‘‘මහ මුහුද නිසසලය. අප ගමන් කළ බෝට්ටුවට ජල කඳ වදින ශබ්දය හැර වෙනත් ශබ්දයක් ඇසෙන්නේ නැත. වරින් වර ඉහළ පහළ යන තල්මසුන් එකිනෙකා පරයමින් රංගනයේ යෙදෙන්නේ අපූරු චමත්කාරයක් එක්කරමින්. අපේ අධි සංවේදන උපකරණ වල අපට නොඇසෙන ශබ්දයක් සටහන් වෙමින් තිබුණා. මේ අපූරු සත්ත්වයන් මුහුදු පත්ලේ ගීත ගායනා කරන්නේ අපි හැමෝම පුදුමයට පත්කරමින්. පේ‍්‍රමයෙන් මුසපත් වූ ඔවුන් පේ්‍්‍රමාන්විත ගීත ගායනා කරමින් තම බල ප‍්‍රදේශයේ සීමා මායිම් ලකුණු කරගනිමින් වරිගයේ වෙනත් අයට එය තහනම් කලාපයක් බවට පත්කරනවා. ’’ යැයි පරිසර වේදියකු, සත්ත්ව විද්‍යා ගවේෂකයකු සහ රාජ්‍ය ආයතන රැුසක මෙන්ම පුද්ගලික ආයතන කිහිපයක මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂ වරයකු වශයෙන් කටයුතු කරන ගාමිණී කුමාර විතාන මහතා කියා සිටියේය. අදින් දශක දෙකකට පමණ පෙර ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනයේ ජාතික මුහුදු ක්ෂීරපායී ව්‍යාපෘතිය මගින් දියත් කළ ශී‍්‍ර ලංකාව අවට මුහුදු ක්ෂීරපායීන් ගෙව්ෂණය සඳහා එක්වීමේ විරල අවස්ථාව හෙතෙම හිමිකැරගෙන තිබිණි. තල්මසුන්ගේ ශබ්ද පටිගත කරමින් දීර්ඝ කාලයක් ශී‍්‍ර ලංකාව වටා ඉන්දියන් සාගරයේ මුහුදු ක්ෂීරපායීන් අධ්‍යයනය කළ අයුරු හෙතෙම සිහිපත් කරන්නේ මහත් ප‍්‍රමෝදයෙනි. මේ සමුද්‍ර ක්ෂීරපායීන් නිවර්තන උණුසුම් මුහුදු කලාප වල බහුලව දැක්නට ලැබේ. සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ ඔවුන් මාළුන් ලෙස හැඳින්වුවද මේ මාළුන් නොව කිරිබී වැඩෙන, ක්ෂීරපායී ලක්ෂණ සහිත සත්ත්තව කොට්ඨාශයකි. මමාලියා වර්ගයට අයත් මොවුන් පෙනහළු භාවිතයෙන් ස්වසනය කරන අතර හදවත කුටීර හතරකින් යුක්ත වේ. පැටවුන් බිහිකිරීම හා රැකබලාගැනීමත් කිරිදීමත් සිදුකරයි. එමෙන්ම සාමාන්‍ය ක්ෂීරපායීන්ගේ මේද හෝ රෝම ස්ථරයක් දක්නට ලැබෙන අතර මොවුන්ගේ මේද ස්ථරයක් ඇත. එමෙන්ම උණුසුම් රුධිරය සහිත සත්ත්වයන් වේ. ‘‘ මමාලියා වර්ගයේ සිටේසියා ගෝත‍්‍රයට අයත් තල්මසුන් සහ මුල්ලන් කියන්නේ ඉතා අමන්දාජනක වගේම ආකර්ශනීය සත්ත්ව කොට්ඨාශයක්. මේ අතරින් ලොව විශාලතම