1997,1999 පළාත් සභා පළාත් පාලන ඡන්දවලදී සියයට 5ක ඡන්ද ප‍්‍රතිශතයක් රැකගනිමින් පැමිණ 2005 දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට ගෙනඒමේ ප‍්‍රධාන බලවේගය වීමේදී ජනතා විමුක්ති පෙරමුණ ගැන පොදු ජනතාවට තිබුණේ නොඅඩු අවධානයකි. එහෙත් මෙවර පළාත් සභා මැතිවරණ ප‍්‍රතිපල සමග ඒ අවධානය අවදානමක් බවට හැරී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ ඒ වෙනස හා අනාගත ගමන ගැනයි.

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ

ගෙවුණු පළාත් සභා මැතිවරණය ආණ්ඩුවටම පාරාවළල්ලක් කර එයින් ජන සටනට නව ජවයක් ගන්නා බව කී ජ.වි.පෙට ඇත්තටම අත් වූ ඉරණම දරුණු පරාජයක්. ඇයි එහෙම වුණේ? ආණ්ඩුව නියමිත කාලෙට කලින් පළාත් සභා ඡන්දෙ ගෙනාපු එක ගැන මුළු මැතිවරණ ව්‍යාපාරේ පුරාවටම සාධාරණ උත්තරයක් දුන්නේ නෑ. ආපහු අපට දෙන්න කියනවා හැරෙන්න පළාත් සභා ක‍්‍රමය වෙනස් කරන්නද මොකටද ඇයි කියලා කිවුවේ නෑ. පාර්ලිමේන්තුවට පළාත් සභාවට නගර සභාවට පිටින් දැවැන්ත ආණ්ඩු විරෝධයක් මතුවෙමින් ආවා. ඒක ලබන අවුරුද්ද වෙනකොට ජනාධිපතිට අහිතකරයි. ඒකයි මේ ඡුන්දෙ ගේන්න ඇත්තම හේතුව. ඉස්සෙල්ලම ඒක කියන්න  ඕන. ඊළගට පැහැදිලිවම අපේ පසුබැස්මක් තිබෙනවා. හැබැයි ඒක නිකන් ආවේ නෑ. පසුබැස්මක් තියෙන්න අපේ මොන දේද වැරැදි? අපි පිරිසිදු දේශපාලනයක් ගෙනියන නිසාද මේ පරාද කරල තියෙන්නේ? නෑ. ඒකට කාරණා ගොඩක් තියෙනවා. මේ වනවිට මේ රටේ ජනතාවගේ මනස අත්අඩංගුවට අරන් තියෙන්නේ. රාජ්‍ය මාධ්‍යවලින් වගේම රජයට පක්ෂපාත සියලූම මාධ්‍ය ඒ මනස්වලට අලූත් දෙයක් ඇතුල්වෙන්න පැය විසි හතරෙන් එක තත්පර පහක අවකාශයක් තියල නෑ. ආණ්ඩුවේ දේ එහෙම ප‍්‍රචාරය කරන අතරේ 71 ක් 89 ක් ගැන කියමින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සාහසික අවලාද නගනවා. එහෙම අවලාද