කතරගම ඇසළ උළෙලට සහභාගී වීමට නැගෙනහිර සිට යන වන්දනා නඩයක් සමග යාල වන මැදින් කිලෝමීටර 150 ක දුරක් ගෙවා කතරගමට එන්නට වාසනාව ලද්දෙමි. මඩකලපුවේ ශ්‍රී මාංමාග පුල්ලෙයාර් කෝවිලේ පුද පූජා කිරීමෙන් පසු ජූලි 19 වැනිදා පා ගමන ඇරැඹිණි. වන්දනා නඩයේ 160 දෙනෙක් වූහ. සින්නතම්බි විතර්සිංහම් සාමි නඬේ ගුරාය. ඔහු සහභාගී වන 50 වන පාද යාත‍්‍රාව මෙයයි. තිරුක්කෝවිල්, පොතුවිල්, පානම, වෙහෙරගල හෙවත් සන්නාසිමලේ පසු කරමින් අපි ඔකඳ දේවාලයට ආවෙමු. එතැන් සිට ගමන කුමන සහ යාල වනෝද්‍යාන මැදිනි. යාල වන මැද ගමන සුන්දරය. අනතුරුදායකය. අලියකු, කොටියකු හෝ වලසකු කොයි මොහොතේ ඉදිරියට හමුවේදැයි නොදනී. මුවෝ, ගෝන්නු හා හාවෝ දෑස මානයෙන් දිව යති. මොණරකු ඉදිරියට හමුවූ විට වන්දනා නඩය භක්තියෙන් මුමුණති. මයුරා හෙවත් මොණරා කතරගම දේවියන්ගේ වාහනයයි. කතරගම දෙවියන්ට පූජා පිණිස යන මේ ගමනේදී මස්, මාළු නොකති. නිර්මාශ ආහාර පමණක් ගනිති. ඇතැම් විට කංසා කොළ මිශ‍්‍ර කොට සදා ගන්නා රොටියක් ආහාරයට ගන්නේ ශක්තියක් ලබා ගැනීමටයි. පතෝල, පරිප්පු, වට්ටක්කා, ආදිය ඔවුන්ගේ ජනප‍්‍රියම කෑම වර්ගයි. වනමැද දිනකට ගමන කිලෝමීටර් 10 - 15 ක් පමණි. පාන්දර හිරු නැගීමත් සමග අරඹන ගමන හැන්දෑවට නවත්වා වනාන්තරයේ සුදුසු තැනක ලැගුම් ගනී. රෙදි කඩක් බිම එලාගෙන ගහක් යට සදා ගන්නා යහන ඔවුනට දිව්‍ය යහනකි. අසල දිය කඩිත්තකින් බොන වතුර උගුර අමෘතය වැනිය. වනාන්තරයේ අතු රිකිල්ලක්වත් කඩන්නට වන්දනා කරුවන්ගේ අත් එසවෙන්නේ නැත. කටු පඳුරු සිප එන දූවිලි සුළඟ පවා ඔවුනට ආශිර්වාදයකි. පාගමනේ අඩියක් අඩියක් පාසා විවිධත්වයෙන් පිරී ඇත. විටක කටු පඳුරු සහිත ශුෂ්ක මාර්ගයයි. කරවටක් වතුරේ බැස තරණය කළ යුතු ගංගා, දිය කඩිති හමුවෙයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වන සිංහ රෙජිමේන්තුව යාල 4 කලාපයේදී බැතිමතුනට පානීය ජලය ලබාදුන්නේය. වනමැද දින දහයක ගමනකින් පසු අපි ජූලි 29 දා උදෑසන කතරගමට ළඟාවීමු. තිරුක්කෝවිල්හිදී 160 ක් වූ වන්දනා නඩය කතරගමට එනවිට 350 ක් සිටියහ. මැණික් ගඟ දුටු කල්හි සියල්ලෝම අමුතු ජීවයක් ලදහ. ගඟට බැස මුව දෝවනය කැර ගත්පසු එම ජීවය දෙගුණ තෙගුණ විය. දුෂ්කර මෙන්ම සුන්දර ගමන අවසන්වී කොළඹ කන්තෝරුවට පැමිණියද තවමත් නින්නාද වෙමින් අසෙන්නේ නැගෙනහිර බැතිමතුන්ගේ ”හරෝ හරා” යන හඬයි.