සත්ත්වයා හැටියට සැළකෙන නිල් තල්මසා විද්‍යාත්මකව බැලනොප්ටෙරා මූස්කුලස්  ලෙස හඳුන්වනවා. ශී‍්‍ර ලංකාව අවට මුහුදේ තල්මසුන් විශේෂ 11 ක් සහ ඩොල්ෆින් යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන මුල්ලන් විශේෂ 14 ක් දැකිය හැකියි. ඒ වගේම මුහුදු ඌරන් එක් විශේෂයක් ශී‍්‍ර ලංකාව වටා මුහුදේ බහුලව දකින්න ලැබෙනවා ’’ යැයි විතාන මහතා කියා සිටියේය. ඔහු පවසන්නේ මෙයට සාධක කිහිපයක්ම බලපා ඇති බවයි. ඉන්දියන් සාගරයේ ශී‍්‍ර ලංකාව අවට මුහුද තල්මසුන්ට සුදුසු ආකාරයෙන් උණුසුම් වීම එහි ප‍්‍රධානතම සාධකය වී තිබේ.  ශී‍්‍ර ලංකාව වටා ඇති ගංගා පද්ධතිය තල්මසුන් රට ආසන්නයට පැමිණීමට තවත් හේතුවක් බවත් පවසන විතාන මහතා කියා සිටියේ ගංගා ඔස්සේ මුහුදට ගලායන පෝෂක ද්‍රව්‍ය හේතුවෙන් මුහුදේ වර්ධනය වන ශාක හා සත්ත්ව ප්ලවාංග තල්මසුන්ගේ හොඳ ආහාරයක් වන බවයි. ‘‘ විශේෂයෙන්ම ඔවුන් සත්ත්ව ප්ලවාංග අනුභව කරන ක්ෂුද්‍ර කූනිස්සෙක් වන එයුපායුසියා සුපර්බා කියන රතු කූණිස්සා ආහාරයට එක්කරගන්නවා. සොබාදහමේ තුල්‍යතාව මෙතනදී ඉතාමත් පැහැදිලියි. ශී‍්‍ර ලංකාව අවට හොඳ මහද්වීප තටකයක් හෙවත් නොගැඹුරු මුහුදු තීරයක් පිහිටා තිබෙනවා. එයට වර්ෂය මුළුල්ලේම හොඳින් හිරුඑළිය පතිතවනවා. ඒ වගේම ගංගා ද්‍රෝණි 106 කින් ගලා එන පෝෂ්‍ය පදාර්ථ සාගර ජලයට නිරන්තරවම ලැබෙනවා. ඒ නිසා ක්ෂුද්‍ර ශාක ප්ලවාංගයේ සිට විශාල පැලෑටි දක්වා මේ ප‍්‍රදේශයේ වැවෙනවා. ඒ වගේම ක්ෂුද්‍ර සත්ත්ව ප්ලවාංගත් රැසක් තියෙනවා. ඒ පරිසරයේ වැඩෙන රතු කූණිස්සන් විටෙක රතු පැහැති වළාකුළු ආකාරයෙන් මුහුදේ දක්නට ලැබෙනවා. ඉතින් තමන් රුචි කරන ආහාර තිබෙන තැනට නිරායාසයෙන්ම මේ තල්මසුන් සහ මුල්ලන් බහුලව පැමිණීම පුදුමයක් නොවෙයි. ’’ ගොඩබිම ප‍්‍රදේශයේ සිට ශී‍්‍ර ලංකාව අවට මුහුදට වැඩිම ජල කඳක් ගෙනයන මහවැලි ගංගාවේ මෝයකට ආසන්න ති‍්‍රකුණාමල මුහුදේ තල්මසුන් සහ මුල්ලන් බහුලව සිටින්නේ එම ප‍්‍රදේශයේ පෝෂ්‍ය පදාර්ථ ප‍්‍රමාණය අනෙක් ප‍්‍රදේශවලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බැවිනි. ලොව තල්මසුන් ඔවුන්ගේ ආහාර රටාව අනුව ප‍්‍රධාන කොටස් දෙකකට වෙන්කැර තිබේ. උඩු හා යටි හනුවේ දත් පිහිටා ඇති සත්ත්ව විශේෂ ඔඩොන්ටොසිටි යනුවෙන් හඳුන්වන අතර අනෙත් විශේෂයට මුඛ පෙරණ පත‍්‍ර හෙවත් බැලීන් පත‍්‍ර පිහිටා තිබේ. ඔවුන් මිස්ටිසිටි හෙවත් බැලීන් තල්මසුන් ලෙස හැඳින්වේ. බැලීන තල්මසුන් ශරීර ප‍්‍රමාණයෙන් වඩාත් විශාල වේ. ‘‘ අපේ පර්යේෂණයේදී තල්මසුන්ගේ භෝජන රටාවන් පිළිබඳවත් අධ්‍යයනය කළා. මොවුන් සාගරයේ ඒ මේ අත වේගයෙන් පිහිනා යන ගමන් තම විශාල මුඛය විවෘත කරගෙන ගිහින් එකවිට ජලය සම`ග එය වසා ගන්නවා. මේ අවස්ථාවේ සිදුවන්නේ පරිබාහිර ජලය පිටතට නෙරා යාම. ඇතුලේ කූණිස්සන් ලක්ෂ ගණනක් වගේම මුහුදු ශාක ප්ලවාංග, ශාක කොටස් සහ කුඩා මසුන් හිරවෙනවා. මේ කූණිස්සන් අධි පෝෂණයෙන් යුක්තයි. ඒ වගේම ලැබෙන්නේ ඉතා සංතෘප්ත ආහාරයක්. සාමාන්‍ය වැඩුණු නිල් තල්මසෙක් දිනකට ටොන් අටක් පමණ ආහාර ගන්නවා. ’’ ගාමිණී කුමාර විතාන මහතා පවසන්නේ බැලීන තල්මසුන්ගේ හිසේ ස්වසනය සඳහා සිදුරු දෙකක්  පිහිටා ඇති අතර දත් සහිත ඔඩොන්ටොසිටි වර්ගයේ තල්මසුන්ගේ හිසෙහි ස්වසන සිදුරු එකක් පමණක් පිහිටා ඇති බවයි. මේවා බ්ලෝ හෝල් නමින් හඳුන්වන බවද ඔහු කියා සිටියේය. ‘‘ මුහුදු ක්ෂීරපායීන් ස්වසනය කරන්නේ පෙනහළු භාවිතයෙන් ඒ නිසා ඔවුන්ට නැවුම් වාතය ලබාගැනීමට ඉහළට ඒමට සිදුවනවා. මෙලෙස මතුපිටට පැමිණීම හේතුවෙන් ඔවුන් නිරීක්ෂණය කිරීම පහසු වී තිබෙනවා. විශේෂයෙන්ම මුල්ලන්ට වැඩි වේලාවක් ජලය යට සිටීමේ හැකියාවක් නැති නිසා ඔවුන් නිතර නිතර ඉහළට එනවා. නමුත් ඇතැම් විශාල තල්මසුන් පැයකට ආසන්න කාලයක් ජලය යට සිටීමේ හැකියාව පෙන්වනවා. මේ විශාල සතුන් ජලය මතුපිටට පැමිණීමේදී වතුර මලක් මෙන් අඩි ගණනක් උඩට වතුර විදින දර්ශනය ඉතාමත්ම චමත්කාරජනකයි. ’’ විතාන මහතා පවසන්නේ තල්මසුන් සහ මුල්ලන් ජලය මතුපිටට පැමිණ කරණම් ගසමින් කරන රංගනයෙන් ඔවුන් එකිනෙක විශේෂ වෙන්කැර හඳුනාගැනීම පහසු වී ඇති බවයි. නිල් තල්මසා මතුපිටට පැමිණ ජල දහරාව විද නැවත ජලය තුළට යන ආකාරයත්, මන්දා තල්මසා එලෙස කරන රටාවත් වෙනස් බව ඔහු පෙන්වාදෙයි. ‘‘ තල්මසුන් ජලය මුඛයට ගෙන වේගයෙන් වහන විට වායු සිදුරු දෙක තුළින් විශාල සම්පීඩිත ජල ධහරාවක් එළියට විහිදෙනවා. මෙය හඳුන්වන්නේ ස්පවුට් කියා. ජල පහරේ උස හා හැඩය අනුව අපිට හැකියාව තිබෙනවා තල්මසුන් හඳුනාගන්න. ඔවුන්ගේ සම්පූර්ණ ශරීරයම අපිට ජලය මතුපිට සිට නිරීක්ෂණය කළ නොහැකි වුනත් ඉහළට විදින ජල දහරාව වගේම පිනුම් ගසන ආකාරයත්, ජලය විදින රටාව සහ යළි ජලය යට කිමිදෙද්දී වළිගය එසවෙන ආකාරයත් අනුව මේ විශේෂ වෙන්කැර හඳුනාගත හැකියි. මේ සකලවිධ සමුද්‍ර ක්ෂීරපායීන් විශේෂයෙන්ම මුල්ලන් කෙළිලොල් සතුන්. තමන්ට හිමි අසීමිතව පැතිර පවත්නා සාගරයේ ඔවුන් රිසි සේ සරණවා. ’’ ශී‍්‍ර ලංකාව අවට මුහුදේ දැකිය හැකි තල්මසුන් අතරින් සුවිශේෂී සතුන් වන්නේ නිල් තල්මසුන් සහ මොල්ලි තල්මසුන් නැමැති විශේෂ දෙකයි. ලෝකයේ විශාලතම සත්වයා වන නිල් තල්මසා සාමාන්‍යයෙන් මීටර 30 ක් පමණ වශාලව වැඩෙන අතර බර ටොන් 125 සිට 160 දක්වා වේ. ඔවුන්ගේ පැටියකු උපදින විට මීටර හතක් පමණ දිගැති වන අතර ටෝන් දෙකක් හෝ තුනක් පමණ බරින් යුතුවේ. හම්බැක් වේල් ලෙස හඳුන්වන මොල්ලි තල්මසුන් මීටර 15 ක් පමණ දිගැති අතර ඔවුන් මෙගප්ටෙරා නොඑන්ග්ලියේ යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වයි. විශාල උරපත් පිහිටා ඇති මොල්ලි තල්මසාගේ ඇති විශේෂත්වය වන්නේ මුහුදේ දී නාද කිරීමට ඇති හැකියාවයි. ලොව තල්මසුන් පිළිබඳ අධ්‍යයනය කරන ලද මුහුදු ක්ෂීරපායීන් පිළිබඳ විiාඥයින් වන මහාචාර්ය ස්ටීවන් ලෙදර්වුඞ් සහ මහාචාර්ය රොජර් පේන් මහත්වරු සමග තල්මසුන්ගේ ශබ්දය පටිගත කිරීම් සිදුකිරීමේ දුර්ලභ අවස්ථාවට එක්වීම ගාමිණී කුමාර විතාන මහතාට අවස්ථාව ලැබිණි. ඔහු පවසන්නේ තල්මසුන්ගේ හඩ ඇසීම අතිශයින්ම චමත්කාරජනක අත්දැකීමක් වූ බවයි. මුහුදේ ඇති බාධක මගහැරීමටත්, ආහාර ඇති ස්ථාන සොයා ගැනීමට, එකිනෙකා අතර අදහස් හුවමාරු කැර ගැනීමට මෙන්ම ප‍්‍රජනන සමයේදී තම සහකරු හෝ සහකාරිය කැඳවීමට මොවුන් මේ ශබ්ද නිකුත් කරන බව පර්යේෂණ වලින් හෙළිවී තිබේ. ‘‘ මහාචාර්ය රොජර් පේන් පැහැදිලිව සඳහන් කරනවා තල්මසුන් ගීත කියන