එක්සත් ජාතික පක්ෂෙට නෑ. ලෝකෙම පිළිගත් මාධ්‍ය සදාචාරෙ තමයි බොරු කිව්වත් අදාළ පාර්ශ්වය ඒක වැරදියි ඒකට උත්තර දෙන්න ඉඩදෙන්න කියලා කිව්වම අඩුගානේ ඒකට ඉඩදෙන එක. මේ කිසි ප‍්‍රශ්නයක් නැතුව 2004 එකට සන්ධාන හදල ආණ්ඩු හදල හිටපු මිනිස්සු. එකපාරටම අපි මිනීමරුවො ත‍්‍රස්තවාදියො ද්‍රෝහියො වෙලා. වෙන එකක් තියා අපේ පක්ෂෙ කවදාවත් නොකරපු දෙයක් වෙච්ච එල්.ටී.ටී.ඊ එකට උදව් දුන්න කියලත් කියනවනේ. අපි ජනතාවට කරුණු කියලා ඡන්දෙ ලබාගන්නවා. අනෙක් අය ගිනි පෙට්ටියේ ඉඳන් බෞද්ධයාගේ මුදුන් මල්කඩ වෙච්ච සර්වඥ ධාතූන් වහන්සේලා පවා විකුණලා ඡන්ද උදුරාගන්නවා. ධාතු වඳින්න පෝලිමේ එන මිනිස්සුන්ට මනාප කාඞ් බෙදන මේවා ඡන්ද ද? අනෙක් කාරණේ මොනවද ජනාධිපතිවරයා ජනතාවට දුන්න අලූත් ජයග‍්‍රහණ? ජනාධිපතිවරයා තාම ඉන්නේ දෙදාස් නවයේ. ජාතික සමගිය, ජාතික සංහිඳියාව, ජාතික සංවර්ධනය ගේන්න මොනවද කළේ ? ජනතා විමුක්ති පෙරමුණට කටඋත්තර නැතිවෙන්න අලූතින් කරපු දේවල් කියන්න තිබුණනේ. හැබැයි අපිට නම් ආණ්ඩුව ගැන විවේචන පිරිලා කියල නිමකරන්න බැරි තරම්. ගිනි පෙට්ටිය පවා අල්ලසට දෙද්දි මේ රටේ ජනතාවත් කල්පනා කරන්න  ඕන මේ බාල්දු කරන්නේ තමන්ව නේද තමන්ගෙ ඡන්දෙ නේද කියලා.   ජ.වි.පෙ ජනතාවට කරුණු කියද්දි ආණ්ඩුව ගිනි පෙට්ටි බෙදුවා නම් ජනාධිපතිවරයා තවමත් සිටින්නේ 2009යේ යැයිද ඔබ කියනවා නම් ඒ ගිනි පෙට්ටි අරගෙන ඡන්දෙ දීපු මිනිස්සුත් සිටින්නේ 2009 යේ යැයි කියා තර්කයක් ගොඩනැගෙනවා? නෑ. නෑ. එහෙම නෑ. එහෙම නැත්තේ මේකට යටනොවුණු පිරිසක් ඉන්නවා. මේක අපි තේරුම්ගන්න  ඕන. ජනතාවට තවත් පියවරක් ඉස්සරහට තියන්න ආණ්ඩුව ඉඩතියලා නෑ. ඒ පාඩුවයි මේ තියෙන්නේ. ජනතාව ඒත් එතැනින් එළියට ඇවිත් නෑ කියල කියන්න බැරි තවම එළියේ විශාල උද්ඝෝෂණයක් තියෙනවනේ. මේ රටේ බුද්ධිමතුන් හදන