පුංචි කෝච්චිය අනූව දශකය තුළත් අපට දැකගත හැකිවූ සුන්දර ප‍්‍රවාහන සේවාවකි. ඒ පුංචි කෝච්චියේ නිල නාමය කැලණිවැලි දුම්රියි. ”කල්‍යාණි ද්‍රෝණී දුම රථය” ලෙසද එය එවකට හඳුන්වා ඇත. එහෙත් මෙහි ආරම්භය සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමාගේ යුගය තෙක් දිවයයි. ආණ්ඩුකාරතුමා මෙම දුම්රිය මාර්ගය හඳුන්වා ඇත්තේ ”කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය” ලෙසය. එංගලන්තයේ රාජ්‍ය ලේකම්වරයා විසින් 1898 අපේ‍්‍රල් මස 27 වැනි දින ලංකාවේ ආණ්ඩුකාරවරයාට විදුලි පුවතකින් දන්වා ඒවා ඇත්තේ මෙම දුම්රිය මග ඉදිකිරීමට තම අනුමැතිය ලබාදෙන බවය. 1899 ජූලි 25 වැනි දින එංගලන්තයේ යටත් විජිත භාර ලේකම්වරයා වෙත ලංකාවේ ප‍්‍රධාන නේවාසික ඉංජිනේරු පී.ආර්. මැකින්ටොෂ් විසින් යවන ලද වාර්තාවක කැලණිවැලි දුම්රිය මඟ ඉදිකළ යුතු ආකාරය ගැන රජයේ ස්ථාවරය පැහැදිලිව දක්වා ඇත.

ලංකාවේ දුම්රිය ධාවන ඉතිහාසයට වසර 155 ක ඉතිහාසයක් තිබේ. 1858 අගෝස්තු 3 වැනි දින දෙමටගොඩදී පවත්වා ඇති මහා උත්සවයකදී ප‍්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේ ආණ්ඩුකාර හෙන්රි වෝඞ් විසින් බව ඉතිහාසයේ සඳහන්ය. රිදීයෙන් තැනූ උදැල්ලකින් ප‍්‍රථම පස් පිඩැල්ල කපා ඇරඹූ ලංකාවේ ප‍්‍රථම දුම්රිය සේවය ආරම්භ වන්නට ඉදිකිරීම් කටයුතු සඳහා වසර හයක කාලයක් ගතවී ඇත. කොළඹ සිට අඹේපුස්සට තනන ලද ප‍්‍රථම දුම්රිය මාර්ගයේ මංගල ගමන සිදුවී ඇත්තේ 1864 දෙසැම්බර් 27 වැනිදාය. එහෙත් මෙහි පොදු ජනතාව වෙනුවෙන් කැපවූ සේවාවක් ලෙස නම් නොවේ. එම මංගල ගමන මුළුමනින්ම කැප වූයේ ලංකාවට සැපැත් බෙල්ජියමේ ඔටුන්න හිමි කුමාරයා අඹේපුස්ස දක්වා කැඳවාගෙන ගොස් නැවත කොළඹට කැඳවාගෙන ඒම දුම්රිය ගමනේ එකම අරමුණ විය. පොදු ජනතාව වෙත කැපවුණු දුම්රිය සේවාවක් ඇරඹෙන්නේ ඊටත් මාස දහයකට පසු 1865 ඔක්තෝබර් දෙවැනිදාය. ඔටුන්න හිමි කුමාරයා ගිය මගේම අඹේපුස්ස යාමට පොදු ජනතාවටද හැකිවූ ඓතිහාසික දිනය එදාය.

ලෝකයේ ඇති අනිකුත් දුම්රිය මාර්ගවලට සපුරා වෙනස් දුම්රිය මාර්ගයක් නම් පැරණි කැලණිවැලි දුම්රිය මාර්ගයයි. ලොකු කෝච්චි ධාවනයවන මාර්ග හඳුන්වන්නේ පළල් දුම්රිය මාර්ග (Broad Guage)ලෙස වන අතර පීලි දෙක අතර පරතරය අඟල් 60 කි. නමුත් පුංචි කෝච්චියේ පටු දුම්රිය මාර්ගය (Narrow Guage ) පීලි දෙක අතර පරතරය අඟල් 30කි. දුම්රිය මාර්ගය පටු නිසා එන්ජිම මෙන්ම පෙට්ටිද පුංචි වූ නිසා පොදු ජනතාව මෙය ”පුංචි කෝච්චිය” යන නම පට බඳින්නට ඇත.

ලංකාවේත් ලෝකයේත් අනෙක් රටවලත් ලොකු කෝච්චි දුවද්දී කැලණිවැලි මාර්ගයේ පමණක් ”පොඩි කෝච්චියක්” දිව්වේ කෙසේදැයි ප‍්‍රශ්නයක්ද පැන නඟින්නේ නිතැතිනි.

