( කාංචන කුමාර ආරියදාස)
දිවිනැගුම දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් රුපියල් හාර ලක්ෂ අසූ දාහක් වටිනා තුන්රෝද යතුරුපැදියක් නිසා තම දිවියම විනාශවීමේ තත්ත්වයට පත්ව ඇතැයි බව මොරගොල්ල බඹරගස්වැව ගලේවෙල ලිපිනයේ පදිංචි පද්මලතා කුමාරිහාමි මහත්මිය පැවසුවාය.
ඇය සිය දරු දෙදෙනාත් සැමියාත් සමඟ ගලේවෙල බඹරගස් වැව ප්‍රදේශයේ බේකරියක් පවත්වාගෙන යමින් සිටියදී මීට වසර දෙකකට පෙර දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ බේකරි නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා අනුග්‍රහය දක්වන බව සඳහන් කර රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් රජය මගින් ලබාදී ඇයගෙන් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් ලබාගෙන බේකරි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා වූ තුන් රෝද යතුරුපැදියක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගලේවෙල දිවිනැගුම මූලස්ථාන කාර්යාලය එක්ව ඇයට ලබා දී තිබේ.
එම යතුරු පැදිය මාස ගණනාවක සිට මුල්ලකට දමා ඇත්තේ එහි ක්‍රියාකාරීත්වය සිදු නොවන නිසාවෙනි. එම යතුරු පැදිය කොටස් මෙරටට ගෙන්වා සකස් කරන ලද්දකි. තම අතැති මුදල් සියල්ල එය අලූත්වැඩියා කිරීමට වියදම් කළ ද මෙතෙක් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිව තමන් ලබාගත් රුපියල් තුන්ලක්ෂ තිස්දාහක ණය මුදලකට පොලී ගෙවමින් සිටින බව ද ඇය සඳහන් කළාය.
දිවිනැගුම ව්‍යාපෘතිය මගින් උදව් ලැබෙන්නට පෙර පිටි ගෝනි එකහමාරකින් බේකරි නිෂ්පාදනය කළ ඇය මේ වන විට පිටි කිලෝ 5කින් නිෂ්පාදන කටයුතු කරමින් දරුවන් දෙදෙනා සහ සැමියා ජීවත් කරන බව හඬා වැටෙමින් පැවසුවාය.
තමන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ලබාදුන් බවට කුවිතාන්සිය පවා ඇති බව සඳහන් කර සිටින්නීය. දීවිනැගුම කාර්යාලය මඟින් ජා ඇළ ප්‍රදේශයේ පිහිටි ආයතනයකින් මෙම වාහනය ලබාදුන් බවද එම ආයතනයත් සමඟ කිසිදු ගනුදෙනුවක් තමන් සිදු නොකළ බවද සියලු ගනුදෙනු සිදු කළේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවද ඇය කියා සිටියාය.
තමන් ණයකාරියකු බවට පත්කොට ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම විනාශ කොට දමා වාහනයක් ලබා දී අවසානයේ දී තමන්ට සිඟමන් යැදීමට තරම් තත්ත්වයට පත්වූ බව ද ඇය පැවැසුවාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳව අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙසත් වහාම මෙම වාහන ගනුදෙනු පිළිබඳව විමර්ශනයක් පවත්වා සාධාරණය ඉටු කරන ලෙසත්ය. ඒසේ සිදු නොවන්නේ නම් තමන් මෙම වාහනය ප්‍රධාන මාර්ගයට දමා ගිනි තබා තමන් ද සිය දිවි හානි කර ගන්නා බවද ඇය හඬා වැටෙමින් පැවසුවාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්. යූ .නිශාන්ත මහතාගෙන් විමසු විට සඳහන් කළේ මේ සිද්ධියට තමන් මාස ගණනාවක සිටම මැදිහත්ව ඇයට සාධාරණයක් ඉටුකර දීමට උත්සාහ දරමින් සිටින බව යි. දිවිනැගුම දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහ වාහනය නිෂ්පාදනය කරන ආයතනයට තමන් ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ගලේවෙල සමෘද්ධි මූලස්ථාන කළමනාකාර ජයතිලක වනිගසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කරුණු දන්නා බවත් එවකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙම වාහනය හඳුන්වා දී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවයි.
සමෘද්ධි සංවර්ධන අංශයේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ගාමිණී අබේවික්‍රම මහතා සඳහන් කළේ මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමක් සිදු කළ යුතු බවත් එවකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දිවයින පුරා මෙම වාහනය පිළිබඳව දැනුම්වත් කරමින් ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.
එනිසාම මේ සිද්ධිය සම්බන්ධයෙන් තුන් රෝද යතුරුපැදිය නිෂ්පාදනය කරන ජා ඇළ ප්‍රදේශයේ ආයතනයෙන් විමසු විට එහි හිමිකරු පවසා සිටියේ සිය ආයතනය පිටරටින් අමතර කොටස් ගෙන මෙම වාහනය නිෂ්පාදනය කරන බවයි. වාහනය අලුත් වැඩියා කර දීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා යන වියදම් ඔවුන් විසින් දැරිය යුතු බව ද පැවසීය.






COMMENTS
සිල්ලර බඩු කඩයක් සාර්ථකව කරන කෙනා ණය අරගෙන සුපර් මාර්කට් එකක් කරන්න ගියොත් අමාරුවේ වැටෙන්න තියෙන සම්භාව්‍යතාවය ගොඩක් වැඩියි. මේ බේකරිකාරයින්ටත් වෙලා තියෙන්නේ ඒ කරුමේම තමයි.
