IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නිති විමසිලිමත් වියයුතු නිදන්ගත වකුගඩු රෝගය

බෝ වන රෝගවලටත් වඩා බෝ නොවන රෝගවල අවදානම ඉතා දැඩිය. පුද්ගල මරණ ප්‍රතිශතය ඉහළ යාමට ප්‍රධානම හේතු කාරකය ලෙස බෝ නොවන රෝග පෙන්නා දිය හැකිය. ඒ අතුරින් වකුගඩු රෝගයට ගොදුරු වන පිරිසද දිනෙන් දින ඉහළ යමින් පවතී.

එබැවින් දිවයිනේ නන් දෙසින් වකුගඩු රෝගීන් වාර්තා වෙන කාලයක නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) ගැන සවිස්තරාත්මකව දැන ගනිමු.

 

වකුගඩුවේ කාර්යභාරය

අපේ සිරුරේ බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය ඉවත් කරන ප්‍රධානම ඉන්ද්‍රිය වන්නේ වකුගඩුවයි. පරිවෘත්තීය ක්‍රියාවලිය මගින් සිරුරේ එක්රැස් වන විස සහිත බහිස්ස්‍රාවීය අපද්‍රව්‍ය එනම් යූරියා, ඇමෝනියා සහ ක්‍රියැටිනීන් (creatinine)  මුත්‍ර හරහා පිට කිරීම වකුගඩුව මගින් සිදු කරනු ලබයි. සිරුරේ එක්රැස් වන වැඩිපුර ජලය ඉවත් කිරීමත් සිදු කරන්නේ වකුගඩුව මගිනුයි. මෙමගින් අනෙකුත් අවයව සඳහා නිසියාකාරයෙන් ක්‍රියා කිරීමට අවැසි ප්‍රශස්ත මට්ටම සකසා දීමත් වකුගඩුව මගින් ඉටු කෙරෙන වැදගත්ම කාර්යයකි. තව ද කැල්සියම්, පොස්පේට් වැනි අයන වර්ගවල සමතුලිතතාව පවත්වා ගෙන යාම, ආම්ලික – භාෂ්මිකතාව පවත්වා ගෙන යාම, විටමින් ‘ඩී’ නිෂ්පාදනය කිරීම, රතු රුධිරානු නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන උත්තේජන හෝමෝනය වන Erythropoetin නිපදවීම වකුගඩුව මගින් සිදු වේ. ඇඟේ රුධිර පීඩනය පාලන කිරීම සඳහා ද වකුගඩුව විශාල කාර්යභාරයක් සිදු කරනු ලබයි.

 

වකුගඩු රෝගයට හේතුවන කරුණු කාරණා

ලංකාව සහ ලෝකය ගත්තත් ප්‍රධානම සාධකය වන්නේ නිසියාකාරව පාලනය නොකළ දියවැඩියාවයි. වකුගඩු රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් දියවැඩියාව නිසා නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වූ පිරිසයි.

දෙවැන්න අධි රුධිර පීඩනයයි. දියවැඩියා තත්ත්වය තරම් මෙය ප්‍රචලිත නොවුණත් රෝගීහු බහුතරයක්ම අධි රුධිර පීඩනය ගැන තැකීමක් නොකරති.

පරම්පරාවෙන් පරම්පරාවට යන ජානමය වකුගඩු රෝගය ද මේ අතර වැදගත් තැනක් ගනී. එය බහු කෝෂ්ඨ වකුගඩු රෝගය (Polycystic Kidney Disease) යනුවෙන් හැඳින්වේ.

එසේම වකුගඩු ප්‍රදාහය ද (Glomerulonephritis) වකුගඩු අකර්මණ්‍ය වීම සඳහා ද හේතු විය හැකිය.

තවත් හේතුවක් ලෙස වැරදි ඖෂධ භාවිතය ද බලපානු ලබයි. වෛද්‍ය නිර්දේශය ඇතුව හෝ නැතුව දිගුකාලීනව ඔබ ලබා ගන්නා  NSAIDS ගණයට අයත් වේදනා නාශක භාවිතය ද සුදුසු නොවේ.

වකුගඩු සහ මුත්‍ර පද්ධතියේ ඇතිවන ගල්, වකුගඩු සම්බන්ධ නාළ පද්ධතියේ ඇතිවන අවහිරතා සහ  CKDU තත්‍ත්වය ද නිදන්ගත වකුගඩු රෝග සඳහා හේතු ලෙස සඳහන් කළ හැකිය.

 

CKDU තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්.

