
මේ රටේ නිල රථ සම්බන්ධ අපූරු කතාවක් පසුගිය දිනෙක වාර්තා වූයේය. බුද්ධි අංශ මගින් මේ සම්බන්ධයෙන් රජයට ලබාදුන් වාර්තාවක සඳහන් වී ඇත්තේ නිල රථ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් එකී නිල රථ භාර නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇති බවය. මේ නිල රථ විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, රජයේ විවිධ ආයතන ප්‍රධානීන්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා නිකුත් කර තිබෙන ඒවා බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් බව ද පැවසේ.

සාමාන්‍යයෙන් මේ රටේ දේශපාලනඥයන්ට වැළදෙන රෝගයක් වශයෙන් පොදුවේ හැඳින්වෙන රථ ගාය. මේ වනවිට විවිධ තරාතිරම්වල නිලධාරීන්ගේ පවුල් අතරේ ද පැතිර ගොස් තිබෙන බව මෙයින් පැහැදිලි වෙයි.
මේ ආකාරයට සිදුවන නිල රථ අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් සොයාගනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවේ. දශක කිහිපයක් තිස්සේ මේ සම්බන්ධ පැමිණිලි ලැබෙමින් තිබිණි.
එහෙත් යුද්ධය පැවති කාලසීමාවේ දී ඒ පිළිබඳ රටේ අවධානය යොමු වූයේ කලාතුරකිනි. විශේෂයෙන් යුද්ධය සමඟ ඇතිවූ ආරක්ෂාව පිළිබඳ ගැටලුවේ දී ආරක්ෂක අංශවල නිලධාරීන් තම නිල රථ පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම ගැටලුවක් වශයෙන් සැලකිල්ලට නොගත්තේය. එහෙත් යුද්ධය නිමවී වසර 14 කට ආසන්න කාලයක් ගතවෙමින් තිබියදීත් එවැනි තත්ත්වයක් පැවතීමට හැකියාවක් නැත. ඒ හරහා සිදුවන විශාල මුදල් නාස්තිය පිළිබඳ නොසලකා සිටීමට ද නුපුළුවන.
මෙසේ නිල රථ හරහා විශාල මුදල් නාස්තියක් සිදුවන්නේ ඒවාට රජය මගින් ලබාදෙන ඉන්ධන සහ ඇතැම්විට රියැදුරන් ද රජය මගින්ම ලබා දීම නිසාදැයි කල්පනා කළ යුතුය. විශේෂයෙන් සමහර ප්‍රධානීන්ගේ බිරින්දෑවරුන්ගේ ෂොපිං නැත්නම් සාප්පු සවාරි ඇතුළු ගමන් බිමන් සඳහා ද ඔවුන්ගේ දූ දරුවන් පාසල් ගෙන යාම සහ ආපසු රැගෙන ඒම සඳහා ද මේ නිල රථ යොදා ගැනේ. ඒ බව සොයා ගැනීමට නම් බුද්ධි අංශ වාර්තා කැඳවීමක් අවශ්‍ය නැත.
කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ප්‍රධාන පාසල් අසල උදෑසන සහ පාසල් නිමවෙන කාලසීමාවේ දී රැඳී සිටියොත් ඊට සාක්ෂි ලබාගත හැකිය. රජයේ ආයතනවලට අයත් විවිධ වාහන ද ආරක්ෂක අංශවලට අයත් වාහන ද විශාල සංඛ්‍යාවක් දරුවන්ගේ පාසල් ගමන් බිමන් සඳහා යොදාගන්නා ආකාරය එහිදී පැහැදිලිව දැකගත හැකිය. බරපතළ ආර්ථික අර්බුදයක වෙළී සිටින රටකට මෙවැනි වියදම් පවා දරාගත නොහැකි බව කිව යුතුද? එහෙත් ඒ බව දැන දැන එම ක්‍රියාව නැවැත්වීමට කිසිදු පියවරක් නොගැනීම ද මහත් අවාසනාවකි.
