IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ඩී.බී. ජනපති පුටුවට ආවේ කොහොමද

 

1922 පෙබරවාරි 19 වැනිදා උපත ලැබූ ඩිංගිරි බණ්ඩා විජේතුංග උඩුනුවර පිළිමතලාවේ ප්‍රදේශයෙන් බිහිවූ අයෙකි. හෙතෙම එකල අතිශය ජනප්‍රියත්වයට පත් දේශපාලනඥයකු වූයේය. ඔහු අන්‍යයන්ගේ සිත් බැඳගත්තේ සරළ චාම් දිවිපැවැත්ම නිසාත් ඉතා ප්‍රියමනාප ලෙස කතාබහ කළ නිසාත්ය. මහජනයා ඔහුට මහත් ලබැඳියාවෙන් පසුවූ අතර ඔහුගේ නමේ මුලකුරු දෙකට ඔවුහු විවිධ අර්ථ නිරූපණ දුන්නෝය. දුන්නොත් බාරගන්නං යන්න එයින් එකකි. ඉංග්‍රීසියෙන් නම් Dearly Beloved ලෙස වරෙක භාවිතා කළේද ඔහු කෙරේ ලබැඳියාවෙනි.

1990 ගණන්වලදී එවකට එජාපයේ අද්විතීය දේශපාලනඥයන් ලෙස සැලකුණ ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුළත්මුදලි අභිබවා ජනාධිපති ආර්. ප්‍රේමදාස විචක්ෂණශීලීව කටයුතු කරමින් අග්‍රාමාත්‍ය පදවියට තෝරා ගත්තේය. විජේතුංග මහතා හැත්තෑ ගණන්වල සහ අසූ ගණන්වල විදුලිබල බලශක්ති හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත්, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, කෘෂිකාර්මික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් වසර 25කට වැඩි කාලයක් පාර්ලිමේන්තු මෙහෙවරේ යෙදී සිටියේය.

1993 මැයි 4 වැනිදා කතානායකවරයා ජනාධිපති ආර්. ප්‍රේමදාස ඝාතනය කරනු ලැබූ පුවත නිවේදනය කළේය. ‘‘ඉතා කුරිරු, බියසුළු ක්‍රියාවක් වන මෙය පෞද්ගලිකව එල්ල කළ ප්‍රහාරයක් නොව, රාජ්‍යයේ ප්‍රධානියා එල්ල කොට සිදු කරන ලද්දකි. එබැවින් එය රජයටත් සමස්ත රටටත් එරෙහිව එල්ල කරන ලද්දකි. ඕනෑම රටක රාජ්‍ය නායකයාගේ අභාවය, ජාති, කුල මල ආගම් හා දේශපාලන භේද නොසලකා එහි රටවැසියන්ට බලපාන්නකි. ශ්‍රී ලාංකිකයන් වූ අපි ප්‍රජාතන්ත්‍රවාදය දැඩි සිතින් ආරක්ෂා කරන අතර එවැනි උමතු ක්‍රියා යළි සිදු නොවනසේ වග බලා ගන්නට අප සැවොම අත්වැල් බැඳගත යුතුවේ. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මීළඟට නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.’’ යනුවෙන් ඔහු කියා සිටියේය.

ජනාධිපති තනතුර හිස්ව ඇති බවට එවර මම නිවේදනය කළෙමි. 1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ) පනතේ 2 වැනි වගන්ති ප්‍රකාරව නව ජනපතිවරයකු පත් කර ගත යුතු බව එම පනතේ 5 වැනි වගන්ති ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරයා ලෙස ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත් කියා සිටියෙමි.

එකී පනත යටතේ වූ දෙවැනි නිවේදනය කියවමින් සිකුරාදා, එම පනතේ 5 වැනි වගන්තියට අනුකූලව නාමයෝජනා භාරගන්නා දිනය විය යුතු බව මම දැන්වූයෙමි. මැයි 7 වැනිදා පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කතා කළ කතා නායකවරයා, ජනාධිපති තනතුරට අදාළ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිවේදනයක් කිරීමට සූදානම් වග කියා සිටියේය.

ඉන්පසු 6 (1) වගන්තියට අදාළ පහත සඳහන් නිවේදනය මම කළෙමි.

‘‘ජනාධිපති තනතුර සඳහා නාමයෝජනා භාර ගැනීමට අදාළ ප්‍රතිපාදන පිළිබඳව මම සභාවට දැනුම් දෙනු කැමැත්තෙමි. 1981 අංක 2 දරන (විශේෂ) ජනාධිපතිවරණ පනතේ අංක 10 ඡේදයේ ඊට අදාළ කරුණු පහත ආකාරයෙන් කියැවේ.

6 (1) නාමයෝජනා භාරගැනීම සඳහා පාර්ලිමේන්තුව නියම කරගත් දිනයේදී මහලේකම්වරයා තේරීම්භාර නිලධාරි ලෙස කටයුතු කළ යුතුය.

2) ජනාධිපති ධුරය සඳහා ජනාධිපතිවරණයට යම් මන්ත්‍රීවරයකුගේ නම යෝජනා කරන මන්ත්‍රීවරයකු එකී ජනාධපති ධුරය සඳහා යෝජනා කරන මන්ත්‍රීවරයාගේ ලිඛිත කැමැත්ත එම ධුරයේ කටයුතු කිරීම උදෙසා ලබා ගත යුතුය.

මහලේකම්වරයා අමතන මන්ත්‍රීවරයා, වෙනත් මන්ත්‍රීවරයකුගේ නම ජනාධිපති තනතුර සඳහා යෝජනා කළ යුතුය. එම යෝජනාව තවත් මන්ත්‍රීවරයකු විසින් ස්ථිර කළ යුතුය. ඒ සඳහා විවාද කිරීමට අවසර දෙනු නොලැබේ.

යෝජනා කොට ස්ථිර කරනු ලැබුවේ එක් මන්ත්‍රීවරයකුගේ නමක් පමණක් නම්, එකී මන්ත්‍රීවරයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගත් බව මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කළ යුතුය. එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි ගණනකගේ නම් යෝජනා කොට ස්ථිර කරනු ලැබ ඇත්නම් අංක 03 උප වගන්තිය අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරණ සඳහා දිනයක් සහ වේලාවක් යොදාගත යුතුය. එම දිනය නාමයෝජනා භාර ගත් වේලේ පටන් පැය 48ක් නොඉක්මවන දිනයක් නොවිය යුතුය. 1981 අංක 2 දරන (විශේෂ) ජනාධිපතිවරණ පනතේ 6 වැනි වගන්ති ප්‍රකාරව ජනාධිපතිධුරය සඳහා මම දැන් නාමයෝජනා භාරගන්නෙමි’’

 

ජනාධිපතිවරයා තෝරා ගැනීම

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජයපාල මෙන්ඩිස් මහතා මෙසේ කීවේය.

‘‘පාර්ලිමේන්තු මහ ලේකම්තුමනි, 1981 අංක 2 දරන (විශේෂ) ජනාධිපතිවරණ පනතේ 6 (1) වගන්තියට අනුකූලව, මා ගරු ඩිංගිරි බණ්ඩා විජේතුංග මන්ත්‍රීතුමාගේ නම ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ධුරය සඳහා සභාව වෙත යෝජනා කර සිටින්නේ ඉමහත් සතුටෙනි. ඉහත කී ගරු මන්ත්‍රීවරයා ගරු සභාව විසින් එම ධුරය සඳහා තෝරාගන්නේ නම් එම ධුරය දැරීමට කැමැත්ත පළ කර තිබෙන ලිපිය ඔබ වෙත මේ සමග ඉදිරිපත් කර සිටිමි.’’

 

අධිකරණ සහ උසස් අධයාපන අමාත්‍ය ගරු ඒ.සී.එස්. හමීඩ් මෙසේ කීවේය.

