කළා. රෙඩියෝ, පැට්‍රොමැක්ස් ගෑස් ලාම්පු, ටයිප් රයිටර් හැදුවා. භූමිතෙල් උඳුන්, බයිසිකල් රෙපයාර් කළා. අර එළිය තියෙන බක් ෆියට් කාර් කටුව මම ගත්තේ රුපියල් 1750 කට. මේකේ බාස් මම. මේකේ හැම ඇණයක්ම මුරිච්චියක් ගැන මම දන්නවා. කාර් එකේ හැම කෑල්ලක්ම ගලවලා හයිකරන්න මම දන්නවා. සුනිල් අපට පැවසුවේ පොඩි ළමයෙක් හපන්කමක් කළා වැනි සතුටකිනි. ඔහු අප හා සංවාදයට එක් වූයේද බොහෝ කලක සිට හොඳින් හඳුනන හිතවතුන් පරිද්දෙනි.

මට කියලා ගෙයක් දොරක් නැහැ. ඉතුරු කර ගත්ත මුදලක් නැහැ. මේ ටකරං ගහපු පරණ කුකුළු කූඩුව මගේ කුලී නිවාසෙ. ඇග්නස් නෝනාගේ ගෙදර ගාව හිස්ව තිබුන කුකුළු කොටුව අපේ නවාතැනට දුන්නා.’
මම අවට නෙත් අයා බැලුවෙමි. එහි සංගීත භාණ්ඩයක් අහලකවත් දකින්නට නැත. එහි දකින්නට ලැබුණේ මේසන් බාස්ලා අවැසි ආයුධ, වඩුවන්ට අවැසි ආයුධය.

‘මට මේ වැඩ කරන්න උගන්වන්න ගුරුවරයෙක් හිටියේ නැහැ. තනිවම හැම එකම ඉගෙන ගත්තා. මට රෙදි අපුල්ලන්නත් පුළුවන්. දැනටත් ගෙදර රෙදි හෝදන්නේ මම. ඒ කියන්නේ මගේ නෝනා ලීලා පාසලේ උගන්වන්න යනවනේ. ඒ නිසා ගෙදර පිඟන් හෝදන්නෙත් මම. කාලයක් මගේ දරුවන් පුංචි දවස්වල දරුවෝ හතරදෙනයි ලීලයි මමයි දවල්ට වත් කෑවේ නෑ. සෑම දවාලකම පාන් කෑවා. රෑට විතරයි බත් කෑවේ.

‘සුනිල් මහත්තයා මේව පත්තරේට ලිව්වට කමක් නැද්දැයි’ මා ඇසූ විට සිනාසී ‘ලියන්න තමයි කිව්වේ. මගේ මේ පුංචි මාලිගාව ගැනත් ලියන්න. ඒක ගැන රටම  දැන ගන්න ඕන. මට හංගන්න දෙයක් නැහැ.’

1915 අප්‍රේල් 14 වෙනිදා උපන් බද්ද ලියනගෙ දොන් ජොසප් ජෝන් වේදිකාවට යොදා ගත්තේ ‘සුනිල් සාන්ත’ නමය. ඔහුගේ 102 ජන්ම සංවත්සර උළෙලක් පසුගිය 23 වෙනිදා පැවැත්විනි. ඔහු උපතින් කතෝලිකයෙකු වුවත් මුල් දරුවා හැරුණු විට අනිත් එකම දරුවෙකුවත් ක්‍රිස්තියානි කොට නැති බවත්, සුනිලුන් හෝ ඔහුගේ බිරිඳ ලීලා දරුවන්ද පල්ලියකට හෝ පන්සලකට නොගිය බව ‘විසිතුර’ පුවත්පතේ ලේඛක ධර්මප්‍රිය පතිරාජට (1963) කියා තිබුණි.

‘කිසිවෙකුට හිංසා පීඩා, හිරිහැරයක් හෝ පාඩුවක් නොකිරීමත් අයුතු ලෙස වෙනත් අයෙකුගෙන් බලාපොරොත්තු නොවීමත් මගේ ආගමික භක්ති යයි. මගේ දරුවන් හතර දෙනාට කුමන හෝ ආගමක් තෝරා ගැනීමට මම අවසරය දී තිබෙනවා. යයි එදා සුනිලුත් කියා ඇත.

