අනපේක්ෂිත කොරෝනා ව්‍යසනය තුළ ගෘහවාසීව සිටින බහුතර ශ්‍රී ලංකේය ජනරජ වැසියන් පසුවන්නේ දැඩි පීඩනයකින් බව නොරහසකි. ඒ එළිපහලියට බැසීමට ඇති  ආශාව හා හීන වන ආර්ථික ශක්තිය හමුවේ පුළුල්  වන ජීවන අර්බුදය විසින් එකවර පෙළනු ලැබීමෙනි. එවැනි අර්බුදකාරී නිමේෂයක පවා රටවැසියන් වෙත දිගුකාලීනව එකසේ සතුටු වියහැකි යමක් වත්මන් ආණ්ඩුව තිළිණ කොට ඇත්තේය. ඒ අභිනවයෙන් පත්කළ පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාවයි. මෙකී යාන්ත්‍රණය ගැන පුළුල් සමාලෝචනයක් කිරීම ජාතික අවශ්‍යතාවක් වී ඇත්තේ ව්‍යසනයේ අඳුරු පැතිකඩ හමුවේ ඊට වියැකී යාමට ඉඩ දිය නොහැකි හෙයිනි.

මැතිවරණ ක්‍රියාවලියක් යනු  සෑම අංශයක්ම පිරිපුන්ව පැවතිය  යුතු එකකි. අවශ්‍යනම් යම් සංසන්දනයක් කළ හැකිය. ඇමෙරිකානු ජාතික ගගනගාමී David wolf යනු මුලින්ම ඡන්දය භාවිත කළ අජටාකාශගාමියාය. ඒ පොළොවෙන් සැතපුම් 200ක් පමණ දුර ස්ථාපිතව තිබූ රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට වසර 1997 දීය. එහෙත්  අප තවමත් සිතන්නේ පූර්ව ඡන්ද භාවිතය (Advance voting)  අනභිභවනීය වරප්‍රසාදයක් හැටියටය. ඒ නිසා මැතිවරණ නිරීක්ෂකයන් වන අපට ද එවැනි ඡන්දයක් භාවිත කිරීමට කිසිම අවස්ථාවක් නොලැබේ. එපමණක් නොවේ. මැතිවරණ දිනයේ මුහුදු යන ධීවර ප්‍රජාව, එදිනට ගමේ ගොස් වැඩට පැමිණීමට ආර්ථික හයියක් නැති නිදහස් වෙළෙඳ කලාපවල වැඩකරන ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන්, රෝහල්ගත ලෙඩුන් හා රක්ෂිත බන්ධනාගාරගත රැඳවියන් මෙන්ම අත්‍යවශ්‍ය සේවාවල නිරත පිරිස් සංඛ්‍යාත්මකව ලක්ෂ දහයකට ආසන්න විය හැකිය. අප අපට අනන්‍ය මැතිවරණ ක්‍රමයක් හදා ගත යුතු වන්නේ මේ පසුබිමේය.

ලංකාව මෙන්ම වෙනත් ඉහළ තාක්ෂණයක් සහිත දියුණු රටවල් හා සමපාත කොට බැලූ කල මැතිවරණ ප්‍රචණ්ඩත්වය අතින් යම් යම් සමානකම් ඇත. නිදසුනක් ලෙස ගතහොත් 1999 වසරේදී කුලියාපිටිය නගර මධ්‍යයේ කාන්තාවක නිරුවතින් ඇවිද්දවීම දැක්විය හැකිය. එහෙත් ඇමෙරිකාවෙත් ට්‍රම්ප් පාක්ෂිකයන් කැපිටල් හිල් ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ආකාරය අප බලාසිටියේ වේදනාවෙනි. මෙවැනි සංසන්දනයක් කිරීමට සිදුවූයේ මැතිවරණයකදී යමක් සිදු නොවේයැයි අපට කිසිදු අයුරකින් තහවුරු කළ නොහැකි හෙයිනි. සරලවම කිවහොත් මැතිවරණයකදී අප සිතන දේ නොම විය හැකිය. නොසිතු දෙයක්ම විය හැකිය. තත්ත්වය එසේ වුවද අත්‍යවශ්‍ය මැතිවරණ ප්‍රතිසංස්කරණ වෙනුවට මෙතෙක් ලංකාවේ සිදුකොට ඇත්තේ තම දේශපාලන සිතැඟියාවන් සන්තර්පණය කරගැනීමක් පමණක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දී ඇති 14 සහ 15 යන සංශෝධනවල අන්තර්ගතය හා කාල පරාසය විමසීමෙන් පමණක් එය තහවුරු කරගැනීම අපහසු නැත.