තවමත් නිශ්චිත හේතුවක් අනාවරණය කර ගත නොහැකි වකුගඩු රෝගී තත්ත්වයකි. මුල්වරට උතුරු මැද පළාතෙන් හඳුනා ගත් අතර මේ වනවිට අනෙක් පළාත්වලින්ද වාර්තා වෙමින් පවතී. මේ තත්ත්වය පිළිබඳ දෙස් විදෙස් වෛද්‍යවරු සහ විද්‍යාඥයන් සාධකය හඳුනා ගැනීම සඳහා පර්​ෙ ය්ෂණ සිදුකරන අතර විස සහිත රසායනිකයක් හේතු වනු ඇති බවට අනුමාන කරයි. ආහාර හෝ ජලය මගින් මෙය සිරුරට ඇතුල් විය හැකි බව අනුමානයයි. අවුරුදු 20ත් 30ත් අතර වියේ පසුවන තරුණ කණ්ඩායම් මෙහි  ගොදුරු බවට පත් වේ. සෙමින් සෙමින් වර්ධනය වන මෙය අවුරුදු 40, 50 වනවිට තීව්‍ර අතට පත්වී  වකුගඩු අකර්මණ්‍යතාද ඇති විය හැකිය. නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් තවමත් නොමැත. ආහාර සහ ජලය රසායනිකවලින් තොරව භාවිත කළ හැකි නම් බොහෝ විට මෙහි අවදානම අඩු කර ගත හැකි බවට අනුමාන කෙරේ. 

 

නිදන්ගත වකුගඩු රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකිද?

වකුගඩු රෝගී තත්ත්වයක් නිසාවෙන් පහළ වන රෝග ලක්ෂණ මතු වන්නේ වකුගඩුව සියයට හැත්තෑවක් හෝ අසූවක් අකර්මණ්‍යව ගිය පසුවයි. වළලුකර වටා කකුල ඉදිමීම, මුහුණෙ ඇස් යට ඉදිමුම, කෑම අරුචිය, ඔක්කාරය, වමනය, ඇඟ කැසීම, නිදා ගැනීමේ අපහසුතා, මුත්‍ර යන ප්‍රමාණය කෙමෙන් අඩු වීමද සිදු වේ. සමහර පුද්ගලයන්ට සිහි මඳ ගතිය සහ එය කෝමා තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. විශේෂයෙන්ම මතක තබා ගත යුතු වන්නේ ඉහත රෝග ලක්ෂණ පහළ වෙනකම් සිටීම නොවේ. ඒ අනුව ඔබ දියවැඩියා රෝගියකු නම්, අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නකු නම්, පවුලේ සාමාජිකයකු වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම් සහ ඔබ CKDU තත්ත්වය බහුලව පැතිරී යන පෙදෙසක වාසය කරන්නකු නම් නිදන්ගත වකුගඩු රෝග සඳහා ඔබට අවදානමක් ඇත. එබැවින් කල් නොයවාම  වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත සරල රුධිර පරීක්ෂාවක් සහ මුත්‍ර පරීක්ෂාවක් සිදු කර ගත හැකියි. එමගින් තමන්ට වකුගඩු රෝගයේ ආරම්භක අවස්ථාව තිබේදැයි දැනගත හැකි වනු ඇත.

 

වකුගඩු රෝගියකු දැයි සනාථ කෙරෙන පරීක්ෂණ

සරල රුධිර – මුත්‍ර පරීක්ෂණයක් මගින් මෙය සනාථ කර ගත හැකිය.  urine- full- report සහ serum  creatinine එම පරීක්ෂණ වේ.

ඊට අමතරව දියවැඩියා රෝගීන්ට සුළු වශයෙන් මුත්‍ර සමග ඇල්බියුමින් පිටවේ. මෙය සරල  මුත්‍ර පරීක්ෂණය මගින් සොයා ගත නොහැකි අතර මුත්‍රවල මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂණය මගින් මෙය සනාථ කර ගත හැකිය. වකුගඩු රෝගය තීව්‍ර මට්ටමට යන තෙක් නොසිට මුල් අවස්ථාවේදීම හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම කළ හැකිය.

 

මෙට්ෆොමින් නිසා වකුගඩු නරක් වෙනවාද?