සුනිලුත්ට තම බිරිඳ ලීලා හමුව ඇත්තේ ඇය කොටහේනේ ගුඞ්ෂෙපර්ඞ් (යහපත් එfඬ්රාගේ කන්‍යාරාමය) කොන්වන්ට් හි ගුරුවරියක්ව සිටි කාලයේදීය. ඔහු ඇය විවාහ කර ගැනීමට ගිවිස සිටියත් කුලවාදය එයට හරස්වී ඇත. ඇය කෑගල්ලේ රිචඞ් පවුලේ තැනැත්තියක් වූවාය. අචල විශ්වාසය, නොමියන ආදරයත් කුලවාදය බිඳ හෙළීය. රජයේ ගුරුවරියක් වූ ලීලා අම්පාරට මාරු කිරීම නිසා සුනිලුන්ට මහත් මානසික වධයක් වන්නට ඇත.

සුනිල් සාන්තයන් ගෙන් සංගීතය හැදෑරූ ප්‍රකට චරිතවල නාම ලේඛනයක් සකස් කළොත් මේ ලිපියෙන් කළ හැක්කේ එය ලිවීම පමණිය. උපන්දා පටන් අපරදිග සංගීතය ඔස්සේ ගිය ආණ්ඩුකාර සෝල්බරි සාමිගේ දියණිය රැම්සේ බොතම් කුමරිය සිංහල ගී පිළිබඳ රසය ගැන “දිනමිණ” පුවත්පතට ලියූ ලිපියක තමා අතිශයින්ම ප්‍රිය කරන්නේ සුනිලුන්ගේ ‘ඕලු පිපිලා’ ගීතය බව පවසා තිබුණාය.

සුනිලුන් ගැයූ බොහෝ ගීත රචනා කර ඇත්තේ ඔහු විසින්මය. මේ හැර මෝසැයි පෙරේරා පියනම, මර්සලීන් ජයකොඩි පියනම, අරිසෙන් අහුබුදු, රැ. තෙන්නකෝන්, හියුබට් දිසානායක, තිලක සුදර්මන් ද සිල්වා, චන්ද්‍රරත්න මානවසිංහ, ගුණපාල සේනාධීර ආදීන් ගීත ලියූහ. මින් වඩා විවාද සම්පන්නවූ ගීතය වූයේ රැ. තෙන්නකෝනුන් රචිත ‘කුකුළු හැවිල්ල’ ය.

‘දුදනෝ’ද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද සාමිනේ
මගේ කුකුලා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා’

මේ ගීතය ගැන අප ඇසූ පැනයට සුනිලුන් පැවසුවේ මෙවැනි අදහසකි.

අපේ ගමේ ගොඬේ ගැහැනුන් වටිනා යමක් නැතිවූ විට කරන කියනදේ දෙවියන්ට පලි ගසන හැටි, බාර බඳින හැටි මා හොඳට දැක පුරුදුයි. ‘අනේ කතරගම දෙව් හාමුදුරුවනේ, මේ අපරාදේ කරපු එකාගේ බෙල්ල ළඟින්ම කැඩිලා පලයන්’ වැනි දේ නගා මහඩින් ගෑනු කටින් කියවෙන විට ඒ එක්කම නැගෙන ලතාවන් මම හොඳට අසා පුරුදුයි. ‘කුකුළු හැවිල්ල නමැති කතරගම ගීතයට තනුව දැමීමේදී මා අනුගමනය කළේ පිරිත්වත්, වැදී ගීයවත් නොවේ. අර ගෑහැනියගේ මුවින් නැගෙන ලතාවයි.’

සුනිල් සාන්තයන් චිත්‍රපට ගී නිර්මාණයට පිවිසියේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ (1956) චිත්‍රපටයෙනි. මේ ගීත සුනිලුන් ලවා නිර්මාණය කර ගැනීමට ලෙස්ටර් සිතා ඇත්තේ එංගලන්තයේ සිටියදී සාදයකදී හියුබට් රාජපක්ෂ ගැයූ ’ඕලු පිපීලා’ ගීතය ඇසූ පසුව බව ඔහු මට කියා ඇත. රේඛාව චිත්‍රපටයේ ගීත සුනිලුන් ලවා තනු නිර්මාණය කර ගැනීමට ඔහුගේ නිවසට ගිය ලෙස්ටර් අසන්නට ලැබුණේ මෙවැනි පිළිතුරක් ලු.

‘කරුණාකරලා මාව මේකට තෝරා ගන්න එපා. මාව ගාව ගන්නවත් එපා. මම ඉන්දියාවේ ස්ටුඩියෝවලට යන්නත් කැමැති නෑ.”

