වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියෙහි සංකල්පීය පදනමක් ඇතැයි මට නොපෙනේ. එම ප්‍රතිපත්තිය කවරක්ද යන්න නිශ්චිතව ඉදිරිපත් කර නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය ඉරිතළා අයාලේ යන ස්වභාවයක් නිරීක්ෂණය වේ. මම එය සනාථ කිරීමට අවස්ථා දෙකක් උදාහරණ ලෙස දක්වමි.
ඉන් එක් අවස්ථාවක් නම්, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ අලුත බ්‍රික්ස් සංවිධානයේ පුළුල් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපතිවරයාගෙන් ලැබුණු ආරාධනය යි. බ්‍රික්ස් වනාහී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන නැගී එන ආර්ථික බලවතුන් නියෝජනය කරන වැදගත් සංවිධානයකි. එහෙත් ජනාධිපතිවරයා එම ආරාධනය පිළිගෙන සමුළුවට සහභාගී වූයේ නැත. අගමැතිනිය හෝ විදේශ කටයුතු අමාත්‍යවරයා හෝ සමුළුව සඳහා සහභාගී කරවූයේ ද නැත.
දෙවැනි අවස්ථාව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී චීනයේ ටියැන්ජින් නුවර පැවැත්වුණු ෂැංහයි සහයෝගීතා සංවිධානයේ පුළුල් සැසිවාරය යි. එයට ද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කිසිවෙක් සහභාගී නොවූහ. එම සමුළුව ද ජාත්‍යන්තර වශයෙන් ඉහළ අවධානයක් යොමු වූ එකකි. සැප්තැම්බර්වල පැවැති සමුළු වාරයට ඉන්දියාව, රුසියාව, පාකිස්තානය ඇතුළු රටවල් ගණනාවක රාජ්‍ය නායකයෝ සහභාගී වූහ. 1956 න් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිරික්සීමේ දී පැහැදිලි වෙන විශේෂ කාරණයක් තිබේ. එනම්, රාජ්‍ය නායකයකු අලුතින් පත් වූ විට කවර හෝ වැදගත් ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වූයේ නම් ඒවාට සහභාගී වීම ය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 වසරේ සැප්තැම්බර් මස අගමැති ධුරයට පත් වූ පසු එම වසරේම නොවැම්බර් මස පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසියට සහභාගී වී මිනිත්තු 51 ක් පුරා කතාවක් කළ බව සිහියට ගැනීම වටී. එහිදී ශ්‍රී ලංකාව ද ඇතුළු ගෝලීය දකුණේ නව නිදහස් රටවල් වෙනුවෙන් අලුත් විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයක් ඉදිරිපත් කරන්නට ද ඔහු ක්‍රියා කළේය.
එවක දී ඉතා සංකීර්ණ ගැටලු දෙකක් එකවිට පැනනැග තිබිණි. බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායලය විසින් සූවස් ඇළ බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබීම එකකි. දෙවැන්න, සෝවියට් රුසියානු හමුදා හංගේරියාවට ඇතුළු වීම ය. මේ සියලු ප්‍රශ්න ගැන බණ්ඩාරනායක මහතා ඔහුගේ කතාවේ දී කරුණු ඉදිරිපත් කළේ ය. විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රවේශය වී තිබුණේ කුඩා රටක් හැටියට ජාත්‍යන්තර අවකාශය උපරිම වශයෙන් භාවිත කිරීම ය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර අවකාශය ඉතා අඩුවෙන් භාවිත කරන බවක් පෙනේ. ඉහත සඳහන් කළ බ්‍රික්ස් හා ෂැංහයි සහයෝගීතා සංවිධාන ගෝලීය දකුණේ හා යුරෝ-ආසියාතික කලාපයේ ප්‍රබල සංවිධාන ය. ලෝකයේ බල තුලනය බහු කේන්ද්‍රීය රටාවක් කරා යන ප්‍රවණතාව නියෝජනය කරන සංවිධාන වශයෙන් ඒවා සැලකිය හැකි ය. ශ්‍රී ලංකාව ඒවාට සහභාගී වූයේ නැත.
ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වීම සඳහා ආරාධනාවක් ලදහොත් හිටපු රාජ්‍ය නායකයෝ ඒවාට සහභාගී වූහ. එසේත් නැතිනම් නියෝජිතයකු සහභාගී කරවූහ. දක්ෂිණාංශික දේශපාලනඥයකු මෙන්ම හිටපු අගමැතිවරයකු වූ සර් ජෝන් කොතලාවල බැන්ඩූන් සමුළුවට සහභාගී විය. එහිදී ඔහු කළ කතාව සම්බන්ධයෙන් විසම්මුතිවාදී අදහස් ඉදිරිපත් කළ හැකි වුව ද ඔහු ආසියාතික හා නව නිදහස් රටවල් නියෝජනය වූ ජාත්‍යන්තර සමුළු මගහැරියේ නැත.
