1965-70 සමයේ ඩඞ්ලි සේනානායකයන්ගේ නායකත්‍වයෙන් බිහිවූයේ ජාතික ආණ්ඩුවකි. වෙනත් යූ.ඇන්.පී. ආණ්ඩුවලට වඩා එහි වෙනසක් දක්නට ලැබුණි. මාක්ස්වාදයේ පියා ලෙස විරුදාවලිය ලැබූ පිලිප් ගුණවර්ධනද එම රජයේ කර්මාන්ත ඇමැතිවරයා විය. ඒ යූ.ඇන්.පී. කාරයකු ලෙස නොව මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙසිනි. එසේම ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක යුගයේ සිටම පෙරළිකාරී චරිතයක් වූ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල ද, ඩඞ්ලි සේනානායක රජයේ අධ්‍යාපන ඇමැතිවරයා විය. මේ නිසා ඊට ඉහත පැවැති යූ.ඇන්.පී. ආණ්ඩුවලට වඩා අගමැති ඩඞ්ලි සේනානායකගේ ජාතික රජය යම් මට්ටමක ප‍්‍රබල ආණ්ඩුවක් සේ සැලකුණි. අගමැති ඩඞ්ලිගේ කීර්තිනාමය ද ඊට හේතුවිය. සාමාන්‍යයෙන් ඩඞ්ලි සේනානායක ආණ්ඩු සම්බන්ධයෙන් රටේ පැවැතියේ යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු පාලනයක් යන අදහසකි. මේ රජයටද 1968දී අතුරු මැතිවරණ තුනකට මුහුණදීමට සිදුවුණි. බලංගොඩ, බෙන්තර ඇල්පිටිය හා බණ්ඩාරවෙල ආසන යන සඳහා එසේ අතුරු මැතිවරණ පැවැත්විණි. ආණ්ඩු පක්ෂය ආසන බෙදාගෙන මේ අතුරු මැතිවරණ ජය ගැනීම සඳහා තම උපරිම ශක්තිය යෙදු බව රහසක් නොවේ. අවසානේ රජය පැරදුණේය. අතුරු මැතිවරණ ආසන තුනම ජයගත්තේ විපක්ෂයයි. නැතිනම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ට සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවලද සහාය ද ලැබුණි. එම ආසනවල ජනමතයට රජය එල්ල කළ බලපෑම කොතරම් ප‍්‍රබල වුවද විපක්ෂයට ජය අත්විය. අවසානේ 1970 මැතිවරණයෙන් ඩඞ්ලි සේනානායක රජය පරාජයට පත්විය.   1976 පැවැති මුල්කිරිගල අතුරු මැතිවරණයේ දී සිදුවූයේ මීට හාත්පසින්ම වෙනස් වූ ප‍්‍රතිඵලයකි. එහිදී පාලක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්‍ෂකයා වූ ලක්ෂ්මන් රාජපක්‍ෂ ජයග‍්‍රහණය කළේය. පාලක සමගි පෙරමුණු රජයේ කොටස්කරුවෙකු වූ ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව රජය යම් ප‍්‍රමාණයකට දුර්වලව පසුබෑමකට ලක්ව තිබූ මොහොතක ලැබූ මෙම ජයග‍්‍රහණය පාලක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අතිශයින්ම වැදගත් විය. මේ ආණ්ඩුව නම් බලයෙන් නෙරපා දැමීම පහසු නොවනු ඇතැයි විපක්ෂයේ සමහරු කල්පනා කළහ. එහෙත් ජේ.ආර්. ජයවර්ධන හා රණසිංහ පේ‍්‍රමදාස යන නායකවරු ආණ්ඩුව පරාජය කිරීමේ අධිෂ්ඨානය අත් නොහලහ. ඔවුහු දිගින් දිගටම ඉදිරි මහා මැතිවරණය සඳහා සංවිධානය වූහ. එසේම රජය තම ශක්තිය පෙන්වීමට මුල්කිරිගල අතුරු මැතිවරණ ජයග‍්‍රහණය යොදාගත්හ. එහෙත් වසරක් ඇවෑමෙන් එනම් 1977 පැවැති මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අන්ත පරාජයක් අත්විය. 1970 දී 90ක්ව පැවැති ඔවුන්ගේ ආසන ගණන 8කට සීමාවුණි. එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් අත්පත් කර දීමට එම මැතිවරණය සමත්විය.   