මේ පුංචි කෝච්චියේ උත්පත්තිය ගැන රසවත් කතාවක්ද ඇත. බි‍්‍රතාන්‍යය යටත් විජිතවාදීන් ඇත්තටම මෙම දුම්රිය සැලසුම් කර ඇත්තේ දකුණු අප‍්‍රිකානුවන්ටය. එහෙත් ඒ රටේ ආණ්ඩුකාරවරයා මේ ”හුංඩු” කෝච්චිය දැක එය ප‍්‍රතික්ෂේප කොට ලොකු කෝච්චියක්ම ඉල්ලා සිටින්නට විය. නිපදවන ලද කෝච්චියට කරගත හැකි දෙයක් නොමැතිව සිටි යටත් විජිත ලේකම්වරයා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් වෙස්ට් රිජ්වේ කැමතිකරවාගෙන මේ ”හුංඩු” කෝච්චිය ලංකාවේ ඇෙඟ් ගසා ඇඟ බේරා ගත්තේය. නිකං දෙනවනං මළබද්ධය වුවත් ගන්නට සිංහල අපට සුද්දා පුරුදු කළේ  ඕං ඔහොමය.

කැලණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1900 මාර්තු මස 22 වැනිදාය. එහි මුල් අදියර ලෙස 1902 සැප්තැම්බර් 15 වැනිදින අවිස්සාවේල්ල දක්වා ගමන් ඇරඹූ ”පුංචි කෝච්චිය” 1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වා වැඩකටයුතු නිම කොට ඇත. රත්නපුරය දක්වා දුම්රිය මග ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1912 අපේ‍්‍රල් මස 18 වැනිදාය. එම උත්සවය ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම්ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදුව ඇත.

1919 මැයි මස දෙවැනි දින  ඕපනායක දක්වා දුම්රියේ ගමනාන්තය දික්විය. මෙම දුම්රිය මග රුහුණ දක්වා දික් කිරීමට ”කැලණිවැලි රේල්වේ කොමිටි” නම්වු ආණ්ඩුකාර තැන පත් කළ කොමිටියට වැවිලිකරුවන්, දිසාපතිවරුන් යෝජනා ඉදිරිපත් කළද එය පළ දැරුවේ නැත.

කොළඹ කොටුවෙන් පටන්ගෙන කැලණි ගං මිටියාවත ඔස්සේ කිසිඳු කලබලයක් නැතිව නිවීහැනහිල්ලේ  ඕපනායකට ගිය කැලණිවැලි දුම්රිය මගේ මුළු දිග සැතපුම් අසුහතක් (87) ක් විය. ”කැලණිවැලි රේල්වේ කෝච්චියට” රුහුණ දක්වා පුංචි කෝච්චිය දිගු කිරීමට යෝජනා කළද සිදුවූයේ ඉදිකළ දුම්රිය මාර්ගය ටිකෙන් ටික ගලවාගෙන යෑමයි. මෙම දුම්රිය මාර්ගයේ අසුබදායකම ආරම්භය වන්නේ 1940 සිට 1948 වකවානුව බැව් ලේඛණ පිරික්සීමේදී පෙනේ.
අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා මාර්ගය මුලින්ම වසා දමා ඇත්තේ මේ යුගයේදීය.  ඕපනායකට යනතුරු මනස්කාන්ත පාලම් ගණනාවක්ම මෙම දුම්රිය මාර්ගයේ ගොඩනගා තිබූ බව අතීත ලේඛනවල දක්වා ඇත. සිරිපා අඩවියට යන විට කුරුගඟ හරහා ඉදිකළ අඩි 150 ක් දිග දුම්රිය පාලම මින් එකකි. 1919 දී ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් 72,496/= ක් බව ලේඛනවල දැක්වේ. තවත් දුම්රිය පාලමක් ඉදිකොට තිබී ඇත්තේ රත්නපුරට සැතපුම් තුනක් පමණ එපිට කළු ගඟ හරහාය. අඩි 100ක් වූ එම දුම්රිය පාලම ගොඩ නැඟීමට එකල රු. 165,700 ක් වැය වූ බවට ව්‍යාපෘති වාර්තාවේ සඳහන්ය.

කොළඹ ගොල්ෆ් පිට්ටනි හරහා දිවෙන ”පුංචි කොච්චි” මාර්ගය මනස්කාන්ත දර්ශන සතු වූ එකකි. එකල සිරිපා වන්දනාකරුවන්ගේ ජනප‍්‍රියතම ප‍්‍රවාහන මාර්ගය වී ඇත්තේ ”පුංචි කෝච්චියයි.” එකල සිරිපා සමයට හෝමාගම-යටියන්තොට-රත්නපුර යා කොට රේල් බස් සේවයක්ද පැවැති බව පැරණියන්ගේ මතකයේ ඇත. මීට ඇති හොඳම සාක්ෂිය 1927 දුම්රිය සාමාන්‍යාධිකාරී ටී.ඊ. ඩට්ස්ගේ පරිපාලන වාර්තාවයි.

එංගලන්තයේ සෙන්ටිනල් ස්ටීම් රේල් කාර් මැනුපැක්චර්ස් ආයතනයේ නිශ්පාදිත සෙන්ටිනල් වාෂ්ප රේල් බස් තුනක් හා පැට්‍රෝල් රේල් කාරයක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට යොදවා ඇති බව එහි සඳහන්ය.

