IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ප්‍රවීණයන්ගේ අදහස් විමසීම අවස්ථාව අනුව සුදුසු ක්‍රිියාවක්

ශ්‍රී ලංකාව යළිත් වසර 30ක යුද්ධයකට නොයන පරිදි ජිහාඞ් ත්‍රස්තවාදයේ සියලු මුල් උදුරා සම්පූර්ණයෙන් විනාශ කර දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 වැනිදා කළ විශේෂ ප්‍රකාශයේ සඳහන් විය. එසේම එදිනම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාද හිටපු ආරක්ෂක ප්‍රධානීන් හමුවී ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් යෝජනා ඉදිරිපත් කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඉස්ලාමීය අන්තවාදය පරාජයට පත් කිරීමටත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් එවැනි යෝජනා අවශ්‍ය බව විපක්ෂනායකවරයාගේ ඉල්ලීමේ සඳහන් විය. මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ දරුණු ප්‍රහාරයෙන් දින 09කට පසුව පැවැති මාධ්‍ය හමුවේදී අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් ප්‍රකාශ කර තිබුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජය මගින් සිදුකෙරෙන ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමට පත් නොවන බවය.
 
අපේ රට මුහුණ දී සිටින බරපතළ ඛේදවාචකයේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරන අදහස් තුනක් සංක්ෂිප්තව එසේ දැක්විය හැකිය. රට යථා තත්ත්වයට ගෙන ඒමට දැරිය යුතු ආයාසය කෙතරම්ද යන්න එයින් පෙන්නුම් කරයි. මෙවැනි ඛේදජනක අවස්ථාවක සියලුදෙනා එකට එක්වී එකම අරමුණක පිහිටා කටයුතු කිරීම අවශ්‍ය වෙයි. එහිදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා යහපත් ආදර්ශයක් පෙන්වා දී තිබේ. දේශපාලන වාදභේද පසෙකට දමා මේ අවස්ථාවේදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන්ට ලබාදිය හැකි දායකත්වය උපරිමව ලබාදීමට ඒ මහතා කටයුතු කරමින් සිටින බව පෙනී යයි. විශේෂයෙන්ම ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් වෙළීගොස් තිබූ තිස් වසරක යුද්ධයක් නිම කිරීමට යුද පිටියේ සිට දායකත්වය ලබාදුන් හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පතිවරුන් ඇතුළු හිටපු ආරක්ෂක ප්‍රධානීන් සම්බන්ධ කර ගැනීම විපක්ෂනායක වශයෙන් ඔහු තමන්ට පැවැරී ඇති වගකීම ඉටු කිරීමක් වශයෙන් සැලකිය හැකිය.
 
බරපතළ ත්‍රස්ත ප්‍රහාරයක කම්පනයෙන් යුත් රටක ඉදිරි ආරක්ෂාව තර කිරීමේදී ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ පළපුරුද්ද ඇති නිලධාරීන්ගේ දැනුම සහ අවබෝධය ඉතාම ප්‍රයෝජනවත් වෙයි. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම නිලධාරීන් විසින් සකස් කෙරෙන යෝජනාවලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් ලබාදීමට කටයුතු කරන බවය. සිදුවිය යුත්තේද එය බව සඳහන් කිරීමට අපි නොපැකිළෙමු. පටු දේශපාලන වාද භේද පසෙක දමා සියලුදෙනා එක්වී තමන්ගේ දායකත්වය ලබාදිය යුතු මොහොතේ එය ලබාදීම ලොකුම යුතුකමය. හිටපු දක්ෂ නිලධාරීන් ලවා සකස් කරවා ගන්නා වාර්තාවක් දේශපාලන වාසියකට යොදා නොගෙන රටේ පාලක පක්ෂයට ලබාදීමට විපක්ෂනායකවරයා කටයුතු කරන ආකාරය අප අගයන්නේ එබැවිනි.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සිය ප්‍රකාශයෙන් පැහැදිලි කර තිබුණේ මේ වනවිට ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට පසුබිම නිර්මාණයවී තිබෙන බවත් ත්‍රස්තවාදී සැකකරුවන් විශාල පිරිසක් මේ වනවිට ද අල්ලාගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත්ය. මෙය රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී සියලු ජනතාවට සතුට දැනෙන ප්‍රකාශයක් බව නිසැකය. සිය ගණනකගේ ජීවිත අහිමි කළ සහ බරපතළ තුවාල කරුවන් බවට පත් කළ රුදුරු ත්‍රස්ත ප්‍රහාරයකින් දින 08ක් ගතවෙද්දී මේ තරමට හෝ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවීම යහපත් ඉදිරි පියවරක් සේ අපි දකිමු. අවශ්‍ය වන්නේ මේ ආරක්ෂිත තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කිරීමත් අතරමගදී එය අඩාළ වීමට කිසිදු ඉඩක් නොතැබීමත්ය. තීන්දු තීරණ ඉක්මනින් ගැනීමටත් සුදුසු නිලධාරීන්ට වගකීම් සහ බලතල පැවැරීමත් අත්‍යවශ්‍ය කොන්දේසියකි. වගකීම් සහ බලතල නැත්නම් නිලධාරීන්ට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වන්නේ නැත.
 
