මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකයන්ගේ ගුණ සමරු දිනය අදට (22) යෙදී තිබේ. ශ්‍රී ලාංකීය අපි ‘‘ජාතියේ පියා’’ ලෙස හඳුන්වන එතුමන් දැයෙන් සමුගෙන අදට වසර හැට නවයකි.

අප මාතෘ භූමියේ නිදහස සඳහා වූ අරගලයේ අවසන් අදියරට නායකත්වය දුන් ඒ අයෝමය මිනිසා දැක ගන්නට මට භාග්‍යය නොතිබිණි. එහෙත් එතුමන්ගේ ක්‍රියා ඇතුළු හැසිරීම් කියැවීමෙන් ඒ චරිතය මට දැක ගන්නට පුළුවන් වුණි. පසුගිය දිනක පාර්ලිමේන්තු පුස්කාලයේදී එතුමන් පිළිබඳවූ පොත්පත්, හැන්සාඩ් වාර්තා සහ ප්‍රවෘත්තිපත්‍ර වාර්තා කියවන්නට මම සෑහෙන කාලයක් ගත කළෙමි.
ඒ අවස්ථාවේදී මා ඇසගැටුණු, එතුමන් ලන්ඩනයේදී ගුවන් විදුලිය මගින් බ්‍රිතාන්‍ය ජනතාව වෙත කළ ප්‍රකාශයකින් කුඩා කොටසක් උපුටා දක්වන්නට කැමැත්තෙමි. (උපුටා ගැන්ම 1952 මාර්තු 23 වන දින The Times of Ceylon Sunday වෙතිනි.)

‘‘නැගෙනහිර සිටින අපි ආලෝකය උදෙසා වසර ගණනාවක් තිස්සේ දුෂ්කර අරගලයක යෙදී සිටියෙමු. බලය උදෙසා සහ දුර්වලයා සූරාකෑම සඳහා ඇති කරන බය, සැක සහ බෙදීම් පිළිබඳ තිත්ත වූ පාඩම් ඒ තුළින් ඉගෙන ගෙන ඇත්තෙමු.
මිනිසාගේ පැවැත්මට වැදගත්වන මූලික ආධ්‍යාත්මික වටිනාකම් පිළිබඳව පැහැදිලි අවබෝධයකින් කටයුතු කිරීම තුළින් පමණක් ජාත්‍යන්තර තලයේ නිවැරැදි අවබෝධයක් ඇතිකර ගත හැකිය යන කාරණය අපි විශ්වාස කරන්නෙමු.

අප විශ්වාස කරන ජීවන මග වන්නේ මැදුම්පිළිවෙතයි. එහි පදනම මිනිස් සංහතියේ ඒකීය භාවයයි.’’

ඩී.එස්. සේනානායකයන්ගේ නිවැරැදි වූ පුළුල් දැක්ම මෙන්ම ඔහු එය එළිදක්වන ආකාරය සහ ස්ථානය, අද යුගයේ වගකිවයුත්තන්ටද පාඩම් උගන්වනු ලබයි. එතුමන්ගේ ඒ ප්‍රකාශයන් අදටද වලංගුය. බටහිර – නැගෙනහිර, සුදු - කළු, ජාති, ආගම්, කුල සීමාවන්ගෙන් ඔබ්බට යමින් ඔහු මේ ගුවන් විදුලි කතාව තුළින් බ්‍රිතාන්‍ය ජනතාව ඇමතීමේදී ‘‘මිනිස් සංහතියේ ඒකීයභාවය’’ සහ ‘‘මැදුම්පිළිවෙත’’ අවධාරණය කරයි. මේ කතාවෙන් එළි දකින්නේ ඔහුගේ සිතුම්පැතුම්වලට ඇති බුදුදහමේ ආභාසයයි.

ඒ මඟ යමින්, එම චින්තනයේම පිහිටා ඔහු ශ්‍රී ලාංකීය ජනතාවට අවධාරණය කළ පණිවිඩයක් මගේ මතකයට නැගේ. ඒ 1946 සැප්තැම්බර් මස හයවන දින කොළඹ පාම්කෝට් මන්දිරයේදී කළ ප්‍රකාශයකි. එක්සත් ජාතික පක්‍ෂය නිල වශයෙන් පිහිටුවාගත් දිනයේදීය.

