IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


දුම්රිය මගීන්ට බනිස් කන්න දී රන්බඩු ඉස්සූ දේවගැති

08-dumriya-maginta-banis..

 

යාපනයේ පදිංචි ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියකට නැග්ගේ කිරුළපන ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සමීපතම ඥාතියකුගේ අවමඟුල් උත්සවයකට යාමටය. මේ ගමනට ව්‍යාපාරිකයාගේ බිරිඳ දියණිය සහ ඔවුන්ගේ පවුල්වල සමීප ඥාති කාන්තාවන් දෙදෙනෙක්ද එක්වූහ.


මියගොස් සිටි ඥාතියා සිංහල ජාතිකයෙකි.


බුලත්විට හැපීමට රුසියෙකු වූ ව්‍යාපාරිකයා කෝච්චියේ එන අතරවාරයේ මගීන් එතරම් නොමැති පෙට්ටියක් සොයාගෙන ගියේ නිදහසේ බුලත් විටක් කා කෙළ ගැසීමට අවශ්‍යතාවය පැන නගින නිසාය. 


දුම්රිය කොළඹ කොටුවට ළඟාවෙමින් තිබූ නිසා දියණිය පියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදුන්නේ ඔහු තමන් සිටින මැදිරියට ගෙන්වා ගැනීමටය.
එහෙත් ඇමතුමට පිළිතුරක් නොදුන් නිසා දියණිය පියා සොයා මැදිරියෙන් මැදිරියට යද්දී ඔහු ඇඳ සිටි සරමෙන් මුහුණ වසාගෙන බිම වැතිරී සිටින අන්දම දුටු ඇයට කෑගැසුණේ ඉබේටම වාගේය.


මුහුණ වැසී තිබූ සරම සකස් කළ ඇය අප්පා අප්පා කියා කථා කළත් ඔහු වචනයක්වත් කතා කළේ නැත.


කටින් සෙම පිටවෙමින් තිබුණු අයුරු දුටු ඇය තවත් බියට පත්වූවාය. ව්‍යාපාරිකයා සිහිවිසඥව සිට ඇත. පියා වැටී සිටි මැදිරියේ ඒවෙනකොට  මගීන් දෙතුන් දෙනෙකුට වඩා සිටියේ නැත.


ඒ මගීන් දෙතුන් දෙනා අතරේ සුදු ලෝගුවකින් සැරසුණු දේවගැතිවරයෙක් යැයි සිතිය හැකි අයෙක් ද සිටින අයුරු දියණිය දුටුවාය.


දේවගැතිවරයා සමීපයේ තරුණයකු සිටි අතර ඇය ඔහුගෙන් ප්‍රශ්නකර ඇත්තේ ඇතිවූ යම් සැකයක් මතය.


තරුණයා ද්‍රවිඩ ජාතිකයෙකි.


තරුණියගේ ප්‍රශ්න කිරීම් හමුවේ කලබලයට පත්වූ තරුණයා දුම්රිය මැදිරියෙන් පළායාමට සූදානම් වූ අවස්ථාවේ ඇය ඔහු මෙල්ලකර අල්ලා ගත්තාය.
තරුණයා අල්ලාගත් සැණින් දේවගැතිවරයා ද හිමින් සීරුවේ එතනින් - ලිස්සා ගිය එක ගැනද සැක සංකා තරුණියට ඇතිවී ඇත.


මේ වන විට දුම්රිය කොළඹ - කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟාවී තිබූ අතර තරුණිය අල්ලාගෙන සිටි තරුණයා මවගේ හා ඥාති කාන්තාවන් දෙදෙනාගේ සහාය ඇතිව දුම්රිය ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන්ට බාරදී සිහි විසඥව සිටි පියා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටය.
සැකකාර තරුණයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් කොටුව පොලිස් ස්ථානය වෙත බාරදුන් අතර තරුණිය මෙම සිද්ධිය හා දුටු දේ පොලිසියට පැමිණිලි කළාය.


