ශ්‍රී ලංකාව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යන විදේශීය ආධිපත්‍යයන්ට නතුව පැවැති යටත් විජිතයකි. මෙම විදේශීය ආධිපත්‍යයන්හී ශේෂාවශේෂයන් අද ද සිරිලක පුරා දැකිය හැක්කේ ය. ලන්දේසි පාලනයේ විචිත‍්‍රත්වය මෙන්ම සැඟවුණු කෲරත්වය ද විදහා දැක්වෙන තක්සලාවක් බඳුවූ, ලන්දේසි බළකොටුවක්, වයඹ පළාතේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ කල්පිටිය අර්ධද්වීපය තුළ දැකිය හැක්කේ ය. පසෙකින් කල්පිටිය කළපුවෙනුත්, මහ සයුරිනුත් මායිම්වූ කල්පිටිය අර්ධද්වීපයේ ඉහළ කෙළවරේ කළපු තෙර මෙම බළකොටුව පිහිටා ඇත්තේය. දැනට කල්පිටිය විජය නාවුක හමුදා කඳවුර පවත්වාගෙන යනු ලබන්නේ මෙම  ඕලන්ද බළකොටුව තුළය. ශ්‍රී ලංකාව බටහිර ජාතීන්ගේ ග‍්‍රහණයට නතුවීමට බොහෝ කලකට පෙර සිටම, අරාබි ජාතීන් මුහුදින් කල්පිටියට පැමිණ සිය වෙළෙහෙළදාම් කටයුතුවල නිරතව ඇත. ඈත අතීතයේ ”සොලමන් රජු දවස වෙළෙඳාම් චාරිකාවල යෙදුණු ෆිනීසියන් වෙළෙඳුන් පවා කල්පිටිය සමග වෙළෙඳ සබඳතා පැවැත්වූ බැව් ”බ්‍රෝහියර්” නමැති ලේඛකයාගේ වාර්තාවල ද සඳහන් වෙයි. නිශ්චිත හේතුවක් අනාවරණය නොවුණද, අරාබි වෙළෙඳුන් ගේ කල්පිටි ආර්ථික මධ්‍යස්ථාන බිඳවැටී, ගොස් ඇති අතර ක‍්‍රිස්තු වර්ෂ 1544 දී කල්පිටිය ජනශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්ව ඇත. පෘතුගීසීන්ගේ ආක‍්‍රමණය සිදුවීමත් සමඟ පෘතුගාලයේ රජුගේ අණ පරිදි ජෙසුයිට් නිකායික පූජකවරුනට කල්පිටිය තිළිණයක් ලෙස පවරා දෙනු ලැබීය. ඔවුහු සිය ප‍්‍රධාන වගකීම වූ කතෝලික දහම ප‍්‍රචාරයේ නිරත වෙමින් සිටියදී කල්පිටියේ ජන ඝනත්වය ඉහළ ගොස්, යළි සශ්‍රීක යුගයක් උදාවූ බැව් සඳහන් වේ. අනතුරුව ලන්දේසීන්ගේ ආක‍්‍රමණයත් සමඟ  ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ බලය කල්පිටියේ ස්ථාපිත කිරීමට,  ඕලන්ද රජය තීරණය කොට ඇත. එවකට මෙරටේ පහතරට පළාතේ ආණ්ඩුකාරධුරය හෙබවූ රයික්ලෝප් වාන් ගොළුසාන්, එම තීරණයට සමගාමීව ක‍්‍රිස්තුවර්ෂ 1667 වර්ෂයේ දී මෙහි බළකොටුව ඉදිකිරීම ආරම්භ කොට ඇත. එකල කුරුඳු සහ පුවක් අපනයනය සිදු කරන ප‍්‍රධාන වරාය වශයෙන් කල්පිටිය තෝරාගත් බවද සඳහන් වේ. ඕලන්ද බළකොටුව පිළිබඳ තතු විමසීමේදී එහි පිවිසීමේ එකම දොරටුව වන්නේ පවුරු ප‍්‍රාකාරයෙන් සාදා ඇති විශාල ආරුක්කු ද්වාරයයි. එහි ද්වාරයට ඉහළින් වී ඕසී (VOC-Vereenigde Oost Indische Compagnic&)  ලාංඡනය සටහන්ව ඇත. එහි පහළින් සරසනලද ඇතුන් දෙදෙනෙකුගේ සළකුණු සටහන්කොට සහ බළකොටුව ප‍්‍රතිසංස්කරණය කළ 1676 වසර කොටා ඇත. මෙම ප‍්‍රධාන දොරටුවේ ඉහළ කුරෙන්තියේ සීනුවක් එල්ලා තිබූ බවට සාක්‍ෂි දිස් වේ. ප‍්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ විට, චතුරස‍්‍රාකාර එලිමහන් භූමියක් මත පෙරට්ටු භූමියට අවතීර්ණය වේ. ලන්දේසි සෙබළුන් සිය යුද පුහුණුවීම් සඳහා මෙම භූමිය භාවිතාකර තිබේ. බළකොටුවේ සිව් දිසාවේ මුරකුටි හෙවත් තුවක්කු බැස්ටින හතරක් පිහිටුවා ඇත. ඊට අමතරව, මුහුදු තීරය එක එල්ලේ දිස්වන පරිදි බැක්ටීනයක් පිහිටුවා ඇත. එකල වැඩිම යුදමය තර්ජන මුහුද දෙසින් සිදුවීමට ඉඩ තිබුණු නිසා විය හැක. මෙම සියලූ මුරකුටි අඩි පහකට වඩා උසින් අඩුය. ඉතා කුඩා ඉඩකඩක් සහිතය. බළකොටුවේ පරිපාලන කටයුතු ලන්දේසීන් විසින් සිදුකරද්දී, ජා, ලස්කිරිඤ්ඤා මැඩි කුලී භටයින් මුරකුටිවල සේවයට යොදන්නට ඇතැයි විශ්වාස කෙරේ. එම කුලී හේවායින් ගේ උසට හා මහතට සරිලන පරිදි මුර කුටි ගොඩනගා ඇත. අඩි විස්සක තරම උසට බළකොටු ප‍්‍රාකාරය ගොඩනගා ඇත්තේ, ප‍්‍රදේශයට ආවේණික මුහුදු හිරිගලිනි. බළකොටු ප‍්‍රාකාරයට සමාන්තරව, කුමන්ත‍්‍රණකරුවන්ගේ ගමනාගමනය සඳහා ඉදිකළ උස්බිමකි. මෙම බිම් තීරයට පිවිසීම සඳහා ආනත්තලයක හැඩැති බෑවුම් මාර්ගයකි. මෙම මාර්ගය යුද උපකරණ හා අනෙකුත් බර අධික දෑ ප‍්‍රවාහනය සඳහා යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම බළකොටු ප‍්‍රාකාරයේ බැම්මේ ඉහළ කෙළවර හෙවත් මුදුනත, බල කොටුවෙන් පිටතට බෑවුම් වන පරිදි තනා ඇත. යුද උපක‍්‍රමයක් වශයෙන්, පිටතින් පැමිණෙන සේනාවන්ට උණු දිය හෝ වෙනත් විස සහිත පිළිස්සුම් දියර හැලීමට ඒවා ගොඩනඟා ඇත. ඕලන්ද බළකොටුව සතුව වටිනා උමං මාර්ග දෙකක් වේ. වම්පස පිහිටි උමග කිලෝමීටර දෙකහමාරක් පමණ දිගින් යුතු වන අතර එය නගරය ඔස්සේ එරමුතිව් දූපතට විවෘතව ඇත. සටනකදී අතිරේක බල ඇණි මුහුදු මගින් ගෙන්වා ගැනීමටත්, පලා යන සෙබළ පිරිස් සඳහා මුහුදින් ප‍්‍රවාහන පහසුකම් සැපයීමේ යුද උපක‍්‍රමයක් ලෙසත් මෙය භාවිත කළ බැව් පෙනේ. මෙම උමගේ ඇත්තේ එක් අයකු පිටුපස එක් අයකු වශයෙන් ගමන් ගැනීමට තරම් පටු ඉඩකි.  ඕලන්ද ගෘහ නිර්මාණ ශිලිපීන්ගේ දිය යට ගොඩනැගිලි ඉදිකිරීමේ දක්‍ෂතාවයද මෙම උමං මාර්ගය නැරඹීමේ දී පැහැදිලි වේ. බළකොටුවේ දකුණු පස උමං මාර්ගය බළකොටුවේ සිට මීටර පන්සියයක් පමණ දුරින් පිහිටි  ඕලන්ද පල්ලිය කරා දිව යන්නකි. එම දේවස්ථානය තුළ ද මෙම උමං මාර්ගයේ අනෙක් දොරටුව පිහිටා ඇත. ආගමික කටයුතු සඳහා සිය හමුදා පිරිස් නගර මධ්‍යයෙන් ගමන් ගැනීමේදී පිරිස් බලය බාහිරට අනාවරණය වේ. එම නිසා යුද උපක‍්‍රමයක් වශයෙන් සෙබළුන්ට සිය ආගමික වතාවත් සඳහා රහසේම ගමන් ගැනීමට මෙම උමං මාර්ගය භාවිත කළ බව සැලකේ. සුව පහසුවෙන් ගමන් ගැනීමට හැකිවන පරිදි එම උමං මාර්ගය තනා තිබේ. විශේෂ ස්තුතිය --- වයඹ නාවික ප‍්‍රදේශය බාර ආඥාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා. කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රෝහණ ලේල්වල ඇතුළු කාර්ය මණ්ඩලය වෙතට. (මතු සම්බන්ධයි)
කල්පිටියේ පද්මා කුමාරි කංකානම්ගේ
  වසර 345 ක් පුරා භාවිත කරන පැරණි පානීය ජල ළිඳ මුහුද දක්වා දිවෙන උමං මාර්ගය තුවක්කු බැස්ටීන උමං මාර්ගය  ඕලන්ද දේවස්ථානය කරා දිවෙන  බලකොටුවේ ඉදිරිපස මී පැණියෙන් බදාම සාදා තැනූ ප‍්‍රාකාර බිත්ති