‘‘සිංහල වෙච්චාවේ, දෙමළ වෙච්චාවේ, මුස්ලිම් වෙච්චාවේ අපි එකම ජාතියක්. ශ්‍රී ලාංකීය ජාතියට ආශිර්වාද වේවා!’’

ඔහු එදින තම කතාව ආරම්භ කර ඇත්තේ මේ වචනවලිනි. ජාතිකත්වය සඳහා ඩී.ඇස්. ගේ මේ අර්ථනිරූපණය අදටත් වලංගු බව මගේ අදහසයි. සිංහල මහ සභාව, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් ලීගය, බර්ගර් සංගමය, යෝනක සංගමය, මැලේ ලීගය ආදි වශයෙන් බෙදී සිව්  ජාතියක් එක ධජයක් යටතේ එක් කිරීම සඳහා වූ අපේ ජාතික වීරයන්ගේ ප්‍රයන්තය බොහෝ දුරට මල්පල ගැන්වුණු දිනය එයයි.

‘‘උඹලා බෙදී ඉන්න ජාතියක්. උඹලට නිදහස දුන්නොත් උඹලා මිනීමරාගනීවි. නිදහස දෙන්න නම් උඹලා පළමුව එකතු වෙයල්ලා.’’

මේ අධිරාජ්‍යවාදීන් නිදහස දෙන්නට අවශ්‍ය පූර්ව කොන්දේසිය ඉදිරිපත් කළ අයුරුයි. මතුපිටින් එසේ කීවද, ශ්‍රී ලාංකීය ජාතිය, ජාති, ආගම්, කුල, උඩරට – පහතට, යාපනය – මඩකළපුව ආදී වශයෙන් විවිධ බෙදීම් වැඩි කරන්නට උපාය මාර්ග දියත් වී තිබිණ. මේ උපාය මාර්ගවල ගොදුරු බවට පත්ව සිටි ඇතැම් අය නිදහසට පක්‍ෂ වන්නට ‘‘පනහට පනහේ’’ කොන්දේසි ඉදිරිපත් කළහ.

ඩී.ඇස්. ඇතුළු නිදහසේ අරගලයේ නියමුවන් ඉදිරියේ තිබුණේ දුෂ්කර අභියෝගයකි. ඒ ශ්‍රී ලාංකීය ජාතිය එකමුතු කරගැන්මේ අභියෝගයයි. ඉන්දියාව නිදහස ලැබුවේ ඛේදවාචකයක් සමගිනි. රට දෙකඩ කරමිනි. එහෙත් අවසානයේදී ‘‘අපි දැන් එකමුතුයි. අපට අප්‍රමාදව නිදහස දියල්ලා’’ යැයි කිව හැකි ලෙසින් ශක්තිමත් එකමුතුවක් ඇති කරගන්නට අපේ ජාතික නායකයෝ සමත්වූහ.

නිදහසින් පසු තමන් පිහිටවූ රජයේ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු ලෙස, ‘‘පනහට පනහේ කොන්දේසි’’ ඉදිරිපත් කළ ද්‍රවිඩ කොංග්‍රසයේ නායක ජී.ජී. පොන්නම්බලම් මහතා එක්කර ගැන්මට ඩී.එස්. සේනානායකයන් කටයුතු කළේය. සැකය, අවිශ්වාසය මෙන්ම වෛරී සිතිවිලිවලට පිටුපාමින්, ජාතිය එකමුතු කිරීමට ඔහුට තිබූ අධිෂ්ඨානය මේ තුළින් අපට තේරුම් ගත හැකි අතර, ජාතිය ගොඩනැගීමේ ප්‍රයන්තය සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරී සහයෝගය දිනාගැන්මටද ඔහු සමත්විය.

මෙලෙස ශ්‍රී ලාංකික ජාතිය එකතුකර, නිදහස දිනා ගැන්මේ වැඩපිළිවෙළට නායකත්වය දුන් නියමුවා ලෙසින් පමණක් නොව, නිදහසින් පසුව රට ගොඩනැගීම සඳහා සියලු ජනකොටස් ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු කර ගනිමින් අගනා දේශපාලන හැසිරීම් පිළිබඳ ආදර්ශ ලබාදුන් නායකයා ලෙසද, එතුමන් ඉතිහාසගත විය යුතුව ඇත.