තාත්තා ගෙල පැළඳ සිටි රුපියල් 75,000ක් වටිනා රන්මාලය හා රන්මුද්ද ද නොමැති බව ඇය පොලිසියට කීවාය.


සැකකාර තරුණයා  ළිදුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මම දේවගැතිවරයාත් එක්ක අවුරුද්දක විතර කාලයක් ඉඳලා සමීප ඇසුරක් පවත්වාගෙන යනවා. දේවගැතිවරයා කිළිනොච්චියේ සේවා කටයුතුවල යෙදෙනවා. ඔහු කොළඹ පදිංචිව සිටින බව දන්නවා. ඒත් ඔහු කොළඹ කොහේ ඉන්නවාද කියන්න මම දන්නේ නැහැ. මම දේවගැතිවරයා එක්ක මේ රෑට යන දුරගමන් කොච්චිවල ගිහින් රත්තරන් බඩු සොරා ගන්නවා. දේවගැතිවරයා  - ළඟ බනිස් ගෙඩි තියෙනවා. ඒ බනිස් ගෙඩියේ විෂ වර්ගයක් දමා තිබෙනවා. ඒ විෂ වර්ගය මොනවාද කියන්න නම් මම දන්නේ නැහැ. දේවගැතිවරයා කෝච්චියේ යන මගියෙක් දෙන්නෙක් එක්ක කතාවට වැටිලා කොහොම හරි යහළු කර ගන්නවා. ඊට පස්සේ විෂ කලවම් කරපු බනිස් ගෙඩියක් මගියාට කන්න දෙනවා. ඔහුගේ සිහිය විකල්වූ පසු රන් බඩු ගලවා ගන්නවා. කාලයක ඉඳලා අපි දෙන්නා එකතුවෙලා මේ වැඬේ කරගෙන යනවා.


සැකකාර තරුණයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කරමින් පවසා තිබෙන බව දැන ගැනීමට ඇත.


ව්‍යාපාරිකයා රෝහලට ඇතුළත් කළ ව්‍යාපාරිකයාගේ දියණිය, බිරිඳ හා ඥාති කාන්තාවන් දෙදෙනා කිරුළපන ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ ඥාතියාගේ නිවසට ගොස් ඇත්තේ අවමඟුල් උත්සවයට සහභාගි වීමටය.


මිනී පෙට්ටිය - ළඟට ඇවිත් දේහයට ආචාර සමාචාර දැක්වූ අයෙක් කෙරෙහි ව්‍යාපාරිකයාගේ දියණිය මහත් ඕනෑකමින් බලා සිටියේ ඔහුව මීට පෙර කොහෙන් හෝ දැක ඇති නිසාය.


ඇය එම පුද්ගලයා කෙරෙහි ඕනෑකමින් බලා ඇත්තේ ඔහු දේවගැති ඇඳුමකින් සැරසී සිටීම නිසා බව කියති.


දේවගැතිවරයා පුටුවක වාඩිවූ පසු ඇය ඔහුට නොදැනසේ කැමරා පහසුකම් සහිත ජංගම දුරකථනයෙන් ඡායාරූප කිහිපයක් ලබාගත් පසු ගියේ කොටුව පොලිස් ස්ථානයටය.


දුම්රියේ දී දුටු දේවගැතිවරයාගේ ඡායාරූපය බොහෝ සෙයින් සමාන වූ නිසා ඇති වූ සැකයක් මත තමා මෙම ඡායාරූපය ලබාගත් බවද ඇය පොලිස් නිලධාරීන් සමග පැවසුවාය.


පොලිස් නිලධාරීන් එම ඡායාරූපය සැකකාර තරුණයාට පෙන්වූ අවස්ථාවේ තමා සමග පැමිණියේ මෙම දේවගැතිවරයා බවට ඔහු විසින් හඳුනාගෙන ඇත.


කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂන් සූරියකුමාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකාර දේවගැතිවරයාගේ නිවස සොයා ගොස් තිබේ.