 සැබවින්ම එකී සංශෝධන දෙක ඉතා කෙටි කලක් තුළ හඳුන්වා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා තම ජනාධිපතිවරණය ජයගැනීමේ උපායමාර්ගයක් ලෙසය. ඉන් සිදුවුණේ එතෙක්  මන්ත්‍රීධුරයක් ලැබීම සඳහා ලබාගත යුතුව පැවති ජන්ද ප්‍රතිශතය සියයට 5 ක් දක්වා අඩුකිරීමය. (මෙහිදී අවධානය යොමුවන්නේ ක්‍රමවේදය ගැන පමණි. එකී ප්‍රතිශත පිළිබඳ ලියුම්කරුට ගැටලුවක් නැත).

මින් පැහැදිළි වන්නේ කුමක්ද? මෙරටේ මෙතෙක් සිදුව ඇත්තේ දේශපාලකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් පුරසාරම් දෙඩීම මිස ඵලදායී මැතිවරණ ප්‍රතිසංස්කරණයක් නොවන බවය. “කූරයි ඒරි කෝළි පිඩික්කාදවන් වානම් ඒරි වයිකුණ්ඩම් පෝනානාම්’’ යනු  දෙමළ භාෂිත පිරුළකි. ඉන් අදහස් කරන්නේ “වහලට නැගලා කුකුලා අල්ලන්නැති එකා අහසට නැගලා ස්වර්ගයට ගියාලු’’ යන්නයි. අපේ ජනරජය මෙතෙක් පාලනය කොට ඇති බහුතරයක් මීට සමානය.

යම් කාල සමයක පැවැත්වෙන මැතිවරණයක් පිළිබඳව වන තතු විත්ති  පොදු නිරීක්ෂණ සේ දක්වා වාර්තා නිකුත් කිරීම ලොව පුරා පිහිටුවා ඇති මැතිවරණ කළමනාකරණ ආයතනවල සාමාන්‍ය ක්‍රමවේදයයි. ඉන් ඔබ්බේ ස්වාධීන නිරීක්ෂණයක් පිළිබඳ පළවන වාර්තා දුලබය. 1988 පැවති පළාත් සභා මැතිවරණය යනු මරණය අතින් ගත් මැතිවරණයකි. කොරෝනා නිසා මැතිවරණ රාජකාරි ඉටුකිරීම අපහසු යැයි වැළපුණු   සුළුතරයක් වූ නිලධාරීන්ගේ  හඬ ද යම් තාක් දුරකට ඇසුණු  මෙසමයේ, එකල ගල්කටස් තුවක්කු කටකට ගොදුරු වේදෝයි යන සංශයෙන් ‘ඡන්ද වැඩ’ සඳහා නිවසින් පිටත්වූ නිලධරයෝ සදා සැමරුමට ලක් විය යුත්තෝය. එවන් මැතිවරණයක් අවසන, වසර 1989 සැප්තැම්බර් මස 20 වැනිදින එවකට මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්ද්‍රානන්ද ද සිල්වා මහතා අංක 02 දරන කේම්බ්‍රිජ් ටෙරසයේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට නිකුත් කළ වාර්තාවේ සටහන් වන්නකි පහත දක්වා ඇත්තේ. බිය, සංත්‍රාසය හා අවිනිශ්චිත බව නොමඳව පැවති මැතිවරණයක සුලභව සිදුවූ සිද්ධි දාමයක් පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා ලියා ඇති මෙවදන් මඳක් නිසොල්මන්ව කියවන්න. පොදුවේ වාර්තාවූ යමක්  පෞද්ගලික නිරීක්ෂණ  හා ගටා අතිප්‍රබල ධාරනාවකින් ලියා ඇති මෙම වැකි කිහිපයෙන් පැහැදිළි වන්නේ මැතිවරණ කළමනාකරණ ක්‍රියාවලියක පැවතිය යුතු වෘත්තීයභාවය හා වගවීමයි. ඒ හැමටම වඩා සන්නද්ධ හෝ ජයග්‍රාහී කවර දේශපාලන  පක්ෂයක් හෝ වේවා මෙම සටහන ලියන විට එවන් පක්ෂ පිළිබඳ මතකය පවා බැහැර කොට අදාළ සිදුවීම් පෙළ ලියා ඇති ස්වරය කවර තරම් අපූරුද?