බුද්ධිමතුන් පාරේ. ඇමැතිවරු උසාවියට ගල් ගහලා නීතිඥවරු පාරේ. ගොවි ජනතාව විරෝදේ. ඒවා ඉවර නෑ. අපි කරන විවේචනයයි මේ රටේ ජනතාව කරන විවේචනයයි නතර වෙලා නෑ. මේ ඡන්ද නිරූපණය කරන්නේ මහ පොළොවේ තිබෙන සැබෑ තත්ත්වය නෙවෙයි. එකවරම තේරුම්ගන්න බැරි පරස්පරය මේක තමයි. මේක මෙහෙයුමක්. මේ මෙහෙයුම කරන්න පුළුවන් පළාත් සභා තුනක වගේ පොඩි කෑල්ලක් අල්ලගෙන තමයි. මේ මෙහෙයුමට මහජන දේපළ, මහජන සේවකයෝ මහජන සේවකයෝ උපරිම අන්දමින් පාවිච්චි කරනවා. මෙතෙක් ඉතිහාසේ ජනාධිපතිවරයෙක් මහන්සි නොවුණු ආකාරයෙන් ජනාධිපතිවරයා මහන්සි වුණානේ. ඒ මොකෝ? වැඬේ ටිකක් අමාරුයි. මිනිස්සුන්ට කල්පනා කරන්න ඉඩ නොදී පුංචි වෙලාවක ලොකු මෙහෙයුමක් කරනවා.   ගොවි කම්කරු ජනතාව මේ ඡන්දෙන් පාට පක්ෂවලට කඩන්න ඉඩනොදෙන බව ජ.වි.පෙ කිව්වත් ඡන්ද ප‍්‍රතිපල කියන්නෙ ඊට වෙනස් කතාවක් නේද? ඇත්ත. ගොවි අරගලවලදි දහස් ගණන් පෙළගැහිච්ච මිනිස්සුත් ඒ අයට ඡන්දෙ දීලනේ. එතකොට මහ පොළොවේ තියෙන එකෙයි මේකෙයි මොකද්ද පරස්පරයක් තිබෙනවා නේද? ඒ පරස්පරය වෙනස් කරන එක අමාරු නෑ. 1993 දකුණු පළාත් සභා ඡන්දේ ඒකට හොඳ උදාහරණයක්. මම කෙරෙහි විශ්වාසය තියන්න කියලනේ ජනාධිපතිවරයා මේ ඡන්දෙදි කිව්වේ.  ජනතාව තවම තියල තියෙන්නේ බොහෝම ළපටි පුංචි තැනක. පොඞ්ඩක් කල්පනා කරල බලන්නකෝ ඡන්ද අපේක්ෂකයෙක් ගිනි පෙට්ටියක් දෙනවාය කියන කාරණය. ගිනි පෙට්ටියක් දීල මේ ඡන්දදායකයගෙන් මට ඡන්දෙ ගන්න පුළුවන්ය කියන එකනේ. ඡන්දය මොනතරම් බාල්දු කරලද? ඡන්දදායකයා ගැනත් අපට විවේචනයක් තිබෙනවා. ඒක තේරුණේ නැතත් ඒ විවේචනය කළ යුතුයි. රටේ පුරවැසියෝ හැටියට තමන්ගෙ ඡන්දෙ ගැන අභිමානයක් නැද්ද? දිනපු හෝ පරාදය වුණු මොන අපේක්ෂකයද නැවත ගමට ගියේ? හැබැයි අපි හෙට අනිද්දම නැවත ඡන්දදායකයා හම්බවෙන්න යනවා. මේ මෙහෙයුමෙන් අසරණ වූ ඡන්දදායකයා ගොඩගන්න  ඕන.

