සමාජ ශාලාවේ දර්ශනයක්
 
බීම කවුන්ටරය

 

 

රෑ බෝ වෙද්දී අමුතුම සිරියක් මවන විහාර මහා දේවි උද්‍යානයේ ඉදි කර ඇති ඇවිදින මං පෙත දිගේ ඇවිද ගිය අප රාත‍්‍රී කොළඹ වටා යන ගමනේ ඊළඟට ගියේ අඳුර වැටීගෙන එද්දී වැඩියෙන් කාර්ය බහුල වන තැන් සොයාය. රාත‍්‍රීයේ කොළඹ ජනාකීර්ණ වන එක් ප‍්‍රදේශයක් නම් කොල්ලූපිටියයි. එහි රාත‍්‍රි සමාජ ශාලාය. කොම්පඤ්ඤවීදියෙන් ත‍්‍රීරෝද රථයකට නැගී කොල්ලූපිටියේ රාත‍්‍රී සමාජ ශාලාවක් බලා අපි පිටත්වීමු.


”මේ දවස්වල වැඩක් නෑ. ෆොරිනර්ස්ලත් වැඩිය නෑ. සුද්දෙක් එහෙම හම්බවුණා නම් අපට වාසියි” ත‍්‍රිරෝද රියදුරු අප සමග කතාවට වැටිණි.

”අපි අඳුනා ගෙන තියෙන නයිට් ක්ලබ්ස් දෙක තුනක් තියෙනවා. අපි ගාවට සංචාරකයෝ ආවාහම අපි එයාලව අපි දන්න තැනකට එක්ක යනවා. එතනිනුත් අපට කීයක් හරි හම්බවෙනවා. මේ ටිකේ ගොඩක් අඩුයි සංචාරකයෝ” ත‍්‍රීරෝද රථ රියැදුරු පැවැසීය.

කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය අසලින් ත‍්‍රීරෝද රථයෙන් බැසගත් අප මුලින්ම ගියේ එහි බිම්මහලේ වූ ”ක්ලියෝපැට‍්‍රා” රාත‍්‍රී සමාජ ශාලාව වෙතය. අප ත‍්‍රීරෝද රියෙන් එතැනට ගියත් එහි සිටි පිරිස් පැමිණ සිටියේ හොඳ වාහනවලිනි. මෑතකදී ක්ලියෝපැට‍්‍රා සමාජ ශාලාව ජනප‍්‍රිය වූයේ නයි නළඟන නිසාය. ඒ ඇය ද එහි නළඟනක වූ හෙයිනි.

ඇතුළුවීමට ඇති ප‍්‍රධාන දොරටුව නත්තල් සැරසිලිවලින් වර්ණවත් කර තිබිණි. කළු ඇඳුමෙන් සැරසුණු ආරක්‍ෂකයෝ දෙතුන් දෙනෙක් දොරටුව අසල වූහ. ගනුදෙනුකරුවන් ඇතුළට එද්දී ඔවුන් සතු ගමන් මලූ පරීක්‍ෂා කර ඔවුහු දොර විවර කර දෙති. දොර මඳක් විවර කරද්දීම ඇසෙන්නේ වේග රිද්මයට වැයෙන සංගීත නාදයකි. අඩ අඳුර මැදින් පෙනෙන්නේ නිවි නිවී පත්තුවන වර්ණවත් විදුලි බුබුළුය.

එය තුන් සියයකට පමණ සිටිය හැකි විවෘත පෙදෙසකි. මැද වේදිකාවකි. වේදිකාව වටා සිමෙන්තියෙන් ඉදි කළ බංකුය. තැනක දෙතුන් දෙනෙක් වට වී මධුවිත පානය කරති. තවත් තැනක තනිවම මධුවිත තොල ගාන තරුණයෝය. විදේශිකයෝ කිහිප දෙනෙක් ද වූහ. තැනින් තැන වේග රිද්ම සංගීතයට නටන්නෝය.

”රෑ හත විතර වෙද්දී කට්ටිය එන්න පටන් ගන්නවා. අපේ තියෙන්නේ  ඕපන් ඒරියා එකක්. රෑ දහයට විතර තමයි කස්ටමර්ස්ලා වැඩි වෙන්නේ. නැටුම් කණ්ඩායමත් ඒ වෙලාවට වැඩ පටන් ගන්නවා.” යැයි පැවසුවේ ක්ලියෝපැට‍්‍රා සමාජ ශාලාවේ සේවකයෙකි.එහි පසෙකින් ඇත්තේ මත්පැන් අලෙවි හලය. ”බාර් එක” කියූ සැනින් සැවොම එය දනිති. සමාජ ශාලාවේ පැවැත්ම තීරණය වන ප‍්‍රධාන සාධකය එයයි. රුපියල් අටසියයයේ නව සියයයේ සිට තිස් හතළිස් දහස දක්වා විවිධ මත්පැන් වර්ග එහි වෙයි. ඒ අසල සියලූ දෙනාට පෙනෙන අයුරින් මත්පැන්වල මිල සඳහන් පුවරුවකි.