මේක තුන්වන ලෝකයේ හැම තැනම ටිකෙන් ටික ඔඩු දුවමින් පවතින ප්‍රවනතාවයක්. ලංකාවට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. කොහෙන් හරි කිසිම ප්‍රමිතියකට නැති හෝ ඉතාම අඩු ප්‍රමිති තත්වයේ වාහන කොටස් ගෙන්වා එකලස් කර කිසිත් නොදන්නා ජනතාවට විකිණීම. රජයේ ආයතන මෙම වාහන වර්ගය ප්‍රචලිත කිරීමට තැත් කරනවා නම් කරුණු දෙකක් විමසා බැලිය යුතුයි. මෙම වාහනයේ ප්‍රමිති තත්වය, විශේෂයෙන්ම වාහනයේ ක්‍රියාකාරිත්වය සහ එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව කොතරම් දුරට පරීක්ෂා කර බැලුවාද යන්න, සහ මේ වාහන ගනුදෙනුවෙන් රජයේ නිලධාරීන්ට කොපමණ මුදලක් අත යට ලැබුණාද යන්න. මෙම ප්‍රශ්නයෙන් මෙම වාහන ප්‍රචලිත කිරීමට තැත් කළ රජයේ ආයතනයට හෝ වාහනය එකලස් කළ සමාගමට ගැලවී යා හැකියැයි මම හිතන්නේ නෑ. කවුරු හරි හිත හොඳ නිර්භීත නීතිඥවරයෙක් මෙම අහිංසක කාන්තාවට උදව් කරන්නේ නම් මැනවි.
මේ කෙරෙන වංචාකාරී වැඩවලට හුඟ දෙනෙක් අපරාදේ අහු වෙලා ජීවිත නැති කරගන්න තත්වයට එනවා. මමත් මේ වගේ පොල් පැල දෙන එකකට අහු වුණා. ඒ අය කිව්වේ ගන්නෝරුවෙන් පොල් පැල දෙනවා කියලයි. බලපුවාම බොරුවක්. මේ අය ගම්පහට නුදුරු ප්‍රසිද්ධ නගරයක කියලයි කිව්වේ. අහු වෙන්න නම් එපා. කවුරුත් හොඳට හොයලා බලන්න.
මේක තනිකරම වංචාවක්. අලුතෙන් වාහනයක් ගත්තම එ්කට වගකීමක් තියෙන්න ඕනේ. අනෙක ස්ටාර්ට් කරන්න බැරි තත්වයෙන් කොහොමද අලුත් වාහනයක් විකුණන්නේ. මේ කාන්තාව දහසක් බලාපොරොත්තු තියාගෙන තමන්ගේ නිෂ්පාදනය ප්‍රවාහනය කිරීමට මේ වාහනය මිලදීගෙන තියෙන්නේ රජයේ මැදිහත් වීමක් ඇතිව. එම ආයතනය මෙහි වගකීම ගන්න ඕනේ. අනෙක මේ කාන්තාවට වූ පාඩුවටත් වන්දි ගෙවන්න ඕනේ. මේකද රජය කියා සිටින "අතදීම"
මට පෙනෙන විදියට මේ වාහන හදන අය සහ දිවි නැගුම කරපු අය තමන් ගානක් හොයා ගන්න අහිංසක මිනිසුන් අමාරුවේ දමලයි තිබෙන්නේ. අනික අලුත් වාහනයක් නම් වොරන්ටි එකක් තිබිය යුතුයි නේද?
පද්මලතා, මෙයට යන වියදම කීයක් වෙනවද කියල ඇහුවද? එය දුවපු කලේ අදායම වැඩි උනාද?
මේ වගේ වැඩ කරන අයට රජකාලේ දුන්නු දඬුවම් දුන්නත් මට හිතෙන හැටියට නම් මදි...
මේ වාහන ගොඩක් දෙනෙක් අරගෙන තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගත්තා. ඒත් මෙයාට දියුණු කර ගන්න බැරි වෙලා දැන් ඒක එක් එක් කෙනාට පාස් කරනවා. වාහනය ගන්න තමන් ණය වෙනවා නම්, ඒක තමන්ගේ පුද්ගලික තීරණයක්. ඒක උපයන ආදායමින් ගෙවන්න තමන් දැන ගන්න ඕන. මේ වාහනය ගන්න කොට වැඩ කරේ නෑ කියලා කියන්න මොනවද තියෙන සාක්ෂි? එහෙම වැඩ නොකරා නම් ඇයි වාහනේ භාර ගත්තේ? වාහනේ නිකන්ම කැඩෙන්නේ නෑනේ. මෙතන තියෙන්නේ කොළේ වහලා ගැහිල්ලක්.
මේ දෙපාර්තමේන්තුව පටන්ගත් කාලෙ සමහරු කිව්වෙ දිවිනැගුම කියලා නොවේ දිවිනැසුම කියලා පත්මලතාට වෙච්ච දෙයින් එය ඇත්ත බව පේනවා වගකිව යුත්තො හිටපු අයට වරද පටවනවා. මේක තමයි ඵලදායිතා සම්මාන දීම ඇතිකලාට පසුව රාජ්‍ය සෙවයේ තත්වය
පද්මලතා ඔයා ඔයාගේ ගමේ උපන් පද්මයක්. පද්මයක් සේ ලතාවට නැවත නැගිටින්න. ඔයගේ දෙපයින් සිට ගන්න. අපේ පද්මලතා.....ට ජයවේවා! ජෙයෙන් ජෙයම වේවා!