ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පසුගියදා සම්මත විය. බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 06ක් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබිණි. එම යෝජනාව සම්මත වීමේදී ශ්‍රී ලංකාව සමඟ දීර්ඝකාලීනව සබඳතා පවත්වන රටවල් වන දකුණු කොරියාව සහ යුක්‍රේනය වැනි රටවල් පවා ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කිරීමත් ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව සහ බහරේන් වැනි රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටීමත් කැපී පෙනිණි. චීනය, රුසියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ පිලිපීනය ඇතුළු රටවල් 11ක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එම රටවල්වලට

ශ්‍රී ලංකාවේ ගෞරවය පිරිනමන බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු  ලැබුවේ සාධාරණ සහ නිවැරදි තොරතුරු සහ සංඛ්‍යාලේඛන මත පදනම් වූ පිළිගත හැකි වාර්තාවක් නොව අසාධාරණ, අයුක්තිසහගත, වැරදි වාර්තාවක් බව රජයේ මතය විය. එය එසේම බව අපගේද පිළිගැනීමය. එසේ වුවද මහා බ්‍රිතාන්‍යය ඇතුළු බලවත් රටවල් ගණනාවකගේ මෙහෙයුමෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාවක් සම්බන්ධයෙන් රජය ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දී මීට වඩා රාජ්‍යතාන්ත්‍රික මට්ටමකින් කටයුතු කළ යුතුව තිබුණු බව අපගේ වැටහීමය. ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද පෙනි පෙනී තිබියදීත් කොරෝනා මෘතදේහ ආදාහන - භූමදාන ගැටලු‍වට එක හඬකින් කතා කිරීමට අසමත් වීමත් බුර්කා, නිකාබ් තහනමක් පිළිබඳ ‘වොයිස් කට්’ දේශපාලනයක නිරතවීමත් ඊට උදාහරණ දෙකකි. රජය තම විදේශ ප්‍රතිපත්ති කෙරෙහි ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකිරීම මෙවැනි තත්ත්වයකට හේතු වූවාද යන ගැටලු‍වද මෙහිදී මතු වෙයි.

 

දැන් ඡන්දය අවසන්ය. එහෙත් ඡන්දය නිමවීමෙන් පසුව එළඹෙන තත්ත්වයටද පූර්ව සූදානමක් ඇතිකර නොගතහොත් අනාගත අභියෝග ජය ගැනීමට අවශ්‍ය අඩිතාලම දමාගැනීම පහසු නොවනු ඇත. ජාත්‍යන්තරයට අභියෝග කිරීමෙන් හෝ අපට ඡන්දය නොදුන් රටවල් සමඟ විරසක ඇතිකර ගැනීමෙන් හෝ රටට ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. ඒ බව මුලින්ම තේරුම් ගත යුතුය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හුදෙකලා විය යුතු රටක් නොවේ. ජාත්‍යන්තරයේ සැබෑ මිතුරන් හඳුනාගන්නා අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සෙසු සියලු‍ රටවල් සහ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමද මෙහිදී වැදගත් වෙයි. මේ පිළිබඳව නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම සියලු‍ බලධාරීන්ගේ වගකීම වෙයි.

 

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව කෙටුම්පත් කළ මහා බ්‍රිතාන්‍යය පමණක් නොව මානව හිමිකම් කවුන්සිලයේ නොසිටියද පිටතින් සිට ඊට සහාය දැක්වූ අමෙරිකාවටද මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ඇත්තේ පිරිසුදු නොවන වාර්තා බව යථාර්ථයයි. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට දායක වූ මේ රටවල් දෙකම කොටි ත්‍රස්තවාදී අපරාධ සහායකයන්ට සෙවණ ලබාදෙමින් ඔවුන් සුරතල් කළ බව රහසක් නොවේ. එසේම ජාත්‍යන්තරයේ සිදු කළ යුද ආක්‍රමණවලදී මේ දෙරටම විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ වෙනම වාර්තා තිබේ. ඒවා කිසි කලෙකත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ අවධානයට යොමුවන්නේ නැත. කොටි සංවිධානය වෙනුවෙන් ළමා සොල්දාදුවන් පුහුණු කොට ඔවුන්ගේ කරේ සයනයිඞ් කරල් එල්ලා ඔවුන් ඇවිදින බෝම්බ බවට පත් කළ ඇඩෙලා බාලසිංහම් අද මහා බ්‍රිතාන්‍යයයේ සියලු‍ රැකවරණ සහිතව වෙසෙයි. කොටි කාන්තාවන් යුද්ධයකට පුහුණු කළ ත්‍රස්තවාදී නායිකාවක් වුවත් ඇයට මහා බ්‍රිතාන්‍යයෙන් කිසිම නඩුවක් නැත. මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් චෝදනාද නැත. ජාත්‍යන්තර දෙබිඩි දේශපාලනයේ කටුක යථාර්ථය එයයි.

 

ශ්‍රී ලංකාවට එරෙහිව වාර්ෂිකව වාර්තා ගෙන ඒමට දායක වන රටවල් එසේ කරන්නේ මානව හිමිකම් කඩකිරීම් නිසාම නොවන බව ඉහත උදාහරණයෙන් පැහැදිලි වෙයි. මෙහි ඇත්තේ යටි අරමුණුය. ඇතැම්විට ශ්‍රී ලංකාව, අමෙරිකාව මගින් බලකෙරුණු එම්.සී.සී. ගිවිසුම හෝ සෝෆා ගිවිසුම හෝ අත්සන් කළා නම් මෙවර මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව දියාරු කිසිදු රටක අවධානයකට ලක් නොවන වැඩකට නැති එකක් වීමට ඉඩ තිබිණි. එසේම ගෝලීය භූ දේශපාලනය තුළ තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහාද අමෙරිකාවෙන් කුඩා රටවල්වලට මෙවැනි බලපෑම් එල්ල වෙයි. ඉන්දීය සාගර කලාපය තුළ චීනයේ බලපෑම් බැලන්ස් කිරීම සඳහා අමෙරිකාව ශ්‍රී ලංකාවට මෙවැනි රාජ්‍යතාන්ත්‍රික හිරිහැර සිදු කිරීමට ඉඩකඩ තිබෙන බවද මෙරට බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතුය.

 

ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසුව වහාම සිදුවන වෙනසක් නැත. එමගින් කළ හැක්කේ යෝජනාවේ සඳහන් වගන්ති ක්‍රියාවේ යෙදවීමට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම පමණි. අපේ රටට එරෙහිව සිටින රටවල් සමඟ අමනාප වීමෙන් ඊට පිළිතුරු සොයා ගැනීමට නොහැක. අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් රට ගොඩදාගැනීමට කටයුතු කිරීමය. ඒ සඳහා අධිෂ්ඨානයක් තිබීම පමණක් ප්‍රමාණවත් නැත. විධිමත් වැඩපිළිවෙළක්ද තිබිය යුතුය.

 

(***)