ඩී.ඇස්. සේනානායකයන් අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදී, ඔහුගේ අභාවය වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ (Daily Telegraph) ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත එතුමන් ගැන කළ උපහාරාත්මක සඳහනකින් කොටසක් උපුටා දක්වන්නට කැමැත්තෙමි.

‘‘කාරුණිකවූත්, උපායශීලීවූත්, ධෛර්ය සම්පන්නවූත් ඔහු දක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බව සනාථ කර ඇත. බලවත් සභාග රජයක් පිහිටුවා ගැන්ම සඳහා ස්වාධීන මන්ත්‍රීවරුන් සමග තම පක්‍ෂය එක්කර ගත්තා පමණක් නොව, තම බලවත් විරුද්ධවාදීන් වූ ලංකා දෙමළ කොංග්‍රසයේ ක්‍රියාකාරී සහයෝගයද ලබා ගැන්මට ඔහු සමත් විය.’’

ඩී.එස්. සේනානායකයන් ඇමෙරිකාවේ ට්‍රම්ප් මෙන් සුදු සුපිරි අධිපතිවාදී මතවාදයක් කරපින්නාගත් නායකයකු නොවේ. එමෙන්ම අද ඉන්දියාවේ මතුවී එන බහුතරවාදී ආධිපත්‍ය මතවාදය වැනි මතවාදයක් විශ්වාස කළ නායකයකුද නොවේ, එතුමා. පටු දේශපාලන වාසි සඳහා එවන් බහුතරවාදී ආධිපත්‍ය මතවාද වපුරා දේශපාලන වාසි ප්‍රයෝජනය ගැන්මේ මගක අනිටු විපාක ඔහු හොඳින් දැන සිටි බව ඔහුගේ දේශපාලන හැසිරීම විග්‍රහ කර බලනවිට මැනවින් තේරුම් ගත හැක.

එහෙත් මෙරට පීඩිත බහුතර ජනතාවගේ සුබසෙත වෙනුවෙන් විශාලතම මෙහෙවර ඉටු කළ නායකයා ලෙස මම ඔහු දකින්නෙමි. ඒ වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයකින් සහ කැපවීමකින් කටයුතු කළ නායකයා ලෙස මම ඔහු දකින්නෙමි.

ඩී.එස්. සේනානායකයන් පිළිබඳව මෙම කෙටි සටහන, ඒ යුගයේ මෙරට ජීවත්වූ ද්‍රවිඩ සහ මුස්ලිම් නායකයන් දෙදෙනෙකුගේ ප්‍රකාශ දෙකක් උපුටා දක්වමින් සමාජගත කරන්නට මම කැමැත්තෙමි. මේ ප්‍රකාශ දෙක කර ඇති පුද්ගලයන් වන්නේ රාජනීතිඥ ජී.ජී. පොන්නම්බලම් සහ වෛද්‍ය එම්.සී.එම්. කලීල් පාර්ලිමේන්තු අමාත්‍යවරුන් දෙදෙනායි. ඒ 1952 අප්‍රේල් දෙවන දින, පාර්ලිමේන්තුවේදී එතුමන් පිළිබඳ ශෝක ප්‍රකාශ සිදු කරන අවස්ථාවේදීය.

ජී.ජී. පොන්නම්බලම් මහතාගේ කතාවෙන් උපුටා ගත් කොටස මෙසේය.

‘‘අපේ නිදහස සඳහා වන අරගලයේ අවසන් අදියරේ ආරම්භයේ පටන් අවසානය දක්වාම සිටිමින් නායකත්වය දුන් දෙදෙනෙකුගේ නම් මේ මොහොතේ සිහිපත් කරන්නට මම කැමතියි. ඒ, ඩී.එස්. සේනානායක සහ පොන්නම්බලම් රාමනාදන් යන නාමයන්ය. මේ නාමයන් දෙක අප මාතෘ භූමිය සැමදා සිහිපත් කරන නාමයන් වනු ඇත.’’