ලෙස්ටර් ආපසු ජාඇල සිට පැමිණ ඇත්තේ කෙසේ හෝ සුනිලුන්ව ‘රේඛාව’ ට සම්බන්ධ කරගනිමියි අදිටන් කර ගෙනය. සුනිලුන්, මර්සිලීනු ජයකොඩි පියතුමා කියන දෙයකට ඇහුම් කන් දෙන බව දැනගත් ලෙස්ටර්, පියාතුමාට වද කොට යලිත්  එතුමාද සමග සුනිලුන් සොයා ගියහ. ජයකොඩි පියතුමාගේ දීර්ඝ දේශනාව අසා සිටි සුනිලුන්ට ඒ යෝජනාවට එකඟ නොවී සිටීමට බැරිවිය.

මම ගීතවල තනු හදල දෙන්නම්, ෆාදර් කියන නිසා. හැබැයි, මේව ඉන්දියාවේ පටි ගත කරන්න ඕන. ඒ සඳහා මට එහේ යන්න බැහැ. සංගීතය මෙහෙයවන්න ඩි.එස්. පෙරේරා (සංගීතඥ) යොදා ගන්න. උදව්වට අයිවෝ ඩෙනිස් ගෙනියන්න. හැබැයි මේ ගීත ඔක්කෝම ෆාදර් ලියන්න ඕන. මර්සලින් ජයකොඩි පියතුමා රචනා කළ සීගිරි ළඳකගෙ, මල්වට්ටියෙලා (ලතා) ‘ඕලු නෙළුම් නෙරිය රඟාලා’ (සිසිර) ‘සුදු සඳ එළියේ’ ‘වෙසක් කැකුළු අතු අග’ (ඉන්ද්‍රානි) ‘අනුරාපුර පොළොන්නරුව’ (අයිවෝ) ‘මිණිමුතු පසට යට වෙනවා’ (තිලකසිරි) ගැයූ සුනිලුත්ගේ ස්වතන්ත්‍ර තනු එදා ජනප්‍රිය වූහ. ලෙස්ටර්ගේ ‘සංදේශය’ චිත්‍රපටයට අරිසෙන් අහුබුදු ලියූ සුනිලුන්ගේ තනු රැගත් ආර්. මුත්තුසාමි සංගීතවත් කළ ගීත සියල්ලම අතිශයින්ම ජනප්‍රිය විය. ඒ ගීත නම් ‘පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා’ ‘රැජින මමයි අපේ රාජ්ජේ’ ‘කටේ කිරි සුවඳ යන්නට පවා’ ‘රෑන ගිරා රෑන අඹේ’ ‘පුන් සඳ එළියයි’ ‘සුදට සුදේ වළාකුළයි’

සුනිල් සාන්තයන් ‘රොමියෝ ජුලියට්’ චිත්‍රපටයට ඉංග්‍රිසි ගීතයක් ගැයීය. මුල්වරට සිංහල චිත්‍රපටයකට ඇතුළත් ඉංග්‍රිසි ගීතය වූ මෙහිදී ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියා ගේ තනුවකට මුල්වරට ඔහු ගීතයක් ගැයීම විශේෂයකි. ගීතයේ රචකයා මර්සිලින් ජයකොඩි පියතුමාය. ඒ ගීයේ කොටසකි මේ.

'My Dreams are ries for my Love
I drop them down for her feet
Walk on them softly my love
your feet will make them more sweet'

එදා ජාඇල දී සුනිලුන් අපට කියා සිටියේ තමාගේ ගීතවලින් රසිකයන් පිනවීමක් සිදුවූයේ නැත කියාය. එහෙත් ඉහත කී ගීත සම්මුච්චය රසිකයන් පින වීමට ප්‍රමාණවත් නොවිනිද?

‘රසිකයන් හිනැස්සීම අතින් මම දුර්වලයෙක්. මම මගේ සංගීත නිර්මාණවලින් බලාපොරොත්තු වන්නේ සදාතනික වටිනාකමක්’ ඔහු කීවේය.

ඔහු කිසි දිනෙක ගීතයක තනුවක් නිර්මාණය කිරීමේදී සංගීත භාණ්ඩයක් භාවිතා නොකළ බව අපට කීවේය. තමාගේ ස්වර ලිපි කොළයක ලිව්වේය. බී.එස්. පෙරේරාත්, මුත්තුසාමිත්, රේඛාව හා සංදේශය චිත්‍රපටවලට ලියූ ස්වර ලිපි බලා සංගීතය නිර්මාණය කර ඇත.