‘399. නිලධාරීන්ගේ හිසට පිස්තෝල එල්ල කරමින් මෙවැනි සාහසික ක්‍රියාවල යෙදුණු සංවිධායකයෝ තුවාලයට ලුණු වත්කරන්නා සේ ඔවුන්ගේම වැදි බණ ද දෙසා ඇත.“ජන්ද විමසීමට එරෙහිවන වාතාවරණයක් යටතෙහි සමහර ජන්ද පෙට්ටි හිස්ව ගෙනයෑමට සිදුවිය හැක. එසේ වුවහොත් එය තමන්ගේ ප්‍රාදේශීය නායකත්වයට නිග්‍රහයක් වේ.
මේ අන්දමින් අනෙක් අය ප්‍රජාතන්ත්‍රවාදය  විනාශ කරන්නේ නම් යටත් පිරිසෙයින් අප වැනි අයටත් එය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරිපත් වී බලහත්කාරයෙන් වුවත් ඡන්ද පෙට්ටිවලට ඡන්ද පත්‍රිකා පිරවිය යුතුය’’.

තමන් විසින්ම ආරුඪ කරගත් මෙවැනි ධර්මිෂ්ඨ කමක් තුළින් ප්‍රකාශ වූ මෙවැනි අදහස් වලින් සිය අණුවනකම් ආවරණය කරගැනීමට නොහැකිවනවා පමණක් නොව, එවැනි සැහැසි ක්‍රියාවල අගතිය අබමල් රේණුවක ප්‍රමාණයක්වත් එමනිසා ඉටුකරගත නොහැකිවන බව වටහා ගැනීමට තරම් ශක්තියක් නැති මුඨ අයවලුන් බව ඔවුන් පෙන්වූයේය.’ (උපුටා ගැනීම අවසන්)
සැබෑ මැතිවරණ වෘත්තිකයකුගේ මෙවදන් එදාටත් වඩා අදට මනාව ගැළපෙන්නේය. මෑතකාලීනව ශ්‍රී ලාංකීය සමාජ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රය තුළ සිදූවූ අසහාය වෙනස්කම 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීම  බව අවිවාදිත කරුණකි. එහෙත් බහුතර පිරිසක් ජීවත්වන්නේ එවැනි සමාජ දේශපාලන වෙනස්කමක බර දරා ගැනීමට සමත් ගැඹුරු සමාජ දැක්මක් රට තුළ ස්ථාපිතව ඇති පසුබිමක නොවේ. ඉඩම්හිමි වැවිලිකාරිත්වය, සමාජ ප්‍රභූත්වය හෝ මුදල, ජන්ද බලය හිමිවීමේ මූලික සුදුසුකම් යැයි යටත් විජිත පාලකයන් නියම කළ සමයක, මෙරටට සර්වජන ජන්ද බලය ප්‍රධානය කිරීම අසමසම ජයග්‍රහණයකි. එහෙත් එවන් සාභිමානී සමාජ විපර්යාසයක් මත්තේ ලත් සර්වජන ඡන්ද බලය, පරම්පරා දෙකක් හෝ තුනක් ඉක්මුණු කල හීන මෙන්ම දීන එකක් බවට පත්ව තිබීම අපේ පරම්පරාව අත්දකින විශ්මිත ඛේදවාචකයකි. ඒ අනුව අද දවසේ ශ්‍රී ලාංකේය මැතිවරණ ක්ෂේත්‍රය තුළ සිදුවිය යුතු වෙනස්කම් මෙලෙස සැකෙවින් දැක්විය හැකියි.
සියල්ලට ප්‍රථමයෙන් මැතිවරණ වියදම් නියාමනය සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතුය.

එසේ නොවුණහොත් මෙරටේ හැකියාවෙන් සපිරි නමුත් මූල්‍ය ශක්තිය අහිමි තරුණ ප්‍රජාවට වේලාසනින්ම මෙරටේ දේශපාලන භූමියෙන් සමුගැනීමට සිදුවේ. CMEV වාර්තා අනුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ පමණක් මැතිවරණ ප්‍රචාරක පිරිවැය රුපියල් ලක්ෂ 40,000 කට ආසන්නය. ඒ සමස්ත පිරිවැයෙන් ඇස්තමේන්තුගත සියයට 25 ක හෝ සියයට 30 වියදමක් පමණයි.