ලංකාවේ සිටි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයකුගේ බිරිඳට දරුවකු ප‍්‍රසූත කරන අවස්ථාවදී මහත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දී ඇත. දරුවාගේ කොටසක් ආණ්ඩුකාර බිරියගේ ශරිරයෙන් එළියට ගත නොහැකිව එවකට සිටි ඉහළම තරාතිරමේ දොස්තරවරුන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි. ආණ්ඩුකාර බිරිඳ පත්ව ඇති ඉරණම දැනගත් රජ ගෙදර සිටි ආරච්චි කෙනකු දැනගත්  මොහොතේම ආණ්ඩුකාරවරයාට ආරච්චි පවසා ඇත්තේ තම ගම් පළාතවූ පන්නිපිටියේ ”මල්ලූව” නම් වෙද මහතකු මෙවැනි වැඩවලට නම් දැරු පුද්ගලයකු බවය. වහාම ආණ්ඩුකාරයාගේ නියමයෙන් රජගෙදරින් දුතයකු පිටත් කර හැරියේ පන්නිපිටියේ මල්ලූව වෙද මහතා රැගෙන ඒමටය.

රජ ගෙදර තිඹිරිගෙට පොල් තෙල් පානක්ද රැගෙන ඇතුළු වූ වෙද මහතා ආණ්ඩුකාර බිරිඳ හොඳට පරීක්‍ෂා කර බලා තම බෙහෙත් හෙප්පුවේ තිබූ ඉඳිකටුවක් වැනි හින් කූරක් පහනේ දැල්ලෙන් රත්කරන්නට විය. රත් කළ පසු ආණ්ඩුකාර බිරිඳගේ යටි බඩට ගසා නැවත් පහණට ලංකර බලන්නට විය. ගතවූයේ විනාඩියකටත් අඩු කාලයකි. කිරි දරුවා බිහිවිය.

දරුවාගේ දකුණු අතේ තිබුණු සියුම් ලේ බිංඳුවත් ඉඳිකට්ටේ තිබූ ලේ බිංදුවත් සංසන්ධනය කර බැලූ වෙද මහත්තයා හරියටම වැදිලා තියෙනවායි කියූ කතාව ආණ්ඩකාරවරයාටද තේරුම් ගත නොහැකි විය.

”මේ කිිරි දරුව දකුණතින් බඩවැල තදින් අල්ලාගෙන හිටපු නිසා බිහිවුණේ නෑ. නිල බලල දරුවගෙ අතට කටුවෙන් විද්දම බඩවැල අතැරිලා දරුවා

 පුංචි කෝච්චිය යයි හරි   හයියෙන්
 පැයකට සැතපුම් හතරක    වේගයෙන්
 කොල්ලයි කෙල්ලයි නැග්ගම    කොටුවෙන්
 දරුවෙක් බිහිවෙයි     ඕපනායකින්

බිහිවුණා” යයි වෙද මහත්තයා කරුණු පැහැදිලි කරද්දී එවකට සිටි විශේෂඥ වෛද්‍යවරු පවා මවිත වී වෙද මහතාගේ කතාවට සවන් දෙන්නට වූහ.
ආණ්ඩුකාරතුමා තම කුලූඳුල් දරුවා දැක සිටියේ නිම් හිමි නැති ප‍්‍රීතියෙනි. තමාට කළ උපකාරයට ගාස්තුව ලෙස අණ්ඩුකාරතුමා ”මල්ලූව වෙදාට” රත්රන් පවුම් බන්දේසියක් තෑගි කළේය.

වෙද මහතා රන්කාසි ප‍්‍රතික්ෂේප කර ආණ්ඩුකාරයාගෙන් උදව්වක් අවශ්‍ය බව පවසන්නට විය. එකල කැලණිවැලි මාර්ගයේ මහරගමින් පසු නවාතැන වූයේ කොට්ටාව ඉස්ටේසමය. තමන්ට පන්නිපිටිය ඉස්ටේසමක් ලබාදෙන ලෙස මල්ලූව වෙද මහතා ආණ්ඩුකාරයාගෙන් ඉල්ලන්නට විය. වෙද මහතාගේ ඉල්ලීමට ගත් වූයේ දින ගණනකි. පන්නිපිටියේ දුම්රිය නතර කළ අතර ආණ්ඩුකාරයා කෘතගුණ සැලකීමක් ලෙස පන්නිපිටියට ස්ථීර දුම්රිය පලක්ද ගොඩ නගා දුන්නේය.

ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වාගෙන් පසු උපහාස කතා කලාවේ ප‍්‍රවීණයකු වූයේ චන්ද්‍ර අනගිරත්නය. ඔහු කලක් දුම්රිය සහකාර ස්ථානාධිපතිවරයකු ලෙසද කටයුතු කොට ඇත. ඔහු 1966 දී රිවිරැස පුවත්පතට පුංචි කෝච්චිය ගැන උපහාසාත්මක කවි පෙළක් ලියා ඇත. එහි අවසන් කවියේ මෙසේ සඳහන් වෙයි.

 

වජිර ලියනගේ