කොටට ඇදගත් යුවතියෝ කිහිප දෙනෙක් ද වූහ. තවත් තරුණියෝ දෙතුන් දෙනෙක් මධුවිත පානය කරති. ක්ලියෝපැට‍්‍රා සමාජ ශාලාවෙන් පසු තවත් සමාජ ශාලා කිහිපයකට ගියෙමු. ඒ සෑම එකකම වාගේ විශේෂත්වය වූයේ පිවිසුම් දොරටුව අසල සිටින ආරක්‍ෂකයෝ ඇතැම් ගනුදෙනුකරුවන් රැගෙන එන දෑ පරීක්‍ෂා කර ඇතුළට යවති. ආරක්‍ෂාවට සිටින්නේ ද ඇඟපත ඇති උස මහත තරුණයෝය.

සමාජ ශාලාවට ඇතුළුවීමට පමණක් රුපියල් 500 සිට දෙතුන් දහස දක්වා මුදල් අය කරයි. ඇතුළට එන ගනුදෙනුකරුවන් පිළිගන්නේ රූමත් යුවතියෝය. ඔවුහු සියල්ලෝම අවුරුදු 18ත් 30ත් අතර පසුවන්නෝය. ශරීරයේ වැඩි කොටසක් පෙනෙනෙ සේ ඇඳුම් ඇදගෙනය. දුටුවන් කෙරෙහි සරාගී හැඟීම් ඇති කරන අයුරින් හැසිරෙන යුවතියෝ ගනුදෙනුකරුවන් සමග ආසනවලට යති.

තරුණියන්ගේ අරමුණ ගනුදෙනුකරුට වැඩි වැඩියෙන් මත්පැන් හා දුම්වැටි පෙවීමය.

සාමාන්‍ය වෙළෙඳ පොලේ රුපියල් දහසකට පමණ මිලදී ගත හැකි මත්පැන් බෝතලයක මිල සමාජ ශාලාවේ රුපියල් පන් හය දහසකි. බොහෝ සමාජ ශාලාවලට යන්නෝ එක් රාත‍්‍රියකට රුපියල් විසි තිස් දහස වියදම් කරති. කොළඹ සුපිරි සමාජ ශාලාවලට යන ඇතැමෙක් එමෙන් තුන් හතර ගුණයක් වියදම් කරති.

රාත‍්‍රී සමාජ ශාලාවල වැඩට සිටින යුවතියන් අතර විදේශික කාන්තාවෝද වෙති. තරුණියෝ ද තරුණයන් සමග හරි හරියට මදුවිත පානය කරති. ඇතැම් සමාජ ශාලාවල මධුවිත පානයෙන් පසු කෙරෙනුයේ සහායක තරුණිය සමග වෙනත් ක‍්‍රියා සඳහා පසෙකින් රහසිගතව ඇති කාමරවලට යෑමයි. තවත් සමහරු සමාජ ශාලාවේ යුවතියන් සමග වේග රිද්මයට නටති.

”නැටුම් කණ්ඩායම නටද්දී අපිත් කස්ටමර්ස්ලත් එක්ක ඩාන්ස් කරනවා. ගොඩක් වෙලාවට පාන්දර තුන විතර වෙනකම් ඉන්නවා. නිතරම එන අය එකම කෙල්ලෙක්ව තමයි තෝර ගන්නේ. යද්දී අපටත් පොඩි ටිප් එකකුත් දීලා යනවා. වයස් බේදයක් නෑ. තරුණ අයත් එනවා. අවුරුදු හතළිහ පනහ වගේ අයත් එනවා” යැයි එක් රාත‍්‍රී සමාජ ශාලාවක සේවය කරන තරුණියක් පැවසුවාය.

සමාජ ශාලාව ඇතුළට යන්නන් අඩ අඳුරේ තැනින් තැන නිවි නිවී දැල්වෙන විදුලි බුබුළු මධ්‍යයේ වෙනම ලෝකයකට පිවිසෙති. විවිධ තරාතිරම්වල විවිධ වයස් කාණ්ඩවල පිරිස් ඒ අතර සිටිති. මෙවැනි තැන් කොලොම්පුරයේ ඇත්දැයි දිවා කාලයේ කොළඹ යන්නන්ට නොසිතෙන පරිදිම දිවා හා රාත‍්‍රී සංස්කෘති දෙක වෙනස්ය.

අඳුර වැටෙද්දී කොළඹ කාර්ය බහුල වන්නේ රාත‍්‍රී සමාජ ශාලා පමණක්ම නොවේ. කාර්ය බහුල වන අනෙක් තැන් මොනවාද?


ලබන සතියේ රසවිතෙන්