පරස්පර ප‍්‍රතිඵල ගෙනදුන් මේ ජයග‍්‍රහණ දෙකම සිදුවූයේ විධායක ජනාධිපති ක‍්‍රමය නොමැති සමයක යැයි කෙනකුට තර්ක කළ හැකිය. අද එසේ නොවේ යැයි පවසන පිරිස් ද සිටිති. ඊට හේතුව විධායක ජනාධිපති තනතුර හිමි පක්ෂයට හා රජයකට ඇති ශක්තියයි. එම තර්කයට අනුව ප‍්‍රාදේශීය ඡන්ද, පළාත් ඡන්ද, අතුරු මැතිවරණ ජයගන්නේ පවතින ආණ්ඩුවමය. එහෙත් මැතිවරණ ඉතිහාසය පරීක්‍ෂා කිරීමේදී ද එය එසේ නොවන බව පෙනේ. ඒවා කම්මැලි විපක්ෂයක බොළඳ තර්කය. 1987 අක්මීමන අතුරු මැතිවරණය සිදුවන්නේ විධායක ජනාධිපති ධුරයක් හා අද මෙන්ම තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවක් යටතේය. අවසානේ එම අතුරු මැතිවරණ සටන විපක්ෂයේ සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ රිචඞ් පතිරණ හා යූ.ඇන්.පී. රජයේ අගමැති රණසිංහ පේ‍්‍රමදාස අතර සටනක් බවට පත්විය. ඒ තරමටම අගමැති පේ‍්‍රමදාස අක්මීමන අතුරු මැතිවරණ සටනට සම්බන්ධ විය. එහෙත් ප‍්‍රතිඵලය වූයේ ආණ්ඩු පක්ෂය පරදවා විපක්ෂයේ රිචඞ් පතිරණ ජය ගැනීමයි. වත්මන් ආණ්ඩුවට මෙන් එදා පැවැති ආණ්ඩුවටද තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය හා විධායක ජනාධිපති බලය පැවැති නමුත් අක්මීමන ජයගත නොහැකි විය. එසේම ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණයෙන් එවකට අගමැතිව සිටි රණසිංහ පේ‍්‍රමදාස ජය ලැබීය. අක්මීමන ප‍්‍රතිඵලය රටටම බලපෑවේ නැත.   මීට පසු එළඹෙන පළාත් සභා මැතිවරණවලදී බස්නාහිර පළාත් සභාව ජයගත්තේ පොදු ජන එක්සත් පෙරමුණයි. මහ ඇමැතිනිය වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ගිලිහී ගියේ පාලක එ.ජා.ප. රජය සතු පළාත් සභා බලයයි. මෙම පළාත් සභා මැතිවරණයේදී පාලක එක්සත් ජාතික පක්ෂයට වයඹ පළාත් සභාවද අහිමි විය. මේ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ වුවද පළාත් සභා මැතිවරණ වලදී විපක්ෂය ජයගත් අවස්ථා අතීත දේශපාලන සංසිද්ධීන් විමර්ශනය කරන විට හමුවේ. එසේම අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන පරිදි ඡුන්ද පවත්වන්නේම ආණ්ඩුවට වාසිදායක යැයි සිතන වෙලාවකය. වෙලාව පමණක් නොව ආණ්ඩුවට වාසි නැකතකටය. විපක්ෂයක් තම ජයග‍්‍රහණය තහවුරු කරගන්නේද ආණ්ඩුවට වාසිදායක මෙන්ම ආණ්ඩුවට වාසිදායක නැකතක ඡන්ද පවත්වන විටමය.   