සමාජයේ පැතිර පවතින දුර්මතයක් බව ඉතා පැහැදිලියි. වකුගඩුව සියයට තිහකට වඩා ක්‍රියාකාරීත්වයෙන් අඩු නම් Metformin ඖෂධය නිර්දේශ නොකෙරේ. එමෙන්ම සියයට තිහකට වඩා ඔබේ වකුගඩුව ක්‍රියාකාරීත්වයෙන් වැඩි නම් Metformin ඖෂධය භාවිත කළ හැකිය. වකුගඩු නරක් වීමේ ප්‍රධානම සාධකය ලෙස අපේ නොසැලකිලිමත් කම මත රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ථ මට්ටමක පවත්වා නොගැනීම හේතු වන අතර Metformin කිසිදු ආකාරයෙන් වකුගඩුව අකර්මණය කිරීමට දායක නොවේ.

 

නිදන්ගත රෝගී තත්ත්වය නිසා වකුගඩුවට සිදුවන හානිය වැළැක්විය හැකිද?

CKDරෝග තත්ත්වය අදියර කිහිපයකට බෙදේ. නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර මගින් තමන් සිටිනා වකුගඩු රෝගී අදියරෙන් තවත් තීව්‍ර අදියරකට යාම බොහෝ විට වළක්වා ගත හැකිය. ඇඟේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම ඉතා වැදගත් බව මතක තබා ගන්න. ඔබට HBAICක්‍ පරීක්ෂාවෙන්  පසුගිය මාස 03ක සීනි පාලනයේ සාර්ථකභාවය පිරික්සීමට හැකිය. HBAIC අගය සියයට හතකට වඩා අඩුවෙන් පවත්වා ගැනීම ඉතාම වැදගත්වේ.  ඔබට රුධිර පීඩනය ඇත්නම් එය130/80 ත් අතර හෝ ඊට අඩුවෙන් පවත්වා ගැනීම කළ යුතුය.

 

අවම ලුණු භාවිතයකට හුරු වන්න.

ඊට අමතරව සතියකට මිනිත්තු 150ක්, දින 05ක්, දවසට මිනිත්තු 30 බැගින් සුදුසු ව්‍යායාමයක නිරත විය හැකිය.

නිවැරැදි ආහාර පාන වැදගත් වන අතර මේ සඳහා ඔබට වකුගඩු සායනයකට යොමු වී නිසි ආහාර වට්ටෝරුවක් ලබා ගත  හැකිය.

NSAIDS ගණයට අයත් වේදනා නාශක භාවිතයෙන් ඉවත් වීමද ඔබ කළ යුතුයි. නිසි පළපුරුදු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය මත ලබා දෙන බෙහෙත් සහ උපදෙස් හරියාකාරයෙන් පිළිපැදීමෙන් මුල් අවස්ථාවේදීම වකුගඩු රෝගයට ප්‍රතිකර්ම යෙදිය හැකි වනු ඇත. එමෙන්ම එය තීව්‍ර මට්ටම කරා වර්ධනයවීමද වළක්වා ගත හැකිය. එමෙන්ම වකුගඩුව අකර්මණ්‍යවීමේ වේගයද අඩු කර ගත හැකිය.

 

වකුගඩු මුළුමනින්ම අකර්මණ්‍ය වුවහොත්.

ඔබගේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 15ට වඩා අඩු වුවහොත් එම තත්ත්වය End stage kidney  Disease  නමින් හැඳින්වේ. මේ අවදියේදී වකුගඩුව ක්‍රියාකාරීත්වයෙන් බොහෝදුරට තොරයි. සමහර පුද්ගලයන්ගේ නම් වකුගඩු මෙම අවදියේදී මුළුමනින්ම ක්‍රියාකාරීත්වයෙන් තොර විය හැකිය. එවිට යම් යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම අවශ්‍ය වේ.

පුද්ගලයකුගේ ජීවිතය තව දුරටත් පවත්වා ගෙන යාම සඳහා වකුගඩුවේ කාර්යය කෘත්‍රිමව කළ හැකිය. එනම් රුධිර කාන්දු පෙරණය Hemo  Dialysis සහ පරිතාණ කාන්දුකරණය Peritoneal Dialysis  මගිනි.

රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරයේදී ඩයලයිසිස් යන්ත්‍රයක් ආධාරයෙන් රුධිරය කෘත්‍රිමව පෙරීම සිදු කෙරේ. පරිතාණ කාන්දුකරණයේදී උදර කුහරයට තරලයක් ඇතුළු කර එමගින් වැඩිපුර ජලය, විස සහිත ද්‍රව්‍ය ඉවත් කිරීම සිදුවේ.

(***සටහන- මාධවී ධර්මරත්න)



අදහස් (0)

නිති විමසිලිමත් වියයුතු නිදන්ගත වකුගඩු රෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site