අපගේ කතාබහට ලක්වන මේ දෙදහසකට ආසන්න නිල රථ බොහොමයක් අඩු වියදමකින් නඩත්තු කළ හැකි වාහන ද නොවේ. ඒවාට වැය වන ඉන්ධන ප්‍රමාණය ද අධිකය. එසේම මේ සියලු වාහන වායු සමනය කර තිබේ. ලොකු ලොක්කන්ගේ බිරින්දෑවරුන් මේ රථවලින් ගමන් කර ෂොපිං යන අවස්ථාවල දී ඒවායේ රියැදුරන් කිසි විටෙකත් වායුසමන යන්ත්‍ර ක්‍රියා විරහිත කරන්නේ නැත. නෝනාවරුන් ආපහු පැමිණෙන තෙක් වාහනයේ එන්ජිම ද ක්‍රියාත්මකය. රියැදුරු සිටින්නේ ද වායු සමනය සමඟිනි. මේ බව දැක ඇති විශාල ජනකායක් අප රට තුළ සිටින බව නිසැකය.
මේ රට ආර්ථික අර්බුදය හේතුවෙන් පොදු මහජනතාව විශාල පීඩනයකින් ජීවත් වන රටකි. එක් අතකින් රජය ජනතාව පිට අධික බදු පටවා තිබේ. සියලු සේවා ගාස්තු ද වැඩිකර ඇත. පසුගිය කාලය මුළුල්ලේ ගොඩ ගැසුණු දූෂණ, වංචා පිළිබඳ කිසිදු කතාබහක් නැත. රටේ ජාතික ධනය කොල්ලකෑ බවට චෝදනා ලබන දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීහු රට පුරා නිදැල්ලේ සිටිති. එසේ සිටින අතරතුර ඔවුන්ගේ නිවෙස්වල සුරතලයට ඇති කරන බල්ලන්ට බෙහෙත් ගැනීමට යාම සඳහා යොදාගන්නේද රජයේ වියදමින් නඩත්තු වන වායුසමනය කර ඇති මෙවැනි වාහන වීම බරපතළම ඛේදවාචකයකි.
යුද්ධය අවසන් වී දශකයකටත් වඩා කාලය ඉක්ම ගොස් තිබිය දී ආරක්ෂක හමුදාවලට නිකුත් කර තිබෙන නිල රථ අයථා අන්දමින් පරිහරණය කෙරෙන්නේ දැයි සොයා බැලීම අවශ්‍ය යැයි අපි සිතමු. අවශ්‍යම නිලධාරීන්ට එවැනි රථ ලබා දීමට කිසිවකුත් විරුද්ධ වන්නේ නැත. එහෙත් එසේ ලබාදෙන වාහන තම රාජකාරි කටයුතුවලට පමණක් යොදා ගැනීමට නිලධාරීන් වග බලාගත යුතුය. මේ තරම් ජනතාව දුක් විඳිද්දී රජයේ නිල රථ අවභාවිතයට ඉඩ දීම ජාතික අපරාධයකි.
(***)
COMMENTS
මේ රටේ මජර දූෂිත දේශපාලන සංස්කෘතියේ ස්වභාවයම මෙය වෙයි... මෙය අප රටේ වැඩිහිටි පරපුරට දැන් හොඳහැටි අවබෝධ වී ඇත. මේ රට මේ ව්‍යවසනයට හේතුවද? මෙවැනි දූෂිත අමන ක්‍රියා පිළිවෙත් බව පුන පුනා කීමට ඇවැසි නැත. බුද්ධිමත්ව සිතා බලා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළහැකි රටට ආදරේ කරන සියලු ජනයා එක් සිත්ව වැඩකරන සාමූහිකව ගොඩ නැගෙන අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට මේ රටේ අනාගතය බාරදීම දරුවන් වෙනුවෙන් කළහැකි උතුම්ම මෙහෙවර බව සැවොම අධිෂ්ඨාන කරගත යුතුයි...
මේ නිලරථ ගාය බෝවෙලා දැන් අවුරුදු 40කට වැඩියි. කොච්චර උත්සන්න ද කියලා කිව්වොත් දැන් සාමාන්‍ය තත්ත්වයක්... බෝවෙලා තියෙන හැටියට බෙහෙත් දීල තියා ප්‍රතිජීවක ඖෂධ දිලාවත් ගොඩ ගන්නවා බොරු... එකම විසඳුම තමයි ශල්‍ය කර්මයක් කිරීම...