 

තමන්ගේ ඡන්දය ගැන අභිමානයක් මේ රටේ පුරවැසියාට නැද්ද?

මා කෙරෙහි විශ්වාසය තියන්න කියලා ජනාධිපතිවරයා කීවා යැයි ඔබ කියනවා. ඉතින් කැබිනට් මණ්ඩලයෙත් ප‍්‍රශ්න රාශියක් තිබෙන වෙලාවක මිනිස්සු නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානෙටම ඡන්දේ දුන්නේ යම් වශීකරණාත්මක නායකත්වයක් ජනාධිපතිවරයාට තිබෙන නිසානේද? නෑ.නෑ. එතැනට වැටිලා. එක තැනයි තිබෙන්නේ දැන්. ඒකත් කොයිතරම් දුරට ඡන්දදායකයා අතර බලපෑවද නැද්ද කියලා මට කියන්න බෑ. එය ඇවිල්ල තියෙන අන්තිම තැනනේ. ජනාධිපතිවරයා මගේ පක්ෂය සහ මම හෝ මගේ ඇමැතිවරු සහ මම කියලා කියන්නේ නෑනේ. වන් මෑන් ෂෝ යන්න මේ හදන්නේ. වන් මෑන් ෂෝ තිබුණනේ අතීතෙත්. ඉක්මන් අවසානය ඒක තමයි. මොකද සාමූහික වගකීමක් නැතිව එක්කෙනෙකුට වගකීම පවරාගත්තා යැයි කියලා හරියන්නේ නෑනේ.   ඔබ වන් මෑන් ෂෝ එකක් කියලා කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි.  ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග‍්‍රසය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, සමසමාජ පක්ෂය වැනි බහුවිධ පක්ෂයන්ගෙන් සැදුම්ලත් සන්ධානයකට වන් මෑන් ෂෝ එකක් යැයි කීම කෙතරම් තාර්කික ද? ඔබ ඔය කියන එක්සත් ජනතා නිදහස් සන්ධානය නැගෙනහිරට ගිහිල්ලා කළේ මොකද්ද කියන්නකෝ. මුස්ලිම් කොංග‍්‍රසය මොකද්ද කළේ? ජාතික නිදහස් පෙරමුණ මොකද්ද කළේ? එක්සත් කියන්නේ  ඕකටද? එක්සත් නම් එක වැඩපිළිවෙලක් තියෙන්න එපායැ. ඔය මොකටද ඉල්ලන්නේ? බලය ඒකරාශි කරගන්න. මොකද බලය පස්සෙන් ධනය. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ ආණ්ඩුව සංවර්ධනය කළේ බලකාමය, වස්තුකාමය හා රතිකාමයයි.   නැගෙනහිරදි ජාතිවාදය ජයගත් බව දැන් ජ.වි.පෙ කියනවා. එහෙත් ආණ්ඩුවට එරෙහිව යම් විකල්පයක් හැදුණෙත් නැගෙනහිර පළාත්සභාවෙදිම නේද? සැප්තැම්බර් 8 වැනිදා ජාතික ශෝක දිනයක් හැටියට නම්කරන්න තරම් නරක දෙයක් වුණේ. මේ ප‍්‍රතිපලෙන් ආණ්ඩුවෙන් ලක්ෂෙකට වඩා ඡන්ද දෙමළ බෙදුම්වාදෙට ගියා. ඒ ඡන්ද කොහේද තිබුණේ? යුද්ධෙ හමාර වුණාට පස්සේ අවුරුදු තුනේ කරපු කෙරුවාවේ ප‍්‍රතිපල තමයි මේ. බෙදුම්වාදය පරාජය කරලා මේ රට විශාල ජයක් ලැබුවා. ජනාධිපතිවරයා ඒක සාක්කුවේ දාගන්න හැදුවට ඔහුගේ සාක්කුව පුංචියි. මොකද ඒ ජය එතරම්ම විශාලයි. සියලූ දෙනාටම බෙදන එක තමයි හොඳ. මේ ඡන්දෙන් ඒ ජය තීරණාත්මකව ඉවර කළා. දෙමළ ඩයස්පෝරාවට මේකෙන් සතුටුවෙන්න පුළුවන්. රටින් පිට රාජ්‍ය හදාගන්න පුළුවන්. ජේ.වී.පී එක පරාදයි පරාදයි කිව්වට දැන් රට පැරදිලා තියෙන්නේ. මේ ඡන්දෙන් දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතිවාදයේ දේශපාලන අංශය, අධිරාජ්‍යවාදය දිනුම්. ජනාධිපතිවරයා මේ ඡන්දෙන් සම්පූර්ණයෙන්ම අසමත්.  ජාතික සමගිය ජාතික සංහිඳියාව ගේන්න ඔහුට බැරිවුණා.

 