මේ සමඟ පැවැසිය යුත්තේ මේ රට තුළ කිසිදු ආකාරයක ත්‍රස්ත ක්‍රියාවක් මින් මතු සිදු නොවන තැනට වගබලා ගැනීම පවතින රජයේ වගකීම බවය. දරුණු ප්‍රහාරයක් සිදුවීමෙන් පසුව එය වළක්වා ගත නොහැකි වූයේ පවතින නීතියේ පවතින අඩුපාඩුකම් වැනි හේතු දැක්වීමෙන් පළක් වන්නේ නැත. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන්නේ නීති සම්පාදනයට මිස කෑකෝ ගසමින් එකිනෙකාට පරිභව කර ගැනීම සඳහා නොවේ. එසේම රජයට අවශ්‍ය ඇතැම් අණපනත් ඇසිපිය ගහන වේගයෙන් සම්මත කරගත් ආකාරය අපි ඕනෑතරම් දැක ඇත්තෙමු. තමන්ගේ පාලනය ගෙනයාමට වාසියක් වෙන එවැනි නීති සැකසීම පමණක් ප්‍රමාණවත් නොවන බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මගින් පෙන්වා දී තිබේ. නීති සැකසිය යුත්තේ දේශපාලන අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා නොව රටේ ආරක්ෂාව සහ දියුණුවද සැලකිල්ලට ගනිමින් බව යළි යළි පෙන්වා දීමට සිදුවීම කනගාටුවක් බවද සඳහන් කළ යුතුය.
 
අගරදගුරුතුමන් සිය මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්වා දී තිබුණේ මින් ඉදිරියට මෙවැනි ව්‍යසනයක් සිදුකිරීමට කිසිවකුටත් ඉඩ නොලැබිය යුතු බවත් ත්‍රස්තවාදයට එරෙහිව මීට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් තිබීම අවශ්‍ය බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක අවශ්‍යතාවද අගරදගුරුතුමන් විසින් පෙන්වාදී තිබිණි. මේ කරුණු සම්බන්ධයෙන් රජයේ ප්‍රබල අවධානය යොමුවීම අවශ්‍ය බව අපගේද අදහසය. එහිදී ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට පමණක් නොව විපක්ෂ නායකවරයාට ද මේ වගකීම් පැවරෙන බව අපි තරයේ විශ්වාස කරමු.



අදහස් (1)

ප්‍රවීණයන්ගේ අදහස් විමසීම අවස්ථාව අනුව සුදුසු ක්‍රිියාවක්

Rupawathie Saturday, 11 May 2019 10:12 AM

ඔබට වැඳලා කියන්නම්... කටවහගෙන ඉන්නවද? අපිට ඔබලාගේ නමවත් පත්තරේ ලියවිලා තියනකොට අැගේ ලේ පැහෙනවා වගේ දැනෙනවා ... ජනාධිපතියයි, ඔබයි පුළුවන් තරම් ඉක්මනින් යන්න කියලා උදේ, හවහ ජීවන් කරනවා ඔබලා 225ම ඇතුළත්ව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site