‘‘පාර්ලිමේන්තු මහ ලේකම් තුමනි, ගරු ඩිංගිරි බණ්ඩා විජේතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ නම ශ්‍රී ලංකා සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ධුරය සඳහා මා ස්ථිර කරනුයේ ඉමහත් සතුටිනි.’’

මහලේකම්වරයා:- වෙනත් නම් තිබේද?

ඉන් අනතුරුව මම මෙම නිවේදනය කළෙමි.

‘‘1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ) පනතේ 6 (4) වගන්ති ප්‍රකාරව මම ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධුරය සඳහා නිතරගයෙන් පත්වී ඇති බව ප්‍රකාශ කරමි. ගරු ජනාධිපති උතුමාණෙනි ඔබ වෙත සුබ පැතුම් පිරිනමමි.’’

කතානායකවරයා:- ‘‘ශ්‍රී ලංකාවේ තුන්වැනි විධායක ජනාධිපති ලෙස අද දින එම ධුරයේ වැඩ භාරගන්නා ගරු උතුමාණෙනි, මාගේ ගෞරවාදර සුභාෂිංශනය පිළිගන්න.’’

ශ්‍රී ලංකාවේ අති උතුම් ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව මා ඔබ වෙත සුබ පැතුම් පිරිනමමි, ගරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඛේදනීය ලෙස ඝාතනය කිරීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වූයේය. දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ මා ඔබ හඳුනාගෙන සිටින්නෙමි. ඔබ කිසිවකුට හානියක් හෝ අයුක්තියක් සිදු නොවන අයුරින් ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් තනිවම විසඳාලීමේ හැකියාව ඇති මහත්මා ගුණයෙන් හෙබි පුද්ගලයෙකි. ශ්‍රී ලංකාවේ ජනතාව හට සාමයත්, සමෘද්ධියත් උදාකරමින් ඔවුන්ගේ දෛවය කරා ඔවුන් රැගෙන යාමේ හැකියාව ඔබ වෙත පවතින බවට මා තුළ දැඩි විශ්වාසයක් පවතී.’’

හොඳම කතාව කළේ කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය, සභානායක රනිල් වික්‍රමසිංහ විසිනි. එතුමා නව ජනාධිපතිවරයාට සුබ පතමින් සිංහලෙන් දීර්ඝ කතාවක් කළේය.

එදිනට නියමිතව තිබුණු කටයුතු නිමා වීමෙන් පසුව නව ජනාධිපතිවරයා ඔහුගේ සුපුරුදු සරළ චාම් බවෙන් යුක්තව ඔහුගේ පත්වීම සඳහා මා කළ කාර්ය වෙනුවෙන් ස්තුතිය පළ කළේය. ඔහුට ප්‍රතිචාර දක්වමින් මම මෙසේ කීවෙමි. ‘‘සර්, මා නීත්‍යානුකූලව මගේ රාජකාරිය ඉටු කළා පමණයි. ඊට වඩා යමක් මා කළේ නෑ. මගේ උණුසුම් සුබ පැතුම් පිළිගන්නට කාරුණික වන ලෙස මා ඉල්ලනවා.’’

මා ඊළඟ සතියේ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව කීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ඔහු හමුවන්නට මා ගිය අවස්ථාව සිහිකරන්නේ අතීත කාමයෙන් යුතුවයි. ඔහු මෙසේ කියමින් මට ප්‍රතිචාර දැක්වූයේය. ‘‘නිහාල්, ඔබ අවුරුදු 30කට වඩා කාලයක් පාර්ලිමේන්තුවට කළ විශිෂ්ට සේවාවකින් පසුව එම සේවාව අහිමිවීමේ පාඩුව අපටත් දරා ගන්න බෑ.’’ අවුරුදු 60 විශ්‍රාම යායුතු කාලය දීර්ඝ කරමින් පාර්ලිමේන්තුවට සංශෝධන පනතක් ගෙන එන්නට රජයට කියන්නදැයි ඔහු තවදුරටත් ඇසුවේය. ඔහු කී දේ මම ඉතා විනීත අයුරින් ප්‍රතික්ෂේප කළෙමි. මගෙන් පසුව රාජකාරි භාර ගන්නා තැනැත්තාද මා මෙන්ම හොඳින් සේවාව ඉටු කරනු ඇතැයි මම කීවෙමි. මා විදේශ රටක තානාපති ධුරයකට පත් කරන්නදැයි ඔහු ඉන් අනතුරුව මගෙන් ඇසුවේය. එයද ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කොට ඔහුට ස්තුති කළ මම මගේ කොළඹ 5 හැව්ලොක් පාරේ පිහිටි නිවසට අඹු දරුවන් සමග කාලය ගත කරන්නට යන බව කියා සිටියෙමි. ඔහුට බොහෝ සෙයින් ස්තූති කොට මම ඔහුගේ කාර්යාලයෙන් පිටත්ව ආවෙමි.

ඔහුගේ අතිශය චාම් ගතියත් උපකාර කිරීමට සැදී පැහැදී සිටීමේ ගුණය පිළිබඳව සඳහන් කරමින් මම මේ සටහන අවසන් කරන්නෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු උදව්වක් බලාපොරොත්තුවෙන් ඔහු වෙත පැමිණ තිබිණි. මන්ත්‍රීවරයාට අවශ්‍ය කර තිබුණේ තම කාර්යාලයේ තිබූ දුරකථනයෙන්, කාර්යාලයට සැතපුම් පහක් පමණ ඈතින් පිහිටි ඔහුගේ උඩරට පිහිටි නිවසට දුරකථන දිගුවක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමයි. මා වෙත දුරකථන ඇමතුමක් දුන් ජනාධිපතිතුමා ඉතාමත් සුහද ලෙස මා අමතමින් මෙසේ කීවේය. මම දන්නව මේ තැනැත්තට උදව්ව කරන්න විදිහක් ඔයා සොයාගන්නා බව. කරුණාකර මන්ත්‍රීවරයාට ඒ උදව්ව කරන්න’’ ඔහුට එම උදව්ව කළ නොහැකි බවත් නිවස පිහිටා තිබුණේ යාර කිහිපයක් ඔබ්බෙන් නම් එය කළ හැකිව තිබූ බවත් කියමින් මම එම ඉල්ලීම විනීත අයුරින් ප්‍රතික්ෂේප කළෙමි. එවැනි ඉල්ලීම් අනෙක් මන්ත්‍රීවරුන්ද කළහොත් එය මට අනුමත කළ නොහැකි බවද කියා සිටියෙමි. ඔහුටම ආවේනික ශෛලියෙන් යුතුව ඔහු මෙසේ කීවේය.

‘‘මම දන්නවා නිහාල්, ඒ වුණාට මම දන්නව, මොකක් හරි විදියකින් මන්ත්‍රීවරයට ඔයා උපකාර කරනවා කියල’’ එසේ කියා එතුමා දුරකථනය විසන්ධි කළේය. එම මන්ත්‍රීවරයා මා හමුවට පැමිණ ඔහු මේ ගැන ජනාධිපතිවරයාට කී වග කියා සිටියේය. මම ඒ වන විටත් එතුමාට එය පැහැදිලි කර ඇති බවත් ඔහුගේ ඉල්ලීම ඉටු කළ නොහැකි බවත් මම මන්ත්‍රීවරයාට කීවෙමි. ඔහු මගේ කාර්යාලයෙන් නික්ම ගියේ හිත හොඳින් නොවේ.

 

(*** පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ)

 

 

 



අදහස් (1)

ඩී.බී. ජනපති පුටුවට ආවේ කොහොමද

asanka Thursday, 23 September 2021 05:02 PM

බොහෝ නගරබද උදවිය ඩිංගිරි බණ්ඩා විජේතුංග හාස්‍යයට ලක් කරේ එතුමා ඔවුන්ට "පොෂ්" මදි වූ නිසයි. ඊට හේතුව නම් බොහෝ දෙනෙකුට එදා ඔහුගේ චාම්, අව්‍යාජ දිවි පෙවෙත තේරුම් ගත නොහැකි වීමයි.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 416 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 326 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 164 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 342 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 515 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1140 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site