ගිනිපෙට්ටි අල්ලසටත් ඡන්දෙ දෙන රටක්

වමේ පක්ෂයක් යැයි කීවත් ජවි.පෙ වටා රොද බැඳගත්තෙත් දකුණේ සිංහල බෞද්ධ තරුණ පිරිසයි. උතුරු නැගෙනහිර දෙමළ තරුණයන්ගේ හද මනස ආකර්ශනය කරගන්නට ජ.වි.පෙට බැරිවුණා නේද? ජනතා විමුක්ති පෙරමුණ කිසියම් දුරකට ගියත් තවමත් වැඩි පිරිසක් ඉන්නේ ජ.වි.පෙ සමග නෙවෙයිනේ. සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි තුනම ජාතික භාෂා කරන්න  ඕන යැයි පළමු වරට කී පක්ෂය අපියි. 2001 දි හෝ 2002 දි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒක පිළිගත්තා. හැබැයි තවමත් ඒක ව්‍යවස්ථාවට ඇතුල්වෙලා නෑ. සිංහල රාජ්‍ය භාෂාවය දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක්ය කියලයි තවම තියෙන්නේ. මේ වාක්‍ය නිකන් නෙවෙයි තියෙන්නේ. ජාතිවාදය නෑය කියන සුපිරිම ධනපති නායකයින්ගේ ඇතුලෙ තියෙන්නෙත් ජාතිවාදය. අපේ හක්කෙවත් බොක්කෙවත් කොහේවත් දඩමස් නෑ. අනෙක් අයගේ තියෙනවා. ඒ දඩමස් තමයි නැගෙනහිර වැනසුවේ. ඔබ දිනාගන්න බැරිවුණා යැයි කියනවා. ඇත්ත. මොකද ජාතිවාදය ස්ථාපිත කරලා. සියලූ දෙනාට තමන්ගෙ භාෂාවෙන් වැඩකරන්න අවස්ථාව දෙනවා යැයි 1982 දි රෝහණ විජේවීර සහෝදරයා යාපනේදි කියද්දි ගල් ගහන මිනිස්සු හිටියේ ඒකයි. දකුණේ ජාතිවාදය පසාරුකළේ මොනතරම් අමාරුවකින්ද? ඒ අතරෙත් සිහළ උරුමයයි අර උරුමයයි ඔක්කොම ජාතිවාදය අවුස්සනවනේ. ප‍්‍රභාකරන් දළදා මාලිගාවට ගහලා ජාතිවාදය අවුලද්දී නැවත 83ක් එනතැනට වෙන කටයුතු වැලැක්වූයේ අපි නෙවෙයිද? බෙදුම්වාදයට එරෙහිව ජේ.ආර් ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අධිරාජ්‍යගැති පාලනයට එරෙහිව ඉන්දියාවට එරෙහිව හරියට අපි සටන්පාඨ තුන තේරුවා. දැන් අපි උතුරට යද්දි අපව බදාගන්න දෙමළ හා මුස්ලිම් ජනතාව ඉන්නවා. ඒ අය අපට වරදක් කිවුවේ නෑ.   ජ.වි.පෙ සටන් පාඨ නිවැරැදිව තේරූ බව ඔබ කිවුවා. එහෙත් වාම ධාරාවම නියෝජනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් විවේචනය කරන්නේ ඔබලා ජාතිකවාදී සටන් පාඨ නිවැරැදිවම තේරූ බවයි. එමගින් සහමුළින්ම ත‍්‍රස්තවාදයකට ගොනුකොට දෙමළ පීඩිත ජනයා කළ අරගලය පොඩිපට්ටම් කළ බවයි. ජාතිවාදයට ටොන් ගණනින් මතවාදීමය සහාය දුන් බවයි ? අපි ජාතිකවාදී නෙවෙයි. ජාතිවාද විරෝධ. ඒක තමයි හරිම වචනය. ඔය ජාතිකවාදය ගැන කියන අයම තමයි නේෂන් බිල්ඩින් ගැන කතාකරන්නේ. අපි කැමැති හරි අකැමැති හරි ලාංකීය ජාතිය හැදිලා ඉවරයි. සුද්දෝ ඒක කරල ඉවරයි. උතුරේ තිබුණේ පැහැදිලිවම පංතිය බෙදන්න ගෙනාපු අරගලයක්. පංති සටනට ඔලූව උස්සන්න බැරිව තිබුණු කාලයක් ඒක. හමුදාව ජීවිත දෙන වෙලාවෙ ජනතාව පටි තදකරගෙන සිටි වෙලාවේ ඇමැතිවරු මහජන මුදල් කොල්ලකනකොට අපි වැඩවර්ජනයක් දියත් කළා. අපි වැඩ වර්ජනයක් දියත් කළේ එහි වරප‍්‍රසාදය හමුදා භටයටත් ලැබිය යුතුයි කියලයි. ඒත් කොහොමද ඒක අර්ථවිග‍්‍රහ කළේ? ඔන්න එල්.ටී.ටී.ඊ එකට සහයෝගය පිණිස ජේ.වී.පී එක වැඩවර්ජනයක් කළා කියලයි. ඔන්න තත්ත්වේ. භාවිතාවෙදි අපෙන් මානසිකව හෝ ශාරීරිකව කිසිදු ජන කොටසකට අයිති කෙනෙකුට හානියක් වුණාද කියලයි බලන්න  ඕන. නැහැනේ. ඔය විවේචනය අපට කොහෙත්ම වලංගු නෑ.