දෙවැනුව කිසිසේත් ප්‍රායෝගික නොවන හා සංශෝධනයට ලක්විය යුතු මැතිවරණ නීති වහා යාවත්කාලීන කළ යුතුය. මෙය යහමින් වටහා ගැනීමට හැකි කදිම කැඩපතක් පසුගිය ජනාධිපතිවරණයේදී දිස්විය. එහිදී තරග කළ අපේක්ෂකයන් 35 දෙනාගෙන් සමහරක් දෙනා නාම යෝජනා අස්සන් කළේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් යම් මුදලක් කඩාගැනීමේ ඒකායන පරමාර්ථයෙන් පමණි. මෙම තත්ත්වය වැළැක්වීමට නම් අඩුතරමින් අපේක්ෂක තැන්පත් මුදල හෝ වැඩිකළ යුතුය.

තෙවැන්න නම් දැනටමත් යෝජිත 18 PLUS කෙටුම්පත ඔස්සේ වයස 18 ට එළඹුණු සැමට ඡන්ද භාවිතයට පහසුකම් ලබා දීමයි. වයස 18 ඡන්ද භාවිතයේ ව්‍යවස්ථාපිත අයිතියක් වුවත්, තම පළමු ඡන්දය සඳහා අපේ රටේ තරුණ තරුණියන්ට තවත් අමතර වසර දෙකක් හෝ තුනක් බලා සිටීමට සිදුවීම සැබවින්ම ඛේදවාචකයකි. මේ සඳහා පසුගිය කොමිසම සැකසූ පනත් කෙටුම්පතම උපයෝගී කරගත හැකිය.

සිව්වැන්න නම් ජන්ද භාවිතයට පහසුකම් අවම මිලියන තුනකට ආසන්න පිරිස් වෙත ඡන්ද භාවිතයේ පහසුකම් සැළසීමයි.  මැතිවරණයකදී ඡන්ද භාවිතයට පහසුකම් අවම විදෙස්ගත ශ්‍රී ලාංකීය ප්‍රජාව (අවම ප්‍රමාණය මිලියන 26 ක්), රජයේ අත්‍යවශ්‍ය සේවාවල නිරත පිරිස්, ධීවරයන්, ආයෝජන කලාපවල සේවයේ නියුතු ඇඟලුම්හල් සේවිකාවන් ප්‍රමුඛ පෞද්ගලික අරක්ෂක සේවයේ පිරිස් මෙන්ම ආබාධ සහිත පුද්ගල ප්‍රජාව හා LGBT සමාජ කණ්ඩායම්  ඇතුළු සමාජ කොටස් මීට අයත්ය. පූර්ව ඡන්ද ක්‍රමවේද භාවිතය සඳහා අවසර ලබාදීම ද තවත් වැදගත් කරුණකි. මෙවැනි පහසුකමක් ලංකාවේ දැනට නැත. පසුගිය වසරේ මාර්තු මාසයේ පැවති දකුණු කොරියානු මැතිවරණයේ පූර්ව ඡන්ද භාවිතයේ ප්‍රතිශතය සියයට 26 කි. විශේෂයෙන්ම කොරෝනා වැනි  ව්‍යසන පැතිරෙන සමයක අපත් එවැනි විකල්පවලට යෑම ලාභයක් මිස පාඩුවක් නොවේ.