බව. වේල් සෝන්ග්ස් කියා එය හඳුන්වනවා. ඔවුන් මේ ශබ්ද නිපදවන්නේ හිසේ ඉදිරිකොටසෙන් සහ උඩ හනුවෙන් බව පරීක්ෂණවලින් තහවුරු වුනා. මේ ශබ්ද වැඩිපුරම අසන්නට හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ ප‍්‍රජනන සමයේදී. බල්ලන් මුත‍්‍රා කිරීමෙන් සහ කුරුල්ලන් නාද කිරීමෙන් තම සීමාව මායිම් කරන්නා සේ තල්මසුන් ගීත කීමෙන් මුහුදේ තම සීමාව ලකුණු කරනවා. ඔවුන් සීමාව මායිම් කළාට  පසු වරිගයේ වෙනත් අය ඒ සීමාවට එන්නේ නැහැ. සාමන්‍යයෙන් උසස් මනසක් ඇති සතුන් විශේෂයෙන්ම මිනිසා, අලියා, ගෝරිල්ලන්, චිම්පන්සීන් වැනි සතුන් තම සංසර්ගය අනෙක් අය දැකගන්නවාට කැමැත්තක් නැහැ. තල්මසුන් ද එවැනියි. තම සහකරු හෝ සහකාරිය සමග තනිවන්නට පෙර ගීත ගයා සීමාව වෙන්කැර ගන්නවා ’’ පර්යේෂණ වලින් හෙළිවී ඇත්තේ මින්ත්තු හයක කාලයක සිට මිනිත්තු 30 ක් පමණ දක්වා එක දිගට ශබ්ද නැංවීමට තල්මසුන්ට හැකියාව ඇති බවයි. කිලෝ හර්ට්ස් 200 ක් වැනි විශාලත්වයෙන් යුතු මේ ශබ්ද මිනිස් කනට ඇසෙන්නේ කෙඳිරි ගෑමක්, උරුහන් බෑමක් හෝ වේදනාත්මක ලෙස ටික් ටික් ගෑමක් ආකාරයෙන් වුවත් විතාන මහතා පවසන්නේ එය අලින්ගේ කුංචනාදයට සමාන බව හඩ පටිගත කළ නවීන තාක්ෂණ උපකරණ වලින් තහවුරු වූ බවයි. මෙම කාර්යය සඳහා විශේෂ ජල තරංග පටිගත කිරීමේ හයිඩ‍්‍රෆෝන් ඉන්ස්ටලේෂන් නැමැති යන්ත‍්‍රයක් භාවිතා කැර තිබේ. ඒ පිළිබඳ ගාමිණී කුමාර විතාන මහතා මෙසේ කීවේය. ‘‘ මොල්ලි තල්මසුන්ගේ හඩ ඉතාමත් හොඳින් පටිගත කරන්නට අවස්ථාව ලැබුණේ ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේදී. මේ ශබ්දය නිකුත් කරන ප‍්‍රජනන සමයේදී ඔවුන්ගේ හැසිරීම් ගැන අපි විමසිලිමත් වනවාට ඔවුන් කැමැත්තක් දැක්වූවේ නැහැ. වරක් හයිඩ්‍රොෆෝන් උපකරණය දුටු තල්මසුන් කිහිප දෙනෙක් එය සැතපුම් කිහිපයක් දුරට තල්ලූ කරගෙන ගියා. ’’ රංචු වශයෙන් වේගයෙන් පිහිනා යාමට දැඩි කැමැත්තක් දක්වන තල්මසුන් ප‍්‍රජනන සමයේදී ජෝඩු වශයෙන් එක්වී සිටින ආකාරය දැකගත හැකිවේ. ‘‘ මොවුන් සංසර්ගය සඳහා උඩට පැමිණෙනවා. උඩදී තම අවල් දෙකෙන් බදාගෙන යුවළ ආදරයෙන් වැළඳගෙන