IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැන්ගරුන් පැරදවූ ශ්‍රී ලංකා සිංහ පැටව්

පීඩිත භාවයේ පත්ලට වැටී කඳුළෙන් සුසුමෙන් දවස් ගෙවා දැමීමේ දුක්ඛිත ඉරණමකට යටත් කර සිටින අප රටේ සකල ජනී ජනයාට අප්‍රමාණ වින්දනයක් ආස්වාදයක් රැගෙන ඒමට දසුන් ශානක ප්‍රමුඛ පිරිවර ඉකුත් 21 වැනිදා රාත්‍රියේ සමත් වූහ. ඒ ජගත් ක්‍රිකට් පිටියේ පරාජය කිරීමට අසීරුම කණ්ඩායම ලෙස විරුදාවලි ලැබ සිටින ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ලැබූ අනගිතම ජයග්‍රහණ සමගිනි. එය වූ කලී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරාජය කරමින් වසර 30කට පසු ලැබු තරගාවලි ජයග්‍රහණයක්වීම ද විශේෂයකි. තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලි ජයග්‍රහණය ලැබීමට සමත්වීම ද සුවිශේෂි කාරණයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ ද වර්තමානයේ රට මෙන්ම අඳුරු ප්‍රපාතයකය. 1996 වසරේ දී අර්ජුන රණතුංග සහ පිරිවර ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමත් සමග මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය වර්ණවත් සැණකෙළියක් බවට පත්විය. නොනැවතී ජයග්‍රහණ ලබන කණ්ඩායමක් ලෙස ක්‍රිකට් ලෝකයේ ආධිපත්‍යය පැතිරවූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට ඩොලර් උල්පතක් බවට පත්විය. ගම් දනව් නගර ජනපද සිසාරා ගංවතුරක් මෙන් ක්‍රිකට් ක්‍රීඩාව පැතිර ගියේ මෙරට ජනප්‍රියම ක්‍රීඩාව බවට ද පත් වෙමිනි.

ජාත්‍යන්තර දිග් විජය කළ කීර්තිමත් ක්‍රීඩකයෝ රැසක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූහ. 96 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ලොව අගනාම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ සනත් ජයසුරිය වේ. ටෙස්ට් මෙන්ම එක් දින වැඩිම කඩුලු ලාභියා මුත්තයියා මුරලිදරන්ය.‘කැප්ටන් කූල්’ ලෙස විරුදාවලි ලත් අර්ජුන  රණතුංග, අරවින්ද ද සිල්වා මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර මෙන්ම ‘යෝකර් රජු’ ලෙස විරුදාවලිලත් විශිෂ්ටතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග ඇතුළු ගරු බහුමානයට පත් අති විශිෂ්ටයෝ රැසක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූහ. රංජන් මඩුගල්ල, රොෂාන් මහානාම මෙන්ම කුමාර ධර්මසේන. ලෝක ක්‍රිකට් විජිතයේ ඇති දැවැන්තයෝ බවට පත්ව සිටිති.

අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය එපරිදි වුව ද ඉකුත් සමයේ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ පිපාසයෙන් පෙළුණේය. නොනැවතී ජයග්‍රහණ ලබන කණ්ඩායමක් ඉඳහිට තරගයක් දිනන කණ්ඩායමක් දක්වා පල්ලම් බැස තිබිණි. ක්‍රිකට් ප්‍රේමීන් සිටියේ අති මහත් කනස්සල්ලෙනි. ක්‍රීඩකයන් එහා මෙහා කරමින් ජයග්‍රහණ සෙව්වද එය පලක් නොවීය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් විස්සයි 20 තරගයෙන් මෙරට අඳුරු ක්‍රිකට් ඉරණම වෙනස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. නායක දසුන් ශානකගේ ප්‍රවේගකාරි පිති හරඹය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය රැගෙන ආවේය. සීමිත පන්දුවාර තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුව ද දෙවැනි, තෙවැනි හා සිව්වැනි තරගවල දී බඩගිනි සිංහයන් මෙන් දසුන් ශානක ප්‍රමුඛ රෑන තරග පාලනය අතට ගත්හ. බලපුළුවන්කාර ඔස්ට්‍රේලියානුවන්ගේ නළල රැලි ගන්වමින් ඔවුන්  අත තිබූ ජයග්‍රහණ උදුරා ගත්හ. මුළු රටම එම ඓතිහාසික ජයග්‍රහණ සමගින් අමන්දානන්දයට පත්විය.

දුක්ඛිත භාවයේ  පත්ලට වැටී සිටින ජනතාවක් එසේ අමන්දානන්දයට පත් කිරීම එක් අතකින් මහත් ඵල මහානිශංස ලැබෙන පින්කමකි. ඉන්ධන පෝලිම්වල නිරාදුක් විඳින ජනයා මුහුණු පොතට එක්කර තිබූ අදහස්වලින් එය මනාව පැහැදිලි විය. ‘‘බොහෝ දිනකට පසුව ජිවිතය  පිළිබඳ බලාපොරොත්තු ඇති වුණා.’’ යැයි එක් ක්‍රිකට් ප්‍රේමියකු සඳහන් කර තිබූ අතර  තවත් සටහනක වූයේ ‘‘මෙහෙම දුක් විඳින අපට එක රැයක් හරි සතුටෙන් ඉන්න අවස්ථාව දුන්නාට කොල්ලනි නුඹලාට පින්’’ යනුවෙනි.

සැබැවින්ම අපගේ රටේ ජනතාව බොහෝ සතුටෙන් ජීවත් වීමට කැමති ජනතාවකි. ක්‍රිකට් ජයග්‍රහණ අබියස ඔල්වරසන් දෙන ජයඝෝෂා නාදයෙන් ඉපිලෙන ජනයා ප්‍රදර්ශනය කරනු ලැබුවේ ඔවුන් සතුටට කොතරම් කැමති ද යන්නය. මේ රටේ ජනතාවට අහිමිව තිබෙන්නේ එම සතුටය. එය මොන තරම් පාපයක් ද යන්න වටහා ගැනීම අසීරු නැත.

පිට පිට තරග ජයග්‍රහණය කරමින් ජනයා පිනවන්නේ බින්දුවටම වැටි සිටි කණ්ඩායමකි. යළි ජයග්‍රහණ නොලබනු ඇතැයි සිතු කණ්ඩායමකි. එහෙයින්ම  එම කණ්ඩායමට අපේ ප්‍රණාමය මෙන්ම ප්‍රසාදය ප්‍රමාණයකින් තොරව පිරිනැමිය යුතුය. ඊටත් වඩා බින්දුවටම වැටී සිටි කණ්ඩායමක් යළි යෝධයකු මෙන් නැගී සිටියාක් මෙන් බින්දුවටම වැටී ඇති රටක් යළි නඟා සිටුවිය හැකිය, යන බලාපොරොත්තුව අලුත් කිරීම ගැන අපේ කොල්ලන්ට යළි යළිත් ස්තුතිවන්ත විය යුතුය.

(***)

ඡායාරූපය - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි



අදහස් (0)

කැන්ගරුන් පැරදවූ ශ්‍රී ලංකා සිංහ පැටව්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31215 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13385 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10974 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 77 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 909 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site