අද වනවිට රාජ්‍ය සේවය යනු රටටම ව්‍යවසනයකි. මේ දක්වා ඇත්තේ එහි එක් පැතිකඩක් පමණි. මෙහි සඳහන් කර ඇති අයුරින් පාසල් අසල දිනකට නවතා ඇති රජයේ වාහන ගණන අපමණයි. විශේෂයෙන් හමුදාවේ වාහන අංක තහඩුවෙන් හා රියදුරන්ගේ නිල ඇඳුමෙන් හඳුනා ගත හැකිය. දරුවන් සඳහා එක් එක් වාහන, ගෙදර බිරිඳට තවත් වාහනයක් හා නිලධාරියාට තවත් වාහනයක් යොදවයි. රියැදුරාගේ අතිකාල ඇතුළුව වියදම හා ඉන්ධන මිල ගණනය කළ නොහැකියි. හමුදා වාහන බොහෝමයක් එම නිලධාරියගේ වන අතර ඔවුන් වාහන කුලී පදනම මත හමුදාවටම ලබාදී එයින් කුලී ආදායමක්, වාහන නඩත්තුව, ඉන්ධන හා රියැදුරන් ලබා ගෙන ගෙදර අවශ්‍යතාවය සඳහා යොදා ගනියි. ඇත්තටම රට කාළකන්නි කරන්නේ රජයේ සේවය යනු ඇත්තකි...
මම මෙය ප්‍රායෝගිකව අත්දැක්කා. වසර 20ක් හමුදාවේ රාජකාරිය තුළ... ලුතිනන් කර්නල් තනතුර ඉහළ නිලධාරින්ට වාහනය දෙනවා. ඒත් එම රථය දුන්නු දවසේ සිට ගෙදර පාවිච්චිය තියෙන්නේ... දරුවෝ පාසල් දන්න බිරිඳට සාප්පු යන්න. ඊට පස්සේ එම නිලධාරියා අදාළ කෑම්ප් එකේ පොදු රාජකාරිවලට අනුයුත්ත කර ඇති වාහනේ තමන්ගේ වගේ පාවිච්චි කරනවා. තවත් හොඳම වැඩේ කියන්නේ මෙම නිලධාරියාට අදාල අධ්‍යක්ෂක පෝස්ට් එකක් දරනවා නම් තවත් වාහනයක් දෙනවා. එතකොට වාහන 2 ක්... එම නිලධාරියා බ්‍රිගේඩියර් තනතුර නම් තවත් වාහනයක් දෙනවා. රටේ ජනතාව මේවා දන්නේ නැහැ.
හමුදා නොවන සිවිල් අංක සහිතව කොපමණ රජයේ වාහන පාසල්වලට ළමුන් දැමීමට පැමිණෙනවාද පිළිබඳවත් හරිහැටි වීමර්ෂණයක් කර බැලීම ඉතා යෝග්‍ය බව කියමි...!
සමහරු හිතාගෙන ඉන්න ආකාරය එකල පැනගිය ජනාධිපති කාරයා ගෙනාවිට තිබූ මානසික තත්වයම මිස වෙනයමක් නොවේ. ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යැයි දෙකක් නැති අතර, ඇත්තේ පැරණි ජනතා විමුක්ති පෙරමුණම වෙනත් නමකින් ඇවිත් ඇති බව මතක තබාගත යුතුයි. එදත් අදත් ඔවුන්ගේ වෙනස් වී ඇති දෙයක් ඇත්තෙන්ම නැති තරම්ය. ඔවුන් පැමිණ රට හදනකම් බලා ඉන්නා අයට කිවයුත්තේ ඒකාධිපති, අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් මගින් තව තවත් දුක් පීඩා විඳ මරණය කරා යන තෙක්ම ඔය කියන වෙනස දැකගත නොහැකි වනු ඇති බවයි. වඩාත් වැදගත් වන්නේ "ගෝඨා' පන්නා ගත් විදිහට මොවුන් පන්නා ගත නොහැකි වනු බවයි...
අපොයි නාස්ති කරන්න පුළුවන් තරම් බදු ගගහ නාස්ති කරන්න. නියමෙට හැදෙයි රට..!
ඇයි ඉහළ නිලධාරීන්ට දෙන වාහන පර්මිට්? ඒවා වහාම නැවැත්විය යුතු දේවල්...!