ජනාධිපතිවරයා ඉන්දියාවේ කළ සංචාරයේ දී අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැබුව ද ඒවායෙහි ඇතුළත් තොරතුරු ගැන මේ දක්වා රටට කරුණු ඉදිරිපත් කළේ ද නැත. එහෙත් එම තොරතුරු නොදෙන බව කියයි. ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙක් එවැනි රහසිගත අවබෝධතා ගිවිසුම්වලට අස්සන් නොකළේය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් මේ අවබෝධතා ගිවිසුම් හත ගැන අනවශ්‍ය ආකාරයට සාකච්ඡා කළ ද ඒවාට අස්සන් නොතැබීය. එසේම ඔහු අගමැතිවරයා වශයෙන් සිටි අවස්ථාවල දී සහ ජනාධිපතිවරයා හැටියට සිටි කාලයේ දී විදේශ රටවල් සමග අස්සන් කළ ගිවිසුම් පිළිබඳ තොරතුරු රටට වසන් කළේ නැත. අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ දේශපාලනයේ ආරම්භයේ සිටම විදේශ රටවල් සමග අත්සන් කරන ගිවිසුම් පිළිබඳ තොරතුරු පාරදෘශ්‍යභාවයකින් යුතුව රටේ ජනතාවට සන්නිවේදනය කළ යුතු යැයි කීවේ ය. වෙනකක් තබා පසුගිය ජනාධිපතිවරණයේදීත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් මේ අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දියාව සමග කරන ලද සාකච්ඡා දිසානායක මහතා තියුණු විවේචනයට ලක් කළේ ය. ඒවාට අස්සන් කළහොත් ලංකාවට අත පය වකුටු කරගෙන සිටීමට සිදුවෙතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. එසේ කී ඔහුගේ නායකත්වය යටතේ වත්මන් ආණ්ඩුව එම අවබෝධතා ගිවිසුම්වලට අස්සන් තබා ඒවායෙහි තොරතුරු රටට හෙළි කිරීමත් ප්‍රතික්ෂේප කරයි.
ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය රටවල් තුනක් හෝ හතරක් වටා භ්‍රමණය වන බව පෙනේ. එහි කිසිදු දාර්ශනික හෝ සංකල්පීය පදනමක් නැත. මූලෝපායික ප්‍රායෝගිකත්වයක් ද නැත. එම රටවල් හතර වනාහි ඉන්දියාව, ජපානය, ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යි. එම රටවල් සමග සුවිශේෂ සබඳතාවක් පවත්වා ගන්නේ නම් එය ද කළ යුත්තේ නිසි දැක්මක් ඇතිව ය. එම දැක්ම ඉදිරිපත් කිරීම ද රජයේ වගකීමකි. එහෙත් එවැන්නක් කරන්නේ ද නැත.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී කළ කතාව අසන කෙනකුට හැඟෙන්නේ ශ්‍රී ලංකාවත් ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල් මෙන් මත්ද්‍රව්‍යවලින්, ජාතිවාදී ආගම්වාදී පිරිස්වලින් සහ හොරුන්ගෙන් ගහන රටක් ලෙස ය. එබැවින් ජනාධිපතිවරයාගේ ඒ කතාව අනුමත කළ නොහැකි ය. එය රාජ්‍ය නායකයකුට තරම් නොවන කතාවක්ය යන්න මගේ අදහස යි. මෙරට සිටි කිසිදු රාජ්‍ය නායකයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් තමන්ගේ රට ගැන කළු චිත්‍රයක් ඇඳ නැත.
පවතින භූ දේශපාලනික යථාර්ථය අනුව ඉන්දියාව සහ චීනය සමග සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව සැබෑවක් වුව ද මේ ආණ්ඩුව ඒ සඳහා ක්‍රියා කරන බවක් නොපෙනේ. ඒ අරබයා සැබෑ වුවමනාවක් ඇතිව කටයුතු කරන්නේ නම් ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් හතක් අස්සන් කර ඒවා රහසිගතව තබා ගන්නේ නැත. මේ ආණ්ඩුව ඉන්දියාවේ රූකඩයක් බවට පත්ව ඇත. එහෙයින් සමබර විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා නොහැකි ය. යථෝක්ත අවබෝධතා ගිවිසුම්වල සේයා ඇතැම් විට අපට දැකිය හැකි ය. ඊට හේතුව සමහර ඉන්දියානු සමාගම් නොයෙක් ප්‍රදේශවලට ගොස් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට එම ප්‍රදේශවල ජනයා ඒවාට එරෙහිව උද්ඝෝෂණ කිරීම ය. මන්නාරමේ ක්‍රියාත්මක උද්ඝෝෂණ එක් නිදසුනකි. ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේ දී මෙවැනි ව්‍යාපෘති ඉන්දියානු සමාගම්වලට ලබා දීමට එකඟ වී ඇත්ද යන ප්‍රශ්නය අපට මතු වේ.
එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදි ඔහු ඉන්දියානු අගමැතිවරයාට පවසා තිබෙන්නේ මේතාක් ලංකාවේ ආණ්ඩු ඉන්දියාවට ලබා දී තිබූ ප්‍රමාණයට වැඩි තෙල් ටැංකි ප්‍රමාණයක් ගන්නා ලෙස ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මේ දක්වා ලැබුණු ඉඩකඩම්වලට වඩා වැඩි ප්‍රමාණයක් සංවර්ධන කටයුතු වෙනුවෙන් ගන්නා ලෙසත් තමන් ඉන්දියානු අගමැතිවරයාට පැවැසූ බව ද ජනාධිපතිවරයා කියා තිබිණ. ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙක් අසල්වැසි ඉන්දියාවට මේසා අවස්ථා නොදුන්නේය. එය භයානක තත්ත්වයකි. හේතුව ඉන්දියාව අපේ අසල්වැසි රට වුවත් එහි අගිස්සේ තිබෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තය නිසා ය.
තමිල්නාඩු ප්‍රාන්තයේ නැගී එන දේශපාලනඥයෙක් කච්චතිව් දූපතේ අයිතිය නැවත ඉන්දියාවට පවරා ගත යුතු යැයි කියයි. පෙර සඳහන් කළ අවබෝධතා ගිවිසුම් අස්සන් කළ පසු උතුරු නැගෙනහිර දෙපළාත් ඉන්දියාවේ ආර්ථික යටත් විජිතයක් බවට පත් වීමට ඉඩ ඇත. ලෝක ඉතිහාසය පෙන්වා දී ඇති පරිදි එසේ වූ පසු යටත් විජිත හිමි රට තමන්ගේ ආයෝජන ආරක්ෂා කර ගැනීමට යටත් විජිතවල යුද බලය ස්ථාපිත කරයි. එයින් වෙන්නේ කිසිදු දූපත් රාජ්‍යයක් නොකරන ආකාරයේ අනුවණකමක් කර ගැනීමකි.
බටහිර රාජ්‍යවල ලංකාව සම්බන්ධයෙන් වෙන දේවල් පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු කරන බවක් නොපෙනේ. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට කැනඩාව සහ බ්‍රිතාන්‍යය එකතු වී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනාවේ ය. එම යෝජනාව සම්බන්ධයෙන් ලංකාව ඡන්දයක් ඉල්ලුවේ ද නැත. 2009 දී අවසන් කළ මෙරට සිවිල් යුද්ධයේ දී දෙමළ ජනයා සමූල ඝාතනය කිරීමට ශ්රී ලංකා රජය උත්සාහ කළ බවට කැනඩා පාර්ලිමේන්තුවේ දී සර්වපාක්ෂික යෝජනාවක් සම්මත වූ බව අප අමතක නොකළ යුතු ය. එවැනි සන්දර්භයක කැනඩාව බ්‍රිතාන්‍යය සමග එකතු වී ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කළ විට කැනඩාවේ පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද අදාළ සමූල ඝාතන යෝජනාව ගැන කැනඩාවෙන් ප්‍රශ්න කළ යුතුව තිබිණ. ශ්‍රී ලංකාව පිළිබඳව ඒ ආකාරයේ අසත්‍ය යෝජනාවක් සම්මත කර මානව හිමිකම් කවුන්සලයේ දී අපේ රටේ මානව හිමිකම් අරබයා යෝජනාවක් ගෙන ඒමට කැනඩාවට අයිතියක් නැතැයි ද කැනඩාව පක්ෂග්‍රාහී යැයි ද ආණ්ඩුවට තර්ක කිරීමට හැකියාව තිබිණි. එහෙත් ලංකාව එය කළේත් නැත.
ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ඉතාම නිවැරැදිව එම යෝජනාව ප්‍රතික්ෂේප කළා ය. එපරිදි මානව හිමිකම් කවුන්සලයට යම් රටක් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන යෝජනාවක් අදාළ රට විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් අනිවාර්යයෙන් ම ඡන්දයක් ඉල්ලා සිටිය යුතු ය. ලංකාව ඡන්දයක් ඉල්ලා සිටියේ නැත. එබැවින් අවසානයේ අප විසින් ම භයානක යැයි කියමින් ප්‍රතික්ෂේප කරන ලද යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වීමට ආණ්ඩුව ඉඩ සැලසීය. ආණ්ඩුවේ සමහරු ඒ ගැන පාර්ලිමේන්තුවේ උදම් අනති. කිසිදු රටක් මෙයාකාරයෙන් කටයුතු කරන්නේ නැත. ප්‍රභූ-නිර්ප්‍රභූ කෙසේ වෙතත් ආණ්ඩුව අනුගමනය කරන්නේ නිර්-තාර්කික දුර්වල විදේශ ප්‍රතිපත්තියක් බව පැහැදිලි ය.
(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිර්-තාර්කික විදේශ ප්‍රතිපත්තිය