පළාත් පාලන ආයතන තුනක් විසුරුවා හැර පැවැත්වීමට යන මැතිවරණය ගැනද කීමට ඇත්තේ මේ ටිකමය. අවශ්‍ය නම් විපක්ෂයට ආණ්ඩුවට වාසිදායක මැතිවරණ කී‍්‍රඩා පිටියක වුවද කී‍්‍රඩා කර ජයග‍්‍රහණයක් ළඟාකර ගත හැක. මේ නිසා ආණ්ඩුවේ ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට පවත්වන මැතිවරණවලින්ම වුවද ගොඩ ඒමට විපක්ෂය සංවිධානය විය යුතුය. ඊට ආණ්ඩුවට බැන වැදීමෙන් පලක් වන්නේ නැත. අද සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. නැතිනම් ඡන්ද පැවැත්වීම ගැන රජයට බැන වැදීමයි. ඊට හේතුව ”වෙලාසනින් කොක්කු ඇවිත් වාගේ” රජය කල් ඇතුවම ඡන්දවලට පැමිණීමයි. පළාත් සභා ඡන්දයක් කඩින්කඩ පැවැත්වීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නැත. මෙය පාර්ලිමේන්තු මැතිවරණයට වඩා වෙනස් වේ. පළාත් සභාවක බලය කේන්ද්‍රගත වන්නේ අදාළ පළාතට විශේෂ වන සේය. මේ මොහොතේ විපක්ෂය පවසන පරිදි මුළු රටේම පළාත් සභා එකට විසුරුවා හැරීමෙන් අනෙක් පළාත් සභාවලට කරනු ලබන්නේ බලවත් අසාධාරණයකි. ඊට හේතුව ඒවායේ ආයු කාලය උතුරු මැද සබරගමුවටත් වඩා බෙහෙවින්ම අඩුය. පසුගිය පළාත් සභා මැතිවරණ කි‍්‍රයාවලියේ ප‍්‍රථමයෙන්ම ඡන්ද පැවැති පළාත් සභා ලෙස ගැනෙන්නේ නැගෙනහිර, උතුරු මැද හා සබරගමුවයි. මේ නිසා ඒවායේ ඡන්ද ප‍්‍රථමයෙන් පැවැත්වීමට අදාළ බලධාරීන් කටයුතු කළා විය හැකිය.   විපක්ෂය රජයට වාසි ලෙස කඩින් කඩ ඡන්ද පවත්වනවා යැයි කියමින් දැන් සිටම පරාජය බාරගෙන වාගේය. පරාජිත මානසිකත්‍වයෙන් ඡන්දයකට ගියොත් අනිවාර්යයෙන්ම පරදිනවා මෙන්ම ආණ්ඩුවට සටනක් දියහැකි වන්නේද නැත. උතුරු මැද තම පක්ෂයේ ජයග‍්‍රහණය නියත බව තවම ප‍්‍රකාශ කර ඇත්තේ එහි විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක පමණි. එහෙත් එක්සත් ජාතික පක්‍ෂයේ නායක කාරකාදීන්ට තම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් වගේ වගක් නැති ගානය. මේ වන විට එක්සත් ජාතික පක්ෂයට ආවේණික සියයට 30ක මූලික ඡන්ද පදනම පවා දියවෙමින් පවතී. අඩුම ගානේ එම ඡන්ද පදනම වත් රැක ගැනීමට මේ මැතිවරණවලදී නොහැකි වන්නේ නම් ඔවුන් දේශපාලනය නොකර වෙන දෙයක් බලාගත්තාට වරදක් නැත.   ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කවදත් අභියෝගවලට පේ‍්‍රම කළ නායකයෙකි. ඔහු දේශපාලන වශයෙන් මෙතරම් ශක්තිමත් තැනක සිටින්නේ එම අභියෝග ජයගැනීමේ අධිෂ්ඨානය හරහාය. යුද්ධය ජයගැනීම මේ යුගයේ මතු වූ ප‍්‍රබලතම අභියෝගය බවට විවාදයක් නැත. ආණ්ඩුව විශේෂයෙන්ම උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරීමේ තීරණ ගන්නේ එම ප‍්‍රදේශවලට දැඩි නියඟයක් පවතින විටයි. ආණ්ඩුවේද සමහරුන් කීවේ නියඟය නිසා එම ඡුන්දය කල්දාන ලෙසයි. එහෙත් ජනාධිපතිවරයා තම දින වකවානු වෙනස් කිරීමට සූදානම් නැති බව පෙනේ. ඔහු කරදර බාධක මැද වුවද ජනතාවගේ තමාට ඇති පක්ෂපාතීත්‍වය දැන ගැනීමට අවශ්‍යව තිබෙන බව පෙනේ. බෙහෙවින්ම එසේ දැනගැනීමේ අවශ්‍යතාව ඇත්තේ ජාත්‍යන්තරයට පණිවිඩයක් දීමටදැයි කියන්න දන්නේ නැත.   