එදා අප ජාඇලට ගිය විට සුනිලුන්ගේ පුතුන් තිදෙනාම පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හදාරන බව දැන ගත්නට ලැබිණි. දියණිය පසුව පශු වෛද්‍යවරියක් වුවාය. පසු කලෙක එක පුතෙකු හදිසි අනතුරකින් මියයාම සුනිලුන්ට දරා ගත නොහැකිව බලවත් කම්පනයකින් සිටි බව බිරිඳ ලීලා අප සමඟ කීවාය. සුනිල් සාන්තයන්ගේ ජාඇලට ගිය ගමන අදාළ මා ලියූ විශේෂාංගය දුටු ‘සරසවිය’ කර්තෘ බොතේජු මහතා අපූරු ශිර්ෂ පාඨයක් දැම්මේය. ‘සුනිල් සාන්තට උන්හිටි තැන් නැතිවේද?’ යන මේ ලිපිය 1977.10.28 දින ‘සරසවිය’ පත්‍රයේ පළවිය. ලිපිය අවසන් කොට සුනිලුන්ගේ මේ ප්‍රාර්ථනයෙනි.

‘දැන් මගේ එකම බලාපොරොත්තුව මිය ඇදෙන්නට ගෙයක් ලබාගැනීම පමණයි’
මා විසින් ලියූ ලිපිය ‘සරසවිය’ පත්‍රයේ පළවූදා උදේ 10 ට පමණ කාර්යාලයේ සිටි අතර මට ටෙලිෆෝන් පණිවිඩයක් ලැබිණි.

‘මම ප්‍රේමදාස.’ ඒ එවකට බලයට පැමිණ සිටි රජයේ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාය.
‘සුනිල් සාන්ත ගැන ලිව්ව ලිපිය මම කියෙව්වා. එයාට අපි ගෙයක් දෙන්න යන්නේ. දැන්ම ජාඇලට ජීප් එකක් යැව්වා නිවාස කොමසාරිස් එක්ක. රංජිතුත් ඉක්මනට යන්න ඒ අයට උදව් කරන්න. මම මේ ගැන එගොල්ලන්ගේ චෙයාමන්ටත් දැන් කිව්වා.’

‘සර් සුනිල් සාන්ත මහත්තයා නහයට නාහන කෙනෙක්. කොච්චර නැති බැරි වුණත් ආඩම්බරයි. කාටවත් බයත් නැහැ.’ මම කියාගෙන ගියෙමි.

ප්‍රේමදාස මහතා සිනාසෙමින් මෙසේ කීවේය.

‘ මම ඒ සේරම දන්නවා. ඒ සේරම කියලයි මම කට්ටිය පිටත් කළේ.’
මම හනික ජාඇලට ගියෙමි. සුනිලුන්ගේ නිවස ඉදිරිපිට නිවාස කොමසාරිස් ඔස්ටන් ජයවර්ධන මහතා පොල්ගසක් යට කිසිවෙකු හා කතා කරමින් සිටියේය.

‘මම ඇමැතිතුමාගේ පණිවිඩය කිව්වා. කොළඹ යන්න එයාගේ නෝනා එනකන් ඉන්න ඕනෑලු. නෝනාගේ ඉස්කෝලේ ඇරෙන්නේ 2 ටලු.’

සුනිලුන් රැගත් ජීප් රථය නාරාහේන්පිට පැමිණ ඇල්විටිගල නිවාස සංකීර්ණය වෙත ආහ.
‘මේව තමයි ඉස්තරම්ම, අලුතින් හදපු ෆැලැට්. උසස් නිලතල දරණ අය මේවායෙ ඉන්නේ.’ නිලධාරියෙක් කීය.
‘අනේ, මහත්තයා මේ කලබල පරිසරය මට අල්ලන්නේ නැහැ.’

නැවත ජිප් රථය රාජගිරියට ගොස් එතැනින් නාවල හැරුණි. දකුණූ පැත්තේ තිබූ ගෙයක් පෙන්වූ නිලධාරියෙක් සුනිලුන්ට මෙසේ කීවේය.

‘මේක හිටපු නිවාස උප ඇමැති බී.එච්. බණ්ඩාර මහත්තයා හිටපු ගෙදරය. මේක සුනිල් මහත්තයට හොඳද?’
නිවස පරීක්ෂා කර බැලූ සුනිල් සාන්ත මහතාගේ මුවෙහි සිනා රැල්ලක් රැඳුනි.