ඊට අමතර වශයෙන් මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය නිශ්චිත කාල වකවානු සහිත මැතිවරණ කාල රාමුවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව බලගැන්වීමත් ඉතා වැදගත්ය.
ඉන්දියාව මහා ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති ලොව දැවැන්තම මැතිවරණය පවත්වන රටයි. ඔවුන් හැකිතාක් ජනයාගේ සිත දිනාගෙන ඇත්තේ යම් ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵල නිසාය. ඒ එරටේ අධිකරණය හා මැතිවරණ කොමිසම ඒකාබද්ධවය. අපේක්ෂක නාම යෝජනා සමග අපේක්ෂකයන්ගේ අපරාධ වැරදි පිළිබඳ වාර්තා ද (Criminal Records)  අවශ්‍යය බවට ඉන්දීය අධිකරණය නියෝග කළේ මෙම සංස්කෘතිය අනුවය. නියෝගය දෙමින් ඉන්දීය අධිකරණය පවසන මෙකරුණු වත්මන් ලාංකීය දේශපාලන සන්දර්භයට කොතරම් නම් ගැළපේද?
“බලය, ධනය හා සමාජ තත්ත්වය ඇති නම් ඉන්දියාවේ වයස අවුරුදු 60 ට වැඩි කෙනකුට වුවත් ළාබාල රූමත් යුවතියක් කිසිම ගැටලුවකින් තොරව තමන්ගේ පාද පරිචාරිකාව ලෙස සරණ පාවාගැනීමේ හැකියාවක් තිබූ යුගයක් පැවතිණි. එවැනි යුවතියන් එවැනි විවාහවලට කෙතරම් විරුද්ධ වුවද ඔවුන්ට කළ හැකි එකම කාර්යය වූයේ හඬා වැළපීම පමණි. එහෙත් අද තරුණ-තරුණියන් විවාහයට පෙර තම සහකරුගේ හෝ සහකාරිය පිළිබඳ වඩාත් හොඳින් තොරතුරු සොයනු ලබන අතර එහිදී තමන් සෑහීමකට පත් වන්නේ නම් පමණි විවාහය සඳහා කැමැත්ත ප්‍රකාශ කරනු ලබන්නේ. අප මැතිවරණයකදී ජනතා නියෝජිතයන් තෝරාගන්නා විටත්, අපේක්ෂකයන් ගැන එලෙස සොයා බලා තෝරා ගත යුතු බව කවරෙකුට හෝ නොසිතෙන්නේ ද?
සුපසන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ, බිම් මට්ටමේ ජනතාව අතර රැඳී සිටින ඡන්දදායකයා පවා තමන් ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයාගේ ජීවන තොරතුරු දැන සිටීම සහ ඒ අනුව තම අනාගත පාලකයන්, නීති සම්පාදකයන් හෝ තම ජාතියේ ඉරණම පිළිබඳ වගකියන තැනැත්තන් තීරණය කිරීම අත්‍යවශ්‍ය නොවෙන්නේද?’

මින් ජනිත වන සරළ අදහස වන්නේ ඡන්දදායකයා තමාගේ තෝරා ගැනීම පිළිබඳ දෙවරක් නොව සිය වරක් සිතිය යුතු බවයි. ඒ සඳහා ජනතාව සංවිධානය කළ යුත්තේ රටේ දේශපාලන පක්ෂ වුවත් අපේ රටේ එවැනි නැඹුරුවක් දක්නට නැත. ඊට ප්‍රතිපක්ෂව අප මෑතදී ඇසුවේ මෙරටේ පාලක පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ටියුෂන් ගන්නා බවකි. එහි සත්‍ය අසත්‍යතාව කවරක් වුවත් ජනතාවගේ පැත්තෙන් බලා  මෙරටේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුය යන්න අවිවාදිත කරුණකි.

දේශපාලන පක්ෂවලට පවා අතහැරිය නොහැකි වගකීමකි. ඒ අර්ථයෙන් ගත්කල නව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් 14 දෙනා වෙත පැවරී ඇත්තේ විසල් වගකීමකි. මෙරටේ අවසන් වරට මෙවැන්නක් වූයේ වසර විස්සකට එපිටදීය. එහිත් සභාපතිවරයා වුණේ දිනේෂ් ගුණවර්ධන මහතාමය. මේ වනවිට අදාළ තේරීම් කාරක සභාව මාසයක කාලයක් මහජන අදහස් විමසීමට දැනටමත් කාලය ලබා දී ඇත. එහෙත් මෙවැනි ව්‍යසන සමයක අපගේ අදහස ඊට වැඩි කලක් එනම් තෙමසක හෝ කාලයක් ඊට ලබා දිය යුතු බවයි. එමෙන්ම රටේ ජනතාවගේ අදහස් වෙත සාවධානව සවන්දීමේ විදර්ශනාව මෙකී සාමාජිකයන් සියලු දෙනාට පහළ වනු ඇතැයි යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි. එහෙත් වැඩි වගකීමක් ඇත්තේ ජනතාවට බවත් නොකියාම බැරිය. “අපි හම්බ කරගත්තොත් - අපි කනවා’’ යන ප්‍රතිපත්තිය යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැළපෙන්නේ නැත. එමනිසා කරුණාකර දේශපාලකයන් පරසක්වල ගසන විවේචන ජනගත කිරීමට පෙර ඔබගේ අදහස් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොපමාව දෙන්න. මන්දයත් අපට අස්වනු නෙළීමට හැකිවනු ඇත්තේ අප වපුරන ප්‍රමාණයට පමණක් නිසාය.

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)