ජිනීවාහිදී සම්මත වූ ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවෙන් පසු රටේ ජනතාව සිටින්නේ කවුරුන් සමග ද යන්න පෙන්වීමට ජනමතය උරගා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අවශ්‍යව තිබෙන බව පෙනේ. ඒ සඳහා ඔහු මෙම පළාත් සභා මැතිවරණ කි‍්‍රයාවලිය යොදා ගන්නවා වාගේය. ජාත්‍යන්තරයද ජනාධිපතිවරයාට රට තුළ ඇති ශක්තිය නොදන්නවා නොවේ. ඔවුන් කල්පනා කරන්නේ ශක්තිමත් නායකයා ලවාම උතුරේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සහිතව උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිෂමේ යෝජනා කි‍්‍රයාත්මක කරවීමටයි. මේ මොහොතේ ජාත්‍යන්තරයේ බලපෑම නම් උතුරු පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසයි. ඇමරිකාවත් ඉන්දියාවත් දැනටමත් ප‍්‍රබල ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් සිටී.   ප‍්‍රථමයෙන්ම තමන්ට අවාසිදායක තැනකින් නැවත මැතිවරණ සටන ඇරඹීමට ආණ්ඩුව සූදානම් නැත. බටහිර හා ඉන්දියානු න්‍යාය පත‍්‍රය ජනාධිපතිවරයා ඇතුළු රජය එතැනට තල්ලූ කරවීමටයි. එමගින් රජයට අවාසියක් ගෙන දී රජය මෙල්ලකර හැකිදැයි ඔවුන් කල්පනා කරනවා විය හැකිය. එහිදී උතුරින් ලබන දේශපාලන අවාසියක් වෙත්නම් එය දකුණටද කාන්දු කිරීමට හැකිවනු ඇත. විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ පළාත් සභා මැතිවරණ නැතැයි තම පක්ෂයේ ප‍්‍රධානීන්ට සඳහන්  කළායැයි පැවසෙන්නේ ආණ්ඩුවට එල්ලවන මේ ජාත්‍යන්තර දේශපාලන තෙරපුම නිසා විය හැකිය. ඔහු හැමදාම ජාත්‍යන්තරයට අනුව ගණන් හැදීමට ගොස් මැතිවරණ සිතියම අවුල් කරගනී. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තරයට පිළිතුරු දී ඇත්තේ තමන්ට වාසිදායක තැනින් මැතිවරණ කි‍්‍රයාවලිය අරඹමිණි. ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රය කනපිට හරවමිනි.   උතුරු පළාත් සභා මැතිවරණය නොපවත්වන බව මින් අදහස් වන්නේ නැත. එය පැවැත්වෙන්නේ අනෙක් පළාත් සභා ජයගන්නා අතුරතුරේ බව පෙනේ. මේ නිසා රජය උතුරට යන්නේ දකුණේ ජයග‍්‍රහණයන් කීපයක් පෙන්වමිනි. කිසිම නායකයකු පරාජය වෙනුවෙන් ඡන්ද තබන්නේ නැත. එසේම සාර්ථක කිසිම විපක්ෂයක් පරාජය බාරගෙන ඡන්දවලට යන්නේද නැත. ඔවුන් ජයග‍්‍රහණ සොයාගන්නේ ආණ්ඩුවේ හොඳම වේලාව උපයෝගී කර ගනිමිනි. ආණ්ඩුවේ මැතිවරණ සිතියම කොතනින් හෝ ඉරා දැමීමෙන් තොරව විපක්ෂයට බලයක් හෝ අනාගත ආණ්ඩුවක් තනා ගැනීම සිහිනයකි.  හොඳම උදාහරණය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නායකත්‍වයෙන් පැවැති දකුණු පළාත් සභා මැතිවරණයයි. මේ නිසා මැතිවරණ ජයග‍්‍රහණයක් උදෙසා විපක්ෂයේ ද හොඳම වේලාව ආණ්ඩුවේ හොඳම වේලාවමය.
වසන්තපි‍්‍රය රාමනායක