 

මේ යන්න හදන්නේ ”වන් මෑන් ෂෝ” එකක්

ජ.වි.පෙට පාර්ලිමේන්තුවාදීන් යැයි කියනකොට රෝහණ විජේවීර කිව්වේ චිලීයේ අයියන්ඬේට බැරි වූ දේ අපි ලංකාවේ කරනවා කියලයි. හැබැයි ප‍්‍රධාන පක්ෂ දෙක හැරුණම වෙනත් කිසිදු පක්ෂයකට තනි පක්ෂයක් හැටියට බලය ගන්න බැරි තත්ත්වයක් තුළ හිතෙන්නේ නැද්ද ඒකාබද්ධ විපක්ෂයක් ගැන නැගෙන අදහස් ප‍්‍රායෝගිකයි කියලා? ඔය කියන කතාවම පරාජිත හා නොකිවයුතුම කතාවක්. මේ දුර්වල පාලනයට තිබෙන ශක්තිය  ඕකම තමයි. මේ ඡන්දවලදි කරන දේවලින් මේක දුර්වලයි කියලා දැන් පේන්න  ඕනනේ. මේක දුර්වල නෑ කියලා කියන්න පුළුවන් කාටද? දිනන්න කලින් ඇත්ත දකින්න එපායැ. රටේ ජනතාවටත් ගොඩක් පහළින්නේ මේ පක්ෂය අද ඉන්නේ. මොකක්හරි අච්චාරුවක් හදලා ජනතාව තව වලක දාන්නනේ මේ හදන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානේ එනකොට තිබුණු ප‍්‍රතිපත්තිද දැන් තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂෙ පොකුරක්මනේ අද ඒකෙ ඉන්නේ. කිසි වෙනසක් නැතිව මේ යන්නේ යළි පුබුදමු ශ‍්‍රී ලංකාම තමයි. එක්සත් ජාතික පක්ෂය කොහොමද ඒකට වෙනස් එකක් ඉදිරිපත් කරන්නේ? ඔබ කිව්වට ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරුද්ධ පක්ෂ හැදෙන්නේ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි. විකල්ප ප‍්‍රතිපත්ති විකල්ප ක‍්‍රමයක්  ඕන.   ප‍්‍රධාන පක්ෂ දෙක පිළිබඳව කලකිරී තුන්වැනි බලවේගයක් හැටියට ජ.වි.පෙ දුටු පිරිසක් පසුගිය කාලයේ සිටියා. එහෙත් අද වනවිට ඒ පිරිසත් කලකිරී සිටින බවකුයි පෙනෙන්නේ. එවැනි තත්ත්වයක ඔබ කී පරිදි  ඊජිප්තුවෙන්, ලිබියාවෙන් පාඩම් ඉගෙන ගෙන පාර්ලිමේන්තුවෙන් පිටත කරන සටනකදි යම් හෙයකින් සන්නද්ධවීමේ අවශ්‍යතාවයකුත් මතුවුවහොත් ජ.වි.පෙ කුමක්ද කරන්නේ? අපි කියන විකල්ප විරුද්ධ බලවේගය ශක්තිමත් නම් එහි ඉල්ලීම වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. පවතින පාලනයට මුහුණ දෙන්න වෙන්නේ එයටයි. ඊට යටත්වෙන්න සිදුවෙනවා. ඒ සීමාවේ අරගලය තබාගතයුතුයි. විප්ලවය ගල්ගැහිච්ච න්‍යායවල් කරගත යුතු නෑ. වෙනත් රටවල ජනතාව ගිය ගමන මේ රටේදි ඊට වඩා දුරකට යන්න පුළුවන්. මොකද ඊට නායකත්වය දියහැකි පක්ෂයක් සිටීමේ වාසිය තිබෙන නිසා. කාටහරි ප‍්‍රශ්නයක් ආවම ලිවුම ලියන්නේ කාටද? ජනතා විමුක්ති පෙරමුණට. අපට ආණ්ඩුවක් නෑ කියලා දන්නවානේ. ඒත් ඒ අය දන්නවා අපි මොකක් හරි කරයි කියලා. ජනතාව වෙලාවට තිතට මාත‍්‍රා ගානට හැරෙයි. ඒ වගේම අපි ජනතාව තිතට හරියට හරවනවා.
සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