සංසර්ගයේ යෙදෙන ආකාරය මම දැක තිබෙනවා. මේක ඉතාමත්ම දුර්ලභ දර්ශනයක්. අලින් සංසර්ගයේ යෙදෙන්නේ කිසිවෙකුත් පෙනෙන්නට නැති වනාන්තරයේ ඈත ඉම වෙත ගොස් තල්මසුන් ද ඒ වගේමයි. විතාන මහතා පවසන්නේ තල්මසුන් පැටවුන් බිහිකිරීමේදී අනෙක් ක්ෂීරපායී සතුන්ගෙන් වෙනස්වන බවයි. මිනිසා ඇතුළු ක්ෂීරපායීන්ගේ පැටවා ස්වභාවිකව බිහිවීමේදී මවගේ යෝනියෙන් පැටවාගේ හිස මුළින් එළියට විත් පසුව පාද එළියට ඒම සිදුවේ. නමුත් තල්මසුන්ගේ පැටවාගේ මුලින් එළියට එන්නේ වලිගයයි. හිස අවසාන මොහොතේ එළියට එයි. ‘‘ තල්මසුන් පැටවුන් බිහිකරන ආකාරයත් අපි අපේ ගවේෂණයේදී නිරීක්ෂණය කළා. ඔවුන්ගේ වලිගය මුළින් එන්නේ ජලයට අනුවර්තනය වීමක් ලෙස. හිස පළමුව පැමිණියහොත් යම් හේතුවක් නිසා ඉතිරිකොටස පැමිණීම ප‍්‍රමාද වුවහොත් පැටවා මරණයට පත්වීම ඒකාන්තයි. පැටවා බිහිකල පසු මව තම දරුවා මුහුද මතුපිටට තල්ලූ කරනවා. මේ සතුන්ගේ ස්ථන ග‍්‍රන්ථි පිහිටා ඇත්තේ සුවිශේෂී ආකාරයකට. එය ආවරණයක් ඇතුලේ පිහිටා තිබෙනවා. දොර පියන් දෙකක් ඇති කාමරයක් ඇතුලට තම මුඛය රුවා ගන්නා පැටවා කිරි උරා බොනවා. වසර දෙකකට හෝ තුනකට වරක් පැටවකු බිහිකරන තල්මස් මවක් තම පැටවා වැඩෙන තුරු තම සිරුරේ යටි පැත්තේ එල්ලාගෙන රැුකබලා ගන්නවා. ’’ ශී‍්‍ර ලංකාව අවට මුහුද තවමත් දූෂණය නොවී තිබීම තල්මසුන් මෙම ප‍්‍රදේශයට පි‍්‍රයකිරීමට හේතුවක් වී තිබේ. ‘‘ තල්මසුන් අතරින් වැඩිම තර්ජනයට ලක්ව සිටින්නෙ මන්දා තල්මසුන්, සිංහල අර්ථයට අනුවම ඔවුන්ගේ ආමාශයට යටින් ඝන මේද ස්ථරයක් හෙවත් තෙල් මන්දක් පිහිටනවා. ධීවරයන් මේ තෙල් හඳුන්වන්නේ ඇම්බර් නමින්. ඇම්බර් අද ලෝකයේ රහසිගතව අළෙවි කැරෙන වටිනා ද්‍රව්‍යයක් බවට පත්වෙලා. එයින් ස්වභාවික සුවඳ විලවුන් මෙන්ම කාමෝද්දීපික ඖෂධ වර්ග නිෂ්පාදනය කරනවා. ’’ ගාමිණී කුමාර විතාන මහතා පවසන්නේ ඇම්බර් යනු පෙරමෝනයක් බවයි. අධික සුවඳ හේතුවෙන්ම ගඳක් ලෙස තෙරුම්ගන්නා මේ පෙරමෝනය විරුද්ධ ලිංගිකයන් ආකර්ශනය කැර ගැනීම සඳහා තල්මසුන්ට ප‍්‍රයෝජනවත් වේ. ඉතා තියුණු සහ වින්දනීය සුවඳක් වහනය වන ඇම්බර් වලින් නිපදවන සුවඳ විලවුන් ස්වභාවික විලවුන් අතර ලොව මිලෙන් අධිකම විලවුන් වර්ගයයි. එබැවින් සංවිධානාත්මකව මන්දා තල්මසුන් ඝාතනය කොට ඇම්බර් ලබාගැනීම සිදුවන බැවින් එය තල්මසුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් වී තිබේ. තල්මසුන්ට සිදුවන තවත් හානියක්නම් නැව් වල අවර පතට ඔවුන්ගේ ශරීරය තුවාල වීමයි. තුවාල සිදුවූ විට සුදු මෝරුන් එම තුවාල වලින් කෑලි කඩා ආහාරයට ගැනීමත් තල්මසුන්ට විදින්නට සිදුව ඇති ගැහැට අතර වේ. ගාමිණී කුමාර විතාන මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. ‘‘ ඇතැම් ධීවරයන් කුඩා තල්මසුන්, මුල්ලන් සහ මුහුදු ඌරන් මරා මස් කරනවා. ශී‍්‍ර ලංකාවේ ඇති නීතිය අනුව මුහුදේ සිට මස්කොට ගෙන ආ විට ඒ සතුන් හඳුනාගැනීම කළ නොහැකියි. මුහුදු සත්ත්වයකු හඳුනාගන්නේ හිස කොටසින්. ඒ නිසා මේ සතුන් මරා දමන්නන්ට ද`ඩුවම් කිරීමේ හැකියාව අඩුයි. විශේෂයෙන් මෙරට නීතිය කි‍්‍රයාත්මක කරන ඇතැම් නිලධාරීන්ට මේ සතුන් හඳුනාගැනීමට නොහැකිවීම ගැටළුවක් වෙලා තියෙනවා. ඩොල්ෆින් සහ මුහුදු ඌරන් පිළිබඳ පොලීසිය මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. ’’ මුහුදු ක්ෂීරපායීන් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණඅනුව මෙවැනි දැවැන්ත සතුන්ගේ පෝෂණය සඳහා ඉවහල්වන ක්ෂුද්‍ර රතු කූනිස්සා මිනිස් ආහාර සඳහා යොදා ගැනීමේ හැකියාව පිළිබඳ විද්‍යාඥයෝ පර්යේෂණ කරමින් සිටිති. එමෙන්ම ඇතැම් රටවල් පර්යේෂණ දියත් කැර ඇත්තේ දිනකට ටොන් ගණනක් කිරි නිපදවන තල්මසුන්ගේ කිරි මිනිස් ආහාර ලෙස යොදාගැනීමේ හැකියාව පිළිබඳව ද රටවල් ගණනාවක පර්යේෂණ සිදුවෙමින් තිබේ. ලැක්ටෝස් සීනි වලින් සහ අධික මේදයෙන් පරිපූර්ණ තල්මස් කිරි මිනිස් පරිභෝජනයට සුදුසු පරිදි සකසා ඉදිරියේදී වෙළඳපොලේ විකිණීමට තිබුණ ද ඒ පිළිබඳ පුදුම විය යුතු නැත.
සටහන - සජීව විජේවීර
තල්මසාගේ නාස් විවර දෙක බැලීන තල්මසකුගේ මුඛයේ පෙරණ පිහිටා ඇති ආකාරය. මුඛයේ දත් නැත මන්දා තල්මසා තල්මසුන් සංසර්ගයේ යෙදීමට ඉහළට පැමිණි අවස්ථාවක් පැටවකු සමග සිටින මොල්ලි තල්මසෙක් ගාමිණී කුමාර විතාන