‘‘ඩී.ඇස්. සේනානායක අපේ දේශපාලනයේ සිටි යෝධයෙක්. එතුමන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදියෙකු වුණා. එතුමා සෑම ආකාරයේම ළිං මැඩි චින්තනයන්, සෑම ආකාරයේම අධිපතිවාදී සිතීම්, සෑම ආකාරයේම අන්තවාදී ස්ථාවරයන් හෙළා දුටු නායකයෙකු වුණා. ‘‘මම විශ්වාස කරනවා, අපේ රටේ ජනතාව එතුමන් ලබාදී ඇති මේ ආදර්ශය දිගටම අනුගමනය කරාවි කියා’’.
එම්.සී.එම්. කලීල් මහතාගේ කතාවෙන් උපුටා ගත් කොටස මෙසේය.

‘‘සේනානායකයන් ශරීර ශක්තිය අතින්ද, මානසික ශක්තිය අතින්ද, සදාචාරමය අතින්ද ශ්‍රේෂ්ඨ මිනිසෙකු වුණා. 1915 අඳුරු දිනවලදී ඔහු සිරභාරයෙන් නිදහස්ව ආපසු ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය නැවත එළි දැක්වුණා. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි අබ්දුර් රහ්මාන් මන්ත්‍රීවරයා සමගින්, රට පුරා ප්‍රධාන මුස්ලිම් ගම්මාන සියල්ලටම යමින් මුස්ලිම් නිවාසවල රැඳී සිටිමින්, ඔවුන් සමග එක්ව ආහාර ගනිමින්, මුස්ලිම් සහ සිංහල ජනතාව අතර සාමය, අවබෝධය සහ සහෝදරත්වය යළි ඇති කිරීම සඳහා එතුමන් කටයුතු කළ අයුරු මට සිහිපත් වෙනවා.’’

‘‘එමෙන්ම දිනක් එතුමන්ගේ පෞද්ගලික නිවස වන ‘‘වුඩ්ලන්ඩ්ස්’’ හි පැවැති සෙසු ජන කොටස්වල නියෝජිතයන් සමග වූ සාකච්ඡාවකදී,

‘‘ඇයි ඔබලාට බැරි මේ රටේ බහුතර ජනතාව විශ්වාස කරන්නට? අපි කිසි දිනෙක ඔබලා තබන විශ්වාසයට ද්‍රෝහී වන්නේ නැහැ.’’ යනුවෙන් කියා සිටි අයුරු මගේ මතකයට එනවා. අපි එක්වරම එතුමන් සමගින් එකඟතාවයකට ආවා. ඒ ගැන අපට අද වන තෙක් පසුතැවිලි වන්නට සිදුවෙලා නැහැ.’’

ඩී.ඇස්. සේනානායකයන් සහ දොස්තර කලීල් අතර එදා සිදුව තිබූ මේ සංවාදය, අපේ අනාගත පරපුරට යා යුතු මග සඳහා ආලෝකය ලබා දෙන්නක්.

අධිරාජ්‍යවාදීන්ගේ බෙදා පාලනය කිරීමේ උපායමාර්ග අද යුගයේත් අපි දකිමින් සිටින්නෙමු. අප අතර ගැටුම් ඇති කරමින් ඒ තුළින් පටු වාසි සොයන මේ පවිටු දේශපාලනයේ නිමාවක් අපි දැකිය යුතුව ඇත්තෙමු. ආසියාවේ ජපානයට පමණක් දෙවෙනිව සිටි අපේ මාතෘභූමිය පසු කරමින්, අනෙක් රටවල් බොහොමයක් ආර්ථීක අතින් පෙළහර පාමින් සිටිති.

අභිමානවත් රටක් ලෙසින් අපේ මාතෘ භූමිය අනාගත පරපුරට භාර දෙන්නට නම්, අප අතර ගැටුම් ඇති කරන, අපව භේද කරන මේ දුෂ්ඨ න්‍යාය පත්‍ර පරාජය කළ යුතුව ඇත්තෙමු. ඇතුළතින් ආවද, පිටතින් ආවද, මේ බෙදුම්වාදී න්‍යාය පත්‍ර පරාජය කර, ශ්‍රී ලාංකීය ජාතිය එකමුතු කර ගැන්මට දායකවීම, මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකයන්ට දැක්විය හැකි ඉහළම උපහාරය ලෙස මම විශ්වාස කරන්නෙමි.

- සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
ඉම්තියාස් බාකීර් මාකාර්