පොලිසියෙන් පැමිණි බව දැනගත් දේවගැතිවරයා කාමරයකට ඇතුළුව දොර වසාගෙන එළියට නොපැමිණ සිටි අතර පොලිස් කණ්ඩායමද ඔහු පිටතට පැමිණෙන තෙක් නිවසේ රැඳී සිට ඇත. පැය භාගයකට පමණ පසු දේවගතිවරයා කාමරයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ව්‍යාපාරිකයා සතුව තිබියදී පැහැරගත් රන් මාලය කරේ පැළඳ සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.


සැකකාර දේවගැතිවරයා 66 හැවිරිදි වියේ පමණ පසුවන අයෙකි.


දේවගැතිවරයාගේ නිවසේ නව ජීවන අමධ්‍යප සේවය - ගාල්ල සහ කිතුණු පූජක එකමුතුව යනුවෙන් සඳහන් හැඳුනුම්පත් දෙකක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.


සැකකාර දේවගැතිවරයා අවස්ථා කිහිපයකදීම සැකකාර 28 හැවිරිදි තරුණයා සමග ළිදුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදරට ගිය සෑම අවස්ථාවකම පාහේ දේවගැතිවරයා එක්ක තිබෙන ඇයි හොඳයිකම ගැන මව්පියන්ගේ නොසතුටට හේතුවී තිබේ.


ඒ බව මව්පියන් පුතාට ප්‍රකාශකර ඇතත් ඔහු මව්පියන්ගේ විරෝධය නොතකා දේවගැතිවරයා එක්ක - ළිදුලේ පිහිටි ඔහුගේ මහ ගෙදරට පැමිණ දවස් කිහිපයක් ගතකර ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් තොරතුරු අනාවරණය විය.


දේවගැතිවරයා සැකකාර තරුණයා වෙනුවෙන් අතදිගහැර මුදල් වියදම් කර තිබෙන බවද පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.


ව්‍යාපාරිකයා පැළඳ සිටියදී පැහැරගත් රන් මුද්ද සොයා ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා සමග කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය ද සිල්වා යන මහත්වරුන්ගේ  විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණරත්න සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂණ සූරියකුමාර යන මහත්වරු ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.


කොටුව පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන් රෝහණ (31853), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රතාප් (78971), වසන්ත (3264), දයාරත්න (35817), නිශාන්ත (49840), පෙරේරා (74317), අනුර (39753) සහ ප්‍රියංකර (76812) යන මහත්වරුද මෙම පරීක්‍ෂණවලට හවුල්වී සිටිති.

Untitled-1



අදහස් (0)

දුම්රිය මගීන්ට බනිස් කන්න දී රන්බඩු ඉස්සූ දේවගැති

යෝනක Wednesday, 12 October 2016 04:50 AM

නියම කතාවක්. ආශාවෙන් කියෙවුවා (නි)

:       0       0

ටිකිරි Wednesday, 12 October 2016 10:50 PM

අඩුමගානේ මනුස්සගැති කෙනෙක්වත් වුණා නම් මෙහෙම වෙන්නේ නැහැනේ (නි)

:       0       0

අශික Wednesday, 12 October 2016 10:54 PM

මෙච්චර ලෝකෙම බලසම්පන්න කියන ඔය දෙවියන් කවුරු වුණත්, දෙවියන් නෙමෙයි අපිට උතුම් මනුස්සකමයි (නි)

:       0       0

දිනේෂ් Monday, 10 October 2016 08:51 AM

ඇත්ත දේවගැති කෙනෙක්ද නැත්නම් ආගමත් කාගෙන හොරට ලෝගු දාගෙන ඉන්න කෙනෙක්ද. පල්ලියෙන් මේ ගැන මොකද කියන්නේ. (බ)

:       0       0

ටිකිරි Monday, 17 October 2016 08:07 AM

අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 329 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site