මේ ගේ නම් හොඳයි. හැබැයි මට මේක නිකං එපා. කොටස් වශයෙන් හරි, මාසිකව සල්ලි ගෙවන්න පුළුවන් විදිහක් හදලා දන්න. මට කරපු උපකාරවලට ඇමැතිතුමාට මං ස්තුතියි කියන්න. හැබැයි රජෝ මට ’උදා ගම්වල’ සින්දු කියන්න නම් කතා කරන්න එපා කියලත් ඇමැතිතුමාට කියන්න.” සුනිල් සිනාසෙමින් කීය.
සුනිලුන්ට ඒ පදනම යටතේ ගෙය ලැබිණ. ‘සුනිල් හා ලීලා’ යුවල එම නිවසට ගොඩ වැදුණුදා කිරිබත් කෑල්ලක් කන්න එන ලෙස මට ඇරයුම් කළේය. එම අවස්ථාවට මම සතුටින් සහභාගි වුණෙමි. මා එදා ඔවුන්ගෙන් සමුගන්නා විට සුනිලුන් තම බිරිඳට මෙසේ කීවේය

‘ලීලා මතක තියාගන්න මම මැරුණාමත් රන්ජිත් මේ ගෙදරට ආවොත් තේ කෝප්පයක්වත් නොදී යන්න දෙන්න එපා. අපිට එයා කරපු උදව්ව මතක තියා ගන්න.

මේ සිද්ධිය මතක් වන විට සුනිල් තම සහෝදර සංගීතඥයන්ට කුහකත්වයෙන් තොරව උපකාර කළ එක් අවස්ථාවක් මට මතක් වෙයි. අමරදේවයන් වැඩිදුර සංගීතය ඉගෙනීමට යාමට ‘ලංකාදීප’ පත්‍රයේ මැදිහත්වීමෙන් අරමුදලක් පිහිටුවීය. ඒ අවස්ථාවේ සුනිලුන් 1953 ඔක්තෝම්බර් 13 වෙනිදා ‘ලංකාදීප’ පත්‍රයේ ’ලියුම් කියුම්’ තීරයෙන් මේ ඉල්ලීම කිරීමට ගුණ ගරුක විය. නිහතමානී විය.

අමරදේව ආධාර මුදල්

ජාතික සංගීතයක් හැඩ ගසා ගැනීමට නම් අප විසින් තනි වශයෙන්ද කළ යුතු ප්‍රධානම කටයුත්ත ඇල්බට් පෙරේරා (අමරදේව) වැනි කලාකරුවනට දියුණුවීමට මඟ පාදා දීමයි. එසේ වුවහොත්, අපේ ජාතික සංගීතය හැඩ ගැසුණේ මගේ උපකාරය නිසා යයි අප එක එකාට යම් දවසකදී සැනසිල්ලක් ලබන්නට හැකිවෙනවා ඇත.

 

සුනිල් සාන්ත ජාඇල

කාලය ගෙවීගියේය.
1981 පෙවරබාරි 18 වෙනිදා සුනිලුන් හිසමතට හෙණයක් පතිත වන්නාසේ නපුරු ආරංචියක් ලැබී සුනිලුන් කම්පාවට පත්විය. ඔහුගේ බාල පුතු ජගත් ශාන්ත තෙවිසි හැවිරිදි වියේ හදිසි අනතුරකින් මියයාමය ඒ. වානේ සංස්ථාවේ ඉංජින්රුවකු වූ ජගත්ගේ මරණයෙන් අසීමිත ලෙස කම්පනයට පත් වූ සුනිලුන් පුතු වියෝ වී මාස දෙකින් 1981 අප්‍රේල් මස 11 වැනිදා මෙලොවින් සමුගත්තේය.

සුනිලුන්ට වසර 29 ක් දිරිය දුන් බිරිය ජයසේකර සෙනෙවිරත්න මුදියන්සේලාගේ මේරි ජොසපින් ලීලාවතී 2010 අප්‍රේල් 28 වෙනිදා සිය සැමියා අවසන් ගමන් ගිය ජා-ඇල දෙහියාගත කතෝලික සුසාන භූමියේ මිහිදන් කරන ලදී.

අද මා රාජගිරිය හරහා නාවලට යන විට නිතැතින්ම ‘සුනිල් - ලීලා’ විසූ නිවෙස දෙස බලමි. එම නිවසේ පෝටිකෝව යට නවතා ඇති සුනිල් සතු එකම වස්තුව වූ පැරණි බක්ෆියට රථය දකින විට මට සියුම් වේදනාවක් දැනෙයි.